“මට එයාට කියන්න ඕන මේ ජීවිත අවුල් කරන්න එයාලා ගාවට එන්න එපා කියලා. මං කැමති නෑ ඒකට.”
දුලන්‍යාට හැඬේ. විහස් ඇයට හඬන්නට දී බලා සිටියේ ය. සමහර අවස්ථාවල හඬන කෙනෙකු වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි ඔහු දන්නේ නැත. නමුත් බලා ඉන්නට අසීරු ද නොවේ. ඔහු අසා සිටින්නටත් වෙලාව දෙන්නටත් තීරණය කළේ ය.
“අම්ම කෙනෙක්ට ළමයි අතාරින්න කියන්න අපිට කිසිම අයිතියක් නෑ. ඒත් ඒ අම්මා ඒ ළමයි අත් ඇරලා හිටිය නිසා අපිට එහෙම රිස්ක් එකක් ගන්න අයිතියක් නැත්තෙත් නෑ.”
විහස් පැවසුවේ බොහෝ වෙලාවකට පසුව ය.
“අපේ අම්මා අයියවයි අක්කවයි අත් ඇරලානම් හිටියේ මේ හදිසියේ ආයේ එයාලා ළඟට යන එක විකාරයක්. එයාලා සම්පූර්ණයෙන් ගොඩ නැඟුණට පස්සෙ.”
ඇතැම්විට ඇය ඔවුන් නැවත ගොඩ නැඟෙනතුරු බලා සිටියා වන්නට ද පුලුවන. එහෙත් එය එසේමදැයි කියන්නටත් අසීරු ය. විහස්ට තවත් සැකයක් වේ.
“මං කියන්නේ සමහරවිට එයාලාගෙ තාත්තා නැති වෙනකම් අම්මා ඈතට වුණා වෙන්නත් පුලුවන්. ඒකටත් හේතුවක් තියනව.”
විහස් එසේ කියමින් දුලන්‍යාට කෝපි කෝප්පය ළං කළා ය. ඔහු ගැහැනුන් හඬනවාට අකමැති ය. සේරටෝම වඩා ඔහුට ඉන්නා එකම නැගණියට අඬන්නට ඉඩ දෙන්නට නොහැකි ය. ඇය බලා ගැනීම වගකීමක් බව සිතන්නට ඔහුට ඕනෑ විය. ඒ වගකීම හදවතට ගත් ඔහු දිගටම කතා කරන්නට පටන් ගත්තේ ය.
“අපි අම්මට තාත්තට දරුවන්ට වඩා පාට්නර්ට ඉමෝෂනල් වෙනවා. මට එහෙම සිරාවට කරපු රිලේෂන්ශිප් නොතිබිලත් මට ඒක හිතිලා තියනවා. මොන දේ කොහොම වුණත් මොන දේවල් කොහොම සිද්ද වුණත් අක්කලාගෙ තාත්තට මූණ දෙන්න අමාරුකමක් අපේ අම්මට තිබුණා කියලා මං හිතනවා. ඒ නිසාම එයා අංකල් නැති වුණාට පස්සෙ අක්කටයි අයියටයි කිට්ටු වෙන්න උත්සාහ කරනවා ඇති. ඒත් ඒක අක්කටයි අයියටයි වදයක් නම් අම්මට සිද්ද වෙනවා පැත්තකට වෙන්න.”
විහස් කියද්දී දුලන්‍යා අත එසවූවා ය. ඇයට සිතෙන්නේ වෙනම කතාවකි.
“ඔය මොකක්වත් හන්දා නෙවේ ආන්ටි ආවේ. සහස් නිසා. ආන්ටි ඇත්තටම සහස්ට මාව අයිති වෙනවට කැමති.”
විහස් හිනැහිණ. ඔහුට හිනැහෙන්නට කාරණා ද තිබේ.
“තමන්ගේ බඩෙන් තව දරුවො තුන් දෙනෙක්ම ලෝකෙට දුන්නා තමයි. ඒත් ලෝකෙ තියන ඔක්කොම යහපත අයිති වෙන්න ඕන සහස්ටයි කියලා හිතන අම්මෙක් ඒ.ඒ හන්දාම මං ඔයා එක්ක එකඟ වෙනවා.”
නමුත් එසේ වන්නට ඉඩ දී බලා සිටීම අපහසු ය. තරුණ අම්මා කෙනෙකු තරුණ කාලයේදී තම හැඟීම් වෙනුවෙන් තීරණ ගන්නට ඇත. ඇගේ නිදහස සොයා යන්නට ඇත. ඒවා එසේ වීම ගැන විනිශ්චයට එළඹීම යහපත් නොවේ.නමුත්, ඇයට දැන් ජීවිත මත බලහත්කාරයෙන් ඇවිද යන්නට ඉඩ දිය යුතු නොවන බව විහස් ද සිතී ය. අම්මාට මෙහෙම වන්නට ඉඩ දිය යුතු නැත.
අවසාන තුරුම්පුව පාවිච්චියට ගන්නට ඔහු සිතා ගත්තේ ය.
“ඔය කොටු කොටු වැටෙන කෑලි ටික ඇරුණම රණ්ඩු වෙන එකයි යාළු වෙන තමයි බං ලව් ස්ටෝරිවල වැඩියෙන්ම තියෙන්නෙ. අම්මා මුණ ගැහුණා කියලා කිව්වෙ නෑ කියලා මූණ පුම්බගෙන අර යකා සදහටම ඉන්නයැ. ඕකා යාළු වෙයි. දැන් ඔයා කොහෙද යන්නේ. ගෙදරද? කැම්පස් ද?”
සවස් යාමේ දේශනයක් වේ. නෙත්මි හොඳ සිංහලෙන් බනිමින් පණිවිඩ කිහිපයක් ද එවා තිබේ.
“ඔය ළමයා ඉගෙන ගන්නෙ ඩොක්ට කෙනෙක් වෙන්න. ඩොක්ට කෙනෙක් වෙන එක අපේ එකාට ආදරේ කරන තරමටම අංක එක වෙන්න ඕන. මේ බිස්නස් වලින් බාගයක් දෙන්නං. හැබැයි ඉතිං මේ බිස්නස් මං වගේ ඉගෙන ගන්න බැරි එකෙක්ට ඉතුරු කරලා උඹලා මහන්සියෙන් ඉගෙන ගනිල්ලකො බං.”
විහස් කියන කතාවලට සිනා නොවී ඉන්නට අසීරු ය. තාරකා අක්කා සහ සඳරැස් නිසා සිදු වූ ඊළඟ යහපත විහස් වාගේ හොඳ සහෝදරයෙකු ලැබීම ය. දුලන්‍යා සොම්නස් සහගත විය. මොනවා වුණත් ඇය තනි වී නැත. ඇය දුරකථනයේ ඉහළ පහළ යන්නට ගත්තේ එසේ සිතමිනි.
හැමවෙලාවෙම වගේ අපිට කව්රුහරි කෙනෙක් ගැන crush එකක් තියෙනකොට නැත්නම් අනුරාගී ආශාවක් තියෙනකොට අපි දකින්නෙ ඒ පුද්ගලයගෙ ඇත්තම ස්වභාවයෙන් ඉතාම සුලු ප්‍රතිශතයක් විතරයි. අනිත් ඔක්කොම ආකර්ශනීය දේ සහ ඔවුන් වෙනුවෙන් අපි දකින ප්‍රතිරූපය අපිම මවාගන්න එකක්. එයාල ඇත්තටම කියන දේවල් වලට ඇහුම්කන් දෙනවා හෝ කරන දේවල් දිහා විමසිල්ලෙන් බලනවා වෙනුවට අපි වෙනුවෙන් එයා වෙනවට කැමති කෙනාගෙ මායාමය ස්වරූපයෙන් එයාගෙ සැබෑ ස්වරූපය අපි විසින්ම වහගන්නවා.
අපි එයාල ගැන පොඩි ෆැන්ටසියක් මවාගෙන ඒකට අපේම හදවත ඇතුලෙ වැඩෙන්න ඉඩහරිනවා. මෙන්න මෙතනදියි සම්බන්ධකම් අසාර්ථක වෙන්නෙ සහ බිඳ වැටෙන්නෙ. කාලෙත් එක්ක අපි ඒ මනුස්සයා ගැන හදාගත්ත ප්‍රබන්ධය දියවෙලා ගිහින්, අපිම අපේ හිතෙන් හදාගත්ත බොරු අපිටම නිරාවරණය වෙනවා. ඊළගට අපිට මේ ඉන්නෙ අපි දැකපු මනුස්සයමද කියලා අඳුරගන්නවත් බැරි තරමට අපේම ආදරේ ඇතුලෙ ඔවුන් අපිට ආගන්තුකයින් වෙනවා. කොච්චර දරුණු ලැජ්ජාවක්ද ඒක!
ඉතිං ඒ නිසා මෙහෙමයි; මිනිස්සු කරන, කියන, හැසිරෙන විදිහෙ පුංචිම දේවල් වලටත් අවධානය දෙන්න. ඔයා ඉගෙන ගනී මේ විශ්වය කියන්නෙ මිනිස්සු සහ මිනිස් සම්බන්ධතා ගැන ඔයා හිතනවට වඩා විශිෂ්ඨ ගනයේ ලේඛකයෙක් කියන එක.
යේශා ෆර්නෑන්ඩුගේ ෆේස්බුක් පරිවර්තනයක් ඇය දුටුවේ අහම්බයකිනි.ඇය එය එහෙමම පිටපත් කර සඳරැස්ට යැවී ය. ප්‍රේමයේ උන්මාදනීය දවස් ගණනක් ගෙවුණේ සුළඟකින් පවා හිරිහැරයක් නොමැතිව ය. නමුත් මෙවැනි දවස් පවා ප්‍රේමයකට ඕනෑ බව දැන් දුලන්‍යාට සිතේ.මවාගත් ෆැන්ටසිය බිඳී යද්දී ද ආදරය කරන චරිතයේ නපුරුම පෙනුම දකිද්දී ද ආදරය කරන්නට හිත හදා ගැනීම පහසු නොවේ.නමුත් කරන්නට දෙයක් ද නැත. අසීරුම අවස්ථාවල පවා ප්‍රේමය රැක ගත යුතුම වේ.
දුලන්‍යා පිටත් කර හැරීමෙන් පසු විහස් කාර්යාලයට ගියේ වැඩ කරන්නට නොවේ. ඔහු තාත්තා වෙත ගියේ ය. කරදරයක් හිරිහැරයක් වූ වහා තාත්තාට දුක කියන පුතෙකු වූ දවස් ඔහුට නැත. නමුත් අද ඉන් වෙනස් ය. එක් අතකට මේ කතාව ඔහු ගැන නොවේ. අර්ධ සහෝදරයා සහ සහෝදරිය ගැන ය.
“කොහෙන් පටන් ගන්නද කොහෙන් කෙළවර කරන්නද හිතා ගන්න බැරි කතාවක් තියනවා තාත්තේ”
කමල් විජේවර්ධන නිස්කාංසුවේ හිනැහිණ. ගේට්ටුව අසල වූ සිදුවීම ඔහු දුටුවේ ය. එහෙත් ඔහුගේ අතීතය සමඟ බලද්දී මේවා අල්ප සිදුවීම් ය.
“කෙල්ලට අදම බඳින්න ඕනලුද?”
ඔහු අසයි. විහස් පුදුම සහගත බැල්මක් හෙළී ය.
“අර දැන් ආපු ළමයා. ඕකනෙ උඹට ලෙහන්න බැරි කතාව. ගැට ගහන්න ඕනනම් ගැට ගහමු.”
තාත්තා එතරමට සරල මනුස්සයෙකි. නමුත් මේ සරල කතාවක් නොවේ.