සිහින අසපුව – 19 කොටස

අමර් විසින් මේසය මත තබන ලද, උසාවියට ගෙන යාමට නියමිත ලිපි ගොනු සියල්ල අධ්‍යයනය කළ කවීන් අවසාන ලිපි ගොනුව ද වසා දැමුවේය. කාර්යාලයෙන් බැහැරව ගිය අමර් පැමිණ ඔහුගේ අසුන මත හිඳ ගත්තේ සිනාසෙමිනි.

“මොකද අමර්?”

කවීන් ඇසුවේ කුතුහලයෙන් යුතුවය.

“අරහෙ එකම ගිනි විජ්ජුම්බරයයි සර්. දික්කසාද නඩුවකට මොනාලි මැඩම් හම්බ වෙන්න ආව ගෑනු කෙනා පස්සෙන් මිනිහත් ඇවිදින්. දෙන්නා එළියෙ මරා ගත්තෙ නැතිව විතරයි. මිනිස්සු වටවෙලා බලාගෙන ඉන්නවා. ඩ්‍රාමා එකක් බලනවා වගේ.”

“මොනාලි මැඩම් තව ඇවිත් නැද්ද අමර්?”

“නෑ. අද එන එකක් නෑ කියලා අර අංගනාව කිව්වෙ.”

අමර් ‘අංගනාව’ යනුවෙන් හඳුන්වන්නේ මොනාලිගේ ලිපිකාරිණිය වන ජීනාය. ජීනාගේ ගති පැවතුම් වලට ප්‍රිය නොකරන අමර්, ඇතැම් අවස්ථා වල ඇය සමග ගැටෙන බව දිනක් මොනාලි පවසා සිටියේ සිනාසෙමිනි.

“ජීනා  හිතාගෙන ඉන්නෙ සර් එයා තමයි ලෝයර්. මොනාලි මැඩම් ඒකිගෙ ක්ලාක් කියලා.”

බොහෝ අවස්ථා වල අමර් පවසන්නේ ජීනා කෙරෙහි තරහෙනි. නවීන විලාසිතා කර පින්නා ගත්තද, ජීනා ඇගේ වැඩ කටයුතු හරියාකාරව ඉටු කරන බව මොනාලි පවසන බව කවීන්ට සිහිපත් විය.

“අනේ මන්දා සර්. මේ ගෑනුන්ට මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා.”

ලිපි ගොනුවක් අතට ගත්තද, පිටත සිදු වූ සිදුවීම අමර්ගේ සිත මොන තරම් නම් කැළඹීමට පත් කොට ඇත්දැයි කවීන් කල්පනා කළේය.

“රටට ලෝකෙට ණය වෙලා මහා ලොකුවට වෙඩින් එක ගන්නවා. මාසයක් යන්නත් කලින් දෙන්නා රණ්ඩු. ඔය ඇවිත් හිටිය ජෝඩුවත් තරුණ ජෝඩුවක් සර්. කසාද බැඳලා මාස හයක්වත් යන්න නැතිව ඇති.”

අමර් දිගටම පවසන්නේ සිත් වේදනාවෙන් යුතුවය.

“දෙන්නා ගැලපෙන්නෙ නැත්නම් එක්කෙනෙක් අනිත් කෙනාට ගැලපෙන්න ජීවත් වෙන්න ඕන. එහෙමත් නැත්නම් වෙන් වෙන්න ඕන. රණ්ඩු වෙවී එක ගෙදර ජීවත් වෙන එක තරම් දඬුවමක් තවත් තියෙනවද?”

“ඒක ඇත්ත සර්. ඒ වුනාට පොඩ්ඩ බැරිවෙනකොට ඩිවෝස් වෙන එක දැන් විලාසිතාවක් වෙලානෙ. එහෙමනම් සර් මම මගේ වයිෆ්ගෙන් ඩිවෝස් වෙන්න ඕන මීට සෑහෙන කාලෙකට කලින්.”

තම විවාහ ජීවිතයේ අඩුලුහුඬුකම් අමර් තමා සමග පවසා සිත සැහැල්ලු කරගන්නා බව කවීන් දැන සිටියේය. බිරිඳගෙන් තම මවට සිදුවන තාඩන පීඩන පිළිබඳව ඔහු පසුවන්නේ වේදනාවෙනි.

“මිනිස්සු වුනාම සියයට සියයක් ගැලපෙන්නෙ නෑ අමර්. ගලපාගෙන ජීවත්වෙනවා මිසක්.”

කවීන් පැවසුවේ සිත බොහෝ දුරක තබාගෙනය. තමාගේත්, සුහර්ෂාගේත් ජීවිත පිළිබඳව සිතා බලද්දී සුහර්ෂා වැනි දැඩි ගති පැවතුම් ඇති ගැහැනියක සමග ජීවත්වීම සඳහා තමා විසින් කරනු ලබන කැපවීම කෙතරම්ද? ඇය නරක ගැහැනියක නොවේ. නීතිගරුක පොලිස් නිලධාරියකු වන සුහර්ෂාගේ පියාගේ දැඩි ගති ස්වභාවය ඇයට ද නොඅඩුව පිහිටා ඇති බව විවාහයට පෙර ද ඇගේ මව පවසා සිටි බව කවීන්ට සිහිපත් විය. තමා විසින් කරනු ලබන සේවයට උපරිමයෙන්ම කැප වී සිටින සුහර්ෂා අතින් තමාට සහ දරුවන්ට සිදු විය යුතු යුතුකම් මග හැරෙන බව සැබෑවකි. එසේ වුව ද මේ දක්වාම විවාහ ජීවිතය නොබිඳී පවත්වා ගැනීමම එක් අතකින් ජයග්‍රහණයක් නොවේද?

“සර්…”

තම සිත බොහෝ දුර ගොස් තිබූ බව කවීන්ට හැඟී ගියේ අමර් තමා අමතන හඬ ඇසෙද්දීය.

“දන්නවද සර්? මොනාලි මැඩම්ගෙ එක්කෙනා ලංකාවට ඇවිත්ලුනෙ.”

අමර් පැවසූ ආකාරයට කවීන්ට සිනා පහළ විය. 

“පහුගිය දවස් වල මා එක්ක කිව්වෙ.”

“ඒකතමයි එහෙනම්. නිවාඩු දාගෙන දෙන්නා එක්ක සවාරි යනවා ඇති.”

“හ්ම්…”

“මොනාලි මැඩම් නැති දවසට සර්ට තමයි පාලු.”

අමර්ගේ දෙනෙත් හා කවීන්ගේ දෙනෙත් හමු විය. වරදකාරී හැඟීමෙන් යුතුව කවීන් ඉවත බලා ගත්තේය. මොනාලි සහ තමා අතර පවතින මිත්‍රත්වය මිතුරු නීතීඥවරුන් මෙන්ම ඔහු ද වරදවා වටහා ගෙන ඇති සේය.

“ඒක වරදවා වටහා ගැනීමක්ම නෙමෙයි. අපි දෙන්නා මිත්‍රත්වයෙන් ටිකක් එහාට යන්න ගිය ගමනක්… එක අතකට එහෙම වෙන්න කලින් ශේඛර් ආව එක හොඳයි.”

ඔහු කල්පනා කළේය. 

“මොනාලි මැඩම් කසාද බඳින්න යනවා කියලා අර අංගනාව කියන්නෙ සර්.”

“ඒක එහෙමම වෙන්න ඕනනේ අමර්. ඒකෙ ඇති වරදක් නෑ.”

“ඇත්ත සර්. නිසි වයසෙදි මිනිස්සු විවාහ වෙන්න ඕන.”

අමර් ලිපියක් ටයිප් කරන්නට පටන් ගත්තේය. කවීන් වීදුරු ජනේලයෙන් එපිට බලාගෙන සිටියේය. නීලවර්ණ අහස් තලයෙහි එකදු වලාකුළක් හෝ දක්නට නොමැති යයි ඔහුට සිතිණ.

“සර්…”

අමර් සිය කාර්යය මොහොතක් නතර කළේය.

“ඒගමන මොකද අමර්?”

“සර්ගෙ පුතා ඇක්ට් කරන ටෙලි ඩ්‍රාමා එකක් ඊයෙ රෑ මං බැලුවනෙ.”

“මගේ පුතා?”

“ඇයි සර් දන්නෙ නැද්ද? හුරුපුරුදු මූණක් නිසා බැලුවෙ. රඟපෑම් නම් සර් කියලා වැඩක් නෑ. සම්මාන හම්බ වෙනවා ෂුවර්.”

“මොකක්ද ඩ්‍රාමා එක?”

කවීන් ඇසුවේ උනන්දුවෙනි.

“නම නම් මතකයක් නෑ සර්. අටහමාරට යන එක. මං ඩ්‍රාමාස් බලන මිනිහෙක් නෙමෙයිනෙ. අපේ ගෑනි මොකක්ද මේ ඇලීගෙන බලන්නෙ කියලා බලද්දියි මං ඒක දැක්කෙ.”

කවීන්ගේ මුවග සිනාවක් මතු වූයේ අමර් පැවසූ වදන් වලට නොවේ. නිවසින් පිටව ගිය තම පුතු මලීෂ කලා කටයුත්තකට සම්බන්ධ වීම නිසා ඇති වූ සතුට නිසාය. තම නිවසෙහි රූපවාහිනිය  ඉඳහිට නරඹන්නේ රංජනී පමණකි. අද රාත්‍රියට නොවරදවාම රූපවාහිනියේ විකාශය වන නාට්‍යය නැරඹිය යුතුයයි ඔහු සිතා ගත්තේය.

කවීන්ගේ ජංගම දුරකතනය නාද වන්නට විය. ඔහු දුරකතන තිරය දෙස බැලුවේය. නොහඳුනන අංකයකින් ඔහුට ඇමතුමක් ලැබෙමින් තිබිණ. 

                                                  *

ආරාධ්‍යා කාමරයෙන් පිටව පියගැට පෙළ බසින්නට වූයේ උදාසීන සිතිනි. උදෑසන නොතිබූ හිසරදයක් ඇයට සැබෑවටම දැනෙමින් තිබිණ. ආයුෂ් තමා හමු වීමට පැමිණ සිටින බව රංජනී පැමිණ පැවසූ මොහොතේ සිතට සතුටක් දැනුන ද, ඒ හා සමගම සිතට කිසියම් බර ස්වභාවයක් දැනෙන්නේ මන්දැයි ඇයට සිතා ගත නොහැකි විය.

“වෙන හේතුවක් නෙමෙයි. හසිත් නිසා. මම හිටිගමන් නිහඬ වුනු නිසා හසිත් මොනවා හිතනවා ඇත්ද?”

ආරාධ්‍යා සිතිවිල්ලේම පහත මහලට පිවිසියාය. විසිත්ත කාමරයේ පසෙක වූ බිතු කැටයම දෙස නෙත් හෙළාගෙන සිටි ආයුෂ්, ආරාධ්‍යාගේ පියවර හඬ ඇසී හැරී බැලුවේය.

“ආරා…”

ඔහුගේ ඇමතුම ඇගේ සිත තුළ ඇති කරන ලද්දේ තිගැස්මකි.

“මම බලා හිටියෙ මේ මියුරල් එක දිහා. මේකෙ ඔයත් ඉන්නවා. අපේ අම්මත් ඉන්නවා. මම දන්න කියන ගෑනු අය හැමෝම ඉන්නවා.”

ආරාධ්‍යාට ඔහු පැවසූ වදන් නොවැටහිණ. ඇය උවමනාවෙන් බිතු කැටයම දෙස බැලුවාය. කාන්තා රූප ගණනාවකින් යුක්ත වූ මෙහි ඔහු තමා දුටුවේ කෙසේදැයි ඇය කල්පනා කළාය.

“මං කිව්වෙ… කාන්තාවකගෙ සෙනෙහස… කාරුණිකබව… ආදරය… වෛරය… ඊර්ෂ්‍යාව… හැම  හැඟීමක්ම මේ කැටයමෙන් පේනවා කියන එකයි. හරිම අපූරු නිර්මාණයක්…”

“ගෙදරට එන ගොඩක් අය ඒක කියනවා.”

ආරාධ්‍යා පැවසුවාය.

“ඇයි මේ මූණ මැලවිලා?”

සෝෆාව මත හිඳ ගත් ආයුෂ් ආරාධ්‍යාගේ මුහුණ දෙස විපරමෙන් බැලුවේය.

“ටිකක් හිසරදේ.”

ආරාධ්‍යා නළළ මිරිකා ගත්තාය.

“ගෑනු ළමයි බොරුවටත් හිසරදේ කියලා කියනවා. වෙන ප්‍රශ්න හිතේ හංගගෙන.”

“ඔයා කොහොමද දන්නෙ?”

ආරාධ්‍යාට ඉබේටම ඇසිණ.

“ඇයි මගේ අක්කා? එයත් ඒ කාලෙ එහෙම තමයි. මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නකොට ඇහුවම කියන්නෙ ඇත්ත කාරණේ නෙමෙයි. හිසරදේ කියලා.”

“මට එහෙම ප්‍රශ්නයක් නෑ.”

ආරාධ්‍යා සිනාසෙන්නට උත්සාහ කළාය.

“හරි. මං ආවෙ ඇයි කියලා දන්නවද? හෙට මාත් එක්ක ගමනක් යමු කියලා කියන්න.”

ආරාධ්‍යා ආයුෂ්ගේ මුහුණ දෙස විපරමෙන් බැලුවාය. එක් දිනක් පමණක් දැක ඇති, එහක් දිනක් පමණක් කතා කර ඇති මොහු තමා සමග ගමනක් යාමට ආරාධනා කර සිටින්නේ කෙතරම් නිර්භය ලෙසින්දැයි ඇය සිතුවාය.

“බය වෙන්න එපා. මං අංකල්ටත් කෝල් එකක් දුන්නා. අංකල්ගෙන් අවසර අරන් තමයි මං ඔයාට කතා කරේ. අංකල් කැමතියි අපිත් එක්ක යන්න. මොකද කියන්නෙ යමුද?”

“ගමන මොකක්ද කියලා දන්නෙ නැතිව ඒකට උත්තරයක් කියන්න බෑ.”

ආරාධ්‍යා පැවසුවාය.

“ඒක හරිම සුබ ගමනක්. ඔයාටත් වැදගත් වේවි කියලයි මං යමු කිව්වෙ. හෙට ප්‍රින්ටින් මැෂින් එකක් බලන්න යමු කියලා මං අංකල්ටත් කිව්වා.”

“ප්‍රින්ටින් මැෂින් එකක්?”

ආරාධ්‍යා ඇසුවේ විස්මයෙනි. 

“ඔව්. මං කිව්වෙ පබ්ලිකේෂන් එකක් පටන් ගන්නවා කියලා. හිත හිතා ඉන්න පුරුද්දක් මගේ නැහැ. ඉක්මනටම ක්‍රියාවේ යොදවනවා මිසක්.  බිල්ඩින් එකකුත් බලලා තියෙන්නෙ.”

“සතුටුයි. ගොඩක් සතුටුයි.”

ආරාධ්‍යා පැවසුවේ සැබෑ සතුටින් යුතුවය.

“මං ඊයෙ රෑ අම්මත් එක්කත් කතා කරා. අම්මා කියනවා මං ඉන්නෙත් ලෙඩින්නේ. ඉක්මනටම  ඒක පටන් ගන්න කියලා. අම්මා තව දේකුත් කිව්වා ආරා.”

“ඒ මොකක්ද?”

“පබ්ලිකේෂන් එක පටන් ගන්නවා වගේම ඉක්මනටම වෙඩින් එකත් ගන්න ඕන කියලා.”

“ඒක හොඳයි.”

ආරාධ්‍යාට කියවිණ.

“අම්මව සතුටු කරන්න. ඔයා ඒ ගැන ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරාද?”

“ම්… තව නෑ.”

ආයුෂ් දෑස් කුඩා කර සිනාසුනේය.

“මොකද තවම එහෙම කෙනෙක් නෑ කතා කරන්න. ඒකයි මං ආරා එක්ක ඒ ගැන කිව්වෙ.”

“මං කපුකම් කරන්නෙ නෑ.”

ආරාධ්‍යා සරදම් කළාය.

“ඒක තමයි. මං හිතාගෙන ඉන්නෙ මගේ මැච් මේකර් වැඩේ මමම කරන්නම් කියලා. ඒකනෙමෙයි. හෙට උදේ අපි යමුද එහෙනම්?”

“මම තාත්තගෙන් අහලා කියන්නම්.”

“මම අංකල් එක්ක කතා කරා කියලා කිව්වනේ.”

“එහෙමනම් යමු.”

ආරාධ්‍යා පැවසුවේ සතුටිනි. කුඩා කාලයේ සිටම, මුද්‍රණ කර්මාන්තය පිළිබඳව හසරක් නොදැන සිටියද ඇය මුද්‍රණ කර්මාන්තයට ඇලුම් කළාය. කඩදාසි වල සුවඳ මෙන්ම තීන්ත සුවඳ පවා සිත තුළ ඇති කරන්නේ නැවුම් හැඟීමකි. කුඩා වියේදී පාසලෙන් ගිය අධ්‍යාපන චාරිකාවදී ලංකාවේ ප්‍රසිද්ධම පුවත්පත් ආයතනයකට ගිය ගමන කිසිදිනෙක අමතක නොවන ගමනකි. එහිදී පුවත්පතක් මුද්‍රණය වන ආකාරය දෙස බලා සිටිද්දී ඇති වූ හැඟීම මේ දැන් පවා දැනෙන්නාක් මෙනි. එහිදී දැනුන කඩදාසි වල සහ තීන්ත වල සුවඳ මෙතරම් කාලයක් ගත වී ඇතත් තවමත් සිත තුළ ශේෂ වී ඇත්තේ පුදුමාකාර ලෙසිනි.

“මොකද කල්පනාව?”

ආයුෂ්ගේ කටහඬ ඇසුණු ආරාධ්‍යා කල්පනා ලොවින් මිදුනාය.

“අපි ඉක්මනටම පබ්ලිකේෂන් එක පටන් ගනිමු. ලොකු ආසාවක් තියෙනවා ඔයාගෙ පොත් කරන්න.”

“තෑන්ක් යූ.”

ආරාධ්‍යා පැවසුවාය.

“එහෙමනම් මම යන්නද?”

ආයුෂ් නැගිට්ටේය.

“එපා. ඉන්න මම රංජනීට කියන්නම් අපට බොන්න මොනවා හරි ගේන්න කියලා.”

ආයුෂ් යළිත් හිඳගත්තේය. ආරාධ්‍යා නැගිට ගෙතුළට ගියාය. රංජනී ඒවනවිට ඇගේ නාන කාමරය පිරිසිදු කිරිමේ නිරතව සිටියෙන් ආරාධ්‍යා තමා සහ ආයුෂ් වෙනුවෙන් තේ පිළියෙල කරන්නට වූයේ සතුටින් පිරුනු සිතින් යුතුවය.

                           

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles