“දූට තාම විසි එකක් විතර වෙන්න ඇති.”
පසුව කතා කරන්නට තීරණය කළ ගැහැනිය අසයි.දුලන්‍යා හිස වැනුවා ය. එක අතකට මේ සහස්ගේ අම්මා පමණක් නොවේ. ඇගේ දෙවැනි අම්මා වූ තාරකා අක්කාගේ ද අම්මා ය. ඇගේ ප්‍රාණසරි ප්‍රේමයේ ද අම්මා ය.
“ඔන්නොහෙ කතා කරනවා.”
දුලන්‍යා තීරණයක් ගත්තා ය.
“මං අංකල් විජිත එක්ක යාළු වුණෙත් ඔය වයසෙදි. අංකලුත් සඳරැස් වගේ තමයි. වැඩි කලබලයක් නැති ඒත් හීන් නූල් සූත්තර කාරයා.”
දුලන්‍යා පිපී එන සිනාවෙන් චාන්දනී දෙස බලා සිටියා ය. තමන්ගේ ප්‍රේමවන්තයාගේ අහුකොන් ගැන ඔහුගේ අම්මා සමඟ කතා කරන්නට කෙල්ලන් මනාප ය. මේ සිනාව එසේ වන්නට ඇතැයි චාන්දනී සිතී ය.
“තාරු අක්කයි අපෙ අයියයි මීට් වෙලා දැන් අවුරුදු හය හතක්නෙ. මං සඳරැස් අයියව දැකලත් එච්චර කල්. අක්කි මාත් එක්ක වැඩිපුරම කියලා තියෙන්නෙත් අයියා ගැන.”
යුවතිය සඳරැස් ගැන කතා කරන්නට එකඟ වීම ගැන චාන්දනීට සතුටක් දැනිණ. ඇය වඩා මෘදු නිලය අල්ලන්නට සමත් වී තියේ.
“ඒත් අපි දන්න සඳරැස් අයියා කලබල මනුස්සයෙක්. හීන් නූල් සූත්තර එයාගෙ කවදාවත් නෑ. කාටහරි බැන්නොත් ප්‍රසිද්ධියේ බනිනවා. කා එක්ක හරි රණ්ඩු වෙන්න ඕන නම් ඒකත් මූණටම කරනවා. එච්චරක් විතරයැ අපේ අම්මනම් කියන්නෙ අයියා සයිට් වල වැඩට ගිහින් ගෙදර නොඑන දවස්වලට ගේම පාළුයි කියලා.”
වඩාත් රිදෙන වචන අවශ්‍ය වන්නේ ඊළඟට ය.
“ආන්ටි සඳරැස් අයියා දන්නේ චූටි කාලේ විතරනෙ. ඒ කාලේ එයා එහෙම වෙන්න ඇති.”
චාන්දනී වචනයක්වත් නොදොඩා දුලන්‍යාගේ අත අල්ලා ගත්තා ය.
“පුතා, මට අයියවයි අක්කවයි ආපහු ඕනෑ. මං පනහත් පැන්න ගෑනියක්. ජීවිතේ තව කොච්චර කාලයක් තියද මං දන් නෑ. තාරකා දැන් අම්මෙක්. එයා මාව තේරුම් ගන්නවා. සඳරැස් මට කිට්ටු වෙන්න මට දුවගෙ උදව් ඕනෑ. මම සඳරැස්ව අත් ඇරිය එක ගැන දුලන්‍යා පුතා පවා කතා කරන්නේ හරිම අප්‍රසන්න හැඟීමෙන් කියලා මට සහස් කිව්වා.ඒත් ඇත්ත වෙනස් පුතේ.”
කුලගෙයක් තුළ තනිවන ගැහැනියක තමන් ආසක්ත කරවන ප්‍රේමයක පැටලෙන්නට වැඩි වතාවක් සිතන්නේ නැත. දුලන්‍යා තවම ඒ කතාව තේරුම් ගන්නට ළාබාල වැඩි බව චාන්දනී පැහැදිලි කළා ය. ඇයට කමල් වෙත යන්නට ඕනෑවටත් වඩා හේතු තිබිණ.
“ආදරේ කියන්නෙ පුදුම දෙයක් පුතා. ආදරේ වෙනුවෙන් ගෑනු නොකරන්නෙ මොනවද?”
අනුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක විනිශ්චයන්ට එළඹිය යුතු නැතැයි කියන්නේ දුලන්‍යාගේ අම්මා ය.
“මිනීමරුවෙක්ට වුණත් තමන්ගෙම හේතු තියනවා සුදු පුතේ. කවුරුත් කරන දේවල් පිටින් බලලා තීරණ අරන් ඒ කුණු ඔලුවේ පුරවා නොගන්නකම් අපිට සැනසීමයි”
අම්මාගේ ඒ වචන දුලන්‍යා සිහි කළා ය. චාන්දනී විජේවර්ධනට වසර ගණනාවකට පෙර සඳරැස් හා තාරුකා අත් හැර දමන්නට හේතු තිබෙන්නට ඇත. වසර ගණනාවකට පසු නැවත ළං වෙන්නට ද හේතු තිබෙන්නට ඉඩ තිබේ.
“මං ආසයි පුතා මට අම්මා කියනවනම්”
ආදරය හිමි කරගන්නා තරුණයාගේ අම්මාට අතිශය සමීප වෙන සිහිනයක් දුලන්‍යාට සැබෑ ලෙසම විය. නමුත් චාන්දනීට අම්මා කියන්නට දිව නොනැමෙයි. සැබෑවටම ඇය සියයට සියයක් සාර්ථක වුවත් ඇයව පිළිගන්නට හිත හදාගන්නට දුලන්‍යාට නොහැකි ය.
“සමහර දේවල් වෙනස් කරන්න බෑ ආන්ටි. මට අපේ අක්කි ගැන කියන්න නම් බෑ. ඒත් ඔයා වෙනුවෙන් සඳරැස් අයියා වෙනස් කරන්න මට පොරොන්දු වෙන්න බෑ.”
දුලන්‍යා සත්‍යයම පවසන්නට සිතුවා ය. ඇත්තටම සඳරැස් අම්මාව පිළි ගන්නට ඇති ඉඩ හොඳටෝම අඩු ය.
“ආන්ටි, හැමදෙයක්ම නැති වෙලා කියලා හිතන වෙලාවක පවා බලාපොරොත්තුවේ වැහි පොදක් නළලට වැටෙන්න පුලුවන්. ආදරේ වුණත් මඳ පවනක් වෙලා කම්මුලක හැපෙන්න පුලුවන්.අපේ ජීවිතේ අවසන් කියලා හිතෙන මොහොතක පවා මුණ ගැහෙන්නේ අලුත් ලෝකෙක බලාපොරොත්තුවක්! අපි විශ්වාසයෙන් බලාගෙන ඉමු!! සමහරවිට අයියා කාටත් වඩා ආන්ටිට ආදරේ වෙයි. තාරු අක්කටත් වඩා සහස්ට ආදරේ කරන කාලයක් එයි.පරිස්සමින් බලාගෙන ඉමු.”
දුලන්‍යා එසේ පැවසුවේ හිතට ආ හදිසි ශෝකය නිසා ය. මොනවා වුණත් මේ අම්මා කෙනෙකි. ජීවිතයේ මැදි වයස ද ගෙවා දමමින් හිඳින ඇය දැන් අතීත වැරදි නිවැරදි කරගන්නට උත්සාහ ගන්නවාද විය හැකි ය.
“ඇත්තටම ඇයි ආන්ටි ඔයා අයියලව දාලා ගියේ?”
ඒ ප්‍රශ්නය අවසාන වතාවට අහන්නට දුලන්‍යාට සිතිණ.
“ගෑනුන්ගෙ ආදරේ කියන්නෙ මහ දිග කතාවලට පුතා.මං ඒ කතාව ඔයාට කියනවා. ඔයා සහස්ගේ වුණත් සඳරැස්ගේ වුණත් මං ඔයාට ඒක කියනවා.”
චාන්දනී පිළිණ දුන්නා ය. ඇය සමු දුන්නේ ඒ පිළිණ දීම සමඟ ය.සහස්ගේ කේලම මේ තරමට හිත නිවෙන අවසානයකින් අවසන් වේයැයි ඇය සිතා තිබුණේ නැත.
අතීතයේ ජීවත් වූ තරුණ ගැහැනියක තම සතුට තෝරා ගත්තා ය. ඒ සතුට වරදක් වන්නට ද ඉඩ තිබේ. එය වරදක් නම් එය නිවැරදි කරන්නට කාලය එළඹ තිබේ. එය නිවැරදි කළ හැකි යුවතිය දුලන්‍යා ය.
ඈ අතින් එය ඉටු වෙනතුරු මඟ බලන්නට චාන්දනී සිතා ගත්තා ය.ඉතා දිගු බව හැඟෙන දවස් පවා වේගයෙන් ගෙවෙයි. වඩා කළු පැහැති මතක අළු පැහැයට හැරෙයි. ජීවිතය, ඉතා අඳුරු දවස්වල පවා දේදුනු පැහැති සිහින සොයා දෙයි.ජීවිතයේ හැම පරිච්ඡේදයකම සිනාව ද ඉසියුම් සිහින ද නොවේ. භයංකාර සිහින සහ පිළිකුල ද වේදනාව ද ඇති පරිච්ඡේද පවා ඉවසීමෙන් කියවන්නට ධෛර්යය උපයා ගත යුතුම ය.දෑසින් කඳුළු පනින තුරු හිනැහෙමින් කියැවිය හැකි දේදුනු පැහැති සුන්දරම පරිච්ඡේද ඉදිරියට බව සිතමින් චාන්දනී හිත හදා ගත්තා ය.
පවුලක් කියන්නේ විසිරී පැවති දෙයක් යුතු නොවේ!