සිහින අසපුව – 17 කොටස


ආරාධ්‍යා, අගුලු නොදමා තිබූ විහාරාගේ කාමරයේ දොර හැරියාය. ඇගේ කාමරය එකම අවුල් ජාලයකි. අවුල්ව ගිය ඇඳ ඇතිරිලි, තැන් තැන් වල දමා තිබූ ඇඳුම්, ඇඳ පාමුල බිම දමා තිබූ රාත්‍රී ඇඳුම… මේ සියල්ල දකිද්දී හිස කැරකෙන්නාක් මෙන් ඇයට දැනිණ. තැන් තැන් වල දමා තිබූ ඇඳුම් එක්තැන් කර, ඇඳ ඇතිරිල්ල සකස් කරන්නට අරාධ්‍යාට මඳ වේලාවක් ගත විය.
“පිස්සියක් ඉන්න කාමරයක් වගෙයි. ඇත්තටම මනස අවුල් ජාලයක්ද? එහෙම නැත්නම් අවුල් ජාලයක් කියලා අපට පෙන්නන්න හදනවද?”
විහාරාගේ මේසය අසළ හිඳ ගත් ආරාධ්‍යා කල්පනා කළාය.
“ඉස්සර මොන තරම් පිළිවෙලකට හිටිය ළමයෙක්ද? මිනිස්සුන්ට අහිමිවීම් සිද්ද වෙනවා. ඒත් ඒ හැමකෙනෙක්ම අහිමි වීම් වලින් ඔලුව අවුල් කරගන්න ගියා නම් මේ ලෝකෙ මොන විදියෙ තැනක් වේවිද?”
සුහේල්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විහාරාගේ හැසිරීම සාධාරණ එකක් නොවන බව ආරාධ්‍යා කල්පනා කළාය.
“කිසිම දෙයක් දන්නෙත් නෑ. අම්මා සුහේල්ව අතුරුදහන් කරා කියලා චෝදනා කරාට ඇත්තටම  සුහේල් මෙයාව මග ඇරලා ඉන්නවද කියලා කවුද දන්නෙ? සමහර පිරිමි එහෙමයි. පිරිමි විතරක් නෙමෙයි ගෑනුත් එහෙමයි. මොකක් හරි නොගැලපීමක් දැනෙන්න ගත්තම මග අරිනවා වෙන්නත් පුලුවන්.”
ආරාධ්‍යා සිතිවිල්ලේම විහාරාගේ පොත් අතර වූ පෙර දිනයක ඇය විසින් කියවන ලද දිනපොත අතට ගත්තාය. එහි වූ විහාරාගේත්, සුහේල්ගේත් ඡායාරූපය දෙස ඇය ඇසි පිය නොසලා බලා සිටියාය.
“මොන තරම් ලස්සන කපල් එකක්ද?”
දිගු සුසුමක් හෙලූ ආරාධ්‍යා විහාරා විසින් ලියන ලද දිනපොතේ පිටුවක් හැරවූවාය. ඇය මුතු අකුරින් ලියන ලද සටහන් කියවන්නට ප්‍රිය උපදවයි.
“අද මම සුහේල්ගෙ බෝඩිමට ගියා.”
විහාරා දිනපොතේ එක් පිටුවක ආරම්භයේ ලියා තිබිණ.
“එයාට ටිකක් අසනීපයි කියලා මට කෝල් එකක් දුන්න මොහොතෙ ඉඳලම මම හිටියෙ එයාව දැකගන්න උවමනාවෙන්. සුහේල්ට පළතුරු, කිරිපිටි, මාමයිට් වගේ දේවල් මහ ගොඩක් අරගෙන මම ටුක් එකකින් එයාගෙ බෝඩිමට ගියා. බෝඩිමක් කියලා කිව්වට ඒක රූම් එකක්. ලොකු තට්ටු දෙකේ ගෙදරක ඇටෑච් බාත්රූම්ස් එක්ක ඒ වගේ කාමර ගොඩක් තියෙනවා කියලා සුහේල් කිව්වා. ඒ හැම කාමරේකම ඉන්නෙ ජොබ්ස් කරන පිරිමි ළමයි කියලත් සුහේල් කිව්වා.”
“මෙතන හරිම නිදහස් තැනක්.”
කාමරේට ඇතුලු වුන මම කිව්වා.
“ඔව්. ඇත්තටම. මෙතන මගේ වැඩ කටයුතු කරගන්න නිදහස් තැනක්.”
මම සුහේල්ගෙ ඇඳ උඩ වාඩි වුනා.
“දැන් කොහොමද ඔයාගෙ අසනීපෙ? මොනවද සුහේල් ඔයාට වුනේ? උණද?”
මම සුහේල්ගෙ නළළට අත තිබ්බා. ඒත් කිසිම විදියක රස්නයක් නම් මට දැනුනෙ නෑ.
“ඒක විහාරා… පිරිමි මායමක්.”
සුහේල් කිව්වා. වෙන ගෑනු ළමයෙක් නම් එහෙම කිව්වම බය වෙනවා. ඒත් මට බයක් දැනුනෙ නෑ. සුහේල් කියන්නෙ අවස්ථාවාදී කෙනෙක් නොවන බව මේ කාලය තුළ දී මම තේරුම් අරගෙන ඉවරයි.
“මොකක්ද පිරිමි මායමක් කියන්නෙ?”
“මේකයි.”
මගේ ළඟින් වාඩි වෙලා මගේ කරට අත දමා ගත්ත සුහේල් කිව්වා.
“අද මට ගොඩක් වැඩ වැඩි දවසක්. අද දවස තුළ සෝංග් එකක් ලියලා දෙන්නත් ඕන. ඊයෙ රෑ ඉඳලම කල්පනා කරා. කල්පනා කරා. කිසිම විදියක අදහසක් හිතට එන්නෙ නෑ. එළියට ගියොත් තවත් හිත අවුල් වෙනවා. මං දන්නවා. ඔයා දැක්කම මගේ හිත නිවෙනවා. ඔයාගෙ ලස්සන ඇස් දෙකෙන් බලන බැල්මක, ආදරෙන් කියන වචනයක හැංගිලා තියෙන්නෙ මගේ කවි හිත. ඔයා ඇවිත් ගියාට පස්සෙ එක සින්දුවක් නෙමෙයි. සින්දු ගණනාවක් වුනත් මට ලියන්න පුලුවන් බව මම දන්නවා.”
සුහේල් කිව්වෙ හරියට කවියක් කියන්න වගේ. වෙන පිරිමි ළමයෙක් මේ වගේ වචන මහ ගොඩක් කිව්වම ගෑනු ළමයි හිතන්නෙ මේවා රැවටිලි කතා කියලා. ගෑනු ළමයි රවට්ටන්න පිරිමි ලස්සන ලස්සන කතා කියනවා කියලා දවසක් සුහේල්ම තමයි මා එක්ක කිව්වෙ. ඒ ලස්සන කතා වලට ගොඩක් ගෑනු ළමයි රැවටෙනවලු. ඒත් මාව රවට්ටන්න සුහේල්ට උවමනාවක් නැති බව මම දැනගෙන හිටියා. මං එයාට කොච්චර ආදරේ කරනවද කියනවනම් රැවටිලි වචන නැතිවට එයා ඉල්ලන ඕනම දෙයක් දෙන්න තරම් විශ්වාසයක් මගේ හිතේ ඒවෙනකොට ගොඩ නැගිලා ඉවරයි.
“විහාරා…”
සුහේල් ගොඩක් ආදරෙන් මට කතා කරා.
“ඔයා මං ගැන තියෙන විශ්වාසය කවදාවත් මම කඩ කරන්නෙ නෑ. සත්තයි.”
එයා මගේ ඔලුවෙ අත තියලා පොරොන්දු වුනා.
“පූජා කරන්න ගෙනියන මල් අතරමගදි පොඩි කරලා දාන්නෙ නියම බැතිමතුන් නෙමෙයි කියලා මං අහලා තියෙනවා.”
“මං දන්නවා සුහේල්. මට ඔයාව විශ්වාසයි.”
මම කිව්වා.
“තෑන්ක් යූ මාව විශ්වාස කරනවට.”
ඊටපස්සෙ අපි දෙන්නා ගොඩාක් වෙලා කතා කර කර හිටියා. හිටිගමන්ම එයා ගිටාර් එක අරගෙන ඒක ගහන ගමන් සින්දුවක් කියන්න පටන් ගත්තා විතරක් නෙමෙයි. සැරෙන් සැරේට ඒකෙ වචන කොල කෑල්ලක ලියන්න පටන් ගත්තා. මං බලා ගෙන හිටියෙ පුදුමයෙන්.
“මොනවද ඒ ලිව්වෙ?”
මං අහද්දි එයා ලස්සනට හිනා වුනා.
“කොච්චර ලියන්න උත්සාහ කරත් ලියා ගන්න බැරි වුන මගේ සින්දුව..”
මට දැනුනෙ පුදුමාකාර සතුටක්. මං සුහේල්ගෙ අත් දෙකම අල්ලගෙන මගේ මූණට ළං කර ගත්තා.
“මේ අත් දෙකට තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕන.”
මං කිව්වම එයාගෙ ඇස් වල කඳුලු පිරිලා දිළිසුනා. සුහේල්… සත්තමයි. මං ඔයා ලියන හැම ගීතයකම පද වැල වෙනවා. මං ඔයාගෙ ජීවන ගීතයේ තනුව වෙනවා. මං ඔයාට මහ ගොඩක් ආදරෙයි.
ආරාධ්‍යා දිනපොත වසා තැබුවේ ඇගේ ජංගම දුරකතනය නාද වන හඬ ඇසීම නිසාය. ඒ හා සමගම රංජනී ජංගම දුරකතනය ද රැගෙන කාමරයට දිව ආවාය. දුරකතන තිරය මත සටහන් වී තිබුනේ හසිත්ගේ අංකයයි.
“කතා කරනවද? නොකරනවද? හසිත්ගෙන් ඈත් වෙන තරමට හොඳයි. නැත්නම් අසරණයට කරන රස්සාවත් නැති වේවි.”
ආරාධ්‍යා සිතුවාය. බොහෝ වේලාවක් නද දුන් දුරකතනය අනතුරුව නිහඬ විය. ඇය නැගී සිටියේ ශෝකයෙනි.
“පව්. හසිත් මොනවා හිතන්න ඇද්ද? මං කතා කරන්නෙ නැතිව මග ඇරියා කියලා හිතාවි.”
ඇයට සිතිණ.
“කවුද බේබි? හසිත් සර් ද?”
ඒවනතුරුත් විහාරාගේ කාමරයේ දොරකඩ රැඳී සිටි රංජනී ඇසුවාය.
“හ්ම්…”
“කතා නොකරපු එක හොඳයි. මැඩම් බලාපොරොත්තු වෙනවා ඇත්තෙ බේබිව ලොකු සල්ලිකාරයෙක්ට කසාද බන්දන්න.”
“සල්ලි කාරයෙක් වුනත් හිඟන්නෙක් වුනත් මට දැන්ම කසාද බඳින්න ඕනකමක් නෑ.”
“ඔහොම කිව්වා වුනාට බේබි වෙලාව ආවම ඔය කතා සබන් බෝල වගේ බිඳිලා යනවා. අපි බලමුකෝ.”
රංජනී සිනාසෙමින් දිව ගියාය. සැබවින්ම අම්මාගේ බලාපොරොත්තුව කුමක් විය හැකිදැයි ආරාධ්‍යා කල්පනා කළාය.
*
හසිත්, සුහර්ෂාගේ කාර්යාලයට ඇතුලු වූයේ තිගැස්මෙන් යුතුවය. උදෑසන සුහද හමුවෙන් පසු නිදහස් සිතින් වැඩ පටන් ගත් නමුදු හෝරාවක්වත් ගත වෙන්නට පෙර ඇයගෙන් ලද ඇමතුම ඔහු සිත තුළ ඇති කරන ලද්දේ තිගැස්මකි. තමා අතින් කිසියම් වරදක් සිදුවීදැයි ඔහු කල්පනා කළේය.
“මැඩම් ඔෆිස් එකට එන්න කියලා පණිවුඩයක් එවපු ගමන් මං කල්පනා කරන්නෙ මං අතින් වුන වැරැද්ද මොකක්ද කියලා.”
කිසිවෙක් එසේ පැවසූ බව මතකයේ ඇති නමුත් ඒ කවරෙක්දැයි මතකයට නොඑයි.
“හසිත්…”
සුහර්ෂාගේ කටහඬින් හසිත් තිගැස්සුනේය.
“මොකද කල්පනාව? ඇවිත් වාඩි වෙන්න.”
සුහර්ෂා තමා ඉදිරියෙහි වූ අසුන අතින් දැක්වූවාය. හසිත් එහි හිඳගත්කේ සුහර්ෂාගේ මුහුණ දෙස විපරමෙන් බලමිනි.
“කොහොමද ඉතින්?”
සුහර්ෂා ඉදිරියට නැමී හසිත්ගේ මුහුණ දෙස උවමනාවෙන් බලා සිටියාය.
“අවුරුදු ජයද හසිත්?”
“මට කවදාවත් අවුරුද්දක් තිබිලා නෑ මැඩම්.”
හසිත් අපහසුවෙන් පවසා ගත්තේය.
“මට අමතක වුනා. කොහොමද දැන් තාත්තට?”
“ඒ හැටි සනීපයක් නෑ මැඩම්. වයසට හැදෙන අසනීප.. දැන් ටිකක් සිහි කල්පනාවත් හොඳ නෑ වගේ.”
“හොඳයි…”
සුහර්ෂා සෘජුව හිඳ ගත්තාය.
“හසිත්ගෙ කාර් එක ගැන මොකද කට්ටිය කියන්නෙ?”
“එහෙම විශේෂයක් නෑ මැඩම්. කිසිම කෙනෙක් ඒ ගැන ඇහුවෙවත් නෑ.”
“බොරු නෙමෙයි නේද කියන්නෙ?”
සුහර්ෂා සිනාසුනාය.
“මං දන්නවා. මගෙන් කාලා මගෙන් පඩි අරගෙන මටම බනින එවුන් මේක ඇතුළෙ වැඩියි. හසිත් එහෙම කෙනෙක් කියලා මං කියන්නෙ නෑ. ඒ වුනාට අද මං දකිනවා තැන් තැන් වල එක එක්කෙනා කරන කසුකුසු. එක මාතෘකාවක් හසිත්ට අරන් දුන්න කා එක. අනික තමයි දිසාලා සේවයෙන් ඉවත් කරපු එක.”
“මට ඇහෙන්නනම් කවුරුත් ඒ ගැන කතා කළේ නෑ මැඩම්.”
“හසිත් බොරු කියනවා.”
සුහර්ෂා සිනාසුනාය.
“දිසාලා හසිත්ට කතා කරාද?”
හසිත්ගේ සිත සසල වුව ද ඔහු ඒ බව සුහර්ෂාට නොඇඟවෙන සේ හැසිරෙන්නට ප්‍රවේශම් විය.
“නෑ මැඩම්. මෙහෙදි දැක්කොත් කතා කරනවා මිසක් කතා කරන්න තරම්…”
“හසිත්ගෙයි දිසාලාගෙයි සම්බන්ධයක් නෑ?”
සුහර්ෂා ඉතිරි වදන් සම්පූර්ණ කළාය.
“මට කරන්න දෙයක් නෑ හසිත්. ආයතනයේ නීති රීති කාටත් එකයි. නීති වලට අවනත නොවන කාට වුනත් සිද්ද වෙන්නෙ ගෙදර යන්න කියලා ඔය තැන් තැන් වල කසුකුසු ගාන අය දැනුවත් කරොත් හොඳයි.”
හසිත් කිසිවක් පවසා ගත නොහැකිව බලා සිටියේය. සුහර්ෂා විසින් කරනු ලැබූ සේවය ඇගයීම සඳහා ලද ඇය සම්මාන දෙසට ඔහුගේ දෙනෙත් යොමු වී තිබිණ.
“ලබන මාසෙ විසි අට වෙනිදට අපි නෙදර්ලන්ඩ් යන්න ලෑස්ති වෙන්න ඕන හසිත්.”
හසිත් තිගැස්සුනේය.
“අපි කිව්වෙ මැඩම්?”
“මාත් යනවා. ඔයත් යනවා. තව එක්ක යන්න සුදුසු අය හත් දෙනෙක්ව තෝරගන්න නිදහස මම හසිත්ට දෙනවා. ලිඳේ ඉන්න ගෙම්බො වගේ ඉන්නෙ නැතිව වෙන රටවල මේ වගේ ආයතන වල වැඩ කෙරෙන පිළිවෙල මේ ළමයි දැනගන්න ඕන. හසිත් වුනත් දැනගන්න ඕන. අවෝඩ් සෙරමනි එක තියෙන්නෙ තිස් වෙනිදට. මට අදම නම් ලිස්ට් එක ඕන හසිත්.”
“හොඳමයි මැඩම්. මිස්ලත් යනවද?”
හසිත්ට ඉබේටම ඇසිණ.
“මිස්ලා කිව්වෙ?”
සුහර්ෂා දෑස් කුඩා කළාය.
“මැඩම්ගෙ ගෙදර ඉන්න මිස්ලා…”
හසිත් පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි.
“මගේ දුවලා? නෑ. ඒගොල්ලො යන්නෙත් නෑ. මගේ හස්බන්ඩ් යන්නෙත් නෑ. මේක පවුලේ චාරිකාවක් නෙමෙයි.”
“සොරි මැඩම්… මං නිකම් ඇහුවෙ.”
“හොඳයි…”
සුහර්ෂා නැගී සිටියාය.
“එහෙමනම් තව පැයක් ඇතුළත මට නම් ලිස්ට් එක ගෙනත් දෙන්න ඕන. හසිත්ට දැන් යන්න පුලුවන්. මොනවත් ප්‍රශ්න එහෙම තියෙනවද?”
“දැනට නම් නෑ මැඩම්.”
“අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නත් මට හසිත් එක්ක සාකච්ඡා කරන්න ඕන. අපි ඒකට වෙලාවක් යොදා ගනිමු. එහෙමනම් දැන් යන්න පුලුවන්.”
හසිත් නැගී සිටියේය. ඔහු කාර්යාලයෙන් පිට වූයේ තමා අතින් වැරදි යමක් කියවෙන්නට ඇත්දැයි යන සැකයෙන් යුතුවය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles