“හැංගිලා ගියා කියලා හිතන් හිටිය අතීතයක් ගොඩ දාන්නේ ඇයි?”
කමල් විජේවර්ධන චාන්දනීගෙන් ඇසුවේ රෑ කෑම.මේසයේ දී ය. රෑ කෑම මේසයට හෝ නිදි යහනට ප්‍රශ්න ගෙන නොආ යුතු බව කියන්නේ විජිත මල්වැන්න ය.
“මූණ එල්ලන් නිදාගන්න එපා චන්දි. ඔතනින් ඉඳගන්න. දැන් හෙමින් කියන්න ප්‍රශ්නෙ මොකක්ද කියලා?”
ඔහු අසන්නට පුරුදු වී සිටියේ ය. මල්වැන්නට කිසිම පිරිමිකමක් නැති බව කමල්ට තුරුළු වී පැවසූ අතීතය ද චාන්දනීට අමතක කරන්නට නොහැකි ය. නොහැකි නොවේ. ඇත්තටම බැරි ය. හරියට බලද්දී ගැහැනියෙකුට එවැනි රසබර දවස් ද තිබිය යුතු බව ඇය ඇත්තටම හිතන්නී ය.
“පුදුමාකාර වැදගත් කියන පවුලක ඉපදිලා වැදගත් මිනිහෙක්ගෙ ගෑනි වෙලා ඉන්න ගමන් කමල් එක්ක රහසෙන් සම්බන්දයක් ගෙනිච්ච එක කමල් ළඟට ආව එක මට තාම චිත්‍රපටියක් වගේ.”
ඇය තවම කියන්නී ය. නමුත් ජීවිතය මල්වැන්න සමඟ මෙන් නිස්කලංක නැත. මීට වසර ගණනාවකට කලින් නම් මේ කෑම පිඟන් පවා උඩින් යන්නට තිබිණ.
“මම අහන්නේ චන්දි, මොකක්ද ඔයා අර කරන විකාරේ?”
කමල් අසන්නේ දැඩිව ය.
“තාරුකාට මල් යැව්වේ මමද?”
චාන්දනී පෙරළා ප්‍රශ්න කළා ය. එය ඇත්තටම අහන්න වටිනා ප්රශ්නයකි. කමල් විජේවර්ධනව කිසිම දවසක ප්‍රශ්න කරන්නට අසීරු හන්දා ඇය කමල්ව ප්‍රශ්න නොකරන තරම් ය.
“ආදරේ කරන කෙනා ශරීරෙන් කෙනෙකුට අයිති වුණා කියන වේදනාව විඳ ගන්න එක ඒ හැටි අමාරු වැඩක් නෙමෙයි. එහෙම වුණානම් හිත හදාගෙන සමාව දෙන්න තිබුණා. ඒත් තමන්ගේ ආදරේ මුළු හදවතින්ම ආදරය කරන්නේ වෙන කෙනෙක්ට කියලා දැනගන්න එක මරණීය හැඟීමක්”
මහා සාහිත්‍ය කතන්දර නොදැන සිටියද විජිත මල්වැන්න එසේ පැවසූ දවස අමතක කරන්නට කමල්ට අසීරු ය. ඔහු මොන දුකක් විඳ ගන්නට ඇතිදැයි දැන් ඔහුට හිතේ. හෘදයාබාධයකින් මිය යන තුරුම ඔහුගේ හදවත රිදුම් දෙන්නට ඇත.
“ඕනෑම කෙනෙකුට අතීත රහස් තියෙනව චන්දි . අපි අතීත මතක වළ දාලා වර්තමානයෙන් අනාගතයට යන්ඩෝන .අඳුරු අතීත මතක පෙට්ටියක දාගෙන අගුළු දාගෙන ඒක අනාගතේට උස්සන් ඇවිදන් යන්ඩෝන නෑ.”
කමල් මෙහෙම කතා කියන්නේ ඉඳහිට ය.චාන්දනී ඔහුට සවන් දෙන්නට තීරණය කළේ ය.
“අපිට ඔයාගේ වයිෆ් මුණ ගැහෙන්න ඕන නෑ. අක්කයි මායි කොහොමහරි ජීවත් වුණානෙ. අපේ තාත්තා අපිට ඉගැන්නුවා. ගෑනියෙක්ට ලැබෙන්න ඕනෑම වර්ගෙ හස්බන් කෙනෙක් අපේ අක්කට ලැබුණා. ඒ හන්දා අපිට ඔයාගේ වයිෆ් නෑ කියල කිසිම පාඩුවක් නෑ.”
සඳරැස් එසේ කියද්දී ඔහුගේ මුහුණේ වූ හැඟීම් කමල් සිහි කළේ ය. ඔහු කිසිම අයුරකින් ඔවුන් පිළි ගන්නට අකමැති ය. ඔහුට ඔවුන් ඕනෑ නැත.
“ඒ කොල්ලා එහෙම කියන්නේ මට. උගෙ තාත්තට.”
සඳරැස් විජිතගේ බව කියන්නට චාන්දනී යළිත් උත්සාහ ගත්තා ය. නමුත් කමල්ට එය අසන්නට ඕනෑ වූයේ නැත.
“මෙලෝ ඉගෙනීමක් නැති ටෙම්පරි වැඩ කරන කොල්ලෙක්ව රවට්ටන්න ඔයාට ඒ කාලෙ පුලුවන් චන්දි. දැන් ඉන්නේ සමාජෙන් තෙම්පරාදු වුණු මිනිහෙක්. මේ මිනිහා රවට්ටන්න ඔයාට බෑ. ඒ මගෙ ලොකු පුතා. මල්වැන්න මහත්තයා තමන්ගෙ තාත්තා කියන ඇත්ත ඒ ළමයා විස්වාස කරන එක ඒ ළමයට සැනසිල්ලක්. ඒකයි මම මොකුත් නොකියා ඉන්නේ. නැත්තං මේ වගේ කාලෙක ඕක ඔප්පු කරන්න ලොකු කාලයක් යන් නෑනෙ”
චාන්දනී ඉවත බැලුවා ය. කමල්ගේ දරුවා ද රැගෙන ඔහු වෙත එන්නට ඇය නොසිතුවා ය. දරුවෙකු ලෝකයට එන ඉඩ අල්ප නොවේදැයි විජිත ද නොඇසී ය.
“විජිත අයියා හුරතල් කරන්නේ කොල්ලව තමා. ඔය කොල්ලා ඔච්චර හිතුවක්කාරත් විජිතයියගෙ හුරතලේ හන්දා. කෙල්ල ඉතිං ගෙදර අම්මානෙ. වගකීම් ඔලුවෙ තියන් හැදෙනවා. විජිත අයියලගෙ අම්මා නෙවෙයි අපේ පුංචම්මත් ඇහේ මූණේ තියන් කොල්ලයි කෙල්ලයි හැදුවට තාරකා දුව තමයි දැන් ඇත්තටම ගෙදර අම්මා.”
දන්නා ඕපාදූපයක් කොහොමහරි රැගෙන එන නෑයන් ඒ කාලයේ එහෙම කියන්නට පුරුදු වී සිටි බව ඇයට මතක ය.විජිත කවමදාවත් සඳරැස් ඔහුගේ නොවන බව විශ්වාස නොකළේ ද?
“බැඳීම් ගැන හිතන තරමට බැඳීම් සරල නෑ. ගෑනියෙක් මිනිහෙක්ට බැඳුණොත් ඒ මිනිහට එපා වුණත් එතනින් මිදෙන් නෑ. කාටවත් බලෙන් අයිති කරගන්නත් බෑ. කියලා මං සඳරැස්ට කිව්වා. ඔයාට වුණෙත් ඒක. අර පොඩි කෙල්ලත් එච්චරයි. මල්වැන්නට වගේම අපේ ලොක්කට පරදින්න වෙනවා.”
සහස් කියන්නේ කොල්ලෙකි. ප්‍රතික්ෂේප කළ කෙල්ලක පස්සේ කේන්තිය නිවෙනතුරු ගොස් ඔහුටම ඇති වෙන දවසක් එනු ඇත. එවිට අයියා සහ මල්ලී ඇවිලෙන්නේ නැත.
“ඒ ප්‍රශ්නෙට අත දාන්න එපා.මං තාරුකා දුවට මල් යැව්වේ ඇත්තටම ඒ දරුවට අම්මා ඕනෑ වෙයි හිතිලා. නෑ. එහෙම වෙලත් නෑ.”
චාන්දනී කමල්ගේ මුහුණ දෙස බලා සිටියා ය. කමල් කියන්නේ කුකුළු කේන්තිකාරයෙකි. අභියෝගයක් දුන් විට එය පස්සේ පිස්සෙකු මෙන් එළවන මිනිහෙකි.
“මාව විජිතගෙන් සදහටම අයිති කරගන්න ඔයාට බෑනේ”
ඇසුවේ එපමණකි. කමල් විජේවර්ධන ඇයව සදහටම අයිති කරගන්නට ක්‍රියා කළේ ය. ඔහු එහෙම ය. අවශ්‍ය කුප්පන්නට ය.
“හරි! ඔයාට ඔයාගේ ලොකු පුතා අයිති කරගන්න ඕනෑකමක් නැද්ද? ඒ ළමයා කවදාවත් ඔයාට තාත්තා කියන්න ඕන නැද්ද?”
ඇයට ඕනෑ වූයේ කමල් සසැලෙන හැටි බලන්නට ය. කෝප ගන්නට ඉඩ දෙන්නට ය.
“පුතා, මට අයියවයි අක්කවයි ආපහු ඕනෑ. මං පනහත් පැන්න ගෑනියක්. ජීවිතේ තව කොච්චර කාලයක් තියද මං දන් නෑ. තාරකා දැන් අම්මෙක්. එයා මාව තේරුම් ගන්නවා. සඳරැස් මට කිට්ටු වෙන්න මට දුවගෙ උදව් ඕනෑ. මම සඳරැස්ව අත් ඇරිය එක ගැන දුලන්‍යා පුතා පවා කතා කරන්නේ හරිම අප්‍රසන්න හැඟීමෙන් කියලා මට සහස් කිව්වා.ඒත් ඇත්ත වෙනස් පුතේ.”
දුලන්‍යා ළඟ එසේ කියද්දී කුඩා කෙල්ලගේ මුහුණ වෙනස් විය. ඇය ඒ සඳහා උදව් කරන්නට ඉඩ තිබිණ. නමුත් දැන් එහෙම කරන පාටක් ද නැත. ඕනෑ දේ කොයි අතකින් හෝ දිනාගන්නට චාන්දනීට ද ඕනෑ ය.
“මට සඳරැස් දරුවෙක් හැටියට ඕනෑ නෑ. එයාට මොනවා හරි දෙන්න ඕන නම් මං දෙන්නං. ඒක මගෙ කැමැත්ත. අම්මෙක් හැටියට අර අම්මා කෙනෙක් වෙලා ඉන්න කෙල්ලව දිනාගන්නවා.”
එහෙම පැවසූ කමල් යන්නට ගියේ ය. චාන්දනීට දැනුණේ මහා පුදුමයකි.