සිහින අසපුව – 24 කොටස

හසිත් ඔහුගේ කාර්යාලය දෙසට පිය නැගුවේ කල්පනාවෙන් බර සිතින් යුතුවය. උදෑසනින්ම ආයතනයේ මිදුල අමදින සේන තමාට සුබ උදෑසනක් පැතූ බව ඔහුට සිහිපත් වූයේ පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළ පසුවය. හසිත් නතර වී හැරී බැලුවේය. සේන තමා දෙස බලා සිටින අයුරු දුටු ඔහු ආපසු හැරී ඔහු වෙත පැමිණියේය.

“ගුඩ් මෝනින් සර්.”

සේන දෙවන වතාවටත් පැවසුවේය. 

“මෝනින්. මං වෙන කල්පනාවක හිටියෙ සේන. සොරි.”

“කවුරු කොහොම වෙතත් සර් කවදාවත් එහෙම නොකරන නිසා මට කණගාටු හිතුනා. සර් අද උදෙන්ම?”

“උදෙන් ඇහැරුණ නිසා උදෙන් වැඩ පටන් ගන්න හිතුවා සේන.“

“ඒක හොඳයි. මං සර්ට කාරණාවක් කියන්නමයි උන්නෙ.”

ඉදල පසෙක තැබූ සේන හසිත් වෙත වඩාත් ළං විය.

“අර මහත්තුරු සර්ට කතන්දර කියනවා.”

සේන පැවසුවේ වේදනාවෙනි.

“මොන මහත්තුරුද?”

“දේවක මහත්තයයි චන්දන මහත්තයයි… රට යන ලිස්ට් එකෙන් සර් ඒගොල්ලන්ගෙ නම් කැපුවා කියලා ඊයෙ රෑ එකම යුද්ධයයි. මහ රෑ සර්ට ගහන්න යන්න කතා වෙද්දි වරුණ සර් තමයි යන්න දුන්නෙ නැත්තෙ.”

“ගහන්න? මට ගහන්න?”

හසිත් ඇසුවේ තරහෙනි.

“ඇවිත් ගහලා යනකම් මම බලා ඉඳීවි. මෙහෙම හිටියට මං කවුද කියලා ගහන්න ආව දවසට මං පෙන්නන්නම්.”

සේන බලා සිටියේ විමතියෙනි. මෘදු ස්වභාවයක් දක්වන ප්‍රසන්න තරුණයකු වූ හසිත් කෙරෙන් හිටිහැටියේම මතු වූ දඩබ්බරයා ඔහු සිත තුළ ඇති කළේ සතුටකි.

“ඒ මහත්තුරු හිතාගෙන ඉන්නෙ ඒගොල්ලො කෙරුමො කියලනෙ සර්. කාගෙන් හරි පාඩමක් ඉගෙන ගත්ත දවසට දැන ගනීවි තමුන් කවුද කියලා.”

ආයතන මිදුලේ රටාවකට වවා තිබූ මල් පඳුරු වලට සේවිකාවක් වතුර ඉසින ආකාරය හසිත් දුටුවේය. දුරින් සිටියද හසිත් දෙස බලා හිස නමා ආචාර කළ ඇය සිය කාර්යයෙහි දිගටම නිරත වූවාය.

“සර් කලබල වෙන්න එපා. ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි කියනවනේ. වෙන මුකුත් නෙමෙයි. ඉරිසියාව. පිරිමි ඉරිසියා කරන්න ගත්තම කරන්නෙ මොනවද නොකරන්නෙ මොනවද කියලා දන්නෙ නෑ. පරෙස්සමෙන් සර්. ඔය කට්ටිය රෑ තිස්සෙ කරන්නෙ අනුන්ට පද හද හදා කයිවාරු ගහන එක තමයි සර්.”

“මං යනවා. සේන ඔය වැඩේ කරන්න.”

හසිත් ඉදිරියට පිය නැගුවේ කෝප සහගත සිතින් යුතුවය. ආයතනයේ කිහිප දෙනෙක්ම මැඩම් සුහර්ෂා සම්බන්ධ කොට පවසන නින්දා සහගත වදන් ඔහුට අරුමයක් නොවීය. ඇතැමෙක් රහසිගතව ඒවා තැන් තැන් වල හිඳ සාකච්ඡා කරන්නට ඇතත් සහකාර මුදල් කලමනාකරු වන වරුණ ඒවා තම මුහුණටම පවසන්නේ කිසිදු පැකිළීමකින් තොරවය. 

“ජරා මිනිස්සු. උගත්කම තියෙන්නෙ සහතික වල විතරයි.”

ඔහුට සිතිණ. ඒවනවිට හසිත්ගේ කාර්යාලය පිහිටා තිබූ ශාලාවේ දොරවල් විවෘත කර නොතිබිණ. ආයතයේ සියලු ගොඩනැගිවලි වල දොරවල් විවෘත කරන්නේ උදෑසන අටට ආසන්නවය. ඔහු ඒ මේ අත සක්මන් කරන්නට විය.

“ගුඩ් මෝනින් හසිත්.”

සුහර්ෂාගේ කටහඬ ඇසුණ ඔහු හැරී බැලුවේය. ඇය අද මෙතරම් උදෑසනින් පැමිණ ඇත්තේ මන්දැයි එක්වරටම ඔහුට කල්පනා විය.

“ගුඩ් මෝනින් මැඩම්.”

“මට අද වෙනදට වඩා උදෙන් එන්න හිතුනා. ඔෆිස් එක පැත්තට යද්දියි සේන කිව්වෙ හසිත් සර් මේ පැත්තට ආවා කියලා.”

මෙරූන් පැහැති කපු සාරියකින් සැරසී සිටින සුහර්ෂා කෙරෙන් නික්මුනේ ඇගේ සුපුරුදු විලවුන් සුවඳයි. දරු තිදෙනෙකුගේ මවක වුව ද, ඇය හඳින පළඳින විලාශය සහ ඇගේ සුන්දරත්වය  ඇගෙන් වැටුප් ලබන සේවක සේවිකාවන්ගේ දෝෂ දර්ශනයට ලක් වන්නේ මන්දැයි හසිත් කල්පනා කළේය.

“කුහකකම… ඊර්ෂ්‍යාව… හොඳින් ජීවත් වෙන කෙනෙක් දිහා බලලා සතුටක් ලබන්න බැරිකම…”

ඔහු සිතුවේය.

“අද උදෙන්ම තාත්තයි දුවයි ගමනක් ගියා. මටත් ගෙදර ඉන්න බෑ කියලා හිතුනා. ඒකයි කලින් ආවෙ.”

සුහර්ෂා පැවසුවාය. සුහර්ෂා මැඩම්ගේ සැමියා ආරාධ්‍යා ද කැටුව ගිය ගමන කුමක්දැයි දැන ගැනීමේ සිතක් ඇති වුව ද හසිත් නිහඬව සිටියේය.

“හස්බන්ඩ්ගෙ යාලුවෙක්ගෙ පුතෙකුට ප්‍රින්ටින් මැෂින් එකක් බලන්න කියලා කොළඹ ගියා.  හසිත් තේ බීලද ඉන්නෙ?”

“ඔව් මැඩම්. ටී එක අරන් ඇවිත් දොරට තට්ටු කරද්දියි ඇහැරුණේ.”

“හරි. එහෙමනම් හසිත් අපේ ගෙදර ගිහින් බ්‍රෙක්ෆස්ට් අරගෙන එන්න. මං රංජනීට කිව්වා කොළ කැඳ හදලා තියන්න කියලා.”

සුහර්ෂා පියවරක් දෙකක් ඉදිරියට ගමන් කළ ද ආපසු හැරී ආවාය.

“විහාරා තවම ගෙදරද එළියට ගියාද දන්නෙ නෑ. විහාරා ඉන්නෙ හැමදේමත් හැමකෙනාමත් එක්ක තරහෙන්. හදිසියේවත් මොනවා හරි කිව්වොත් ඇහුනෙ නෑ වගේ ඉන්න. තව දෙයක් හසිත්…”

සුහර්ෂා වටපිට බැලුවාය. උදෑසනට ගොඩනැගිලි විවෘත කරන රත්නම් යතුරු ද රැගෙන කඩිනමින් දිව එන අයුරු ඇය දුටුවාය.

“මේකෙ ඉන්න එකෙක් මෙතන සිද්ද වෙන හැමදේම විහාරට කියනවා. දන්නවනෙ විහාරගෙ හැටි. කටු අත්ත වගේ පැටලෙන්නමයි බලාගෙන ඉන්නෙ. මං හසිත්ට කාර් එකක් අරන් දුන්නා කියලා ඊයෙ මා එක්කත් පැටලුනා.”

සාමාන්‍ය ස්වරයෙන් පැවසුවද, සුහර්ෂාගේ වදන් වල වූ වේදනාව හසිත් හැඳින්නේය.

“ඒ ළමයි ජීවිතේ ගැන බරක් පතලක් නොදන්න ළමයි. මගෙන් කාලා මගෙන් පඩි අරගෙන මගේ පවුලත් සුණු විසුනු කරන්න සැලසුම් හදන එවුන් මේකෙ ඉන්නවා හසිත්.”

හසිත් කිසිවක් නොපැවසුවේය. ආයතනයේ සිදුවන සිදුවීම් විහාරාට වාර්තා කරන්නේ කවරෙක්දැයි නොදන්නා නමුත් ඔහුට එක්වරම මතකයට නැගුණේ වරුණ ය.

“මේ කේලම්කාරයා කවුද කියලා හොයා ගන්න හසිත් මට උදව් කරන්න ඕන. කිසිම සමාවක් නෑ. එවේලෙම අස් කරනවා. උන් පිළිල… පිළිලයක් දැක්ක ගමන් කපලා ඉවත් කරනවා මිසක් තියාගන්නෙ නෑනෙ. හරි හසිත්. කෝකටත් ටිකක් වෙලා ගිහින් යන්න. සමහරවිට විහාරා කලින් ගෙදරින් යාවි.”

සුහර්ෂා පිටව යන දෙස හසිත් බලා සිටියේය. 

වරුණ, කෙදිනක හෝ විහාරා පිළිබඳව කිසිවක් පැවසුවේදැයි කල්පනා කළ ද, ඔහුගේ මතකයට කිසිවක් නොනැගිණ. ප්‍රේමය නිසා සිත රිදවාගෙන සිටින විහාරා පිළිබඳව සියලු තොරතුරු ඔහු දැන ගත්තේ ආරාධ්‍යාගෙනි. විහාරාගේ බිඳුනු සිත අතකොලුවක් කරගෙන ඉන් වාසි ගන්නට සැරසෙන කිසිවෙක් ආයතනය තුළ ඇත්නම් ඔහු පිළිබඳව අනිවාර්යයෙන්ම සුහර්ෂාට පැවසිය යුතු යයි හසිත්ට සිතිණ. 

“බොර දියේ මාලු බාන උන්… කේලම් කිය කියා විහාරා මිස්ගෙනුත් වාසි ගන්න හදනවා වෙන්න ඇති.”

රත්නපාල දොරවල් විවෘත කළ පසු හසිත් සිය කාර්යාලය දෙසට පිය නැගුවේ කල්පනාවෙනි.

                    *

ආයුෂ්ගේ මෝටර් රථයෙහි ඉදිරිපස කවීන් හිඳගෙන සිටි අතර පසුපස අසුනේ ආරාධ්‍යා හිඳගෙන සිටියාය. ගමන ආරම්භ වු මොහොතේ සිටම කවීන් සහ ආයුෂ් අතර සිදුවන කතා බහ ආරාධ්‍යාට අසා සිටීම නිරස වූයෙන් ඇය මෝටර් රියේ කවුළුවෙන් පිටත බලා සිටියාය. රටේ වර්තමාන තත්වය, දේශපාලනය පිළිබඳව ආරම්භ වූ කතා බහ දැන් මුද්‍රණ කර්මාන්තය දෙසට යොමු වී තිබේ.

“නිදිද ආරා?”

එක්වරම යන්තමින් හිස හරවා බැලූ ආයුෂ් ඇසුවේය. ආරාධ්‍යා මඳ සිනා පෑවාය. 

“නිදි නෑ. මං වටපිට බල බලා ආවෙ.”

ඇය පැවසුවාය.

“ඒගොල්ලන්ට මේ කතා බහ අල්ලන්නෙ නෑ පුතා. පොතක් ගැන පූසෙක් ගැන කතා කරන්න ගත්තොත් ආයුට බේරෙන්න බැරිව යාවි.”

පසුපස හැරී බැලූ කවීන් සරදම් කළේය. 

“ඇත්තම තමයි තාත්තෙ. අපි එද්දි බ්ලැක් ෂූස් පේන්නවත් හිටියෙ නෑ.”

ආරාධ්‍යා පැවසුවාය.

“ඔය මං කිව්වෙ…”

කවීන් හඬ නගා සිනාසුනේය. ආයුෂ් ද ඔහු අනුව සිනාසුනේය.

“අපේ අක්කා වුනත් එහෙම තමයි අංකල්. වයසට ගියා වුනත් අම්මත් තවම එහෙම තමයි. මෙච්චර අසනීපෙන් හිටියා වුනත් කන්නෙ බොන්නෙ කිටීට කන්න දුන්නද කිරි දුන්නද කියලා අහලා.”

“මට මතකයි. ඉස්සර පුතාලගෙ ගෙදර මං යන කාලෙ පූසියක් හිටියා දිළිසි කියලා. තාත්තා විහිලු කරනවා අම්මගෙ පොඩි දුව දිළිසි කියලා.

“අංකල්ට හැමදේම මතකයි.”

“හැමදේමත් නෙමෙයි. අතීතය මතකයි. දැන්නම් අමතකවීම් වැඩියි. අද උදෙත් කණ්ණාඩිය නළලෙ දාගෙන කණ්ණාඩිය හෙව්වා.”

ආරාධ්‍යා මඳ සිනාවෙන් යුතුව පියාගේ සහ ආයුෂ්ගේ කතාබහට සවන් දී සිටියාය. 

“කොහොමද ආරා දැන් නවකතාවෙ වැඩ?”

ආයුෂ් යළිත් හැරී බැලුවේය.

“මේ දවස් වල නම් ලියන්න වුනේ නෑ. සමහර දවස් වලට කම්මැලි හිතෙනවා.”

“එහෙම කම්මැලි වෙලා බෑ. ලියන්න. අක්කා කෝල් කළ වෙලාවෙ මං කිව්වා ආරා නවල් එකක් කියනවා කියලා. පබ්ලිෂ් කරපු ගමන් මට එවන්න කියලා අක්කා කියනවා.”

“මම එච්චර ලස්සනට ලියන කෙනෙක් නෙමෙයි.”

ආරාධ්‍යා ලජ්ජාශීලී ලෙසින් පැවසුවාය.

“ලස්සනද නැද්ද කියලා තීරණය කරන්නෙ කියවන අය මිසක් ලියන කෙනා නෙමෙයි ආරා.”

“පුතා කියන්නෙ පුතාගෙ පබ්ලිකේෂන් එක පටන් ගත්තම ඉස්සර වෙලාම පබ්ලිෂ් කරන්නෙ ආරාධ්‍යාගෙ නවල්ස් කියලා.”

කවීන් පැවසුවේය. පෙර දිනයක ආයුෂ් එසේ පැවසූ බව ආරාධ්‍යාට ද සිහිපත් විය.

“දැන් පුතා කළම්බු වල තැනක් බලලද තියෙන්නෙ ප්‍රෙස් එක පටන් ගන්න?”

“ඔව් අංකල්. කිරුළපන හරියෙ තැනක් හම්බ වුනා. අපි අද ඒකත් බලන්න යමු.”

“කුරුණෑගල ඉඳලා එන යන වැඩේ කරන්න බෑනෙ පුතා. වැඩ පටන් ගන්න තුරු අපේ ගෙදර නවතින්න.”

ආරාධ්‍යා තිගැස්සුනාය. ආයුෂ් තම නිවසෙහි නතර වීම පිළිබඳව ඇය තුළ වූයේ අකැමැත්තකි. එයට හේතුව නිශ්චය වශයෙන් සිතා ගැනීමට නොහැකි වුව ද අම්මාගේ ආධිපත්‍යය නිසා ඇයත් විහාරාත් අතර ඇතිවන ප්‍රශ්න පිටස්තර අයකු දැනගැනීම පිළිබඳව ඇය තුළ වූයේ බියකි.

“එහෙම හරි නෑනෙ අංකල්. මං හොටෙල් රූම් එකක ඉන්නම්. උදව්වක් ඕන වෙලාවට මං අංකල්වයි ආරාවයි එක්ක යන්න එන්නම්.”

කවීන් මඳ සිනාවෙන් යුතුව ආරාධ්‍යා දෙස හැරී බැලුවේ ආයුෂ් ‘ආරා’ යනුවෙන් ඇමතීම නිසා විය යුතුය.

“තාත්තා කියනවා ඉක්මනින් පබ්ලිකේෂන් එක පටන් ගන්නලු. අංකල් හැම සහයෝගයක්ම දේවි කියලා තාත්තා විශ්වාසෙන් ඉන්නෙ.”

“ඒක එහෙමම වෙයි පුතා. ඒ ගැන වද වෙන්න එපා.”

“මම කිව්වා. තාත්තා කියනවා ඒ ඇන්ඩ් ඒ පබ්ලිකේෂන්ස් කියලා පටන් ගන්නලු.”

“ඒ ඇන්ඩ් ඒ?”

කවීන් ඇසුවේ විමතියෙනි.

“ඔව් ආයුෂ් ඇන්ඩ් ආරා… ඒ ඇන්ඩ් ඒ…”

“ආරාධ්‍යාට ඒ ගැන අවබෝධයක් නැති වෙයි පුතා නම දාගත්තට.”

කවීන් පැවසුවේ ආඩම්බරයෙනි.

“කොච්චර දිග ගමනක් යන්න වුනත් පළමු පියවර තියන්න එපායැ අංකල්. ආරාධ්‍යා හෙමින් ඉගෙන ගනීවි. මට විශ්වාසයි ඒක.”

“හොඳයි පුතා. මම සුබ පතනවා ඔය දෙන්නටම.”

ආරාධ්‍යාගේ සිත ගැස්සිණ. හසිත්ගේ මුහුණ ඇගේ සිත තුළ මැවී පෙනිණ.

“මං කලබල වෙන්න ඕන නෑ. මේක බිස්නස් එකක් විතරයි.”

ඇය සිත හදාගන්නට උත්සාහ කළ ද, කුමක් හෝ නොවැටහෙන සිතිවිලි සමුදායක් සිත තුළ පෙරළි කරන බව ආරාධ්‍යාට දැනිණ.   

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles