මේ ආහාර ගත්තොත් ශක්තිමත් දිදුලන නිය පෙළක් නිසැකයි

නියපොතු කියන්නේ කාන්තාවන්ව හැඩ කරන තවත් එක් ආභරණයක්.නිය ආලේපන ගල්වා හැඩ කරන නමුත් ගොඩක් කාන්තාවන් තමන්ගේ නියපොතු වල සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. දුර්වර්ණ වූ ඉක්මනින් කැඩී යන නියපොතු වෙනුවට ශක්තිමත් වූ නිය පෙළක් පවත්වාගෙන යාම සඳහා ඔබ ගත යුතු ආහාර ගැනයි මේ ලිපිය.

ආමන්ඩ්

නිරෝගී නියපොතු පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක් විටමින් E හි ඉහළ මට්ටමක අන්තර්ගතයක් ආමන්ඩ් වල අඩංගු වන නිසා නියපොතු වල සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමට ආමන්ඩ් ආහාරයට ගැනීම වැදගත් වෙනවා.


ඊට අමතරව නීරෝගි සහ ශක්තිමත් නියපොතු සඳහා අත්‍යවශ්‍ය වන සින්ක් වලින්ද ආමන්ඩ් පොහොසත් වනවා

බිත්තර

නියපොතු වල නීරෝගීභාවය සඳහා ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම වැදගත් වනවා.ප්‍රෝටීන් හිඟවූ විට නියපොතු කැඩෙන සුලු සහ දුර්වර්ණ වීමෙ ප්‍රවණතාවය වැඩි වන නිසා ඔබේ දෛනික ආහාර වේලට බිත්තර එකතු කර ගැනීමත් වැදගත්

වෝල්නට්ස්

Walnuts ඔමේගා-3 මේද අම්ල වලින් පොහොසත් වන අතර එය අපගේ නියපොතු වලට අවශ්‍ය තෙතමනය ලබා දෙනවා. දුර්වල සහ වියලි නියපොතු ඇතිවීම වලක්වා ගැනීම සඳහා walnuts ආහාරයට ගන්න ඔබට පුළුවන්

කඩල

ශක්තිමත් නියපොතු වලට අවශ්‍ය විටමින් වර්ගයක් ලෙස සැලකෙන සින්ක් අඩංගු තවත් ප්‍රභවයක් ලෙස කඩල හඳුන්වන්න පුළුවන්.කඩල ආහාරයට ගැනීම මඟින් නියපොතු ඉක්මනින් කැඩීයාම සහ නියපොතු මත සුදු ලප ඇතිවීම වලක්වා ගන්න ඔබට පුළුවන්

අලිගැටපේර

ශක්තිමත් සහ නිරෝගී නියපොතු වර්ධනය වීම සඳහා බයෝටීන් නම් පෝෂණ සංඝටක ය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. බයෝටීන් අඩංගු ඉතා හොඳ ප්‍රභවයක් ලෙස අලිගැට පේර සැලකෙන අතර අලිගැට පේර ස්මූති , අතුරුපස හෝ සලාද වලට එකතු කිරීම යන ක්‍රම මගින් ඔබේ ආහාර වේලට අලිගැටපේර එකතු කර ගන්න

පරිප්පු සහ බෝංචි

ප්‍රමාණවත් ප්‍රෝටීන් නොමැතිව, අපගේ ශරීරයට ප්‍රමාණවත් keratin නිපදවීමට නොහැකි වන අතර, දුර්වල සහ වියලි නියපොතු ඇති වීමට එය හේතුවක් වෙනවා. බෝංචි සහ පරිප්පු ශාක පදනම් වූ ප්‍රෝටීන වල විශිෂ්ට ප්‍රභවයක් නිසා එය ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම ඉතා පහසුයි

ස්ට්‍රෝබෙරි

නියපොතු කැඩී යාම වැළක්වීම සඳහා අවශ්‍ය තවත් එක් පෝෂණ සංඝටකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා.ස්ට්‍රෝබෙරි යනු විටමින් සී වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර විටමින් සී මගින් කොලජන් ද නිපදවනවා.එම කොලජන් නිශ්පාදනය ඔබේ නියපොතු වල ශක්තිමත් භාවය කෙරෙහි ඉතා වැදගත්.

කොමඩු

නියපොතු කැඩී යාම වැලැක්වීම සඳහා නියපොතු වල තෙතමනය රදා පවත්වාගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වනවා.ඉහල ජල අන්තර්ගතයක් අඩංගු වන කොමඩු ආහාරයට ගැනීම මගින් නියපොතු වල තෙතමනය රදා පවත්වාගෙන යාමට ඔබට හැකියාව තියෙනවා

කොළ පැහැති එළවලු වර්ග

නිවිති, ගෝවා සහ බ්‍රොකොලි වැනි කොළ පැහැති හරිතයන් ප්‍රමාණවත් තරම් යකඩ, ෆෝලේට් සහ කැල්සියම් ලබා දෙන අතර ඒවා මගින් නියපොතු ඒකාකාරව වර්ධනය වීමට උපකාරී වෙනවා

කිරි

කිරි , කැල්සියම් සහ විටමින් ඩී වලින් පොහොසත් වන අතර, ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න නියපොතු වර්ධනය වීම සඳහා ඒ පෝශක සංඝටක දෙකම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා

සැමන්

බයෝටින්, ඔමේගා-3 මේද අම්ල සහ ප්‍රෝටීන් නිරෝගී නියපොතු සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන අතර මේ සියල්ල අඩංගු ඉතා හොඳ ප්‍රභවය ‘සැමන්’ ය. එය සෞඛ්‍ය සම්පන්න මේද, විටමින් බී 6 සහ බී 12 වලින් ද පිරී ඇති අතර එමඟින් නියපොතු කැඩීම සහ පොතු ගැලවී යාම වැළක්වෙනවා

ටෝෆූ

ටෝෆු යනු ශාක පදනම් වූ ප්‍රෝටීනයක් වන අතර සින්ක් සහ ඔමේගා-3-මේද අම්ල වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වනවා. එම නිසා ටෝෆු දිනපතා ආහාරයට ගැනීම මගින් ශක්තිමත් නියපොතු පවත්වාගෙන යන්න ඔබට පුළුවන්

හතු

පොටෑසියම්, තඹ, සින්ක්, විටමින් බී2 සහ ෆෝලේට් වැනි නියපොතු වර්ධනයට සහ ශක්තිමත් වීමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හතු වල අඩංගු වනවා. මේ වනවිට වෙළඳපොළෙ විවිධ වර්ගයේ හතු වර්ග තිබෙන ඒ ඕනැම හතු වර්ගයක් ආහාරයට එකතු කර ගන්න ඔබට හැකියාව තියෙනවා

ශක්තිමත් නිය පෙළක් සඳහා මේ ආහාර ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්න අමතක කරන්න එපා. ඊට අමතරව සතිපතා ඔබේ නියපොතු සඳහා සත්කාර කිරීම , නිය ආලේපන නිසි වේලාවට ඉවත් කිරීම , හොඳ ප්‍රමිතියකින් යුතු නිය ආලේපන භාවිතා කිරීමත් ඔබ කල යුතුයි








Related Articles

Don't Miss


Latest Articles