“මේ කතාව එහෙම සරල විදියට ගන්න බෑ තාත්තේ”
විහස් ඇත්තම කියන්නට සිතී ය. ඇත්තටම මේ සරලව ගත හැකි කතාවක් නොවේ. ඔහු ඒ ගැන නැවතත් සිතුවේ ය. අම්මා කෙනෙකු වසර ගණනාවකට පෙර තමන්ගෙන් මඟ හැරුණු දරුවන්ගේ ආදරය සොයා යාම අතිශය ස්වභාවික සංසිද්ධියක් ලෙස දකින්නට ඔහුට පුලුවන. කුල වද්දාගන්නට දුන් දරුවන් පව එසේ සොයා යන මව්වරුන් වේ. නමුත් අම්මා සඳරැස් වෙත යන්නේ ඒ වෙනුවෙන්මදැයි කියන්නට ඔහු අපොහොසත් ය. කළ යුත්තේ ඔවුන්ව වෙන් කර තැබීම ය.
“ඒ ආවේ සඳරැස් අයියගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.”
විහස් පැවසී ය. කමල් සඳරැස් ඔහු වෙත ආ දවස සිහි කළේ ය. සඳරැස්ගේ අහම්බ හඳුනා ගැනීමෙන් පසු ඔහු සහ දුලන්‍යා සමඟ ඇති වූ මිත්‍රත්වයත් විහස් විස්තර කළේ ය. කමල් ප්‍රශ්න නාසා අසා සිටියේ ය. සඳරැස් ඔහු දකින්නට ආ දවස ඔහුට මතක ය. ඒ දවස ඔහු යළිත් වතාවක් සිහි කළේ ය.
“මං ඔයාලගෙ ජීවිතේ මැද්දට ආවෙ ඇයි කියලා ඔයාලාට තේරුම් කරන්න ඕන ඔයාලගෙ අම්මා. එයා දවසක ඒක කරා නොකරා මං ඒක තේරුම් කරන් නෑ පුතා. ඒ හන්දා වර්තමානෙත් ඒකම වෙයි හිතන්න එපා. සහස්ගෙන් ඔයාගේ ගෑනු ළමයට කරදර වෙන් නෑ.”
එසේ පිළිණ දී යැවූ සඳරැස්ව කමල් සිහි කළේ ය. දැන් ඔහුගේ පෙම්වතියට විහස් සොයා එන්නට සිදු වී තිබේ.
“මේ වතාවේ කරදරේ අයියා නෙවේ. අම්මා.”
විහස් තාත්තාට ඇසෙන්නට කීවේ ය. කමල් උඩබිම බැලී ය. අතීත කතන්දර විස්තර කරන දවසක් චාන්දනීට එන බව ඔහු දැන සිටියේ ය. නමුත් ඔහු ඒවා විස්තර කරන්නට ජීවිතය ගැන එතරමට නොදන්නා කුඩා ගැහැනු ළමයා තෝරා ගැනීම ඔහුට පුදුමයක් ගෙන ආවේ ය.
“අම්මාව අයියලා ප්‍රතික්ෂේප කරනවානම් ඒ පවුලේ අම්මට හැන්ඩ්ල් කරන්න ලේසිම චරිතෙ ඉමෝෂනලි බ්ලැක්මේල් කරන එක හරිම අවුල්.”
විහස් පැහැදිලි හඬකින් පැවසී ය.
“ඔයාලා බැඳීම් ගැන හිතන තරමට බැඳීම් සරල නෑ පුතා. ගෑනියෙක් මිනිහෙක්ට බැඳුණොත් ඒ මිනිහට එපා වුණත් එතනින් මිදෙන් නෑ. කාටවත් බලෙන් අයිති කරගන්නත් බෑ.”
කමල් විජේවර්ධන එදා සඳරැස්ට එසේ පැවසුවේ විශ්වාසයෙනි. නමුත් ඔහු ද නොදන්නා තරමට චාන්දනීගේ බැඳීම් වෙනස් බව ඔහුට සිතේ. ඇය මේ කරන්නට යන්නේ කුමක්දැයි කමල්ට ද නොතේරේ.
“අම්මට තාරුකා කෙසේ වෙතත් සඳරැස්ව ආයේ ඕන.”
ඔහු විහස් දෙස බලා එසේ කීවේ ය. අනතුරුව වැඩිවියට පත් දරුවෙකු සමඟ ජීවිතය සම්බන්ධයෙන් විශාල රහසක් බෙදා ගන්නට සිතී ය.
“ඔයා හිතනව වගේ අම්මා සහස්ට ආදරේ කරන හේතුව ඌ ඉගෙන ගන්න දක්ෂයා වුණු එක නෙවෙයි. අම්මා සහස්ගෙන් සඳරැස් දකින නිසා. සඳරැස් පොකුණක පීනන්න උනාට රාජාලි පැටියෙක් මිසක් තාරා පැටියෙක් නෙවෙයි කියලා අම්මා දන්න නිසා”
විහස් තාත්තා දෙස පුදුමයෙන් බැලී ය. ඔහුට තාත්තා කියන්නක් නොවැටහේ.
“සඳරැස් ඔයාලගෙ හාෆ් බ්‍රදර් කෙනෙක් නෙවේ. ඒ මගෙ වැඩිමල් දරුවා. හරියට රස්සාවකුත් නැති ඇච්චං කොල්ලෙක්ට ආදරේ කරල ඌ මත්තෙ මැරුණට අම්මට ඕන වුණෙ නෑ දරුවෙක් දුක් විඳිනවා බලන්න.”
ඇය එවකට ද විවාහක එක් දරු මවකි. දරුවාගේ තාත්තා ගැන සැක සංකා ඇති නොවේ. සඳරැස් ට මල්වැන්න පරම්පරාවට හිමිකම් කියන්නට සිදු වුණ. විජිත ඒ රහස දන්නවාදැයි සොයන්නට කමල්ට ඕනෑ නැත.
“මගෙ නාහෙට නාහන ජාන තිබ්බට තාපසාරාමේ ගිරා පැටියා වෙලා කොල්ලා හොඳට හැදුණා.”
තාත්තාගේ ඇස අග සිහින් කඳුලක් ඇතිදැයි විහස් සිතී ය. අනෙක් අතට හඬන්නට ඕනෑ ඔහුට ය. සඳරැස් සහමුලින්ම ඔවුන්ගේ ය.
“මොනවට බොරු කරත් තමන්ගෙ හිතට බොරු කරන්න බෑනෙ.එක්කො අම්මා සඳරැස්ට දරා ගන්න බැරිතරම් ආදරෙයි. නැත්නම් සේරටම වඩා තරහයි. අන්න ඒ කාරණාව අපි පැහැදිලි කරගත්තනම් අපිට අම්මා එන්නෙ මොකටද කියලා හිතන්න තිබ්බා.”
වඩා ආදරය ඔහුට නම් අම්මාට සඳරැස්ට සියළු යහපත සොයන්නට වෙහෙසනවා වන්නට පුලුවන. නමුත් හැම කුණාටුවකම ආරම්භය ඔහු බව අම්මා සිතන්නේ නම්?
“මට හිතෙන්නේ තාත්තේ අම්මාගෙනුත් සඳරැස්ව පොඩ්ඩක් බලාගන්න අපිට සිද්ධ වෙනවා. දේවල් හරියටම පැහැදිලි කරගන්නකම්.”
විහස් තාත්තාට එසේ කීවේ ය. දේවල් සියල්ල ඉතා ඉක්මනින් පැහැදිලි කර ගැනීම ද වඩා යහපත් ය. ඔහු ඉන් අනතුරුව එසේ සිතන්නට විය.
“ආදරේට ආන්ඩුවෙනුයි රටේ මිනිස්සුන්ගෙනුයි අවසර අරන් නීති අස්සෙ හිර වෙන්න ඕන නෑ .ආදරේ කියන්නේ ආදරේට..ආදරේ අයිති අපිට නම් අපි ඇත්තටම නීති අස්සෙ හිර වෙන්න ඕන නෑ..”
එසේ පැවසූ චාන්දනී තරුණ ය. ඇය සියළු වැට කඩොලු අමතක කර ළාබාල තරුණයෙකුට උමතුවෙන් පෙම් කළා ය. ඒ කාලයේ ඇයට වෙන කිසිවක්ම ඕනෑ වූයේ නැත. නමුත් පරිණත ගැහැනියක ඉන් වෙනස් වන්නට ඉඩ තිබේ.
“බිඳෙන තැන් හදන්න බෑ.බිඳෙනවා කැඩෙනවා කියන්නේ ජීවිතේනෙ..ඔයා ආයේ ආයේ එකම වරද නොකර ඉන්න බලන්න.ඒ ඇති.ජීවිතේ ඔහොම තමයි.ආදරේ කියන්නේ රැවටීමට වඩා හුඟාක් ඈත තියන දෙයක් කියලා තේරුම් අරන් ජීවත් වෙන්නකො.ආයේ අඬන්න ඕන වෙන එකක් නෑ..”
කමල් විජේවර්ධන නම් කමකට නැති තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත් පාසල් ගුරුවරියට ඇගේ සැමියා එසේ පැවසූ බව පවා චාන්දනී එදා කමල්ට පැවසුවේ සිනාවකිනි.
දැන් ඔහුට එක් දෙයක් වැටහේ.ඇය ඇගේ සිනාව රැක ගන්නට ඕනෑ දෙයක් කරන්නියකි!අතීතයේ ඔහු ඒ ගැන සිතුවේ ආඩම්බර හැඟීමකිනි.නමුත් ඔහුගේම ලෙයින් උපන් දරුවන්ට කඳුල දී ඇගේ සිනාව රැක ගන්නට ඉඩ දිය යුතු ද නොවේ.