දිවා ආහාර ගැනීමෙන් පසු මංජරී දුල්නෙත් ගේ බෑග් එක ඇරියේ අත් පිස්නාව එහි දමන්නට ය. ෆොටෝ කොපි මිටිය ඇගේ නෙතු ගැටුණේ ඒ වෙලාවේ ය. සිරුර හරහා අකුණු සැරක් වැදෙනවා ඇයට දැනිණ.
“නිර්වාණෙට ගියාද…”
ඒ වචන දෙක ඇගේ මුවින් පිට වූයේ සිතිවිල්ලකට හෝ ඉඩක් තබා දැයි සැක සහිත ය. මංජරී තවමත් සිටින්නේ සිය බෑගය විවර කර ගෙන නිසා සිදු වූ දෙය නිසැක වශයෙන් හිතා ගන්නට දුල්නෙත් ට පුළුවන.
“ඔව්”
ඔහු ගාණක් නැතිව කීව ද හිතේ යම් දෙගිඩියාවක් තිබිණ.
“කොයි වෙලාවෙද…”
මංජරී කඩා ගෙන පැන්නා ය.
“උදේ ලෙක්චර් එක කෑන්සල් වුණ වෙලේ. නිකං ඉන්න එකේ ගිහිං ෆොටෝ කොපි ටික ගත්ත”
“මං අහනකල්ම ඔයා ඒක මට කිව්වෙ නැත්තෙ හිතේ හොරේ නිසයි දුල්නෙත්”
එහෙම කියත්දී මංජරී ට හැඬී අවසන් ය.
“මොන හොරයක්ද…මං වෙනදටත් ෆොටෝ කොපි ගැහුවෙ එතනිං”
“ඒ වුණාට මීට පස්සෙ ඔයා එතනට යන්න ඕන නෑ. ෆොටෝ කොපි ගහන්න වෙන කමියුනිකේෂන් සෙන්ටර්ස් නැතුවද මේ විජේරාමට…මං දන්නව ඔයා ඒක අස්සටම රිංගන්නෙ ඇයි කියල…ඉන්නවනෙ එතන ග්‍රීක දෙවඟනක් වගේ ඇස් කරකෝල බලන සමයමක්”
ඒ අන්තිම කොටසට දුල්නෙත් තුළ සිනහවක් ඇති වුවත් ඒ සිනහව මංජරී ට පෙන්වන්නට ඔහු කොහෙත් ම ඉක්මන් වූයේ නැත. මංජරී ගේ දෑස් කඳුළු විල් බවට පත් වෙන්නට ඒ හැටි වෙලා ගියේ ද නැත. ඇය කියවමින් ම ඉකි ලන්නට වූවා ය.
“මං මෙච්චර ඔයාට ආදරෙයි. මට මෙහෙම කරන්න මං ඔයාට කරපු වැරැද්ද මොකද්ද…ඇත්තමයි දුල්නෙත් ඔයා ආයෙ ආයෙත් එතනට යන්න ගත්තොත් මං ජීවත් වෙන්නෑ කියල මතක තියා ගන්න. දෙයියම්ප මං මගෙ ජීවිතේ නැති කර ගන්නව”
“පිස්සුද හලෝ”
දුල්නෙත් නැගී සිටියේ නොරිස්සුමේත් කේන්තියේත් තරංග අතරිනි. ඔහු ගේ මූණ අඳුරු ගැසී තිබිණ.
“මං එතන මගුලක් කරන්න ගියෙ නෑ…බම්…බු…ව…”
“මං දන්නවනෙ ඔය ගෑනුංගෙ හැටි. මට ඕනෙ මගෙ දේවල් ආරක්ෂා කර ගන්න. මට ආදරේනං මීට පස්සෙ එතනට යන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න දුල්නෙත්”
මංජරී ඉකිබිඳිමින් ද දොඩවමින් ද තරුණයා ගේ අතක එල්ලුණා ය. දුල්නෙත් ඒ අත ගසා දැමුවේ අප්‍රසන්න බවකිනි. නමුත් මංජරී නැවතත් ඔහු ගේ අත බදා ගත්තා ය.
“පොරොන්දු වෙන්න මට…ඔයා ආයෙ නිර්වාණෙට යන්නෑ කියන්න”
“හරි හරි යන්නෑ”
ඔහු කෑ ගැසුවා සේ ය. කෝප වේදනාවක කැබලිති විසි වී ගියේ ය. සිමෙන්ති බංකුව මත වූ බෑග් එක ගෙන උරයක එල්ලා ගත් හෙතෙම තවත් වචනයක් හෝ නො දොඩා ඉක්මන් අඩි තබමින් එතැනින් නික්ම ගියේ ය. මඳ වේලාවක් බංකුව මත හිඳ උන් මංජරී නැගිට ගොස් අසලක වූ ජල නලයකින් දෝතට වතුර ගෙන මුහුණ සෝදා ගත්තා ය. ඇගේ මුව මතට ජයග්‍රාහී සිනහවක් විත් පොපියමින් තිබිණි.
දිවා ආහාරයෙන් පසු තිබුණ දේශනය නිමා වූ ගමන් දුල්නෙත් විශ්ව විද්‍යාලයෙන් නික්මුණේ ය. මංජරී ට හවස් වරුවේත් දේශනයක් ඇති බව ඔහු දැන සිටියේ ය. වෙනදාට නම් එය අවසන් වන තෙක් ඔහු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ම රැඳී හිඳියි. නො සන්සුන් කමක් එක්ක බැඳුණ හිසරදයක් ඔහු ට වද දුන්නේ ය. දැන් දැන් මංජරී කියන්නේ ම හිතට පීඩාවක් බව ඔහු ට දැනේ. ඇය ඉතා කුඩා දෙයක් හෝ අල්ලා ගෙන රණ්ඩුවක් ඇති කර ගන්නට බලයි. හඬා දොඩා හෝ ඇයට ඕනෑ දේ ම කර ගන්නට බලයි.
එක අතකට තමන් ද වැරදි යයි දුල්නෙත් ගේ සිත කීවේ ය. මංජරී ට සම්පූර්ණ ප්‍රේමයක් දෙන්නට ඔහු ට නො හැකි වූ බව පිළි ගත යුතු ය. ඈ සමග අතින් අල්ලා ගෙන ඇවිද යන අතරේත් අයානා හිතේ හොල්මන් නොකළා දැයි ඔහු තමන් වෙතින් ම ප්‍රශ්න කළේ ය.
සම්බන්ධයක් දැඩි හා ස්ථාවර වීමට නම් දෙදෙනා ම ඊට කැප විය යුතු බව දුල්නෙත් දැන සිටියේ ය. ඒ නිසා සම්පූර්ණයෙන් මංජරී ට දොස් කියනු වෙනුවට තමන්ගේ පාර්ශවයේ කුණු රොඩු ගසා බසා දැමිය යුතු ය. යළි නිර්වාණයට නො යමියි ඔහු සිතින් සිතා ගත්තේ ය.
නිර්වාණ ද්වාරය ඉදිරියේ පාර අයිනේ අයානා හා දුරාශා සිනා කතාවක සිටියහ. දුල්නෙත් ගමන් කරමින් සිටියේ පාරේ අනිත් පැත්තේ ය. වැරදීමකින්වත් එදෙස නො බලා කෙලින් බලා ගෙන යන්නට ඔහු උත්සාහ කළේ ය. ඒ උත්සාහය බොහෝ දුරට සාර්ථක වෙන්නට ඇත.
නමුත් වේදනාත්මක ගුලියක් උගුරේ හිර ව තිබෙනු වාගේ දැනිණ. දුල්නෙත් හිත තද කර ගත්තේ ය.
ඔහු පාරේ අනිත් පස ඇවිද යමින් සිටියදී අයානා ගේ ඇස් නතර වී තිබුණේ ඒ පිරිමි රුව මත ය. ඔහු කොණ්ඩය අතැඟිලි වලින් පිටුපසට පිරිමදිත්දී ඇය පෞරුෂවත් පිරිමියෙකු දුටුවේ ය. කෙතරම් නිර්වාණයට ආවා ගියා වී ද ආඩම්බරකාරයා නිකමට මූණ බැලුවේ නැත. අයානා ගේ දෙතොල් යාන්තමට විවර වී ඇස් කවුළු තුළ මඳහසකට ළඟ හැඟීමක් නලියමින් තිබිණ.
ගෙදර ගිය ගමන් හිසරදේ කියා දුල්නෙත් ඇඳට වැටුණේ ය. අම්මා වේදනා නාශක පෙති දෙකක් සමග වතුර එකක් ගෙනැවිත් දී නළලට පිටි අත්ල තබා බැලුවා ය.
“වෛරස් උණ එහෙම හැම තැනම..අනිත් එක ඩෙංගුත් තියනව මේ දවස් වල…කෝකටත් හවසට ගිහිං බෙහෙත් ටිකක් ගමු”
“ඕන්නැති වෙයි”
පෙති දෙක ගිල දමා දුල්නෙත් ඇස් පියා ගත්තේ ය.
“ඕන්නෑ කියල බෑ. ටිකක් නිදා ගෙන නැගිටින්නකො”
කියාගෙන ඕ තොමෝ කාමරයෙන් නික්ම ගියා ය. දුල්නෙත් ගේ පපුවට සැනසීමක් දැනිණ. මේ වගේ ප්‍රශ්නයක් හිස දරා ගෙන ඔහු තැවුලෙන් හිඳින බව දැන ගත හොත් අම්මා කෙතරම් දුකට පත් වේවි දැයි ඔහු ට සිතේ. මධ්‍යම පාන්තික පවුල් පසුබිමක් ඇති බොහෝ පවුල් වල අම්මලා මෙන් ඔහු ගේ අම්මා ද සිය තරුණ කාලය දිය කර හැරියේ දුල්නෙත් ගේ හා ඔහු ගේ වැඩිමහල් සොයුරිය ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි. පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු වූ පියා උපයා ගෙනෙන මුදල ඉතා අරපරෙස්සමෙන් වියදම් කරමින් දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් ම පේ වීම ඇගේ ස්වභාවය විය. පාන්දර හතරට අවදි වී මුල් ම කාරිය ලෙස රයිස් කුකර් එකට බතක් ගැසීම, මතක ඇති කාලයක පටන් ඇගේ සිරිතයි. ඇතැම් විට හාල් හෝදා නිම වන තුරුත් නිදි මතට ඇගේ ඇස් පිය වී තිබේ. දුල්නෙත් ගේ පියාට බත් මුල් දෙකක් බැඳීම උදේට ඇය දේව කාරිය සේ කළා ය. ළමයින් ඉස්කෝලේ යත්දී උදේට එක පිඟානකට බෙදා ගෙන, අල ගෙඩියක් තෙල් දමා බිත්තරයක් සමග හෝ ඕ දෙන්නාට ම බත් කැව්වා ය. අටෝරාසියක් වැඩ අතරේ දරුවන් ව ද අන්දා ගෙන ඇය ද සූදානම් වී පයින් ම ඔවුන් ව පාසල් කැටුව ගියා ය. කොහොමටත් උදේට බස් වල තදබදය වැඩි නිසා ඒ පයින් යාම පහසු වූයේ ය. උදේට ඇවිදින එක ලෙඩ අඩු කර ගැනීමට හේතුවක් යයි ඇය නිතර ම දුල්නෙත් ලා ට කීවා ය. නමුත් මේ පයින් යාමට වැඩිපුර හේතු වූයේ එකයි බාග දෙකක් ලෙස ටිකට් ගන්නට සිදු වීමයි. එකයි බාග දෙකේ ඒවා මාසෙකට දින විස්සක් දෙවේලකට ගණන් හැදුවා ම කෙතරම් මුදලක් දැයි ඇය නිතර ගණන් හැදුවා ය. යන ගමන් තිලකා ජයන්තියෙන් ඉන්ටවල් එක සඳහා මොනවා හෝ කෑම පෙට්ටි වලට දැම්මේත්, එන ගමන් පන්නිපිටියේ මාළු ලෑල්ලෙන් මාළු දෙසීය පණහක් ගත්තේත් බස් ගාස්තුව පිරිමසා ගනිමිනි.
දුල්නෙත් ගේ මව් ප්‍රියන්ති ගෘහණියක ලෙස ගෙදර සියලු කටයුතු සකසුරුවමෙන් කළා ය. ගෙදර වියදමට සැමියා ඈ අතට දෙන මුදලෙන් අඩු නැතුව ඔවුන් ගේ කුස් පුරවමින් අනිකුත් අවශ්‍යතා ද පිරිමසා ගැනීම පහසු වූයේ නැත. ඒ නිසා ඇය මිදුල වටේ මඤ්ඤොක්කා ගස් ටිකක්, නිවිති කන්කුන් දඬු ටිකක්, මිරිස් පැල ටිකක් ආදිය ඉන්දවා ගෙන සිටියා ය. කොළ මැල්ලුම නම් අනිවාර්යයෙන් වත්තෙනි. දඹල, වම්බටු, බණ්ඩක්කා, මෑ වැනි එළවළු ද නිතර කඩා ගත හැකි විය. එතකොට දිනපතා මුදලක් වැය කළ යුතු වන්නේ මාළු ටිකක් හෝ සැමන් එකක් ගන්නට ය. කුකුළු මස් ටිකක් සතියකට වතාවක් හෝ ගෙනාවේ දුල්නෙත් ගේ පියා සේනක ය.
“හැමදාම මඤ්ඤොක්කා කොළ මැල්ලුන්ද අප්ප”
කියා බත් පත අතට ගත් ගමන් පැටි වියේ දී දුල්නෙත් ඕනෑ තරම් අසා තිබේ.
“තණකොළ හරි කාල ඉගෙන ගන්නයි තියෙන්නෙ. එතකොට බැරියෑ ලොකු මහත්තයෙක් වෙලා සැප කෑම කන්න”
එතකොට ප්‍රියන්ති කියයි. සේනක ගේ කට කොනක සිනහවක් ඇඳී තියෙයි. ළමයි දෙන්නා කන්න ගිහින් ඔය වගේ නෝක්කාඩුවක් කීවාට රටේ ලෝකේ ළමයින් එක්ක බලනා විට ඔවුන් ඉතා ම හොඳ ළමයින් බව ප්‍රියන්ති ඉර හඳ සේ දැන සිටියා ය. අනිත් අතට මඤ්ඤොක්කා කොළ ටිකක් හෝ කලවම් කොළ ටිකක් කඩා ඇය දිනපතා දවල් බතට මැල්ලුමක් හැදුවේ ළමයින් ගේ ශරීර සෞඛ්‍යය ගැන ම සිතා ය. මඤ්ඤොක්කා කොළ වලට කොච්චි දමා වංගෙඩියේ කොටා ඔවුන් ළමා වියේ දී කෑ මැල්ලුමෙහි රස ඇයට තවමත් මතක ය. වංගෙඩියේ නො කෙටී ද ප්‍රියන්ති දැන් මැල්ලුම් හදන්නේ මඤ්ඤොක්කා කොළ සිහින් ව ලියා ය. ඕනේ නම් ඊට කොච්චි ටිකක් කඩා තලා දමයි. අම්මා හදන මඤ්ඤොක්කා කොළ මැල්ලුම හා පහේ බැද කළුවට උයන සැමන් හොද්ද සමග හාල් හුණ්ඩු දෙකක පමණ බත් වලට වග කිව හැකි බව දුල්නෙත් දැන ගත්තේ යෞවනයෙකු ලෙස වැඩෙත්දී ය.
අරපරෙස්සම ගැන සිතූ ප්‍රියන්ති ඉස්කෝලේ අනිත් අම්මලා කරනවා වාගේ ළමයින් දෙදෙනාව එකේ පන්තියේ සිට ම ටියුශන් පන්ති ඇද ගෙන දිව්වේ නැත.
“ළමයට පහට එනකල් පාඩමක් කියල දෙන්න අම්මලට බැරි කමක් නෑනෙ. අපිත් ඉස්කෝලෙ ගියානෙ”
කියමින් ඇය හැන්දෑ වරුවට ළමයින් දෙන්නාව පාඩම් වැඩ වලට යොමු කරවූවා ය. ගෙදර වැඩ කරවූවා ය. චක්කර පාඩම් ගත්තා ය. ඩික්ටේශන් බැලුවා ය. කවි ගාථා පාඩම් කරවූවා ය. මුලින් ගෙදර ගෑනු ළමයා ද ඉන් තෙවසරකට පසු දුල්නෙත් ද පහේ ශිෂ්‍යත්වය සමත් වූයේ ඉස්කෝලේ හවස පන්තියට පමණක් සහභාගී වී ය. දියණිය ගේ ශිෂ්‍යත්ව පොත් හා ප්‍රශ්න පත්‍ර සියල්ල ඇය පිිවෙලකට පුතු වෙනුවෙන් තබා ගත්තා ය. මුදල් ගෙවා අතිරේක පොතක් ගත්තේ එය සොයා ගත නො හැකි ම වෙලාවකදී නම් ය.
තමන් අද මේ තත්වයේ ඉන්නේ තාත්තාටත් වඩා අම්මා ගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස බව දුල්නෙත් දනී. අක්කා විවාපත් ව කුළගෙදරට ගිය දා පටන් අම්මා ගේ සම්පූර්ණ ලෝකය කේන්ද්‍ර වී ඇත්තේ තමන් මත බව ද ඔහු දනී.
ප්‍රියන්ති යළි ඇවිත් දුල්නෙත් ගේ නළල මත පිටි අත්ල තබා යත්දීත් ඔහු සිටියේ නින්දේ නොවේ. නමුත් නිදි ලෙසට ය.
“උණක් නං නෑ”
යන ගමන් ඇය තනිව එසේ මුමුණනු ඇසී පපුව පිච්චී යන සංවේදනයක් ඔහු ට දැනිණ. මංජරී ගේ ප්‍රේමය පිළිගත්දී දුල්නෙත් සිතුවේ සෑම අතින් ම සිය ගෙදරට ගැලපෙන ගෑනු ළමයා ඇය කියා ය. අම්මා ට කට පුරා සිය ලේලිය ලෙස හඳුන්වා දිය හැකි සම්මත ලස්සනක් මංජරී ට තිබේ. ඇය විශ්ව විද්‍යාලයෙන් නික්මෙන්නේ උගත් උපාධි ධාරිනියක ලෙස ය. පවුල් පසුබිම අතින් ද ඔවුන් අතරේ ඒ හැටි වෙනසක් තිබිය නො හැකි යයි ඔහු සිතුවේ ය. ඔවුන් වෙනුවෙන් අම්මා විඳි දුක් වෙනුවෙන් ඔහු ට කළ හැකි මාහැඟි ම යුතුකම, අම්මා කැමති විය හැකි විදිහේ, අම්මා සතුටු කළ හැකි විදිහේ, අම්මා ට ඥාති සනුහරේ ඉදිරියට යා හැකි විදිහේ සහකාරියක තෝරා ගැනීම ය. අයානා කෙරේ ඇදී යන හිත මංජරී ළඟ නතර කර ගන්නට තරම් ඔහු ට තිබූ සංයමය නම් අම්මාට හොඳ පුතෙකු ලෙස යුතුකම් ඉටු කරන්නට තිබූ ඕනෑකම විසින් නිර්මාණය කරන ලද්දකි.
නමුත් ඔහු වෙනුවෙන් එදා ඒ තෝරා ගත්තේ හොඳ ම දේ ද යන පැනය දුල්නෙත් ඉදිරියේ නතර වී වියරු වෙසින් බලා සිටින්නට විය.
හැන්දෑවේ ඔහු ඇඳෙන් බැස්සේ හිස රදය තුනී වී ගිය නිසා ම නොව නැත්නම් අම්මා ඔහු ව බෙහෙත් ගන්නට වෛද්‍යවරයා වෙත කැටිව යනු ඇතැයි බියෙනි.
පහුවදා දුල්නෙත් නිර්වාණය ඉදිරියෙන් ඇවිද ගියේ ඇසක් හරවා ඒ දෙස නො බලන්නෙමැයි තදින් සිතා ගෙන ය. ඒ වෙලාවේ අයානා අරලියා අත්තක එල්ලී ගෙන කහ අරලිය මල් කඩමින් සිටියා ය. ඈ හැඳ සිටි කහ පාට කෙටි මල් ගවුමේ සාය, දෑත් ඉහළට එසවීම නිසා තවත් කෙටි වී කකුල් නිරාවරණය වී තිබිණ. ඒ පැත්ත බලන්නේ හෝ නෑ කියා හිතා ගෙන ගිය හිතිවිල්ල වෙනස් වූයේ කොතැනක දී දැයි දුල්නෙත් දන්නේ නැත. ඔහු අරලියා අත්ත අල්ලා ගත්තේ ය. අයානා අත්ත අතහැර පසෙකට වූයේ ගවුම් සාය පහළට කරමිනි. දුල්නෙත් මල් ටික කඩා අයානා අතට දුන්නේ ය. ඇගේ ඇස් වල තෙත පාටක් ඔහු ට දැක ගත හැකි විය. අයානා ගේ ඇස් ටීක් බෝල වාගේ කියා ඔහු ට සිතිණ.
දුල්නෙත් හිටියේ අමුතු සතුටකිනි. අයානා ගේ ඇරයුමකින් තොරව ම කහ අරලියා මල් කඩන්නට ඇයට උදව් කරන්නට තරම් ආත්ම ශක්තියක් ලැබීම ගැන ඔහු තමන් පිළිබඳ ව ආඩම්බර වූයේ ය. ඒ ආඩම්බරය සතුටක් ලෙස ඔහු තුළ වාං දමමින් තිබිණ. නමුත් ඔහු ඉන් පසු දින ගණනාවක් ම නිර්වාණය වෙත ගියේ නැත.
ගහක කොළයක් හෝ සෙලැවෙන්නේ නැති තරමට නිශ්චල රාත්‍රියක් සේ වූ අයානා ගේ සිතේ මුදු සුළං තරංගයක් ව දුල්නෙත් නො පැටළුණා නොවේ. ටික දවසකින් ඔහු නිර්වාණය පැත්තේ නො ආ බව ඇය දැන සිටියා ය. එය ඉසියුම් පාළුවක් සේ දැනුණා වූ එක්තරා මොහොතක ඕ වේගයෙන් ඇස් පිය සලා ඇස් තද කොට පියා ගෙන ම සිතින් ඉල්ලීමක් කළා ය.
“ඒ හිතිවිල්ල මගෙ හිතෙන් දැන්ම ම අයින් කරන්න…ඒ හිතිවිල්ල මගෙ හිතෙන් දැන්ම ම අයින් කරන්න…ඒ හිතිවිල්ල මගෙ හිතෙන් දැන්ම ම අයින් කරන්න…”
යමක් දැනෙමින් තිබියදීත් එවැන්නක් නො දැනෙන්නා සේ ඒ මත ගෑවී – නො ගෑවී ජීවත් වෙන්නට සමහර අවස්ථා වල අපි තැත් දරමු. අයානා ගේ උත්සාහයත් එබඳු විය. ඇය කිසි සේත් දුල්නෙත් ව මතක් කර ගන්නට උත්සාහ නො කළා ය. නමුත් හිත යට නිදා නො නිදා ඔහු සිටියේ ය. පැන්සලකින් තදින් ලියූ අකුරක් මකා දැමූ පසුව ද කඩදාසිය මත පෙනී නො පෙනී සිටියා සේ ඔහු සිටියේ ය.
අමාරුවෙන් අමතක කරන්නට යත්දී දේවල් වැඩි වැඩියෙන් මතක් වෙන බව අයානා ඉතා හොඳින් දැන සිටියා ය. ඒ නිසා ඇය අසීරුවෙන් ඔහු ගැන අමතක කරන්නට ද වෙහෙස නොවුණා ය. අනිත් අතට දුල්නෙත් හා බැඳුණු ලොකු ලොකු මතක ඇයට වූයේ නැත. තිබුණේ විශේෂ මතක දෙක තුනක් පමණි. ඔහු අනාරාධිතව විත් අරලියා අත්ත අල්ලා ගත් වෙලාවේ මුලින් ම ඔහු ගේ හුස්මක් ඇගේ මුහුණේ වැදිණි. ඊළඟට විලවුන් හා රුධිර සංසරණ පද්ධතිය එකට මුහු වී නිකුත් කළ පිරිමි සුවඳ ඇගේ පෙනහලු විනිවිද ගියේ ය. ඊට කලින් මහ වැසි වැටුණු දවසේ ඇගේ ඇස් පියවුණු තත්පරයක ඔහු ඇඟේ ගෑවී නො ගෑවී නිර්වාණයට ගොඩ වූ මොහොත ඇයිදෝ මන්දා ඇගේ මතකයේ එහෙ මෙහෙ වෙමින් තිබිණ. මංජරී ඔහු ගේ වැළමිට සන්ධිය තදින් අල්ලා ගෙන සෝරත මාවතේ ඇවිද ගිය දර්ශනය ද, දුල්නෙත් පුටුව පස්සට තල්ලු කරමින් නැගී සිට නිර්වාණයෙන් පිට වූ දර්ශනය ද ඒ වෙලාවේ කෝපි කෝප්පය ඉහිරෙන්නට ඔන්න මෙන්න වූ දර්ශනය ද ෆොටෝ කොපි මිටිය ගත්දී ඔහු ගේ මූණ රතු වී තිබි අයුරු ද අපිළිවෙල රූප රාමු සේ මැවෙමින් යට යමින් තිබුණේ ය.
ඒ සියල්ල ඇය තුළ රසවත් කමක් කලතන්නට විය. ළමා වියේ පටන් ඈ තෘප්ත වූයේ ඉතා කුඩා දේ වලින් බව අයානා ට මතක ය. පොඩි කාලේ ඇය ටොෆි කොළ චොක්ලට් කොළ එකතු කළා ය. බොන් බොන් නමින් තිබූ ටොෆි වර්ගයක දැවටුමේ පළතුරු ගෙඩි වල ඉතා කුඩා පින්තූර තිබුණ බව ඇයට මතක ය. ඒ ටොෆි කොළ මිටියක් ම ඇය සන්තකයේ විය. ඊට අමතර ව බස් ටිකට් එකතු කළේ මොකටද කියා හෝ ඇය දැන සිටියේ නැත. කොළඹ බාලිකාවට ඇතුළු වීමට පෙර ප්‍රාථමික අංශයේ දී පස් වසරක් ම ඇය මහරගම ධර්මාශෝකයට පාසල් ගියේ බස් එකේ ය. ඒ කාලේ එක බස් එකක කාකි නිල ඇඳුම හැඳ ගත් කොන්දොස්තරවරියක සිටි බව ඇයට මතක ය. ඉන් පසුව ඇය කිසි දා ක කොන්දෝස්තරවරියක දැක නැත. ඒ කාලේ ලංගම බස් වල රියදුරුන් හා කොන්දොස්තරවරුන් වෙනුවෙන් වූ ඒ කාකි නිල ඇඳුම අහෝසි වී ගියේ කවදා දැයි ඇය දන්නේත් නැත. කාලාන්තරේකට පස්සේ ඒ කාකි නිල ඇඳුම ද කොන්දොස්තරවරිය ද ඇයට සිහිපත් වූයේ ප්‍රථම වතාවට විය යුතු ය. එහෙම මතකයන් නිදන් ගත වී තිබෙන්නේ හිතේ කොතැනක විය හැකි ද?
ඇය සුවඳ සබන් කොළ එකතු කරන්නට ද ආශා වූවා ය. රෙක්සෝනා සබන් සුවඳ ඇය වඩාත් ප්‍රිය කළ සුවඳයි. ඒ කාලේ ලක්ස් සබන් වල ද දැන් කාලේ නැති සුවඳක් තිබිණි.
මේ කඩදාසි කැබලි එකතු කිරීමේ විනෝදාංශයෙහි වූ හරය කුමක් දැයි අද ද අයානා නො දනී. නමුත් ඒ කොළ මිටි ගෙන නැවත බලමින් නිධානයක් සේ යළි සුරක්ෂිත ව තබමින් විඳි රසයට සමාන සුවයක් මේ දිනවල ගෙවී යන තත්පර මිලි තත්පර පුරා ඇයට දැනෙයි. නමුත් ඇය නො දැනුණා සේ හිඳියි.
ධර්මාශෝකයත් මහරගම මධ්‍ය විද්‍යාලයත් වෙන් වූයේ කම්බි වැටකිනි. දැන් නම් ඒවා තාප්ප බවට පත් වී තිබෙනවා විය යුතු ය. ඒ කාලේ ඒ වැට ළඟට වී ලොකු ඉස්කෝලේ අයියලා අක්කලා දෙස බලා ඉන්නට අයානා බෝ රිසි වූවා ය. මොකක්දෝ හේතුවකට ඉක්මනට ලොකු වෙන්නට ඇයට උවමනා වී තිබිණි. එයින් ටික කලක් යන තුරු ම ඇය හොඳින් බැලුවේ ඇයට වඩා වයසින් වැඩි අක්කලා අයියලා දෙස පමණකි. ඒ නිසා මල්ලිලා නංගිලා ඇයට අමතක ය.
වැට ළඟට වී ලොකු ඉස්කෝලේ ඉන්ටවල් එක දෙස බලා සිටි දවසක අයානා ගේ සුදු ගවුම මඩ වතුරෙන් නැහැවී ගිය සිදුවීමක් විය. ඒ හරියේ පරණ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරන ලද සුන් බුන් තිබුණා වාගේ ඇයට මතක තිබේ. තැන් තැන් වල සිමෙන්තිය ශේෂ වී තිබූ ඒ බිම සිමෙන්ති කැඩී වළ ගැහුණු තැනක වැහි වතුර එක් රැස් වී මඩ වළක් තනා තිබුණේ ය. ඒ මේ අත දුවමින් සිටි මල්ලිලා කිහිප දෙනෙකුගෙන් එකෙකු ඒ මඩ වළට පැනීම නිසා අයානා ගේ ගවුම ද මඩ දියෙන් පැල්ලම් නැගුවේ ය.
“අනේ…”
අයානා ට එසේ කියවිණ. ඇය ගවුම් සාය මඳක් දිග හැර එදෙස බලා සිටියේ ශෝකයෙනි. මොහොතකින් ඇස් වල කඳුළු පුරවා ගත් කොලුවෙකු ඇය ඉදිරියේ බයාදු මුහුණකින් පෙනී සිටියේ ය.
“සොරි. මං මුකුත් කළේ නෑ. අරය මාව මඩ වළට තල්ලු කළා”
ඔහු යටැසින් බලා ගෙන තතනමින් කීවේ ය.
“හහ්…”
නොමනාපයෙන් ගවුම් සාය ගසා දැමූ අයානා දුල්නෙත් ට රවා ගෙන එතැනින් නික්ම ගියේ ගස්සාගෙන ය.
ගවුම සේදූ විට මඩ පැල්ලම් සේදී යන බව ගුරුතුමී කීවා ය. නමුත් අයානා සිටියේ අපුළෙනි. ඒ වගේ අපිරිසිඳු ගවුමක් ඇඳ ගෙන බස් එකේ ගෙදර යන්නේ කොහොමද යන පැනය ඇයට විය.
තමන් හින්දා ගවුම මඩ වතුරෙන් අපිරිසිඳු වූ අක්කා ගැන දුල්නෙත් ගේ ළමා හදවත තුළ ඇති වූයේ ශෝකී බවකි. ඇය තරහක් පෙන්වන්නට හැදුවාට ඒ ඇස් වල වූයේ දුකකි. ඇගේ ඇස් ටීක් බෝල වාගේ යයි ඔහු ට සිතිණ!
ඊට පස්සේ පන්ති කාමරය තුළ නො සිටිනා වෙලා වල දුල්නෙත් කොහේ හෝ සිට ඒ අක්කා දෙස බලා ගෙන සිටියේ ය. ඇය ගේ ඇස් වලට ඒ තරම් කැමති හිතෙන්නට කාරණයක් ඔහු ගේ ළමා මනසට වැටහුනේ නැත. තවත් වසරකින් ඒ අක්කා ඉස්කෝලේ කොතැනකවත් නැති විය. පහෙන් පස්සේ අක්කලා අයියලා යන්නේ වැටෙන් එහා පැත්තේ ඉස්කෝලේට යයි ඔහු දැන ගත්තේ ඔය කාලයේ ය. වැට ළඟට වී ලොකු ඉස්කෝලේ දෙස බලා ගෙන ඉන්නට දුල්නෙත් පුරුදු වූයේ ය. නමුත් ඒ ටීක් බෝල ඇස් දෙක කවදාකවත් ඒ පැත්තේ දැක ගන්නට ඔහු ට හැකි වූයේ නැත.
අයානා ජයසුන්දර ඉතා හොඳින් පහේ ශිෂ්‍යත්වය සමත් වී කොළඹ ප්‍රකට බාලිකාවකට යමින් සිටියා ය. ඉන් වසර තුනකට පස්සේ ශිෂ්‍යත්වය සමත් වූ දුල්නෙත් කොළඹ පිරිමි විද්‍යාලයකට ඇතුළත් වූයේ ය. ඉනික්බිති ඔවුන් ගේ මතක වලින් ඔවුන් ඈත් ව යන්නට විය. නිර්වාණ ද්වාරයෙහි දී යළි උනුන් හමු වී ඇති වගක් හෝ ඔවුන් දැන සිටියේ නැත!
ඉනික්බිති මංජරී සිටියේත් සැනසීමෙනි. සතුටෙනි. දුල්නෙත් නිර්වාණයට නො යන බව ඇය ඉඳුරා දැන සිටියා ය. ඔහු නම්මා ගැනීමට හැකි වීම ගැන ඇයට වූයේ ආඩම්බරය මුසු සතුටකි.
“දැන්ම ඉඳල හදා ගන්නෙ නැතුව බෑ”
ඇය තමන් ගැන උද්දාමයෙන් සිතුවා ය.
ඊට පස්සේත් නිර්වාණයෙහි මංජරී නම් ගැවසෙනු දැකිය හැකි විය. එහි වන විවිධ වර්ණ හා හැඩ වල පෑන්, පැන්සල්, බුක්මාක්, නෝට්බුක් ආදී කී නොකී බොහොමයක් විචිත්‍ර දේ අතරේ ඇයටත් නො දැනී ඇය අතරමං වන්නී ය. මහපොළ ආධාර වශයෙන් ලැබෙන මුදලින් සැලකිය යුතු ගණනක් වියදම් වන්නේ නිර්වාණයෙන් විච්චූර්ණ බඩු මිල දී ගන්නට ය. ඒවා හිමි නොවූ අතීතයක ඉකි බිඳුම් හඬක් ඇගේ හිත යටින් ඉසිහින් ව නැගෙන වෙලාවල් තිබේ.
ළමා වියේදීත් මංජරී ගේ සිත ඇදී ගියේ විසිතුරු දේ වෙතට ය. මිලාධික අරුමෝසම් දේ වලට ය. නමුත් ඒවා සතු කර ගන්නට කිසි දා ඇයට හැකි නොවිණි. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වී ඉපදුණු ඇයට හැම විට ම ලැබුණේ වැඩිමල් සොයුරු සොයුරින් පාවිච්චි කරනා ලද ඇඳුම්, සපත්තු හා පත පොත ය. ඇගේ පියා අනුරාධපුර නගර සභාවේ කුණු ට්‍රැක්ටරයක වැඩ කළේ ය. රාජාංගනයේ කුඩා නිවසෙක ගෙවී ගිය අඩුපාඩුකම් ගහන දිවිය පුරා ඇය සිහින දුටුවේ සුව පහසු ජීවිතයක් ගැන ය. යමක් කමක් තේරෙන්නට පටන් ගත්තාට පස්සේ ඇය අම්මා සමග රණ්ඩු කර ගත් වාර අනන්ත ය. ඒ ඔවුන් ට උරුම වූ දුෂ්කර ජීවිතය ගැන ය. ඇය බලාපොරොත්තු වූ සුඛ විහරණය ඒ ගෙදර ඇතුළේ නොවූ එක ගැන ය.
“අපි පුළුවන් විදිහට තමයි කරන්නෙ…පස් දෙනෙක්ගෙ අත පය කඩන්නැතුව පුළුවන් හැටියට උගන්නල උඹලව උස් මහත් කරපු එකම මදිද…”
“පඩි පෙළ වගේ ළමයි පෝලිමක් හදා ගත්තෙ මොන එහෙකටද ඒකට…උන්ට කුරක්කං ටිකක් ගිල්ලුවහම ඇති කියල හිතල වෙන්න ඇති”
ඇය කුටු කුටු ගා ගතු කීවා ය. නන්දාවතී ට ඒ වදන් තැන් තැන් වලින් ඇසිණ. තැන් තැන් වලින් නො ඇසී ගියේ ය.
“මොකද්ද බොල කිව්වෙ..”
හේනටත් කර්කශ දේශගුණයටත් කැත්තට පොල්ලටත් රළු පරොළු වූ නන්දාවතී ට මීට වඩා මංජරී ඉල්ලන සැපක් ගැන වැටහුණේවත් නැත. රජරට ගිනි කාෂ්ඨකේ ජීවිතයත් සමග ඔට්ටු වෙන ඇගේත් සැමියා රුවිතන් ගේත් දැළි පාට සම වෙනුවට මංජරී ට කහ පාට සමක් ලැබුණේ කොහොමද කියා නම් නන්දාවතී දන්නේ ම නැත. මේ ගැන මංජරී ඉපදුණ අලුත රුවිතන් ඇය සමග අරෝවන් ඇති කර ගත්තේ ය. නන්දාවතී දන්නේ රුවිතන් සමග මිස වෙනත් පුරුෂයෙකු සමග ඇය කිසි දා යහන්ගත නොවූ බව විතර ය. නමුත් කාලයක් යන තුරු ම රුවිතන් ඇය ව සැක කළේ ය.
මංජරී ට නම තැබුවේ රාජාංගනේ පන්සලේ හාමුදුවන් ය. කාලයක් යන තුරු ම රුවිතන් ඇය ඇමතූයේ රංජනී ලෙසිනි. ඔහු ට මංජරී කියන නම මතක තබා ගන්නට ම නො හැකි විය. ගැටිස්සියක කාලයේ දී පියා ඇයට රංජනී කියා ඇමතීම ගැන මංජරී අඩි පොළොවේ හප්පා විරෝධය පෑවා ය. ඊට පස්සේ රුවිතන් ඇයට ‘බාල කෙල්ල’ කියා අමතන්නට පුරුදු වූයේ ය.
පවුලේ අනිත් ළමයින් සිව් දෙනාට ම වඩා රූපයෙන් මංජරී බැබළුණා ය. ඒ පැත්ත පලාතේවත් ඒ තරම් හැඩකාර කෙල්ලක සිටියේ නැත. මුල් කාලයේ මොනවා කීවත් පහු කාලයේ දී රුවිතන් ඇය ගැන ආඩම්බර වූයේ කුණු ට්‍රැක්ටරයේ සගයන් සමග පවා දියණිය ගැන පුරාජේරු කියමිනි.
මංජරී ට ඕන වුණේ ලොකු පවුලක ළමයෙකු සේ හැසිරෙන්නට ය. ඈ එවැනි පවුල් වල ගෑනු ළමයින් දෙස බලා ඔවුන් ගේ හැසිරීම් අධ්‍යයනය කළා ය. ඔවුන් සිනහ වෙන හැටි, කොණ්ඩය පීරන හැටි, ඇඳුම් ආයිත්තම් කරන හැටි දැන කියා ගත්තා ය. එවැනි ලෝකයකට පිවිසීම ඇගේ එක ම අරමුණ ද විය. ඒ සඳහා වැටී ඇති එක ම මාර්ගය විශ්ව විද්‍යාලය බව දැන සිටි ඕ මුළු ශක්තිය ම යෙදවූයේ විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට සුදුසුකම් ලබා ගැනීමට ය. සාමාන්‍ය පෙළ පන්තියේදී ද ඒ හැටි දක්ෂ සිසුවියක නොවූ ඕ උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල වරම් ලබාවියි ගුරුවරයෙකු හෝ සිතුවේ නැත. නමුත් මංජරී එය කළා ය.
විශ්ව විද්‍යාලයේ දී ඇය සිය පවුලේ සැබෑ තත්වය කිසිවෙකුට දැනෙන්නට හැරියේ නැත. තාත්තා වැඩ කරන්නේ නගර සභාවේ කීවා මිස ඒ නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ යයි නො කීවා ය. අම්මා ගෙදරට වී සිටිනවා කීවා මිස හේනේ ඔට්ටු වෙන බව හෝ ඒ අස්වැන්නක් විකුණා ගන්නට පාර අයිනේ ලෑලි තට්ටුවක් අටවා ගෙන කොළඹින් එන වාහන වලට අත දමමින් සිටිනා බව කීවේ නැත. අක්කලා අයියලා ගේ රැකියා ගැන කිසිවක් ම කීවේ නැත.
දුල්නෙත්ටත් වැඩිය කඩවසම් තරුණයන් ඈ ගැන උනන්දු වෙන බව මංජරී දැන සිටියා ය. නමුත් ඇය අවධානය යොමු කළේ වැඩි කලබලයක් නැති නිවුණු පිරිමි ළමයෙකු ගැන ය. ඇයට පෑහිය හැකි තැනක් ගැන ය. දුල්නෙත් ගෙන් ප්‍රේමාරාධනයක් ලැබෙන්නටත් පෙර ම ඇය ඔහු වෙත ප්‍රේමය ප්‍රකාශ කළේ ඔහු වෙන් කර ගන්නට වූ කලබලය නිසා ය.
තමන් ට ඕනෑ වූ සියල්ල මෙතෙක් ඒ ලෙසට ම සිදු වූ එකේ කිසිදු හේතුවක් මත දුල්නෙත් අහිමි කර ගන්නට දැන් ඇයට ඕනේ නැත. කොළඹ ස්ථාවර වෙන්නටත් ඇය පැතූ සුවපහසු හා සාමකාමී ජීවිතය ලබා ගන්නටත් දුල්නෙත් තරම් හොඳ වෙනත් සහකරුවෙකු ගැන හිතන්නට ඕනෑත් නැත. ඔහු ගේ ඇස් නිර්වාණයේ අයානා දෙස බලන විදිහේ අමුත්තක් ඉව වැටුණු වෙලාවේ සිට ම ඔහු ඇගෙන් ඈත් කොට තැබීම ඇගේ මෙහෙයුම වූයේ තමන් ගැන අනාරක්ෂිත හැඟීමක් වද දෙන්නට ගත් නිසාවෙනි.