“දැන් එක්සිබිෂන් එක බලන්න කවුද ගෙදරින් එන්නේ”
මානවී අතක පැටලෙන්නේ ආදරෙන්.මහන්සිය නිවන මැජික්මය සුළං රැල්ලකට තමයි මානවී කියන්නේ. අසයිමන්ට්, වයිවා, එක්සිබිෂන්, එක්සෑම් රිසල්ට්ස් එක්ක අම්මා වෙනුවෙන් කළ හැකි තවත් දෙයක් ඔලුවෙ හංගන් ඉන්න මට මානවීට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වුණාද..
“මේවා බලන්න ගෙවල් වලින් එන්න අපි බබ්බුද මානවී.අපි කැම්පස් එකේ දාන හැම වැඩක්ම බලන්න එයාලා එන්නම ඕනෙ කියලා ලියලා තිබ්බේ කොහෙද”
මානවී ආයෙම හිනා වෙනවා. මානවීට තියෙන්නේ එයාගේ අම්මගෙ හිනාව. මං මානවීගේ අම්මගෙ ඒ හිනාවට වෛර කරන්න ගත්තේ ලංකාවේ කැම්පස් එකක ඉගෙන ගන්නෙ නැතුව අක්කා ගාවට යන්න කියලා අපේ අම්මා මට යෝජනා කරපු දවසේ. අම්මයි මමයි ජීවිතේ මුල්ම වතාවට රණ්ඩු කරපු දවසේ. එදා අක්කා එළිවෙනකන්ම මට චැට් කළා. අන්තිමේදී බොහෝම සරලව ජීවිතේ දිහා බලන අප්පච්චි මට කියපු ලොකු කතාව මම අහන් හිටියේ කම්පනයෙන්. අම්මා වෛර කරන තැනකින් ජීවිතේ පටන් ගන්න අන්තිමට මං තීරණේ කළා. අම්මා වෙනුවෙන් මං මානවී කැම්පස් එකට එනකම් අවුරුදු හතරක්ම බලන් හිටියා.
“අම්මා කෙනෙක්ට හැමදාම තමන්ගේ දරුවෝ පුංචි. .එහෙම ලියන්නේ ඔයාගේ අම්මා අමෝද” මානවී කියන්නේ සිහින් හඬකින්.
“ඔයාලගේ අම්මා කාන්තා පත්තරේකට එහෙම ලියලා තිබුණා. දැන් ටික කාලෙකට කලින්” මානවී ආයෙමත් කියනවා.
“ඔයා අපේ අම්මා ලියන ඒවා කියවනවද?”
මට අහන්න තිබ්බේ එහෙම ප්රශ්නයක්.
“ඔව්.. මං පොඩී කාලෙ ඉඳන් ඔයාගෙ අම්මගෙ හැම පොතක්ම කියවනවා. එක දවසක් බුක් ශොප් එකකදී තාත්ති මට ඒ පොතක් පෙන්නලා කීවා ඒක ලස්සන පොතක් කියවන්න අරගන්න කියල”
ලොකු කතාවක් පටන් ගන්න හැම වතාවකදිම මානවී මගෙ ඇඟිලි එක්ක සෙල්ලමක් පටන් ගන්නවා.
“මං ඒක ගෙදර අරන් ගියාම අම්මා මට සැර දැම්මනේ මේ මොන විකාර පොතක්ද කියලා. තාත්තා අම්මට කිව්වා මට ඒක ඕනමයි කියල මං කියපු කතාවක්. අන්තිමට මං ආසම රයිටර් වුණේ ඔයාගේ අම්මා.. අම්මා මට බැන්නට මං දිගටම කියෙව්වා “
“ඔයාලාගෙ අම්මා මොකටද බනින්නේ” පැටලුම් ලිහා ගන්න ඕනෙ තැනකදි මඟ හරින්න මටත් හිතක් නෑ.
“සිංහල පොත් කියවනවට වෙන්න ඇති අනේ.. අපේ අම්මගෙ තියෙන්නේ එහෙම බොරු සෝබන. .” මානවී ෆෝන් එක දිහා බලාගෙනම කියවනවා..
“මං කියෙව්වට ඔයා ආන්ටී ලියන කිසි දෙයක් කියවන් නෑනේ”
මානවී අහන්නේ මගේ කම්මුලකට ඇඟිල්ලකින් අනින අතරේ.
“ඇහුණද කලු කොල්ලෝ.. නෑ නේද?”
“මං කියවනවා.. අනික මං කලු නම් අර ඉන්න සුදු කොල්ලෙක් සෙට් කරගන්නවකො ගිහින්”
“ඔයා කියවන්නේ නෑ.. දවසක් ආන්ටිමයි ටීවී ප්රෝග්රෑම් එකකදී කිව්වෙ.ඔයාවත් අංකල් වත් ඔය මොකුත් කියවන්නේ නෑ කියලා.ආන්ටිගෙ හොඳම පාඨකයා අක්කි කියලා. අනික මට කලු කොල්ලෙක් හොඳයි. ”
මානවී හරි විවෘත කෙල්ලක්. තව ටික කාලෙකින් මානවීගේ ජීවිතේ කොහොම වේවිද මට හිතා ගන්න බෑ..
“අම්මගේ හොඳම පාඨකයා අක්කා වෙන්න ඇති. අම්මගෙ ලොකු හීනයක් වෙනුවෙන් අක්කා ඇමරිකා ගියේ. එයා මේ රටට ඕනම කෙනෙක් වෙයි මානවී.ඉස්සරහට ඔයාට වුණත් ඕනෙ වෙන්න බැරි නෑ. ”
සමහර නොකියවිය යුතු දේවල් මගේ කටින් පනින හැටි නවත්තන්න මං ඉගෙන ගෙන නෑ. මං අප්පච්චි වගේම නිහඬ අප්පච්චි වගේම ටිකක් මෝඩ කොල්ලෙක් කියලනෙ අම්මා කියන්නෙත්.
“අක්කා ඉපදුණේ අම්මට වාසනාව අරන් කියලා අම්මා කියන්නේ. අම්මගේ පළවෙනි පොත අවුට් වෙලා තියෙන්නේ අක්කා ලැබෙන්න ඉද්දී, ඉතින් අක්කත් ඔය මොන ස්ටඩීස් තියාගෙන හරි ලියනවා. අම්මා වගේම තමයි.”
වැරදුණු කතාව මඟ හරින්න මං අක්කා ගැන කියන්න පටන් ගත්තේ.අක්කා.. ඔයාව ඉස්සරහට මානවීට උවමනාම වෙන්න බැරි නැහැ.
“ඔයා ලබන මාසේ කැම්පස් එකෙන් අවුට් වෙනවා කියලා හිතනකොට හරි දුකක් දැනෙනවා අමෝද. තාත්ති නම් කියන්නේ ඔයා හොඳ රටකට ගිහින් හයිස්ටඩීස් කරන එකයි හොඳ කියල”
මානවී.. ඔයාගේ තාත්තාගෙන් මං ඉගෙන ගත්තා තමයි. ඒත් අම්මා කියා දුන්නු රජ කතන්දරවල කුමාරයන්ට වගේ මටත් තියෙනවා ඔයාගේ තාත්තට ගුරු පඬුරු දෙන්න. මගේ අම්මා වෙනුවෙන්.
“අමෝද.. ඔයා තමයි තාත්තිගේ හොඳම ගෝලයා. ෆයිනල් එක්සෑම් රිසල්ට්ස් වලින් පස්සෙ තාත්ති එක්ක අපි ගැන කියනවද”
හැම කෙල්ලෙකුගෙම බලාපොරොත්තුව.මගේ අම්මත්..
” බැහැ.
මානවීගේ ඇස් බොර පාටට හැරෙන්නේ බලා ඉද්දී. මානවී දැන් තමයි සුදුසුම වෙලාව.
” මානවී.. මං දන්නවා ඔයාට මාව නැතුවම බෑ කියලා. මං නැති ජීවිතයක් ඔයාට හිතන්නත් අමාරුයි කියලා. ඒත් ඒකට සූදානම් වෙන්න මානවී. මං ඔයාව මැරි කරන්නෙ නැහැ.. නෙවර්”
මානවී ඉන්නේ සිහි එළවා ගන්න බැරිව. මං ඒක දන්නවා.
” ඔයා මෙන්ටලි වැටෙයි මානවී. ගොඩක් දුක් විඳීවි. මං දන්නව.ඔයා ඔයාගේ තාත්තගේ එකම දුව. එයාට ඔයාව බල ගන්න අමාරු වෙයි. සමහරවිට මගේ අක්කට psychiatrist කෙනෙක් හැටියට ඔයාට උදව් වෙන්න පුලුවන් වෙයි. කොහොමහරි ඔයා ඒ දුක දරා ගන්න.මං යනවා”
පැටළුණු නූල් බෝලයක් ලිහන්න අමාරුයි.මං මානවීට ඒ අන්තිම උදව්ව කරන්න ලෑස්ති.
“ඔයා මං වෙනුවෙන් ඒ දුක දරා ගන්න මානවී. මීට අවුරුදු ගාණකට කලින් මගේ අම්මා ඔයාගේ තාත්තා නිසා දරා ගත්තා වගේම.”
මානවී මං දිහා බලන්නේ අදහා ගන්න බැරි බැල්මකින්.
“මං අම්මා වෙනුවෙන් හරිම දේ කළා අම්මා”
මං ඇවිදගෙන එනගමන් හිතන්නේ එහෙම.
“පුතා..” අම්මා කොහෙද මෙහෙ.. නෑ ඒ හඬ මගේ හදවතින්මයි.
“ඔයා මේ ලෝකෙ හොඳම පිරිමියෙක්ටයි අප්පච්චි කිව්වෙ චූටි පුතා. ඔයාට තියෙන්න ඕන එයාගෙ ගතිගුණ.මානවීගේ තාත්තාගේ ගතිගුණ ඇයි ඔයා බලෙන් ඇති කරගන්න හදන්නේ”.
අම්මා මගේ හිත ඇතුළේ ඉඳන් අහන හැටි මට ඇහෙනවා.
මහ වැස්සක්. මානවී තවම අර ගහ ළඟ තෙමෙනවා ඇති.
මං වැස්සට ඉඩ හරිමින් මානවී හොයාගෙන යනවා.
“අතීත කතා වල නරකම තැන් ලස්සනටම අලුතෙන් ලියන එකයි ආදරේ “අම්මගේ පොතකින් අහුලගෙන අක්කා කියන වචන කිහිපයක් හිතේ තියාගෙනම.