මල්වර මල් සර – 1

ප්‍රධාන දොරෙහි උළුවස්සට හේත්තු වී ගෙන අත් දෙක පපුවේ බැඳ උන් අයානා ජයසුන්දර ගේ දෑස් පියන් පත් පා වෙමින් තිබුණේ වහින්නට අර අඳින කඳුළු අවකාශයේ ය. අහස ඉතා තද අළු පැහැති බර වූ වලාකුළු සමූහයකින් තද බද ව පැවති අතර කළබලකාරී සුළඟක් තැන් තැන් වල ගොඩ ගැහී තිබි දුහුවිලි ගොඩවල් අවුස්සා ගෙන ම හමා යන්නට පටන් ගත්තේ හිතුවක්කාර ලෙස ය. තැන් තැන් වලින් අහස හිල් වී වාගේ වැහි පොද කිහිපයක් බිම පතිත වන්නට වූයේ ය. ඒ මුරණ්ඩු තද වැහි දිය බින්දු පොළොවට උරා ගත්දී දුහුවිලි අංශු කිහිපයක් ඉහළ නැග හාත්පස දුහුවිලි සුවඳ හමා ගියේ ය.

අයානා ගේ මුව මත ලොකු සිනහවක් නොවූවාට ඇය ඇතුළාන්තයෙන් සිටිනා තෘප්තිමත් බව ඉතා සිහින් සිනා රේඛාවක ලියැවී ඇස් වලින් පිටතට කාන්දු වෙමින් තිබිණ. දුරාශා නික්ම යාමට පෙර දිය නා ගත් ඇගේ පිට මැදට දිග ලේයර් කැපූ හිස කේ වලින් තවමත් දිය බින්දු බේරේ. දිය නා ගැනීමෙන් ශරීරයෙහි ඇති වූ සිහිලත්, මේ දැන් හදිසිසේ පරිසරයේ ඇති වූ වැහිබර විලාශයත් යන දෙක ම ඇගේ හිත අලුතෙන් විකසිත කරන්නට සමත් වී තිබිණ.

“දුරාශා බස් එකට නැග ගන්න කලින් වැස්සට අහු වෙයිද දන්නෑ. එහෙම වුණොත් පරක්කු වුණා කියල අදත් සහන්ගෙන් බැනුං අහ ගන්න වෙයි”

ඇය සිතින් මිමිණුවා ය.

“කොහෙද…එයා යන්න හදනකොට එක පාරටම කොහෙද නැති සෙනගක් ආවනෙ බුක් ශොප් එකට…”

අයානා එක මොහොතකට දෑස් පියා ගෙන සුසුමකින් නිදහස් වූවා ය. ඒ එක ඇස් පියවීමේදී ව්‍යවහාරික විද්‍යා පීඨයේ තරුණයෙකු දිව විත් ‘නිර්වාණ ද්වාර’ යට ගොඩ විය. ඔහු උළුවස්සෙන් ඇතුළු වූයේත් ඇය ඇස් ඇරියේත් එක ම නිමේශයක ය. ඒ ඇස් පිය වී තිබි තත්පරයේදී ඔහු උළුවස්සෙන් ඇතුළට වූයේ අයානා ගේ මුහුණ මත නතර වූ දෑසින් ම ය. ඇය දෑස් විවර කරත්දී ඔහු බුක් ශොප් එකට ගොඩ වෙමින් සිටියේ ඇගේ සිරුරේ ගෑවෙමින් නො ගෑවෙමින් වාගේ ය. ඒ තත්පරය, සුවඳවත් උණුහුමක් අයානා ගේ නාස් පුඬු ඔස්සේ පෙනහලු දක්වා සන්නයනය කරවූයේ ය. ඒ, උදෑසන ගැල්වූ විලවුන් බිඳක අවසාන සුවඳ පොද විය යුතු ය. එසුවඳෙහි දවසක් පුරා දැමූ දහදිය වල පිරිමි පුසුඹක් ද මුහු වී තිබිණ. හෙමිහිට ඉහළට ගත් හුස්ම, එක මොහොතකට අයානා නතර කර ගත්තා ය. ඇය යළි හෙමිහිට හුස්ම හෙළුවේ ඒ සුවඳ පෙනහලු වල ගර්ථ හරහා රුධිර සංසරණයට මුහු වෙන්නට හැර ය.

තරුණයා දුල්නෙත් අලගියවන්න ය. ඔහු හැඳ උන් ගුරු පැහැති ලිනන් කමිසයේ තැන් තැන් වල පතිත වූ වැහි දිය බින්දු ආසන්න නූල් වලට කාන්දු වෙමින් ලොකු දිය පැල්ලම් ඇති කොට තිබිණ. අයානා පසු කොට පුස්තකාල කොටසට ඇතුළු වෙමින් සිටි ඔහු හිස කේ තුළින් අතැඟිලි යවා කෙස් අතරේ වූ දිය බිඳිති චප්ප කොට දැමුවේ ය. ඒ අත ඉහළට එසවෙත්දී, ඝණව වැඩුණු අතේ රෝම අතරේ රේඛා ඇන්ද වැහි දිය අයානා ගේ නෙතු ගැටිණ. ඕ වහා තරුණයා වෙතින් දෑස් මුදා ගෙන යළිත් තාර පාර හා කුඩා මිදුල අතර අවකාශයේ ඒවා අතරමං වෙන්නට හැරියා ය. කුඩා මිදුලට වන්නේ එක ම එක කහ අරලිය ගසක් පමණකි. ඒ ගස කෙතරම් පැරණි ද යන වගට එහි කඳ සාක්ෂි දරයි. ගස කෙතරම් වයස්ගත වී ද හැමදාමත් පිපෙන්නේ අලුත් මල් ය. මේ පැත්ත පලාතකට දැන් කහ අරලිය ගසක් සොයා ගත නො හැකි ය. ඉස්සර මේ පැත්තේ ගෙමිදුල් වල නෙක පැහැති අරලියා මල් පිපුණ බවත්, අරලියා මිදුල් වල සිටුවීම අගුණ බවට රාවයක් පැතිර ගිය වෙලාවේ බොහෝ අය ගස් පිටින් කපා දැමු බවත් තාත්තා කිහිප වර කියනු අයානා අසා තිබේ.

වැස්සේ සුවඳට, දුහුවිලි සුවඳට සේ ම කහ අරලියා සුවඳට ද අයානා ගේ හදවත පත්ලේ සංසාරික තෘෂ්ණාවක් වේ.

දුල්නෙත් ව්‍යවහාරික විද්‍යා අංශයේ පොතක් රාක්කයෙන් ගෙන මේසය මත එය තබා පුටුවක් ඇද අසුන් ගත්තේ ය. අයානා හෙමි හෙමිහිට සිය මේසය වෙත ගියා ය. පොත ඔහු ඉදිරියේ වූවාට දුල්නෙත් ගේ දුලන තුරුණු  නෙත් කිහිප වරක් ම අයානා පස්සේ ඇදී ගියේ ය. මහ වැස්සක පෙරනිමිති පහළ කොට ඇති වෙලාවේ පරිගණකය ක්‍රියා විරහිත කරන්නට සිහි වීත් ඇය ඒ සිතිවිල්ල යටපත් වෙන්නට හැරියා ය. පරිගණකයේ දාරයක දුහුවිලි පොදක් වන බව ඒ මොහොතේ ඇගේ ඇසට නිරීක්ෂණය විය. අයානා පේපර් සර්වියට් එකක් ගෙන ඒ දුහුවිලි පිස දැමුවා ය.

මේ පොත් සාප්පුව හා පුස්තකාලය ඇගේ සැබෑ වූ සිහිනයකි. සැබවින් එය පරිපූර්ණ වූ විසල් පුස්තකාලයක් නොවේ. ඉතා කුඩා, අත්‍යවශ්‍ය විෂයානුබද්ධ පොත් පත් ටිකක් හා නවකතා වැඩි වශයෙන් ඇති, පොත් හලට සමාන්තරව කර ගෙන යන හිත නිවන තැනකි. පොතක් කියවන්නට කුඩා නිදහස් ඉඩ කඩක් සේ ම කෝපි එකක් බොන්නට පහසුකම් ද එහි සපයා තබන්නට අයානා ට උවමනා විණි. පුස්තකාලයෙන් හෝ කැෆේ එකෙන් ඇයට ලොකු ආදායමක් ලැබුණා ම නොවේ. නමුත් පොත් හල හා සන්නිවේදන මධ්‍යස්ථානය ඇයට හොඳ ආදායමක් උපයා දුන්නේ ය. පොත පත පරිශීලනය කරන්නට ඇති පුස්තකාල කොටස නිසා විශ්ව විද්‍යාල සිසුන්ට එතැන හිඳ ඔවුන්ට පිටපත් කර ගැනීමට අවශ්‍ය කොටස් නිවී සැනසිල්ලේ තෝරා වෙන් කර ගත හැකි විය. පුස්තකාල කොටසක් සේ වෙන් වූවාට සරසවි සිසුහු එතැන දී ඕනෑ තරම් මුණු මුණු ගාති. පොතක් හෝ පාඩමක් තෝරා ගන්නට එහි වන නිදහස නිසා ම එතැනට එන්නට පුරුදු වූ සිසු පිරිසක් සිටිති.

දුල්නෙත් අයානා ගේ ‘නිර්වාණ ද්වාර’ වෙත එන්නට ගෙන මාස කිහිපයකි. නමුත් ඔහු ගේ සරසවි වයස අවුරුදු දෙකකි. දුල්නෙත් ව නිර්වාණ ද්වාරය ට ගෙන ආවේ මංජරී ය. මංජරී අයානා ගේ බුක් ශොප් එකට රිසි වූවා ය. එහි සිත් ඇද ගන්නා අරුමෝසම් දේවල් ඕනෑ තරම් විය. විශ්ව විද්‍යාලයට පිවිසෙන මග දිගට, විජේරාම හන්දියේ පටන් ම ඕනෑ තරම් සන්නිවේදන මධ්‍යස්ථාන හා කුඩා පොත් සාප්පු වී ද වැඩිපුර ම මංජරී ගේ සිත් ගත්තේ නිර්වාණ ද්වාරයයි. ඒ නම අමුතුයි කියා මුල් ම දවසේ ඇය ට සිතිණ. නිර්වාණ ද්වාර! නිර්වාණය වෙත පිවිසෙන දොරටුව!

බුක් ශොප් එකට නමක් තබත්දී අයානා මාස ගණනක් ඒ ගැන සිතුවා ය. ඇගේ පුංචි පොත් හළ හා පුස්තකාලය නිර්වාණය සේ හිත් නිවා පහන් කළ යුතු යයි ඇය සිතුවා ය. අරලිය මල් වලින් හමනා කහ අරලිය සුවඳ නිර්වාණයට ඉතා ආසන්න හැඟීමක් දනවයි. කොහොමටත් අයානා කැමති නිස්කලංක හැඟීමකට ය. පොතකින් ඇතුළු වූ විට ඇයට ජීවිත ගණනාවක් හමු වේ. ඇය ඒ ජීවිත ගවේශනය කරනුයේ නොතින් කුතුහලයෙනි. හැම ජීවිතයකට ම කතාවක් තිබෙන බව ඇය හැඳින ගත්තේ පොත් තුළ නිමග්න වීමෙනි. ඒ කතා සමග සසඳා බලත්දී තමන් ගේ කතාව කෙතරම් නම් අවශේෂ ද කියා ඇය ප්‍රත්‍යක්ෂ කර ගත්තා ය. ඒ ප්‍රත්‍යක්ෂය ද නිර්වාණයට ළඟ හැඟීමක් කරා ඇයව කැටිව යන ලදී. ඇයට ඕනෑ වී තිබූ හැඟීම ද ඒ නම ද ‘නිර්වාණ ද්වාර’ බව අවසන ඇය සොයා ගත්තා ය.

නිර්වාණ ද්වාරයෙහි ගැහැනු ළමයින් ප්‍රිය සියල්ල තිබිණ.  එය සුරංගනා පාරාදීසයකි. එහි අතරමං වන්නට මංජරී බෙහෙවින් ප්‍රිය කළා ය. 

වැහි පොදයට යටින් දම් පාට මල් කුඩයක් ඔසවා ගෙන ඉක්මන් ගමනින් යුවතියක ‘නිර්වාණ ද්වාර’ වෙත පිවිසියා ය. ඇගේ මූණ කෝපයෙන් රතු වී තිබිණ. තාම වැස්ස තද නොවූවාට සුළඟ සැඩ වී තිබේ. ඒ සුළඟට හසුව කුඩය ඇඹරී යන එක නතර කර ගන්නට මංජරී ට පහසු වූයේ නැත. කුඩය එහෙම ම නිර්වාණය ඉදිරියේ අත් හළ ඕ ඉක්මන් අඩි තබා පුස්තකාල කොටසට ගියා ය. ඇය සිතුවා නිවැරදි ය. දුල්නෙත් පොතක් පෙරළා ගෙන හිටියේ ය.

සිය උරයක එල්ලා ගෙන සිටි අමු රෙද්දෙන් මැසූ බස්සන් යුවලක් ඇප්ලික් කළ බෑග් එක හඬ නැගෙන සේ ඇය මේසය මත දමා ගැසුවා ය. කිසිත් සිදු නොවූවා සේ දුල්නෙත් සන්සුන් ව නෙතු නගා බැලුවේ ය.

“නාකපන වැස්සක් වහින්න එනව. මං කැම්පස් එක පුරාම මෙයාව හොයනව ගෙදර යන්න. එයා මේක අස්සට රිංගගෙන”

ඒ වචන පිහි තුඩු සේ මුවහත් වූයේ ය. ඒවා අයානා ටත් ඇසෙන තරම් ඉහළ ස්වරයක විය. අයානා වහා තරුණ යුවළ දෙස බැලුවා ය. එකෙනෙහි පරිගණකය දෙස බලා ගත්තා ය. මංජරී ගේ වචන අයානාට ඇසුණාද යන නො සන්සුන් බවෙන් දුල්නෙත් ඇස් පා කොට බලත්දී ඇය ඉවත බලා ගෙන අවසන් ය. එහෙම ම ඔහු මංජරී දෙස බැලුවේ ය. ඒ බැල්මේ කෝපයක් තැවරී තිබිණි. නමුත් මංජරී ගේ නෝක්කාඩුව ඒ කෝපය හකුළා දමන තරම් එකකි.

“මං කෝ කියලවත් බැලුවද…මෙච්චර වැස්සක් එනව…මං යන්නෙ කොහොමද කියල බැලුවද…”

“මට නෝට්ස් වගයක් ඕන කරල තිබුණ. මේ පොත නිර්වාණෙ තිබුණා කියල මට මතකයිනෙ. ඉතිං මං නිර්වාණෙට ආව”

හැකි තාක් අයානා ට නෑසෙන සේ දුල්නෙත් මිමිණුවේ ය. ඒ තැතනීම තුළ නොරිස්සුමක හා කේන්තියක සුන් බුන් විසිරී තිබිණ.

“මට තේරෙනව. තමුංගෙ නිර්වාණෙ දැන් මෙතන  කියල”

මංජරී ගේ ඇස් වලින් ගින්දර පිට විය. දුල්නෙත් ඇය දවා ලන බැල්මක් හෙළුවේ ය. මංජරී වහා නැගිට අයානා වෙත පැමිණියා ය.

“කොෆී දෙකක්”

චිත්‍රයක් වාගේ මුහුණ මත ඇඳ ගත් විචිත්‍ර සිනහවකින් ඇය අයානා වෙතින් ඉල්ලා සිටියා ය. අයානා සිනහ වූයේ ඇස් වලිනි. ඇය කෝපි මැශිමෙන් එක කෝප්පයකට කෝපි දමමින් සිටියදී වහා නැගිට පොත රාක්කයෙහි තැබූ දුල්නෙත් වැස්සට පැන නික්ම ගියේ ය. කෝපි කෝප්පය උතුරා යන්නට මොහොතකට පෙර අයානා කෝප්පය ඇද ඉවතට ගත්තා ය.

“සොරි…එකක්…”

අයානා කෝපි කෝප්පය බන්දේසිය මත තබා එය කවුන්ටරයෙහි තැබුවා ය. මංජරී ඉතිරි නොවෙන සේ හරි ගණනට මුදල් තැබුවා ය. වෙනදාට වචනයක් දෙකක් හෝ කතා කරන තරුණියන් දෙදෙනා ම මුණිවත රැක්කේ නන්නාඳුනන රිදුමක් කොහේදෝ සිට ඔවුන් ගේ හිත් වෙත ගසා ගෙන විත් තිබූ නිසා ය. 

මංජරී කෝපි එක බීවේ තරහිනි. අයානා ඉදිරියේ දුල්නෙත් ඇය ව අවතක්සේරු කළ බවට හැඟීමක් ඈ තුළ පුපුරු ගසමින් තිබිණ. කට පිච්චි පිච්චී කෝපි එකෙන් අඩක් හිස් කළ ඕ, ඉතිරිය සමග කප් එක මේසය මත තිබියදී ම නැගිට ගොස් කුඩය අතට ගත්තා ය. එතකොට ම ඈත අහසේ අකුණක් පුපුරා ගියේ ය. අයානා ගේ දෙඋරහිස් හැකිළිණ. මංජරී හිත හයිය කර ගෙන පාරට පැන්නා ය. 

විදුලි පේනු ගලවා දැමූ අයානා දොරෙහි ‘ක්ලෝස්ඩ්’ බෝඩ් එක දමා දොර වසා අගුලු දැමුවා ය. 

වැස්ස හයියෙන් වහින්නට විය. පිටත විදුලි පහන් දැල්වූ අයානා මතු මහළට නැගුණා ය. පහළ මහළ නිර්වාණ ද්වාරය වෙනුවෙන් වෙන් කළ පසු ඇගේත් මව් පිය දෙදෙනාගේත් නිවස්නය උඩු මහළට සීමා විය. එහි නිදන කාමර දෙකක් ද කුඩා පැන්ට්‍රියක් ද ආලින්ද කොටසක් ද වූ අතර එය ඔවුන් තිදෙනා ට ඉහටත් උඩින් සෑහිණි.

සාමාන්‍යයෙන් අයානා ගේ දවස ගෙවෙන්නේ පොත් සාප්පුවට නිසාවෙන් උයන පිහන කටයුතු ඇතුළු ගෙදර බලා ගැනීම සිදු වන්නේ අම්මා අතිනි. රජයේ රැකියාවෙන් විශ්‍රාම ගෙන සිටින පියා නිසා අයානා ට අම්මා ගැන වද වීමට හේතුවක් නැත. ඇයට ලැබී තිබෙන ඒ නිදහස් ජීවිතය, දුරාශා ගේ ජීවිතයත් එක්ක සසඳන විට දේවාශීර්වාදයකැයි ඇය සිතයි. බැඳීමක් කියන්නේ කොහොමත් බාධකයකි. ජීවිතය යනු විඳිය යුතු යමක් නම්, බැඳීමකින් නියත වශයෙන් ඊට සීමා පමුණුවයි. ජීවිත හා බැඳෙනා මිනිසුන් ගේ ආකල්ප මත බැඳීම් යනු ජීවිතය විඳවීමට හේතුවක් වන්නට ද පුළුවන.

දුල්නෙත් ගෙදර ගියේ අනෝරා වැස්සේ ය. ත්‍රීවීලරයකින් බැස ගෙදරට දිව ගෙන ගියාට ඒ වන විටත් ඔහු තෙතබරිත ව සිටියේ ය. කැම්පස් කෙල්ලක ගේ කුඩය යටට රිංගා තෙමී නො තෙමී විජේරාම හන්දියට ආ ඔහු එකසිය තිස් අටක එල්ලී පන්නිපිටියෙන් බැස ගත්තේත් තෙමුණු කුකුළෙකු සේ ය. ඉතිරි ටික දුර වෙනදාට එකසිය හැත්ත හතරක නැග ගියත්, අද ඔහුට ඊට වෙහෙසක් දැනුණෙන් ත්‍රීවීලරයකට රිංගා ගත්තේ ය.

“පොඩ්ඩක් පායනකල් කොහෙට හරි වෙලා  ඉඳල එන්නෙපැයි…තෙමිල ලෙඩ හදාගන්නෙ නැතුව…”

දුල්නෙත් නාන කාමරයේ සිට එන විට තේ එකක් හදා ගෙන සිටි අම්මා කීවා ය. ඇගේ ඇස් වල වූයේ සිය පුතුට මහා ව්‍යසනයක් වූවා වන් බැල්මකි. දුල්නෙත් ඉවත බලා ගෙන වගේ අම්මා අතින් තේ එක ගෙන කාමරයට ගියේ ය.

අම්මලා එහෙම ය. සිය දරුවන් හිරිකඩයකින් වුව රැක ගැනීම ඔවුන් ගේ අරමුණයි. නමුත් සිය ඇස් මානයෙන් පිටත දී දරුවන් අනෝරාවන් වලට හසු වී අපමණ තැවුල් තනිව විඳ දරා ගන්නා බව ඔවුන් දන්නේ නැත!

තේ එක බී දුල්නෙත් ඇඳට වැටුණේ ය. ඔහු ගේ හිතේ කාංසා හැඟීමක් එහෙ මෙහෙ වෙයි. නිර්වාණ ද්වාරයෙහි දී මංජරී හැසිරුණ විදිහ ගැන කිසිදු ප්‍රසන්න බවක් ඔහු ට නැත. මංජරී යනු සිය ජීවිතයට ඔහු කළ හොඳම තෝරා දීම දැයි තරුණයා ගේ යටි හිත ඔහු ගෙන් කොඳුරා අසමින් තිබිණ. මංජරී කියන්නේ දැකුම්කළු ගෑනු ළමයෙකි. පිරිමියෙකු දිනෙක විවාහ කර ගන්නට බලාපොරොත්තු වෙන ගැහැනියක වෙතින් අපේක්ෂා කරන ස්ත්‍රී අංග ලක්ෂණ නො අඩු ව ඇය වෙත වේ. ඔවුන් දෙදෙනා ම එක නැවක කැම්පස් ආ අය ය. දුල්නෙත් ව්‍යවහාරික විද්‍යා පාඨමාලාව හැදෑරුවත් මංජරී සමාජ විද්‍යා අංශයේ සිසුවියක වූවා ය. අලුත් කණ්ඩායමේ කැපී පෙනෙන රූපයක් හිමි ගෑනු ළමයින් අතරේ මංජරී යනු ජ්‍යේෂ්ඨයන් ගේ පවා අවධානයට ලක් වූ එකියකි. ඔහු ගේ රැලේ කොල්ලන් පවා ඇය ගැන කතා කරත්දී දුල්නෙත් නිකමට ඇය ගැන අවධානය යොමු කළේ ය. සැබවින් ඇය පිිරිපුන් යුවතියක වූවා ය. ඉන්දියානු දේවතා රූප වල සිතුවම් කර ඇති ගෑනු රූපයක් මංජරී මත සමපාත කර ගන්නට දුල්නෙත් ට හැකි විය.

කෙසේ වෙතත් මංජරී ගේ අවධානය දුල්නෙත් කෙරේ යොමු නොවෙන්නට මේ සම්බන්ධය මේ තරම් ඉක්මනින් හට නො ගන්නට තිබිණ.

ඇය නිතර නිතර ඔහු ට පේන මානයක සිටියා ය. ඔහු දෙස බලා සිනහ වූවා ය. කැන්ටිමේදී හමු වුණොත් බලෙන් ම කතා කොට ළඟට ඇවිත් ඔහුත් එක්ක තේ එකක් බීවා ය. මේ විදිහට වසරක පමණ කාලයක් ගත වන විට ඔවුන් දෙදෙන ප්‍රේමයක් ගැන කතා නොකළ ද බෙහෙවින් සමීප වී සිටියහ. විශ්ව විද්‍යාලයේ බොහෝ සිසුන් සිතුවේ ඔවුන් පෙම්වතුන් කියා ය. ඇය ඔහු ව නිර්වාණ ද්වාර වෙත කැටුව ගියේත් ඔය කාලයේ ය. 

නිර්වාණයේ අයානා බලහත්කාර සුළඟක් ව විත් දුල්නෙත් ගේ හිත පැටළෙන්නට විය. අතිශය කාර්ය බහුලත්වයන් අතරේත් ඇගේ ඇස් වල වන සිනහව තුනී වූයේ නැත. මංජරී වාගේ සම්මත සංස්කෘතිකමය සුන්දරත්වයක් නැත ද අයානා ට වූයේ වෙන ම ලස්සනකි. නමුත් ඇය ඔහු ගැන විශේෂ අවධානයක් යොමු කළේ නැත.

මංජරී හා අයානා අතරේ දුල්නෙත් ගේ පිරිමිකාර සිතිවිලි දෝලනය වෙමින් තිබිණි. මංජරී ඔහු ට ආදරය ප්‍රකාශ කළේ ඒ අතර ය. කැම්පස් එකේ බොහෝ කොල්ලන් ගේ හීන කෙල්ල වී හිඳින මංජරී ගෙන් ලැබුණ ප්‍රේමාරාධනය දුල්නෙත් ට විශේෂ සතුටක් වූයේ ද කියා ඔහු දැනුත් සිතයි. නමුත් සමාජ පසුබිම අතින් ඇය ඔහු ට ගැලපිණ. රූපය අතින් ද දැන උගත් කම අතින් ද වයස අතින් ද ගැලපිණ. කැම්පස් කොල්ලන් නිර්වාණයේ අයානා ගැන එක එක කතා කීවාට ඒ කිසිවෙකු ඇය සමග පෙම් සබඳකමක් අරඹන්නට තරම් එඩිතර වූයේ නැත. ඇය ඔවුන් ට වඩා වයසින් වැඩි කෙල්ලක ය යන අදහස කැම්පස් කොල්ලන් තුළ බෝ කළේ කෙල්ලන් ය. ඔවුහු කොල්ලන්ට පේන්නට අයානා ‘අක්කා’ ලෙස ඇමතූහ. අයානා කට පුරා කැම්පස් කොල්ලන්ට හා කෙල්ලන්ට මල්ලී, නංගී කීවා ය. 

නමුත් අක්කා කෙනෙකු ලෙස ඇය ගැන හිතන්නට බැරි කමක් හැමදාමත් දුල්නෙත් ට විය. එසේ ම සම්මතය කුඩු පට්ටම් කොට ඇයට සමීප විය නො හැකි බයාදු කමක් ද ඔහු ට විය. මේ සිතිවිලි අරියාදුවෙන් වෙහෙසට පත්ව ඔහු මංජරී ට ලං වූයේ ය. හොඳ ම තීරණය එය බව ඔහු පිළිගත්තේ ය. නමුත් ඇගේ ප්‍රේමයේ කුමක් හෝ අඩුවක් හැමදාමත් ඔහු ට දැනිණ. පොත් හොයමින් නිර්වාණ ද්වාරයෙහි ගත කරන හෝරාවක, සංසාරයක තෘප්තිමත් බව තිබෙනු ද ඔහු ට දැනිණ.

මංජරී දෙල්කඳ සිට විජේරාම හන්දිය තෙක් හයිලෙවල් පාර දිග එදා ඇවිද ආවා ය. විශ්ව විද්‍යාල ගමන වෙනුවෙන් දෙල්කඳ ඥාති නිවසක  නතර වී සිටින ඇය වෙනදා ට අටේ කණුවෙන් වනාත පාරට වැටී ඇවිද විත් මැද පාරෙන් සෝරත මාවතට ගොඩ වන්නී ය. නමුත් විජේරාම හන්දියේ දී දුල්නෙත් බස් එකෙන් බහින තැනදී ම ඔහු හමු විය යුතු යයි ඇය තීරණය කළේ උදේ ය. වෙනදා ට ගෙදර ගොස් දුල්නෙත් දුරකතන ඇමතුමක් දෙන්නේ ය. ඔහු පමා වුණොත් අනිවාර්යයෙන් ම මංජරී කතා කරන්නී ය. ඊයේ හවස වූ සිදුවීම නිසා ඇය නවාතැනට ගොසිනුත් හිටියේ හිත හොඳකින් නොවේ. කුඩයෙන් යන්තම් හිස කොටස නො තෙමී තිබුණාට ඇය හැඳ උන් ගවුමේ සාය කොටස තෙතබරිත ව ඇඟට ඇලී තිබිණ. දුල්නෙත් කුඩේ යටින් විත් දෙල්කඳින් ඇය ඇරලවා යනු ඇතැයි බලාපොරොත්තුවක් හවස මංජරී තුළ විය. එසේ විණි නම් ඒ වැස්ස සුන්දර මතක සටහනක් ම වනු ඇත. ඇය වැස්සක පෙර නිමිති යටින් ඔහු සොයා විශ්ව විද්‍යාලය පුරා ඇවිද්දේ ඒක ය. අන්තිමට සිදු වූයේ බලාපොරොත්තු වූ සතුට බලාපොරොත්තු නොවූ කෝපයකට පෙරලී හිත් නොහොඳක් ඉතිරි වෙන එකයි.

තෙත්බර ව නවාතැනට ගිය ඕ යන්තම් මූණ කට හෝදා නයිටියක් ඇඳ ගෙන ඇඳට වැටී කොට්ටයක් බදා ගත්තා ය. 

දුල්නෙත් මංජරී ට ඇමතුමක් නොදී හිටියේ අමතක වීමකින් නොවේ. හිතා මතා ම ය. ඇයත් එක්ක කතා කරන්නට තරම් හිතක් නොවුණෙන් ඔහු දුරකතනය ක්‍රියා විරහිත කොට දැමුවේ ය.

“තියන දුෂ්ට කමක්…කෝල් කරන්න බැරි තරං මාන්නෙනං ගෙදර ගියා කියල මෙසේජ් එකක් තියන්න බැරිද…”

අවසන හිතෙන් පුපුරු ගසමින් මංජරී දුල්නෙත් ගේ දුරකතනය අංකනය කළේ රෑ බෝ වී ය. ගොඩක් වෙලා ඔහු එක්ක කතා කරන්නට ඇයට උවමනා විය. ගෙදර අය මේ වන විට නින්දට ගොස් ඇතැයි අනුමාන කළ හැකි නිසා, දීර්ඝ පෙම් පිළිසඳරකට ඇය සිතින් ගතින් සූදානම් වූවා ය. නමුත් දුල්නෙත් ගේ දුරකතනය සම්බන්ධ කර ගත හැකි වූයේ නැත.

“එයාට මං හිටියත් එකයි නැතත් එකයි”

ඇය සිය දුරකතනය පසෙකට විසි කොට දමා කොට්ටයේ මූණ ඔබා ගත්තේ එසේ සිතමිනි. ඒ සිතිවිල්ල ඇය තුළ භීතියක් ඇති කරවන ලදී. දුල්නෙත් ගෙන් මිදෙන්නට දැන් ඇයට කොහෙත් ම ඕන කමක් නැත. පුළුවන් කමක් ද නැත. මුළු විශ්ව විද්‍යාලය ම ඔවුන් ගේ සම්බන්ධය ගැන දනී. ඇය සම්ප්‍රදායික සිතිවිලි ඇති ගෑනු ළමයෙකි. ඒ ඇගේ පවුලෙන් ඇය ලැබූ දායාදයකි. පිරිමි ළමයෙකු ළඟින් ඇසුරු කළේ වී නම් දිනෙක විවාහ විය යුත්තේත් ඔහු සමගිනැයි ඇය තදින් විශ්වාස කළා ය.

තමන් අත් හැර දමන්නට දුල්නෙත් ට හේතුවක් ඉතිරි කළ යුතු නැතිය යන්න උදෑසන අවදි වෙත්දී ඇගේ පළමු සිතිවිල්ල විය. ඔහු වෙනුවෙන් ඇය විජේරාම හන්දියේ ළත වූයේ ඒක ය.

“මං මෙතන කට්ට කකා ඉද්දි එයා කැම්පස් එකට ගිහින්ද මන්දා. වෙනදා මේ වෙලාව වෙනකොට ඇවිත්නෙ”

සිතින් එසේ සිතමින් කී වෙනි වරට ද මන්දා මංජරී පුංචි අත් ඔරලෝසුවෙන් වෙලාව බලත්දී, නතර කරනු වස් ගමන් වේගය බාල කළ එකසිය තිස් අටෙන් දුල්නෙත් බිමට පැන්නේ ය. මංජරී ගේ ඇස් වල මල් පිපිණ.

“ගුඩ් මෝනිං”

ඇය ඉක්මන් කොට ඔහු වෙත විත් දුල්නෙත් ගේ වැලමිට සන්ධියෙන් අල්ලා ගත්තා ය. 

“මොකද මෙතන…”

දුල්නෙත් ගේ හඬේ ආදරයක් තැවරී තිබුණේ නැත. නමුත් ඔහු පුළුවන් තරම් කාරුණික වීමේ උත්සාහයක් ගත්තේ ය.

“ඔයත් එක්කම යන්න මෙතනට ආව. බස් එක නවත්තන්න කලින් ඔහොම පනින්න එපා අනේ…මිස් වෙන වෙලාව කියන්න බෑනෙ”

ඕනෑ ම වෙලාවක කැඳවා ගත හැකි ලෙස පුහුණු කළ සුරතලයෙන් ඇය නෝක්කාඩු වූවා ය. 

“ඊයෙ රෑ කෝල් එකක් දුන්නෙත් නෑ. මං ගන්නකොට ෆෝන් එකත් ඕෆ් කරල”

ඒ නෝක්කාඩුව තවත් දිගු වූයේ ය. දුල්නෙත් නෙතු පහළට කොට මංජරී දෙස බැලුවේ ය. ඈ සිය මලක් වන් පියකරු මුහුණ ඔහු වෙතට ඔසවා ගෙන සිටියා ය. ඇය පව් යයි උපන් ක්ෂණික සිතිවිල්ල නිසා ඔහු බොරුවක් කීවේ ය.

“තදට ගොරෝපු නිසා ෆෝන් එක ඕෆ් කළා”

ඒ කීවේ බොරුවක් බව මංජරී ට ඔහු ගේ ඉරියව් අනුව නො දැනුණා නොවේ. නමුත් ඒ බොරුවක් කියා රණ්ඩු කරනවා වෙනුවට එය ඇත්තක් සේ පිළිගන්නට හෝ එසේ පිළි ගත් බව පෙන්වන්නට ඇයට උවමනා විය.

“අද මං නැන්දට කියල බත් එකක් බන්දෝගෙන ආව. උදේට කන්න. පිටි කෑම කාල එපා වෙලා අප්ප. මට වැඩී ඒක…අපි දෙන්නම කමු. මං ඔයාට කවන්නං”

“හ්ම්”

සාමාන්‍ය සම්ප්‍රදායික පෙම්වතියක ගේ සියල් අංග ලක්ෂණ වලින් ඈ සිය කොටස සම්පූර්ණ කර ගැනීමට උත්සුක වූවා ය. පෙම්වතියක ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද කියා දුල්නෙත් තමන් ගේ ම සිතින් ප්‍රශ්න කළේ ය. නිර්වාණ ද්වාරය පසු වූයේ එතකොට ම ය. මංජරී හිතා මතා ම කතාවක් ඇද ගෙන  දුල්නෙත් ගේ වැලමිට සන්ධිය තවත් තද කොට ගත්තේ ඔහු ගේ අවධානය මුළුමනින් තමන් වෙත ම පවත්වා ගන්නට ය. නමුත් ඔහු ගේ ඇස් නිර්වාණ ද්වාරය ඉදිරියේ නතර වූයේ නිරායාසයෙනි.

නටුවෙන් ගිලිහුණ කහ අරලියා මල් කිහිපයක් කුඩා සුදු වැලි මිදුලේ ඉහිර තිබිණ. ඒ මල්, අනෝරා වැස්සේ පීඩනය නිසා මඩ කා ගෙන බිම බදා සිටියේ ය. එක වැස්සට මිදුල හැඩි වී ඇති සැටි යයි සිතමින් තවමත් විවර නොකළ වීදුරු දොරෙන් පිටත බලා උන් අයානා, පාරේ ඇවිද යන යුවළ දුටුවා ය.

“යාළු වෙලා”

ඇගේ මුහුණට සිනහවක් ඇවිත් නතර වූයේ ය.

අයානා මිදුල අතු ගා ‘ඕපන්’ බෝඩ් එක දමන විට දුරාශා කඩිමුඩියේ දිව ආවා ය.

“අදත් පරක්කු වුණා අයා…කොච්චර වේලාසන එන්න හැදුවත් වැඩ ටික ඉවර කරල ළමයි දෙන්නව ඉස්කෝලෙ යවල ලොකු තැනගෙ වැඩ ටික කරල ගෙයින් එළියට බහිනකොට ඉතිං…”

“ඒ ගැන එච්චර හිතන්න එපා. ඊයෙ ඔයා යනකොටත් ලේට් වෙන්න ඇති. වැස්සට අහු වෙයි කියල මට හිතුණා”

එසැනෙන් අයානා ට සිහි වූයේ ඒ වැස්සට ආරාධනා කරමින් නිර්වාණයට ගොඩ වූ පිරිමි සුවඳ ය.

අරලියා අත්තක් පහත් කොට කඩා ගත් මල් කිහිපය, දොරකඩ වන කළු පාට පිරියම් කළ දිය බඳුනෙහි පිළිවෙලට පා කරනා ගමන් අයානා ඇස් වලින් සිනහ වූවා ය.

“සහන් කෑගැහුවද…”

“ඒව ඉතිං මොකට කතා කරනවද…ඊයෙ රෑ ලොකු රණ්ඩුවක් ගියා”

“ඇයි…”

අයානා නිර්වාණය තුළ ට වූවා ය. රෙදි කැබැල්ලකින් කඩිසර ලෙස වීදුරු කබඩ් වල දුහුවිලි පිස දමන ගමන් දුරාශා විස්තරය කීවා ය. ඇය උදයෙන් ම දිය නා ඇති බව තෙත කොණ්ඩය අනුව අයානා ට සිතා ගත හැකි විය.

“කුඩෙංවත් යන්න බෑ බස් එකෙන් බහිද්දි…ඒක පුදුම වැස්සක්. මං ඉතිං එළවළු මාළු ටිකක් එහෙමත් එතනිංම අරගෙන ටිකක් හිටිය වැස්ස අඩු වෙනකල්. තෙමිල වෛරස් එකක්වත් ඇඟට ගොඩ වුණොත් එහෙම වැඩට එන්නත් බෑනෙ බං. ත්‍රීවීල් එහෙක යන්න හදලත් ඔය අඩි දහය යන්න දැං කිසි ගාණක් නැතුව දෙසීයක් ගන්නව. කොරෝනා එනකොට රුපියල් අසූවයි. ඊට පස්සෙ තෙල් ගණං වැඩි වෙද්දියි අරව මේව වෙද්දි දෙසීයක් කළා. තෙල් ගණං අඩු වුණානෙ දැං කීප සැරයක්…ඒ වුණාට මුං දෙසීය අඩු කරල නෑ. යන්නෑ මන්නං බැරිම අමාරුවක් වුණොත් මිසක්”

අයානා මඳහස පෑවා ය.

“ඒ වුණාට ඔයාට යන්න තිබුණෙ. මං අද දෙනවනෙ ආවහම ත්‍රීවීල් එකේ සල්ලි…”

“පිස්සුද බං…කරන හරිය මදිද තවත් උඹට වද දෙන්නෙ…”

“ඉතිං මොකද වුණේ කියන්නකො”

“මං යනකොට අරුන්ද ඇවිත්”

“සහන්ද…”

“හ්ම්…ගත්තෙ නැතෑ දුම්මල වරම අතට…වැස්සෙ මොන මගුලක් කළාද මෙච්චර වෙලා…මොකෙක් හරි එක්ක මුකුළු කර කර ඉන්න ඇති කොහෙට හරි රිංගගෙන අරව මේව කියල…”

“ශික්…මහ ජරා කටක් තියන මනුස්සයෙක්”

“අප්පිරියයි අයා. බස් හෝල්ට් එකේදි මං ඒ පැත්තෙ අයිය කෙනෙක් එක්ක කතා කර කර හිටිය. ඕක කොහොමහරි කවුරු හරි කියන්නැති මං වැස්සට කොටු වෙලා ඉන්නව දැක්ක කියල”

“මටනං ඒ වගේ ජීවිතේක නතර වෙලා ඉන්න බෑ”

“මටත් බෑ තමයි. ඒත් ඔයාට වගේ තීරණ ගන්න හයියක් මට නෑ. මං තීරණයක් ගන්නෙ කොහොමද දරුවො දෙන්නෙක් එක්ක. මේ කරුමෙන් නිදහස් වෙලා යනව කියල හිතන හැම වෙලාවෙම හිතට එන්නෙ ළමයි දෙන්නා. මං කොහොමද තනියම උන්ගෙ අනාගතේ හදන්නෙ…පවුල් ජීවිතේ කියන්නෙ රණ්ඩුයි එපා වීමුයි පිරිච්ච තැනක් කියල හිතාගෙන ඉන්නව ඉතිං…”

“ඒක ඇත්ත. ඔයාට මං වගේ බෑ. ඒත් මං ඔයා ඉන්න තැන හිටියත්…මට බැරි වෙයි ඔයා වගේ ඉන්න. මං කෝකිලගෙන් වෙන් වුණේ ම ඒ පීඩනේ දරා ගන්න බැරි වුණ නිසා. ආදරේටත් වඩා…කසාදෙකටත් වඩා…මටනං ආත්ම ගෞරවය වටිනව කියල දැනුණ නිසා. අද මගෙ පපුවෙ තියන මේ සාමය…එයා ළඟදි කවදාවත් දැනිල නෑ. ඒ වෙනුවට පපුව ඇතුළෙ හැමදාම තිබුණෙ ගිනි මැළයක්. ජීවිතේ කියන්නෙ තෝරගැනීමක් නෙවෙයි දුශ්… අපිට කතා කරන වෙලාවට යන්න වෙනව. එතකන් ජීවත් වෙන විදිහ විතරයි අපිට තෝර ගන්න පුළුවන්. මං තෝර ගත්තෙ සාමය. මං ඔයාටත් එහෙම කරන්න කියනව නෙවෙයි. හැම කෙනෙකුටම එක විදිහට දේවල් බාර ගන්න බෑ. ඒත් සහන් හැසිරෙන විදිහ ඔයා දරා ගෙන ඉන්න විදිහ ගැන මට දුකයි”

අයානා එතකින් ඒ කතාව නතර කළේ දුරාශා ගේ හිතට තවත් පීඩා කළ යුතු නැතැයි සිතුණ නිසා ය. ඇය හෙමිහිට ඇවිද පුස්තකාල කොටසට ගියා ය. ඊයේ හවස දුල්නෙත් හිඳ ගත් පුටුවේ තවමත් ඔහු හිඳ ගෙන ඉන්නවා සේ ඇයට මැවී පෙනිණ. ඔහු අරගෙන තිබූ ව්‍යවහාරික විද්‍යා අංශයට අයත් පොත රාක්කයේ තිබියදී ම ඇය අත ගා බැලුවා ය. පුස්තකාලයට මේ පොත් ගෙන එන්නට ඇය තීරණය කළේ නිතරම විශ්ව විද්‍යාල සිසුන් ෆොටෝ කොපි කරනා පොත් දෙස අවධානයෙන් බලා සිටීමෙන් අනතුරුව ය. විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ ඇති පොත් කිහිපය පිටපත් කර ගැනීම සඳහා ළමයින් ට කල් බලන්නට සිදු වේ. තරමක් මිලාධික වී ද ඉන් එක පොත බැගින් හෝ පුස්තකාලයට එක් කිරීම අයානා ගේ සිහිනයක් විය. 

“අයා…මං දෙයක් අහන්නද…”

උදේට කන්නට ගෙනා බත් මුල දිග හරින ගමන් දුරාශා දෙගිඩියාවෙන් වගේ විමසුවා ය. අයානා මිතුරිය කෑම කන මේසය වෙත විත් අසුනක් ඇද හිඳ ගත්තා ය.

“හ්ම්”

“ඔය තනිකම දරා ගන්න පුළුවන්ද…කවුරු හරි තනියට ඕන කියල හිතෙන්නෙ නැද්ද…”

පුරුදු විදිහට පළමු බත් කට අයානා ට කවන ගමන් දුරාශා ඒ ඇහුවේ ටික දිනෙක සිට ඇගෙන් විමසිය යුතු යයි හිත කොනිත්තමින් සිටි කාරණයකි. අයානා කල්පනාකාරීව හා සන්සුන් ව බත් කට කෑවා ය.

“දරාගන්න අමාරු වෙලාවල් තියනව. ඒත්…අපි බඳින්න හරි ආදරේ කරන්න හරි ඕනෙ ලෝක සම්මත විදිහට කවුරු හරි ඕන නිසා වෙන්න ඕන කියල මං හිතන්නෑ දුශ්…අපේ පැත්තකින් අපිත් එක්ක මේ ගමන යන්න කෙනෙක් ඉන්නව කියන හැඟීම පපුවට මාර සනීපයක් දනවන්න ඕනෙ. හරියට මලකින් සුවඳ ඉහිරෙනව වගේ…ඒක හරිම නිදහස් හැඟීමක්. සුරක්ෂිත හැඟීමක්. මිත්‍රශීලී හැඟීමක්. ඒ මිසක් ඒක බලහත්කාරයක් වෙන්න බෑ. උඹ මට ආදරෙයි කියපු නිසා හරි උඹ මාව කසාද බැඳපු නිසා හරි දැන් උඹ කියල කෙනෙක් නෑ ඉන්නෙ මං විතරයි කියල කවුරු හරි කෙනෙක් හිතනවනං…හැසිරෙනවනං…එතන අර මං කියපු ශාන්තිදායක හැඟීම ඉතුරු වෙන්නෙ නෑ. ආදරේ නිසාවත් කසාදයක් නිසාවත් කෙනෙක්ට තමන් අහිමි වෙන්න බෑ. ඒ තමන්ව හරි ආදරෙන් දරා ගන්න කෙනෙක් ඉන්නකොටයි අර මං කිව්ව පපුවෙ මල් පිපෙන සනීපෙ දැනෙන්නෙ. මං දන්නෑ මට එහෙම කෙනෙක් හම්බෙයිද කියල…අනික මං හිතන්නෑ ලංකාවෙ ඒ වගේ හිතන මාර නිදහස් හැඟීමක් ගෑනියෙක්ට දෙන්න පුළුවන් පිරිමි ඇති කියල. ලංකාවෙ පිරිමි හිතන්නෙ තමුං ආදර සම්බන්දයක් පටන් ගත්තු හරි කසාද බැඳපු හරි ගෑනි තමුන්ට නීතියෙන් ලියල දීපු දේපොලක් කියල. ඊට පස්සෙ ඒ ගෑනි ජීවත් වෙන්න ඕනෙ ඒ මිනිහව සතුටු කරන්න විතරයි. ඇඳේදි විතරක් නෙවේ මං මේ කියන්නෙ. ඒ මිනිහ කැමති නැත්තං ගෑනි වෙන මිනිහෙක් එක්ක කතා බහ කරනවට ආශ්‍රය කරනවට…එහෙම කරන්න බෑ. අඩු ගානෙ පිරිමි යාළුවෙක් ආශ්‍රය කරන්න ගෑනිට නිදහස දෙන පිරිමි කොච්චර අඩුද…උං හිතන්නෙ කතා කරන ඕන මිනිහෙක් එක්ක ඇඳට නගින්නයි ගෑනු බලං ඉන්නෙ කියල. එතකොට එයින් පස්සෙ තමං ආස කරන විදිහට ඇඳුමක් අඳින්න ඒ ගෑනිට ඉඩ දෙන්නෑ. ඒක කරන්න ඕන එයා කැමති විදිහට. ඒ ගෑනිට නිදහසේ ගමනක් යන්න බෑ. හැම තැනක් ම සැක කරනව. රණ්ඩු කරල කෑ ගහල බය කරගෙන තමුන්ට ඕන හැටියට තියා ගන්නයි බලන්නෙ. ආදරේ කියන්නෙ වෙන කෙනෙක්ට ඕන හැටියට ජීවත් වෙන එකද…මං හිතන්නෙ ආදරේ කියන්නෙ අපි කෙනෙකුගෙ විදිහට කැමති වෙන එකයි කියල…කෙනෙකුගෙ විදිහට පිස්සු වැටෙන එක. මට එහෙම පිස්සු වැටෙන්න පුළුවන් පිරිමියෙක් හම්බුණොත්…එයත් මං ගැන ඒ විදිහට පිස්සු වැටුණ කෙනෙක්නං…එයා ළඟදි මගෙ පපුවෙ මල් පිපෙන නිදහස් සනීපෙ මට දැනෙනවනං…මං එයා ළඟ නතර වෙයි නෙවෙයි…මං එයත් එක්ක එකට මේ ගමන යයි. එහෙම නැත්තං තනි ජීවිතේ ගැන මට කිසි අවුලක් නෑ. තනිකම රස විඳින්න පුරුදු වුණාට පස්සෙ නීති දාන අනවශ්‍ය බැඳීම් මොන විහිළුවක්ද කියල හිතෙන්න ගන්නව. මං ඉන්නෙ එහෙම තැනක. මං ඉන්නෙ සතුටෙන්. මං ඉන්නෙ ආදරෙන්. ඔක්කොටම වගේ හිත ඇතුළෙ සාමයෙන්…”

දුරාශා දෙවන බත් කට කවත්දී නිර්වාණයට ගොඩ වන පියවර හඬක් ඇසුනෙන් අයානා හැරී බැලුවා ය. දුල්නෙත් දකිත්දී ම ඇය සිය මුව සුරතින් වසා ගත්තා ය. නමුත් ඒ ඇස් සිනහ වෙනවා ඔහු දුටුවේ ය. මේ කොල්ලා කවදාවත් ගුඩ් මෝනිං කියන්නේවත් නෑ නේද කියා ඇයට වහා සිහි විය. දුල්නෙත් කෙලින් ම ගියේ පොත් රාක්කය වෙත ය. අයානා ගේ ඇස් ඔහු මත පතිත වී තිබිණ.

විශ්ව විද්‍යාලය රතු පාට මැයි මල් වලින් ආකාස පලසක් ද බිම බුමුතුරුණක් ද තනා තිබිණ. මැයි මල් පිපෙන කාලය ජපුරේ ලස්සන ම කාලයයි. පෙති ගිලිහෙන මල් සේ ම එක පෙත්තකුදු නො සැලී මල පිටින් ම බිම පතිත වන රතු කැට ද අමුතු පුෂ්පමය හැඟීමක් ජනිත කරවයි. විද්‍යා පීඨ වලට ඉදිරියෙන් රතු පෙති අතුල අවකාශයක ව්‍යවහාරික විද්‍යා පාඨමාලාවක් හදාරන තරුණයන් පිරිසක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ උදෑසනට නියමිත ව තිබූ දේශනය හදිසියේ ම අවලංගු වූ නිසා ය. ඉන් අනතුරුව තවත් දේශනයක් යෙදී තිබුණෙන් ඔවුහු විශ්ව විද්‍යාල භූමියෙහි ම රැඳී සිටියහ. 

පිටපත් කරන ලද සුදු කඩදාසි මිටියක් රෝල් කර ගෙන ඔවුන් වෙත එමින් සිටි දුල්නෙත් අලගියවන්න ගේ මුහුණේ පේන නො පෙනෙන තරමේ මන්දස්මිතයක් වූයේ ය. එතැන රංචු ගැසී උන් සියලු ඇස් දුල්නෙත් වෙත යොමු ව තිබුණේ ය.

“කොහෙද බං අතුරුදහන් වුණේ..”

කාගේත් හිත් වල තිබුණ පැනය එක් තරුණයෙකු ගේ මුවින් පිට විය.

“නිර්වාණෙට ගියා බං. සෙනගත් නැති නිසා නිදහසේ බලල මේ ෆොටෝ කොපීස් ටික ගත්ත”

“අඩෝ උඹ අපිව හලල ගියා නේ කෑල්ල බලන්න”

“මොන කෑල්ලක්ද…”

“මොන කෑල්ලක්ද…උඹ බබා…”

“මං කොයි වෙලේහරි අයානාට ටෝක් කරන්න ඉන්නෙ…උඹ මංජරීට කොක්ක ගහල තියෙන්නෙ කියල මතක තියා ගනිං…”

“අඩෝ මොනාද කියවන්නෙ…”

දුල්නෙත් ගේ මුව මත ලස්සන සිනහවක් පිපිණ. ඒ සිනහව උපන්නේ මංජරී වෙනුවෙන් ද නැත්නම් අයානා වෙනුවෙන් ද කියා ඔහු දැන සිටියේ නැත. මංජරී ඔහු ගේ පෙම්වතිය වීම ගැන ඇතැම් කොල්ලන් රහසේ ඔහු ට ඊර්ෂ්‍යා කළ බව දුල්නෙත් දනී. දැන් දැන් කොල්ලන් අයානා ව මාතෘකාව කර ගන්නවා වැඩි බව ද ඔහු ට දැනී තිබේ.

“අයානා කියන්නෙ කමියුනිකේශන් එකක නිකංම ෆොටෝ කොපි ගහන කෙල්ලෙක් කියල හිතන්න එපා මචංලා….ඕන පොතක ඕන තැනක් ගැන ඒකි එක්ක කතා කරපං…ඒකි ඒ පොත මොකද්ද…රයිටර් කවුද…ඒ ඔක්කොම දන්නව. අඩෝ අයානා කියන්නෙ ඇවිදින පුස්තකාලයක්”

විශ්ව ගේ ඒ අදහස වෙනුවෙන් එක එක කොල්ලා එක එක කතා කීවේ ය. නමුත් දුල්නෙත් වචනයකුදු දෙඩුවේ නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කී කතා අසා ගෙන සිටියේ ය. ඒ අතරේ ඔහු ගේ ඇස් වල දීප්තියක් ද දෙතොලතරේ මඳහසක් ද විය.

උදෑසන දේශනය අවලංගු වූ බව දැන ගත් සැනෙන් කාටවත් නො කියා ඔහු සෝරත මාවතට පිවිසියේ නිර්වාණ ද්වාරය වෙත යන්නට ය. ඊයේ හැන්දෑවේ නතර වූ තැන ගැන සීරුමක් වන් යමක් ඔහු ගේ හදවත විය. එය එක්තරා ආකාරයක නො සන්සුන් කමක් සරි වූයේ ය. අයානා දැකීමෙන් නෙතු පිනවීම වුව පාපයක් සේ සිතන්නට දුල්නෙත් උත්සාහ කළේ ය. එක කෙල්ලකට බලාපොරොත්තු දී තවත් කෙල්ලක වෙනුවෙන් බලාපොරොත්තු දල්වා ගැනීම සදාචාර සම්පන්න නොවෙන බව ඔහු නො දන්නවා නොවේ. නමුත් නිර්වාණයට දෙපා ගෑටෙන එක නතර කරන්නට හේ සමත් වූයේ නැත.

“මං යන්නෙ ෆොටෝ කොපීස් ටික ගන්න. මේ වෙලාවට කරදරයක් නැතුව ඒක කර ගන්න පුළුවන්”

ඔහු සිය හදවත වෙනුවෙන් ඉදිරිපත් කළ නිදහසට කාරණය ඒ ය. 

දුල්නෙත් නිර්වාණයට ගොඩ වන විට තරුණියන් දෙදෙනා සිටියේ කෑම කමිනි. දුරාශා අයානා ට බත් කටක් කවමිනි. දුල්නෙත් තත්පරයකින් දශම ගාණකට ගල් විය. ඒ මොහොත එතැන එහෙම ම නතර වූවා නම් ඔහු කැමති ය. ඒ මොහොත තුළ හද ගැස්මෙහි සිදු වූ වෙනස ගැන කිසිත් කියන්නට ඔහු නො දනී. ඈ හැරී බැලුවේ කවර ඉවක් නිසාද කියා දුල්නෙත් නො දනී. කෙසේ වතුදු ඔහු දුටු ගමන් ඇය සිහින් අතැඟිලි වලින් දෙතොල් පෙති වසා ගෙන ඇස් වලින් සිනහ වූවා ය. 

ඒ තරම් ලස්සනට ඇස් වලින් සිනහ වෙන්නට දන්නා කෙල්ලක මීට පෙර දුල්නෙත් ට හමු වී නැත!

නමුත් ඔහු සිනහ වීම හිතා මතා ම අතපසු කොට අහංකාර මූණ එල්ලා ගත්තේ ය. අයානා අස ඔහු ට පහසු විදිහ ඒ ය. මංජරී ට වරදක් නො කළ යුතු යයි යටි හිත අනතුරු අඟවයි. එතැන්හිදී අයානා ළඟ හිඳිමින් ම ඇගෙන් දුර හිඳිය හැකි එක ම මෙවලම ඒ අහංකාර වෙස් මූණයි!

ෆොටෝ කොපි ගැහුවේ අයානා ය. දුල්නෙත් මැශිම ඉදිරියේ හිට ගෙන ඇගේ සිහින් දිගු ඇඟිලි වල රිද්මය දෙස බලා ගෙන සිටියේ ය. වම් අතේ මැද ඇඟිල්ලේ කුඩා සුදු ගලක් අල්ලන ලද සිහින් රන් මුදුවක් විය. මුදුවට ඇගේ ඇඟිල්ල ආභරණයක් වූ තරම ය. දුල්නෙත් සිටියේ ඒ අතැඟිලි වලින් මුදා නො ගත් දෑසින් හා ඔහු අස මෙල්ල නොවූ සිතිවිලි වලිනි. 

“දැං යාළුද…”

පිටපත් කිරීමෙන් අනතුරුව ඒ ෆෝ කොළ මිටිය එකතු කොට දුල්නෙත් ඉදිරියේ වන මේසය මත තබා තට්ටු කොට ඔහු වෙත පාන ගමන් අයානා විමසුවා ය.

“ආ…කීයද…”

අහසින් පොළොවට පතිත වූවා සේ ඔහු කලබල වූයේ ය. අයානා, නැගෙන්නට ආ සිනහව දෙතොල් තද කොට හිර කර ගන්නා ගමන් ඇස් වලට විතරක් ඉඩ දුන්නා ය. ඔහු ඒ දෑස දෑලේ හිර වී පැටලී ගිය සෙයක් දුල්නෙත් ට දැනිණ. ඔහු සිටියේ කියා ගන්නට ලියා ගන්නට බැරි අසරණ ජීවියෙකු බවට පත් වෙමිනි.

“මං ඇහුවෙ දෙන්න දැං යාළුද කියල…ඊයෙ තරහ වෙලානෙ ගියේ…”

දුල්නෙත් යථාවත් වූයේ ඒ වචන ටික සවන් මත පතිත වත්දී ය. සිනහ වෙන්නට ඔහු ට උවමනා නොවී ය. කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය ඇද, ඔහු පිටපත් කිරීම වෙනුවෙන් මුදල් ගෙව්වේ ය. ඉතිරි මුදල අත පත් සැනෙන් යනවා හෝ නො කියා නික්ම ගියේ ය. කෙල්ලන් දෙදෙනා උනුන් ගේ මුහුණු බැලූහ. ඒ මොහොතේ සිනහව පුපුරා යන එක නතර කර ගන්නට දෙදෙනාට ම හැකි වූයේ නැත. පිටු පා යන දුල්නෙත් ට ඒ සිනහ තරංගයේ ඈත කොනක් අසන්නට ලැබිණ. ඔවුන් සිනහ වෙන්නේ කාටදැයි විමසිලිමත් වෙන උවමනාවක් ඔහු ට දැනුණේ නැත. ඒ පාෂාණිභූත බව අතුරුදන් වී ඔහු සාමාන්‍ය තත්වයට පත් වූයේ කොල්ලන් අතරට පැමිණි පසු ය.

නිර්වාණ ද්වාරයට සෙනග පිරෙන්නේ බලාපොරොත්තු නොවන අවස්ථා වල ය. විශ්ව විද්‍යාලයේ දේශන අවසන් වෙන වෙලාවන් මත ඒ තීරණය වේ. මැස්සෙක්වත් නිර්වාණයෙහි නො ගැවසෙන හෝරාවන් ද නැතිවා නොවේ. ඒ වෙලාවට අයානා හා දුරාශා කරන්නේ කයියක් ගසා ගෙන ඉන්නා එක ය. නිර්වාණය සෙනගින් පිරී කාර්ය බහුල වෙත්දී ඔවුහු දෙදෙන ම කඩියන් සේ වැඩ කරති. 

සෙනග නැති උදේ කාලයේ අයානා අසල පේස්ට්‍රි ශොප් එකෙන් රෝස් පාන් හා වඩේ ගෙනාවා ය. උදෙන් ම දුරාශා ගේ බත් එක කෑවාට දහය පමණ වන විට අයානා ට කපුටු ගින්නක් දැනීම ස්වභාවයයි.

“ඉස්සර මං පොඩි කාලෙ ඔය සෝරත මාවත මුල හරියෙ තිබුණා බේකරියක්. දැන් මට නම මතක් වෙන්නෑ. හවසට අපි ඒකෙන් උණු උණු පාන් ගේනව. ඒ කාලෙ මාගරින් එන්නෙ දැන් වගේ ප්ලාස්ටික් කප් වල නෙවේනෙ…මතකද…පොඩි බොක්ස් වල. අන්න ඒ බොක්ස් එක දිග ඇරල එහෙමම තීරු කපල මාගරින් කෑලි එක්ක උණු පාන් කන එක හවසට පුරුද්දක් වෙලා තිබුණ. ඒක මා…ර රසක්…”

රෝස් පාන් වාටියක් ජරස් ගා හපන අතරේ අයානා පරණ නොසිටැල්ජියාවක අතරමං වූවා ය. ඒ බේකරි කඩයේ කේක් වල වාටි කොන් කැපුණු කැබලි දමා සැකසූ බෑග් තිබූ බව ද ඇයට මතක ය. කේක් වලට වඩා ඒ කේක් කොන් කැබලි වල දිව්‍යලෝක රසයක් තිබිණි. ළමා වියේ මතක රස අතරේ උඩ ම තැනක තිබූ ඒ රස සුවඳ දැනුදු ඇයට ඉව කළ හැක. 

“කැම්පස් එක නිසා ඉස්සර ඉඳලම මේ හරිය බිස්නස් ඒරියා එකක් වෙලා තියෙන්න ඇති නේ…”

දුරාශා එසේ ඇසුවේ නිකමට ය. සිය පාසල් සමයේදීත් අයානා ගේ ගෙදරට ඇවිත් තිබුණ ද ඒ සමය ගැන ලොකු මතකයක් දැන් ඇයට නැත. ජීවිතය හමුවට පැමිණි අර්බුධ ඉදිරියේ අතීතයේ රස තැන් බොහොමයක් අමතක වී හෝ මතකයේ යට ගිලී  තිබීම කණගාටුවට කාරණයකි.

“එහෙම්මත් නෑ මං හිතන්නෙ. අපි චූටි කාලෙ අලවියක් කියල එකක් තිබුණ මට මතකයි. අම්ම ඒකෙන් තමයි හාල් එළෝළු එහෙම ගන්නෙ. ඔය සුනේත්‍රාදේවි පන්සල ඉස්සර චූටියි. ලොකූ පොල් වත්තක ඉස්සරහ කෙලවර ඒක තිබුණෙ. අලවියට ඉස්සරහ පොල් වත්තෙ දර මඩුවක් තිබුණා. එතන කජු ගස් වගයක් තිබුණා. දවසක් අයියයි මායි කජු පුහුලන් කඩන්න ඒ ගස් වලට නැගල..මං නැගපු අත්ත කඩා ගෙන වැටුණා. දෙයියනේ ඒ වෙලාවෙ දැනිච්ච පපුවෙ ගැස්ම…අත්ත කඩං බිමට වැටුණත් මං පපුවට තද කරං හිටිය පුහුලං දෙක අත් ඇරල තිබුන්නෑ”

ඒ පොල් වත්ත ඈතට ඈතට පැතිරුණ විසල් එකකි. එහි දං, බෝවිටියා, එරමිණියා,ඇඹුල් පේර වැනි කැලෑ පළතුරු පඳුරු පිරී තිබිණි. ශුද්ධ කොට තිබුණේ පන්සල් කොටස විතර ය. අයානා හා ඇගේ සොයුරා පාසල් ගොස් පැමිණි පසු ඒ ළඳු කැලෑව පීරීම සාමාන්‍ය පුරුද්දක් ව තිබිණි. ඇගේ ගවුම් වල ඉදිරිපස නිතර ම කහට පැල්ලම් විණි. ඒ ගවුම් සායට ගඩා ගෙඩි එකතු කළ නිසා ය. 

පොල් වත්ත එක පසෙකින් සෝරත මාවතෙන් ද තවත් පසකින් රබර් වත්ත පාරෙන් ද මායිම් වේ.රබර් වත්ත පාරේ අනිත් මායිම විශ්ව විද්‍යාලයේ උස් තාප්පයයි. ඒ තාප්පයේ ඉහළ දාරයේ බෝතල් කටු උල් සවි කොට තිබුණා ඇයට මතක තිබේ. ඒ විශ්ව විද්‍යාලයේ මාමලා තාප්පයෙන් පනින නිසායි අම්මා ඇයට කීවා ය. ඒ මාමලා මූණ පුරා රැවුල් වවා ගත් තියුණු දෑසක් ඇති අය සේ අයානා ගේ මතක ඉතිහාසයේ සනිටුහන් ව තියේ. 

“ඒ කාලෙ විශ්ව විද්‍යාලෙ කියන්නෙ දැනට වඩා අමුතු තැනක්. රට පාලනය කරන එක ගැන දේශපාලකයන්ටත් වැඩිය දන්නෙ කැම්පස් එකේ අයද කියල මට පොඩි කාලෙ හිතිල තියෙනව.  ඔය යුද්ද කාලෙ එහෙම කැම්පස් එකේ තාප්ප පෝස්ටර් වලින් වැහිල තිබුණෙ. උතුරෙ යුද්දෙයි දකුණෙ යුද්දෙයි දෙකක් කියල තාත්ත කියනව මට මතකයි. ඒ පෝස්ටර් වල ලියල තිබුණ දේවල් අමුතුයි. වට මේසය රට බෙදන උගුලකි කියන එක මට හොඳට මතකයි. ඒවයෙ ලියල තියෙන්නෙ මොනාද කියල තේරුණෙ නැති වුණාට ඒවයෙ ලියල තිබුණ අකුරු වල හැඩේට මං හරි ආසයි. කැම්පස් එකේ තාප්පෙ ළඟ හිටගෙන සමහර වෙලාවට මං ඒ අකුරු දිහා බලා ගෙන ඉන්නව…ඒව ලියන්නෙ එක්කෙනෙක්ද කියන ප්‍රශ්නෙ මට තිබුණා. එකම විදිහෙ අකුරු…ඒත් එක්කෙනෙක් එච්චර පෝස්ටර්ස් ගොඩක් ලියන්නෙ කොහොමද…කැම්පස් එකේ කරන්නෙ පෝස්ටර් ලියන එකද…ඔය වගේ ප්‍රශ්න මට තිබුණ. අම්මගෙන්වත් හරියට උත්තර නොලැබුණු… තාත්තටනං කැම්පස් කොල්ලො පේන්න බෑ ඒ කාලෙ. උං කැම්පස් ගිහින් තියෙන්නෙ ඉගෙන ගන්න නෙවෙයි දේශපාලනේ කරන්නයි…කාලකණ්ණි කියල බනිනව. අම්මගෙ මල්ලි කෙනෙක් ඔය කාලෙ කැම්පස් හිටිය. එයා තහනම් දේශපාලනයක් කරපු නිසා තාත්තට කොහොමත් පේන්න බැරුවයි හිටියෙ. අම්ම ටික කාලයක් ඒ මාමව අපේ ගෙදර හංගං හිටිය. තාත්තගෙ කටේ බලේට යැව්වෙ. තාත්ත කිව්ව පොලිස්සියට කියනව කියල…මිණිමරුවො ගෙයි දාං ඉන්න බෑ කියල. ඒ වෙලාවට අම්මගෙ ඇස් වල කඳුළු පිරෙනව. ඔන්න ඕව අත්ඇරල රටකටවත් යන්න කියල අම්ම මාමට වැන්දෙ නැතුව විතරයි. අර පෝස්ටර් ලියන්න ඇත්තෙ මාමල කියල දැනිච්ච නිසා මාමව වීරයෙක් වගෙයි මට පෙනුණෙ. කොහොමත් කැම්පස් එක ඉස්සරහින් පේන විදිහ නෙවෙයි රබර් වත්ත පාර පැත්තට පේන විදිහ. ඒක මහ ගුප්ත පෙනුමක්. අදටත් කැම්පස් එක ගැන මට දැනෙන ගුප්ත හැඟීමත් එක්ක උඩට එන්නෙ ඒ රබර් වත්ත පාරෙ වීව් එක”

“මටත් ඒ පැත්ත බලන්න ඕනෙ”

දුරාශා එසේ කීවේ හැබෑ අවශ්‍යතාවයකින් ද කියා ඇය ම නො දැන සිටියා ය.

එදා දිවා ආහාර වෙලාවේ දුල්නෙත් එන තුරු, කැන්ටිමට යන පාරේ මංජරී මග බැලුවා ය. ඔහු ගේ මූණේ ඊයේ තරහා බින්දුවක්වත් නැති බව, දුරට දුටු සිනහවෙන් ම ඇයට වටහා ගත හැකි විය. ටික කලක සිට ඔවුන් දෙදෙනා දවල්ට කන්නේ දුල්නෙත් ගේ අම්මා උදේට බැඳ දෙන බත් එක ය. මංජරී කෑම ගෙන ඒම ගැන ඥාති නිවසට කරදර නොකරන්නේ හොස්ටල් ලැබෙන තුරු වැටී ඉන්නට ඒ තැන තිබුණොත් ඇතිය යන අදහසිනි. ඇය එහි නතර වූයේ ම කඩෙන් කන්න පුළුවන් කියමිනි. නමුත් රාත්‍රී ආහාර වේල ඒ නිවසින් ලැබිණි. දවල්ට දුල්නෙත් ගේ බත් එක කන නිසා උදේට ඔවුන් දෙදෙනාට ම කෑම ගත්තේ ඇය ය. දුල්නෙත් ගෙදරින් එන්නට පෙර බත් පිඟානක් බෙදා ගෙන තවමත් අම්මා බත් ගිල්වයි. බඩ ගින්නක් නැතත් ඔහු මංජරී ගේ හිත නොරිදවනු වස් ඇය ගෙන දෙන දෙයක් කයි.

“දවසක ඔයාට රසට කෑම උයල දෙන්න මං ආසයි. ඒත් ඔයාගෙ අම්මගෙ කෑම තරංනං රස වෙයිද දන්නෑ”

බත් මුල දෙපැත්තෙන් හිඳ ගෙන කන අතරේ මංජරී අනාගත හීනයක් සිතුවම් කළා ය. 

“අපි ෆයිනල් ඉයර් වෙද්දි මැරි කරමුද…පාට් ටයිම් මොනා හරි හොයා ගෙන කරන්න පුළුවන්නෙ. කොහොමත් ෆයිනල් එග්සෑම් වලින් පස්සෙ ආයෙ ගමේ යන්නනං මට බෑ. කොළඹ දිගටම ඉන්නනං බඳින්න ඕන දුල්නෙත්”

“ඔයාට පිස්සුද…”

ඔහු කඩා ගෙන පැන්නේ ඇය අපේක්ෂා නොකළ පරිදි ය. මංජරී ගේ ඇස් පිය ගැස්සී ගියේ ය.

“අපේ අම්මල මාව හැදුවෙ බලු පැටව් බළල් පැටව් ගාණට නෙවේ. එහෙම එක පාරටම කසාදයක් බැඳ ගන්න…”

“හරි ඉතිං මං කිව්වෙ…”

“ජොබ් එකක් හරියට ලැබෙනකල් මන්නං මැරේජ් එකක් ගැන හිතන්නෑ. ගෑනියෙකුත් අරං ගිහිං තාත්තට කන්න දෙන්න කියන්න…මං මොකෙක්ද එතකොට…”

“ඔච්චර කේන්ති ගන්න දෙයක් නෙවේ අනේ මං කිව්වෙ. හරි හරි ඒව පස්සට බලමුකො. ඒ වෙලාවට…”

‘ඒ වෙලාවට වෙන්නෙත් දැන් කියපු විදිහට තමයි’ කියා ඔහු නො කියා හිටියේ මංජරී සමග රණ්ඩු ඇති කර ගන්නේ නැතිව සාමයෙන් සිටිනවායි උදේ නිර්වාණයෙන් පිට වෙත්දී සිතා ගත් නිසා ය. 

“එහෙම තමයි…බත් හැළිය ඉදෙනකල් විතරයි නේ…”

‘යාළු වුණාද’ කියා ඇසීමෙන් පසු අයානා එවන් කැබැල්ලක් ද එහි ද්විතීයික බාගය වශයෙන් එකතු කළ වෙලාවේ දුල්නෙත් ගේ මූණ රතු වී ගියේ ය.

“ඔයාගෙ මතකෙන් අමතක වෙන්නැති රසම කෑම මොකද්ද…මටනං එදා අපි දෙන්න පීසා කන්න ගිය දවස…”

මංජරී අයානා ගේ කල්පනා ලෝකයෙන් ඔහු බිමට බස්වමින් කතා කළා ය. දුල්නෙත් මඳහසක් නගා ගත්තේ ය.

“මං චූටි කාලෙ ඉස්කෝලෙ ගියේ මහරගම ධර්මාශෝකෙට…අපි එක්සත් මාවතේ ඉඳල ඔය අතුරු පාරවල් දිගේ පයින් එන්නෙ ඉස්කෝලෙට. තව අල්ලපු ගේක ළමයිනුයි ඒ අම්මයි අපියි අපේ අම්මයි…දැන් වගේ නෙවෙයි පයින් ගියාට ඒක දුරක් කියලවත් දැනිල නෑ. පරණ පාරෙන් හයිලෙවල් පාරට වැටෙන තැන බෝ ගහ යට තිබුණ පොඩි ස්නැක් බාර් එක ළඟදි දැනුණ සුවඳත් මට තාම මතකයි. අපි කෑම පෙට්ටි වලට කෑම දාගන්නෙ එතනින්. එක එක්කෙනා එක එක දේවල් ගන්නවනෙ. එතන ක්‍රීම් බනිස් ජෑම් බනිස් කිඹුලා බනිස් වගේ ඒවගෙ සුවඳවල් එකතු වෙලා හැදුණ අමුතුම සුවඳක්…ඒ සුවඳ ආයෙ මට දැනෙනව ඉන්ටවල් එකේදි කෑම පෙට්ටි ඇරියම. ඒ කාලෙ අම්ම කෑම පෙට්ටියට දාන ක්‍රීම් බනිස් එකෙයි කෙසෙල් ගෙඩියෙයි රස තරං රසක්වත් සුවඳක්වත් තාම මට දැනිල නෑ…”

මංජරී ඔහු දෙස බලා සිටියේ දෑස් විශ්මයෙන් විවර කර ගෙන ය. ‘පිස්සුද මෙයාට’ යන ප්‍රශ්නය ඇගේ සිතේ ඉස්මතු වී ආවේ ය. නමුත් එය වචන බවට හරවන්නට තරම් දිරියක් ඇයට වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles