ඉනික්බිතිව ජීවිතය මල් ඕවිල්ලක්ව ගලා යන්නට පටන් ගෙන තිබිණ. කිසිම බාධාවකින් තොරව ආදරය කිරීමේ වාසනාව ලැබෙන්නේ එහෙමත් යුවතියකට ය. ඒ සුන්දර සිහිනය ඉටු වීම හන්දාම දුලන්‍යා සිටියේ ප්‍රීතියෙනි.
“මට රිලේෂන්ශිප් එකක් පටන් නොගෙන ඉන්න තිබ්බේ.”
අම්මා සඳරැස්ට ආදරය කරන අන්දම දකිද්දී මුහුණ නාළු කර ගැනීම නම් ඇය අත් නොහැරියා ය.
“හරි කෝලං. ඔයාගේ වුණා නැතා සඳරැස් මගේ පුතා තමයි.”
අම්මා දියණියට අවස්ථා නොදේ. සිතට ආ කතාවක් පැවසීම දුලන්‍යා අසීරුවෙන් වාවා ගත්තා ය. එය සඳරැස්ට කියන්නට අසීරු කතාවකි. නමුත් එය තාරුකාට කියන්නට ඇයට සිත් විණ.
“ඉස්සර අක්කා අපේ ගෙදර එන්න කලින් අම්මා අක්කට ආදරේ වුණු හැටි දැකලා මටත් තව ෆැමිලි එකක් ගැන හීනයක් තිබ්බා. තව අම්මෙක්..”
එසේ කියද්දී තාරුකාගේ මුහුණේ ඇඳී ගිය වේදනා ඉරි ඇයට බලා හිඳින්නට අසීරු ය. දුලන්‍යා වහා තමන්ගේ අක්කාව වැළඳ ගත්තා ය.
“අක්කා.. සොරි. අනේ සොරි. මං ඔයාට හර්ට් කරා.”
ඇය එසේ පැවසුවේ වේදනාවෙනි. අනතුරුව ඇය හේතු පැහැදිලි කරන්නට වෙහෙස වූවා ය.
“ඒක නිකම්ම නිකං ආසාවක් විතරයි අක්කා. විජිත මාමා හිටිය කාලේ කොහොමටත් එයා මට තාත්තෙක් වුණා. එයා හිටියනම් මට ඔයාටත් වඩා ආදරේ කරන්න ගනියි මේක අහලා. අනික මට ඔයයි විහස් අයියයි ඉන්නවනෙ. ඒ ඇතිනෙ”
දුලන්‍යා අක්කාගේ හිත හැදුවේ ඇගේ හිත හදා ගන්නා ගමන් ය. අම්මා කෙනෙකුට පවා තමන් ගැන තීරණ ගන්නට දවස් උදා වේ. චාන්දනී ආන්ටි ගන්නට ඇත්තේ එහෙම තීරණයකි. ඇය පිළිගැනීම තාරුකා අක්කාගේ තෝරා ගැනීම ය. ඇය නොපිළිගැනීම සදරැස්ගේ තෝරා ගැනීම ය. පෙම්වතාගේ දෑසින් ලෝකය දකින සාම්ප්‍රදායික පෙම්වතියක වන්නට ඕනෑ නැති වුවත් මෙතනදී ඔහුගේ තෝරා ගැනීමට ගරු කරන්නට දුලන්‍යා තීරණය කළා ය. ඇයට නැන්දම්මා කෙනෙක් ඕනෑ නැත.
දුලන්‍යා අක්කාගෙන් මිදී පිටතට ආවේ සඳරැස් දකින්නට ය. නිවස තුළ සීමා මායිම් තිබෙන බව ඇත්තකි. නමුත් කරන්නට වැඩක් නැති රාත්‍රී කාලවල ඔහු සමඟ බරාදයට වී කියවීම ඇගේ ප්‍රියතම සිරිත ය. ඇතැම් මොහොතක එතැනට ළදරු කරත්තයෙන් පැමිණෙන සූකිරි අනාගත සිහින ද මවන්නට සමත් වේ. ඊටත් වඩා බාධා කරන්නට සමත් වේ. නමුත් ප්‍රේමවන්තයන් සන්තෝසයෙනි.
සඳ දීප්තිමත් ව බැබළෙමිනි.එහෙත් සඳරැස්ගේ දෑස් යොමු වූයේ තරුවකට ය.වඩා දීප්තිමත් තරුවක ට ය.ඒ තරුව ගැන ඔහු පමණක් විශ්වාස කරන රහසක් ඇය සමඟ බෙදා ගන්නට සඳරැස්ට ඕනෑ විය.
“අර තරුව..ඒ මගේ තාත්තා..”
දුලන්‍යා කිසිත් පැවසුවේ නැත.ඇගේ සිහින් අතැඟිලි ඔහුගේ අත්ලට සිර වූවා පමණි.ඔවුන් බොහෝ වෙලා එසේ හිඳින්නට ඇත.කිසිදු වචනයක් ඔවුන’තර හුවමාරු වූයේ නැත. නමුත් සෑම ගැහැනියකම ආදරය අතැර යන්නේ නැති බව සඳරැස් තේරුම් ගනිමින් සිටියේ ය.
“තාත්තා ඒ ඉන්නේ ඔයා දිහා බලාගෙන.ඒ නිසා ඔයා පරණ සේරෝම අමතක කරන්න හයිය ගන්න ඕන.”
දුලන්‍යා කියන්නේ සඳරැස්ගේ පිටි අත්ල පිරිමදින අතර ය. සඳරැස් ඇය දෙස ආදරයෙන් බලා හුන්නේ ය.
“ෆේස්බුක් එකේ මීම්ස්වල තියන සුදු අම්මිලා ගැන නං නෙවේ මං කියන්නේ. හොටු කෙල්ල වුණාට ඔයත් වෙලාවකට අම්මෙක් වගේ. මට මහා ආරක්ෂාවක් සැනසීමක් දැනෙනවා ඔයා ගාව.”
ප්‍රේමය තුළ අම්මා කෙනෙකු වන්නට සිදු වෙන තැන් ද ඇති බව දුලන්‍යා දැන සිටියා ය. ඇයට ඒ ගැන එක් වතාවක් විහස් ද පැවසී ය.
“ජීවිතේ ඇතුළේ අම්මව මිස් වෙන ගොඩක් කොල්ලො රිලේෂන්ශිප් එකකදි බරපතල විදියට ඒ මඟ ඇරිල්ල පුරවා ගන්න හදනවා. “
දවසක ඔහුගේ දරුවන්ට අම්මා කෙනෙකු වන සිහිනය සරසවියේ පළමු වසර යාන්තමට පන්නා ගත් කෙල්ලකට තිබේ. එහෙත් ඒ ඉතා දුර හීනයකි. එතෙක් අත් අල්ලාගෙන යන්නට දුර ගමනක් තිබේ. ඒ ගමන යද්දී චාන්දනී රිදවූ හදවත ප්‍රවේසම් සහගතව නළවන්නට දුලන්‍යා ඉටා ගත්තා ය.
“මට ඔයාට ඕන දෙයක් කියන්න පුලුවන් නේද? මූ මහ කටුස්සෙක් කියලා ඔයා හිතන් නෑනේ”
සඳරැස් ඇසුවේ හදිසියේ ය. දුලන්‍යා හිස වැනුවා ය. ඔහුට ඕනෑම දෙයක් කියන්නට අයිතිය ද ඉඩකඩ ද තිබේ. ඇය ඉන්නේ ඔහුව අසා හිඳින්නට ය.
“මට හිනා වෙන්නෑ කියලා ප්‍රොමිස් වෙන්න.”
ඔහු කුඩා කොලුවෙකු මෙන් අයදී. දුලන්‍යාට සිනා ඉපදිණ.
“හරි කෝලමකනෙ අප්පා. මට ඕනනම් මං හිනා වෙනවා. මොනා හරි ඔෆිස් එකේ කරගත්තු මෝඩ වැඩක් ගැනනෙ කියන්න යන්නෙ.කතාව ඉවර වුණු හැටියේ මං හිනා වෙනවා.”
ඇය එහෙම කියන්නේ ඔහු කියන්නට යන කතාවක බරපතලකම හරින්නට ය. සඳරැස් අසරණ සිනාවකින් ඔහු ලෝකයේ වඩාත්ම ආදරය කරන දෑස දෙස බලා සිටියේ ය.
“මට හිතෙනවා එකම එකපාරක් අම්මා හම්බෙන්න. එයාට හොඳට කතා කරන්න.”
දීර්ඝ නිහැඬියාවක් පැතිරිණ. මෙහෙම දවසක් එන බව ඇය දැන සිටියා ය.ඇය කිසිවක්ම නොකියා ඔහුගෙ උරහිස පිරිමැද්දේ එනිසා ය.
“විහස් අයියා එක්ක…”
දුලන්‍යා කියන්නට යන දෙය කියන්නට සඳරැස්ගෙන් ඉඩ නොලැබිණ. ඔහු ඇගේ අතකින් අල්ලා ගත්තේ අයදින සුළු බැල්මකිනි.
“මට වෙන කා එක්කවත් ඒ ගමන යන්න හයියක් නෑ. මාත් එක්ක එනවද?”