සඳ ගංතෙර -57

“ගෑනු කියන්නෙ රැවටිලිකාරියො වෙන්නත් පුලුවන් කොට්ටාසයක්.රැවටිලා දුක් විඳින ගෑනු වගේම රවට්ටලා දුක් දෙන ගෑනුත් ඕන තරම් ඉන්නව.හැබැයි අන්තිමට රැවටුණේ තමන් කියලා කෑගහන්නත් ලෑස්ති වෙනවා.ගෑනු පිරිමි කියල එකක් නෑ.අපි මිනිස්සු.සේරටම කලින් මනුස්සකමට අවංක වෙන්න ඕන..”

චාන්දනීට එසේ පැවසුවේ අම්මා ය. ඒ බොහෝ අතීත දවසක ය. අම්මා සඳරැස් ගැන ඇත්ත දැනගෙන ඉන්නා බව හිතෙන්නේ එහෙම වෙලාවට ය.

“මං රැවටුණු බව ඇත්ත. ඒත් රැවැට්ටුවේ නැහැ.”

වසර විසි ගණනකට පසුව පවා ඇයට හැඬේ. ඒ කවුරුත්ම පිළි නොගන්නා කතාවකි.

“මං ගේ අස්සෙම හිර වෙලා හැදුණේ. ආදරේ කරන්න මට ඉඩක් තිබ්බෙ නෑ. මට මගෙ මනුස්සයා එක්ක දියුණු වෙන්න ආසාවක් තිබ්බා. ඒත් ජීවිතේ තිතට ප්ලෑන් කරන මනුස්සයෙක් මට ලැබුණෙ. විජිත තීරණ ගන්නවා.මට තිබ්බේ ඒවට එකඟ වෙන්න විතරයි. මට කිසිම දෙයක් කරන්න නෑ. එයා සේරම කරනවා. මට ඕනෑ වුණේ ආදරේ කරන්න. ඔයාව ගොඩ නගන්න. මං ඒ වෙනුවෙන් ඔයාගෙම ලෙයින් උපන් දරුවත් අත් ඇරියා”

සුළඟක් සේ සාලයට කඩා වැදුණු චාන්දනී රූපවාහිනිය බලමින් සිටි කමල්ට ඒ වචන විසි කළා ය. ඇය හඬයි. ගැහැනු කඳුළට උණු නොවන හදක් තිබුණේ කාලයකට ඉහතදී ය.මේ ගැහැනිය වෙනුවෙන් කමල් ඕනෑම මොහොතක දියව යයි.

“මං හරියට දේවල් දන්න මිනිහෙක් නෙවෙයි මැණිකේ. මං දන්නේ කඩාගෙන යන්න විතරයි. මාව අතින් අල්ලන් එක්කන් ගියේ ඔයා. මං ඒක නොදන්නවා නෙවෙයි. මං ඒක හැමතැනම කියනවනේ”

කමල් වඩාත් දයාබර වූයේ ය. මේ හදිසියේ හඬන්නට චාන්දනීට  හේතු තිබේ. ඒවා අසමින් ඇය පාරවන්නට ඔහුට ඕනෑ නැත.

“සඳරැස් ඔයාගේ බව කියලා එයාවත් අරන් එළියට බැස්සනම් අපිට දරුවෙක් එක්ක ලොකු සටනක් දෙන්න වෙනවා.මම දැනගෙන හිටිය අපට ඒ වෙලාවේ ඒ සටන කරන්න බෑ කියලා. මං මේ ලෝකෙන් ඇත්තටම ආදරේ කරන්න ඔයාට විතරයි. ඔයාව දිනවන්න මිසක්කා මට වෙන කිසි දෙයක් ඕන උනේ නෑ.”

උමතුවෙන් ප්‍රේම කළ අතීතය ගැන සිහි කරමින් ඇය එසේ කීවා ය. කමල් සමඟ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ දවස් ඇයට අමතක නැත. නමුත් ඒ දුෂ්කර දවස් වැඩි කල් තිබුණේ නැත. ඔහු අත මිට සරු ව්‍යාපාරිකයෙකු කරන්නට ඇයට ඉතා ඉක්මනින් හැකි විය. ඒ ඇගේ වාසනාව බව ඔහු කීවාට ඒ ඔහුගේ අප්‍රතිහත  ධෛර්යය බව ඇය දැන සිටියා ය. ඔහු ඉදිරියට තබන පය ආපසු ගන්නා මිනිසෙකු වූයේ නැත. ව්‍යාපාරික ලෝකයට පය තැබූ කමල් හීයක වේගයෙන් ඉදිරියට ගියේ නීත්‍යානුකූල නොවන දෑ විකිණීමෙන් බව කියන්නේ ඇගේ ඥාතීන් ය. නමුත් එය එසේ නොවේ. ඔහු ඉපයූ හැම රුපියලට ම වටිනාකමක් ඇති බව ඇය දනී. චාන්දනීට දුකක් නැත. කුසින් ඉපැද්දවූ දරුවන්ට ද වඩා ඔහුට ආදරය කිරීමට සහනයකි.

“දැන් සඳරැස් ගැන තරුකා ගැන කොච්චර කතා කරත් තේරුමක් වෙන්නේ නෑ චන්දි. ඒ මගේ දරුවෙක් කියලා මම දන්න නිසා මම කැමති සඳරැස් ට මොනවා හරි දෙන්න.සඳරැස්ට විතරක් නෙමෙයි තාරුකාට වුණත්. ඒත් ඒ දරුවන්ට අපිව ඕනෙ නෑ. ආදරේ මට විතරනම් ජීවිතෙ ඉතුරු කාලෙත් ඒක එහෙමයි කියලා හිතාගෙන ජීවත් වෙන්න. මොන දේවල් කරත් දරුවො ඔයා හොයාගෙන එන්නෙ නෑ. වෙන රටවල් වලට විකුණන ළමයි තමන්ගේ අම්මව හොයාගෙන ආවට ඔයාගේ ළමයි එහෙම කරන්නෙ නෑ.”

කමල් සත්‍යය පැහැදිලි කළේ ය. කියන්නට තවත් කතාවක් තිබේ. තමන් කමල්ගේ දරුවෙකු බව දැන දැනම අම්මා තමන්ව මල්වැන්න පවුලේ අත්හැර ආ බව දැනගත් දිනෙක සඳරැස් ඇයට වෛර කරන්නේ මීටත් වඩා තදින් බව ඔහුට විශ්වාස ය.

“සඳරැස් ගැන මං කවදත් හෙව්වා. මල්වැන්න මහත්තයා ඇස් දෙකේ තියාගෙන රකින්නේ ඌ වෙච්චකොට මට එතනින් එහා බයක් තිබ්බේ නෑ.”

දැන් කමල් විජිතට සර් කාරයා වැනි කතා කියන්නේ නැත. තමන්ගේ පුතුට පියෙකු වූ මිනිසාට ඔහු ගරු කරන බව චාන්දනී සිතුවා ය.

“ඒ දරුවො දෙන්නා අත් ඇරලා ආපු හින්දා තමයි මට මේ ගේ ඇතුළේ මේ ළමයිත් ඈත් වෙන්නේ. දැන් ළමයි මගෙන් ඈතයි.”

කමල් එයට උස් හඬින් හිනැහිණ.

“කොල්ලන්ව ඔක්කෙ ගහන් ඉන්න බෑ මැණිකේ. ලොකු එකා තව ටික කාලෙකින් රටෙත් නැති වෙයි.පොඩි එකත් මොන මොනවා කරයිද දෙයියොත් දන්නෑ. කොහොමත් මේ ගේ අස්සට ලේලිලා කැන්දන් ඇවිල්ලා උන්ගේ නිදහස නැති කරන්න උවමනා නෑ. අපි කරන්න ඕන උන්ට එළියට යන්න අත්තටු දෙන එක.”

කිසිවෙකුටත් වඩා ඇය ආදරය කරන්නේ තමන්ට බව පැවසීම හොඳක් බව කමල් කියයි. කොහොමටත් ඒ බව කියන්නට වුවමනා නැත. ඔහු එය හොඳින්ම දැන සිටියේ ය.නමුත් දරුවන් පවා වෙනස් වෙන දවසක් එළඹේ. එහෙත් ප්‍රේමය කල් ඉකුත් වන්නේ නැත.

“සමහර අතීත වැරදි ආයේ නිවැරදි කරගන්න අපිට හිතුණට ඒවා හිතෙන තරම් ලේසි නෑ. ඇත්තටම ඒක මහ අමාරු වැඩක්. අපි කරන්න ඕන අතීතෙට අතීතෙ හැටියට ඉන්න අරින එක.”

 උපාධි හිමි ගැහැනිය තමන් වුව ද මේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ මිනිසා තරම් ඉහළ ජීවන දර්ශනයක් තමන්ට නැති වීම ගැන චාන්දනීට දුකක් ඇති විය. ඇය වේදනාබර සිනාවක් නැඟුවා ය.

“කොල්ලො දෙන්නා එක කෙල්ලෙක්ට මරා ගන්න යන එක ගැන හිතන්න එපා. ඒවා කොලුකම්. උන් දෙන්නාට ඕක ඇති වෙනවා. ඉන්පස්සෙ උන් හිතවත් වෙන්නත් පුලුවන්.”

ඕනෑනම් සහෝදරයන් අතර සහෝදරකම් ගොඩ නැඟෙන්නට පුලුවන. ඒවාට පවා මැදිහත් නොවීම පහසුවකි. කමල් ඒ සියල්ල පැවසුවේ ඉවසීමෙනි. කිසිවක්ම නිවැරදි කරන්නට අසීරු ය. නමුත් නැවත නැවතත් වැරදි නොකර හිඳීම පහසුවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles