කවීන් පහත මහලේ පිහිටි සිය කාර්යාල කාමරයට ගොස් දොර වසා ගත්තේ දුරකතන ඇමතුමක් ගැනීමටම නොව දියණිය ආරාධ්‍යාට ආයුෂ් සමග කතාබහ කිරීමට අවස්ථාව සලසා දීමේ උවමනාව ඇතිවය. මේසය අසළ හිඳ ගත් ඔහු ඒ මත වූ පොතක් ගෙන එය ඒ මේ අත පෙරලා ආපසු තැබුවේය. දෑස් පියාගෙන මඳ වේලාවක් සිටියේය. හදිසියේම මොනාලිට දුරකතන ඇමතුමක් ගත යුතු යයි ඔහුට සිතිණ.
“ඇයි මං මොනාලිට කතා කරන්නෙ? එයා නෙමෙයිද මට කතා කරන්න ඕන?”
ඔහු උඩු සිතත් යටි සිතත් සමග තර්ක විතර්ක කරන්නට වුව ද, අවසානයේ යටි සිත ජය ගත්තේය. මොනාලි සැනෙකින්ම කවීන්ගේ දුරකතන ඇමතුම සමග සම්බන්ධ වූවාය.
“සුබ අලුත් අවුරුද්දක් වේවා.”
කවීන් සුබ පැතුවේය. මොනාලි සිහින් හඬින් සිනාසෙන හඬ ඇසිණ.
“අලුත් අවුරුද්දෙ දවසක් පරණ වෙලා ඉවරයි කවීන්. කොහොම වුනත් ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.”
මොනාලිගේ කටහඬෙහි අමනාපයක සේයාවක්වත් නොවීය.
“මොකද කරන්නෙ?”
කවීන් ඇසුවේ කිසිවක් කතා කිරීමේ උවමනාව නිසා මිස ඇය කරමින් සිටින කාර්යය දැන ගැනීමට නොවේ.
“මම කේක් හදනවා කවීන්.”
“අවුරුදු පහු වෙලා?”
“ඔයාට අවුරුදු පහු වුනාට මට අවුරුදු ලබන්නෙ හෙට.”
“ඒ මොකක්ද ඒ කතාවෙ තේරුම?”
“හෙට ශේඛර් ලංකාවට එනවා.”
කවීන් මොහොතක් නිහඬ විය. ශේඛර් යනු මොනාලිගේ පෙම්වතා බව ඔහු දැන සිටියේය. වසර දෙකක කාලයක් සඳහා ඔහු ඉන්දියාවට ගොස් සිටි බව ඇය පවසා සිටියද, ඒ කාලය මෙතරම් ඉක්මනින් ගෙවී ගිය බවක් ඔහු නොදැන සිටියේය.
“ඇයි කතා නැත්තෙ? ජෙලස්ද?”
මොනාලි සරදම් හඬින් සිනාසෙන හඬ ඇසිණ.
“ඇයි මං ජෙලස් වෙන්නෙ? සතුටුයි ඔයාගෙ ආදරේ ලංකාවට එන බව ඇහුවම. එහෙමනම් ඉක්මනින්ම වෙඩින් එක ගන්නත් පුලුවන් වේවි.”
“සමහරවිට…”
මොනාලි සිනාසුනාය.
“කෝ සුහර්ෂා? එයාවත් මතක් කරා කියන්න.”
කවීන්ගේ මුවග සිනාවක් නැගුණේ සුහර්ෂා ‘නීතියේ දෙවඟන’ යනුවෙන් මොනාලි හඳුන්වන බව සිහි වීම නිසාය.
“සුහර්ෂා නුවරඑළි ගිහින්.”
“තනියම?”
“ජීවිතේ හැම අභියෝගයකටම තනියම මුහුණ දෙන යකඩ ගැහැනියට කොහෙන්ද මොනාලි තනිකමක්?”
“ඔයා පව් කවීන්.”
“ඇයි?”
“වයිෆ් නුවරඑළියෙ ගිහින් තනියම විනෝද වෙලා එනතුරු ඔයා ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්නවා.”
“මොනාලි…”
කවීන් කෑගැසුවේ තරහෙනි.
“මම කැමති නෑ මගේ වයිෆ් ගැන ඔයා ඔහොම කතා කරනවට.”
“සොරි. සොරි. මං ඒක හිතලා කිව්ව දෙයක් නෙමෙයි.”
කවීන් තවත් වදනක් හෝ නොදොඩා දුරකතනය විසන්ධි කළේ කෝපයෙනි. එක් අතකට මොනාලි වැරදිදැයි ඔහු කල්පනා කළේය. අතිශයින් කාර්ය බහුල වීම නිසාම සුහර්ෂා තම ජීවිතයෙන් ඈත් වී ඇති බව ඇය සමග පවසා ඇත්දැයි ඔහුගේ මතකයෙහි නොවිය.
“කියන්න ඇති. මනුස්ස හිත්නෙ. තනිකම, පාලුව හිතට දැනෙද්දි මොනාලිගෙ අවධානය දිනා ගන්න මං ඒ දවස් වල එහෙම කියන්න ඇති.”
සැබවින්ම මොනාලි පිළිබඳව තම සිත තුළ වූයේ ආදරයක් නොවේ. ඉන් එහා ගිය හැඟීමක්ද නොවේ.
“ආදරයක් නැති වුනත් මම මොනාලිව දකින්න කැමති වුනා. කතා කරන්න කැමති වුනා. මොනාලි දවසක් දැක්කෙ නැති වුනාම මහා පාලුවක් හිතට දැනුනා. ඒත් ඒක ආදරේ නෙමෙයි. මං හැමතිස්සෙම එයාට මිත්‍රයෙක් වුනා විතරයි. ඒත් එයා… එයාට ජීවිතේ තනිකම මකා ගන්න වගේම මගෙන් යම් යම් ආර්ථික වාසි ගන්නත් ඕන වුනා. ඒත් මං හැමතිස්සේම එයාව ආශ්‍රය කරේ හදවතට වඩා බුද්ධියට මුල් තැන දීලා නෙමෙයිද?”
කාමරයේ දොරට තට්ටු කරන හඬ ඇසුණෙන් කවීන් සිය කල්පනා ලොවින් මිදුණේය.
“තාත්තෙ… ආයුට යන්න ඕනලු.”
කවීන් කාර්යාල කාමරයේ දොර විවර කරත්ම දොරෙකඩ සිටගෙන සිටි ආරාධ්‍යා පැවසුවාය.
“මෙච්චර ඉක්මනට? කෑම කාලා යන්න කියන්න.”
“මම කිව්වා තාත්තෙ. යන්න ඕන කියන්නෙ. තාත්තත් කියලා බලන්න.”
කවීන් සිතිවිල්ලේම ආරාධ්‍යා සමග පියගැට පෙළ නගින්නට විය.
“මගේ පුතයි උඹගෙ දුවයි දවසක කසාද බඳින්න ඕන. අපේ මිත්‍රත්වය තහවුරු කරගන්න ඕන කවීන්…”
බොහෝ දුර ඈත දිනයක දෙදෙනා එක්ව මධුවිත තොල ගාමින් සිටි මොහොතක ගිහාන් පැවසූ වදන් ඔහුගේ මතකයට නැගිණ.
“එහෙම දෙයක් වෙනවා නම් මමත් කැමතියි. ඒත් ආරාධ්‍යාට කිසිම බලපෑමක් කරන්න මම කැමති නෑ. විහාරගේ ආදරේට බලපෑම් කරන්න ගිහින් ඒ ලස්සන මුදු හිත දැන් කලු ගල් ගෙඩියක් වෙලා තියෙන්නෙ. ආරාධ්‍යාට ඒ වගේ දෙයක් වෙනවා දකින්න මම කැමති නෑ.”
කවීන් සිතිවිල්ලේම පැමිණෙද්දී විසිත්ත කාමරයේ ජනෙල් පෙළ අසළ සිට ගත් ආයුෂ් මුහුද දෙස බලා හිඳින අන්දම ඔහු දුටුවේය.
“පුතා… මේක ඉල්ලීමක්.”
ආයුෂ්ගේ උරහිස මත අත තැබූ ඔහු පැවසුවේය.
“අද අපිත් එක්ක දවල්ට කෑම ටිකක් කාලා යන්න ඉන්න ඕන.”
ආයුෂ් එයට විරෝධය දක්වනු ඇතැයි ආරාධ්‍යා සිතුවද, එයට එකඟත්වය පළ කරන දෑසින් යුතුව ඔහු ආරාධ්‍යා දෙස බැලුවේය.
*
හසිත්, දිසාලාගේ නිවසේ සිට සුහර්ෂා තිලිණ කළ අලුත්ම මෝටර් රථයෙන් නිවස බලා යන්නට පිටත් වූයේ කල්පනාවෙනි. තමා එහි ගිය සැනින් හඬා වැලපෙමින් තම දුක පවසන දිසාලාවක් දකින්නට ගිය ඔහුට දක්නට ලැබුනේ බොහෝ කඩිසර ලෙසින් ප්‍රීතිමත් මුහුණින් යුතුව නිවසෙහි වැඩපළ කරන දිසාලාවකි. ඇයට මූල්‍යමය ත්‍යාගයක් දෙන්නටත්, වෙනත් ස්ථානයක රැකියාවක් ලබා දෙන්නටත් සිතාගෙන එහි ගිය ද, රැකියාවෙන් ඉවත් කිරීම පිළිබඳව ඇය තුළ දුකක සන්තාපයක සේයාවකුදු දක්නට නොවීය.
“මට හරිම හිතට අමාරුයි දිසාලා. මං හිතුවෙ නෑ කැෆටේරියා එකේදි ඔයා මං එක්ක කතා කරපු එක මේතරම් දුර යයි කියලා.”
දිසාලාගේ නිවසෙහි ආලින්දයේ හිඳගෙන තමා පැවසුවේ සිත් වේදනාවෙන් යුතුවය. එහෙත් දිසාලාගේ මුහුණෙහි ශෝකයක සේයාවකුදු දක්නට නොවීය.
“තෑන්ක් යූ සර් මා ගැන අනුකම්පා කළාට.”
දොරකඩ සිටගෙන සිටි දිසාලා පැවසුවාය.
“මං කළේ වැරැද්දක් කියලා මම තේරුම් ගත්තෙ පස්සෙ සර්.”
“මනුස්සයෙක් මනුස්සයෙක් එක්ක කතා බහ කරන එන වැරැද්දක් වෙන්නෙ කොහොමද?”
“ආයතනයට සම්බන්ධ වුන දවසෙ ආයතනයේ නීති මාලාව කියවලා අත්සන් කරපු කෙනෙක් මම සර්. අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය දේවල් කතා කරමින් නිකරුනේ කාලය ගත කිරීම වැරැද්දක් තමයි. එදා ඒ තේ බොන වෙලාවක් නෙමෙයි. ඒකට අපට කාලයක් දෙනවනෙ.”
“ඒ කියන්නෙ දිසාලා රස්සාවෙන් අස් කිරීම ගැන දුක්වෙන්නෙ නෑ?”
“නෑ සර්. කවුරු කොහොම හිතාගෙන හිටියත් මැඩම් කියන්නෙ දේවතාවියක්.”
දිසාලා පැවසුවාය. හසිත් කිසිවක් නොපවසා නිහඬව සිටියේය.
“මට එදාම ගෙදර යන්න කියලා කිව්වට පහුවදා මැඩම් මට ලොකු මුදලකුයි තෑගි පෙට්ටියකුයි ගෙදරටම එවලා තිබුනා. මට දැන් ගෙදර ඉඳලම පුංචි බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්. ගොඩක් මිනිස්සු… මමත් ඇතුලුව, හැමතිස්සේම මතුපිටින් බලලා තීරණ ගන්නවා සර්. අපි කෙනෙක් දිහා ගැඹුරින් බලන්න ඕන කියලා මං හිතුවෙ මං රස්සාවෙන් අස් කරාට පස්සෙ. මැඩම් කියන්නෙ දේවතාවියක් කියලා මං කියන්නෙ ඒකයි.”
දිසාලා අවසන් වරට පැවසූ වදන් හසිත්ගේ දෙසවන් පුරා තවමත් දෝංකාර දෙන්නාක් මෙන් විය.
“මැඩම් කියන්නෙ දේවතාවියක්…”
ඔහු තමාටම පවසා ගත්තේය. ඇය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් තිලිණ කළ මෝටර් රථය පිළිබඳව කල්පනා කරද්දී තමාටද එසේ සිතුණද, සිතට ඇතිවන්නේ මහත් බියකි.
“අනිත් අයට වගේම මටත් සැලකුවා නම් ඒ ඇති.” යි පවසන්නට බොහෝ වර සිතුණද, ඇය ඉදිරියේදී එම සිතිවිලි වදන් බවට පත් කර ගැනීමට නොහැකිය.
ආරාධ්‍යා තමා වෙත දුරකතන ඇමතුමක් ගෙන තිබූ බව මතකයේ තිබුණද, නිදහසේ ඇයට කතා කළ යුතු යයි සිතා සිටි බැවින් එය මතකයෙන් ගිලිහී තිබිණ. ඇය මුහුදු වෙරළෙහි සිප්පි කටු වලින් මුහුදු වෙරළෙහි සිය නම ලියා එහි ඡායාරූපයක් ද එවා තිබිණ. එයට ද පිළිතුරක් යැවීමට නොහැකි වීම නිසා ඇය පසුවන්නේ තමා කෙරෙහි කෝපයෙන්ද?
“තරහ වෙන්න දන්න කෙල්ලක් නෙමෙයි. පව්. දුක හිතෙන්න ඇති.”
මෝටර් රථය පාර අයිනෙහි නතර කළ හසිත් ආරාධ්‍යාට දුරකතන ඇමතුමක් ලබා ගත්තේය. ඇය ඇමතුම හා සම්බන්ධ වෙත්ම ඔහුගේ සිතට සතුටක් දැනිණ.
“ගමේ ගියාට පස්සෙ හසිත්ට අපිව අමතක වෙලා.”
අරාධ්‍යා දුක් හඬින් පැවසුවාය.
“අනේ නෑ මිස්. අමතක වුනා නෙමෙයි. ඊයෙ මිස් කෝල් කරද්දි තාත්තව නාවමින් හිටියෙ.”
“ඇයි? තාත්තට සනීප නැද්ද?”
“තරුණ කාලෙ ගොඩක් දුක් මහන්සි වුනු මිනිස්සු නේ මිස්. දැන් එක එක අසනීප මහ ගොඩක්.”
“අම්මා?”
“අම්මා නැති වෙලා තියෙන්නෙ මං පුංචි කාලෙ මිස්. දැන් අම්මා කියලා තියෙන්නෙ ඒ දෙන්නගෙ වෙඩින් ෆොටෝ එක විතරයි.”
ආරාධ්‍යා නිහඬ වූයේ ශෝකයෙන් විය යුතු යයි හසිත්ට සිතිණ.
“මං හෙට පාන්දර එනවා. තාත්තව බලා ගන්නෙ ළඟ ගෙදරක අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා. ඒගොල්ලො මටත් වඩා හොඳින් තාත්තව බලා ගන්නවා.”
හසිත් පැවසුවේ ආරාධ්‍යා දුක් වනු ඇතැයි සිතමිනි.
“මැඩම් තවම ගෙදර ආවෙ නැද්ද මිස්?”
“නෑ. අද රෑට ඒවි.”
ආරාධ්‍යා පැවසුවාය.
“දැන් කොහෙද හසිත් ඉන්නෙ? ගෙදරද?”
“නෑ. මං යාලුවෙක්ව බලන්න ගිහින් එන ගමන්.”
“ගෑනු යාලුවෙක්ද? පිරිමි යාලුවෙක්ද?”
“පිරිමි යාලුවෙක්. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම.”
හසිත් පැවසුවේ පහත් හඬිනි.
“හොඳයි… හෙට ආවම අපේ ගෙදර එන්න හසිත්. එතකොට කතා කරමු. දැන් ඔයා පරෙස්සමෙන් ගෙදර යන්න.”
ආරාධ්‍යා දුරකතන ඇමතුම විසන්ධි කළාය. ඇගේ මව තමාට මෝටර් රථයක් තෑගි කළ බව පවසන්නට කිහිප වරක්ම සිතුණද ඔහු එම අදහස මැඩ පවත්වා ගත්තේ ආයාසයෙනි.
—