මල්වර මල් සර -04

අකුණු පුපුරා අක් වැසි වැටෙන්නට ගති. සුළං අතට ආනත වී ආ වැස්ස වීදුරු දොරෙහි හැපුණේ හඬක් නංවමිනි. ඒ වැහි බින්දු ඇද වූ රේඛා වන් ව පහළට ගලා යන හැටි අයානා දුටුවා ය. ඇයට අඟල් දෙක තුනක පිටුපසින් උණුහුම් පිරිමි හුස්මක සුවඳ වූයේ ය. 

අයානා ගේ උගුර ගොළු ගැසී තිබිණ. නමුත් හිත නම් යන්ත්‍රයක් සේ වැඩ කළේ ය. එනමුදු ඒ සිතිවිලි වල කිසිඳු පිළිවෙලක් නොවිණ.  වැහි සීතල පරයන උණුහුමක් නම් හිතේ විය.

දුල්නෙත් ගේ ඇස් රැඳී තිබුණේ වීදුරු දොරට එපිටින් පෙනෙන වැස්ස මත නොව අයානා ගේ පිටුපා සිටින රුව මත ය. හිස පිටුපස ද ඇගේ වම් කොපුලෙන් කොටසක් ද ඔහු ට පෙනේ. ඇගේ හිස කේ තෙත් ය. සමහර කෙහෙ රැලක අග තවමත් දිය බින්දුවක් බේරී තිබේ. ඇය දිය නාගන්නේ සන්ධ්‍යාවේ ය. දුරාශා නිර්වාණයෙහි සිටියදී ඇය ඉක්මනට උඩට දිව ගොස් දිය නා ඇඳුම් මාරු කර ගෙන එයි. 

“කැම්පස් කොල්ලො එන වෙලාවට එයා ඉන්නව නිකං දිය කිඳුරි වගේ…අපි හඩ්ඩියො වගේ…ඉතිං අපි දිහා බලන්න කොල්ලෙක්වත් නෑ”

සුවඳ සලමින් අයානා නිර්වාණයට පැමිණි විට දුරාශා ආදරයට නෝක්කාඩු කියයි. එතකොට අයානා කරන්නේ හඬ නගා සිනහ වෙන එක ය.

අයානා ගේ කෙහෙ රැලක වැටෙන්නට ඔන්න මෙන්න ව තිබූ දිය බින්දුවක් දුල්නෙත් සිය සුරතේ දබර ඇඟිල්ලට ගත්තේ ය. එතකොට ම අයානා හැරී පිටුපස බැලුවා ය. දිය බිඳ අතැඟිල්ලෙන් ගිලිහී වැටෙන්නට පෙර දුල්නෙත් එය මහපට හා මැද ඇඟිලි වල ද උදව්වෙන් ඇඟිලි අතරේ ම පොඩි කර ගත්තේ ය.

“වහිනෝනෙ හයියෙං”

ඇය තරමක් ඇස් ලොකු කොට කීවා ය. අයානා ගේ ඇස් පිහාටු දිගු ය. ඝණ ය. හරියට කුරුලු පිහාටු වගේ යයි දුල්නෙත් ට සිතිණ. කියන්නට යමක් නම් ඔහුට සිහිපත් වූයේ නැත. ඇගේ සුවඳ ඉතා සමීපයෙන් ම ඔහු ට දැනිණ. ඒ සුවඳ සන්සුන් හැඟීමක් දනවයි. පිටුපස සිට ඇගේ සිහින් බඳ වටා දෑත් යවමින් අයානා ව සිය සිරුරට ලං කොට ගෙන ඇගේ සුසුදු ගෙල අද්දර සිප ගන්නට තරම් තරුණ හිත දඟ කළේ ය. දුල්නෙත් ගේ හදවත ගැස්ම වැඩි වෙමින් තිබිණ.

මේ වැස්සේ නිර්වාණය තුළ තරුණයෙකු සමග හුදෙකලා වීම කෙසේ භාර ගත යුතු දැයි අයානා සිතුවා ය. ඒ වුණත් ඔහු ට යන්න කියන්නේ කෙසේ ද?

කිසිවෙකුට කිසිවක් කියන්නට හේතුවක් නැත. ඔහු වැස්සට කොටු වී තියේ. මේ වගේ අහඹු නිමේශයක් ආයේ කිසි ම කිසි දවසක උදා නොවෙන්නට පුළුවන. දුල්නෙත් එක්ක එක මේසයක වාඩි වී කෝපි බිඳක් තොල ගෑමේ දොලක් අයානා තුළ උපන. කතා කරන්නට දේවල් නම් ඕනෑ තරම් හොයා ගන්නට පුළුවන. ඔහු පොත් කියවන පිරිමි ළමයෙකි. ඔවුන්ට පොත් ගැන ඕනෑ තරම් දේවල් කතා කරන්නට පුළුවන.

ඒත් ඔහු මංජරී වෙනුවෙන් වෙන් වූ පෙම්වතා නොවේ ද? පපුව මැද්දේ ම අකුණක් පිපිරුවා සේ රිදුමක් ඉහිර ගියේ ය. අයානා යටි තොල් පට සපා ගෙන එක නිමේශයකට ඇස් පියවෙන්නට හැරියා ය. ඈ යන්තමින් හෙලූ සුසුම ළඟ ම උන් දුල්නෙත් ට හෝ ඇසුණේ නැත. නමුත් ඇගේ ඇස් පියන්  වැසෙනු යම් කෝණයකින් ඔහු දුටුවේ ය.

ඕනේ නම් කෝපි දෙකක් මැෂින් එකෙන් දමා ගන්නට පුළුවන. ඇය කැමති එහෙම ය. නමුත් අනුන්ගේ පිරිමියෙකු මේ වාගේ හුදෙකලා වැස්සක් යට නතර කර ගැනීම පාපයකි. අයානා ට පව් කරන්නට ඕනේ නැත. සංසාරයට තව පව් රැස් කරන්නට ඕනේ නැත. ඇයට ඕනේ සංසාර ගමන පවතින තාක් නිශ්චල ජීවිතයකි. 

ඕනේ නම් කුඩයක් දී ඔහු පිටත් කොට හරින්නට පුළුවන. නමුත් අයානාට ඊට ලෝබ හිතිණ. කුඩයක් නිර්වාණයෙහි තියාගෙනත් ඇය තත්පර වෙමින් සිටියා ය. 

උදේ දිය බඳුනට දැමූ කහ අරලියා මල් වලින් සුවඳක් නික්මිණි. අයානා අතැඟිලි වලින් යන්තම් මල් පෙත්තක් පිරිමැද්දා ය. ඒවා සුසිනිඳු ය. මෙළෙක් ය. මෘදු ය. මේ මොහොතේ ඇයට දැනෙන්නා වූ සියල් හැඟුමන් ද එසේ ය. මෘදු ය. නමුත් සසල ය. සුසිනිඳු ය. නමුත් කැළඹිලි සහගත ය. මෙළෙක් ය. නමුත් කම්පිත ය.

කෝපි කෝප්ප දෙකක් දමනවා ද කුඩයක් දෙනවා ද? කෝපි කෝප්ප දෙකක් දමනවා ද කුඩයක් දෙනවා ද? කෝපි කෝප්ප දෙකක් දමනවා ද කුඩයක් දෙනවා ද? ඇය සිතින් මලක පෙති ගලවමින් සිතුවා ය.

“පායන එකක් නෑ ගොඩ වෙලාවකට”

අයානා ගේ සවන් පිටුපසින් දුල්නෙත් ගේ පිරිමි සංඛ්‍යාතයීය වචන කිහිපයක් සුසර වූයේ ය. සිය හඬේ වෙව්ලීමක් තිබෙනවා වාගේ දුල්නෙත් ට දැනිණ. අයානා ට දැනුණේ හිස් ව තිබි නිර්වාණය ඒ ස්වර සංධ්වනියෙන් පිරෙන්නට පටන් ගත් බවකි. එය එක්තරා ආකාරයක නින්නාද වීමකි. නිර්වාණයේ අංශුවක් ගානේ- පරමාණුවක් ගානේ- නියුට්‍රෝනයක් ගානේ- ප්‍රෝටෝනයක් ගානේ- ඉලෙක්ට්‍රෝනයක් ගානේ ඒ ස්වර වෙව්ළුමෙන් පිරී යන්නට ගති. අයානා නිශ්ශබ්ද ව අසා සිටියා ය. එදෙස බලා සිටියා ය.

“කොෆී එකක් බොමුද” කියා ඇය අසාවියි ඔහු බලාපොරොත්තු දල්වා ගෙන සිටියේ ය. “කොෆී එකක් බොමුද” කියා විමසුවොත් ඇය වැරදි වැටහීමකට එනු ඇත්දැයි ඔහු දෙගිඩියාවට පත් වූයේ ය. කවුරුවත් නැති වෙලාවක නිර්වාණයෙහි හුදෙකලාව රැඳීම ගැන ඇය ඔහු පිළිබඳව මොනවා සිතාවි දැයි ඔහු කල්පනා කරන්නට විය.

“කුඩයක් දෙන්නද…”

අයානා ඒ වචන දෙකට නිදහස දුන්නේ කල්ප කාලයක දුෂ්කර ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය සේ ය. හදවතේ වූ දෙදරීම වචන ද්වයෙහි ද විය. ඇගේ ඇස් යුග චන්ද්‍ර කාන්ත පාෂාණ සේ වූයේ ය.

“ඕන නෑ..තව ටිකක් බලමු” කියා කියන්නට දුල්නෙත් ට ඕන විය. ඔහු අයානා ගේ ඇස් පොකුණු වල කිමිදුණේ ය. නමුත් ඇයට ඔහු ව යවා නිර්වාණය වසා දමන්නට ඕනේ ඇතැයි එකෙනෙහි සිතුණේ ය. ඔහු යන්තම් හිස වනා එකඟතාවය පෑවේ ය. ඊට වඩා කතා කළේ ඇස් දෙක ය. අයානා රාක්කයක වූ රිදී පැහැති කුඩය ගෙන දුන්නා ය. එය දුල්නෙත් අතට මාරු වෙත්දී උණුහුම් සංස්පර්ශයක් අතැඟිලි වලට දැනී නො දැනී ගියේ ය. දුල්නෙත් කුඩය ඉහලුවේ යන්නට හිතක් ඇතිව ම නොවේ. ඔහු කුඩය ඉහළත්දී අයානා ගේ පපුව හෝස් ගා දෑවේ ය. ගෑනු පපුවකට හුරු පුරුදු ලෝභකම!

“මං යන්නද එහෙනං…”

ඇස් එපා කීවා දැයි අයානා දන්නේ නැත. වාචික පිළිතුරක් දෙන්නට ඇයට අමතක වී තිබිණ. දුල්නෙත් වැස්ස අතරින් සෝරත මාවත ට පැන්නේ ය. අයානා වීදුරු දොරට නළල සීතල කරන්නට හැර බලා සිටියා ය. දුල්නෙත් විජේරාම හන්දියටවත් යන්නට ඇතැයි සිතුණාට පස්සේ ඇය වීදුරු දොර වසා ඇතුළත තේක්ක දොර ද වසා දැමුවා ය. ඔහු ආයේ ඒවිද යන සිතිවිල්ල හිත තුළ කිතියකුත් දෑස් වල සිනහවකුත් උත්පාද කරවන ලදී. 

“කෝපි එකක් බොන්න තිබුණා අපරාදේ”

පියගැට පෙළෙහි ගැටෙනා ඇගේ ම පියවර හඬ අයානා ට ඇසුණේ එසේ ය.

“කාගෙද කුඩේ”

කුඩයක් කරකවමින් සිනහවකින් ම බරාඳයට ගොඩ  වූ දුල්නෙත් ගෙන් ප්‍රයන්ති පිලිවිසියා ය.

“කෙල්ලෙක්ගෙ”

හංගන්නට බැරි හිනාවක් පුත්‍රයා ගේ මුහුණේ වන බැව් අම්මා දුටුවා ය. ඒ කෙල්ල විශේෂ එකියක විය හැකි යයි සිතුවා ට ප්‍රියන්ති ඒ ගැන කිසිත් කියන්නට හෝ අසන්නට ගියේ නැත.

“ඉතිං ඕක තෙත පිටිං ගෙට ගෙනියන්නෙ…”

දුල්නෙත් තෙත කුඩය හකුලා ගෙන කාමරයට ගෙන යත්දී නම් ප්‍රියන්ති ට මුණිවත රැකිය නො හැකි විය. අම්මාටත් ඕනේ නැති දෙයක් නැතැයි දුල්නෙත් සිතුවේ ය. නමුත් ඒ සිතිවිල්ල වචන නොකොට වෙනකක් කීවේ ය.

“නැත්තං මේක මට උදේට අමතක වෙයි”

මේ වැස්ස හැම දා ම වහිනවා නම් හොඳ යයි සිතිවිල්ලක් හිත මත ඇතිල්ලී ගියේ ය. දිය නා අම්මා ගේ කිරි තේ එක ද බී දුල්නෙත් බොක්ස් ගිටාරය ගෙන ඇඳට වැටුණේ ය. 

“මල් පිපෙන තුරු ලතා…මඳ සුළඟෙ නැලැවුණා…සිත දකින දකින සිහිනෙදි මට ඔබ මතක් වුණා…ඇස් පිය හෙළන්න මොහොතක් වත් මතක නැති වුණා….සේපාලිකා මලයි…සුදු පාට මීදුමයි…හරි ලස්සනයි සුදුයි…ඇත්තටම ඔබ වගෙයි..”

හුඟක් දවසකට පස්සේ ඔහු ගිටාරයේ තත් පිරිමදිමින් ගීයක් මිමිණුවේ ය. ඇයිදෝ මන්දා ඒ තනුව වෙනදාට වඩා ඔහු ගේ හදවතට ළඟ බවක් දැනිණ. වචන වල ද මොකක්දෝ හුරු පුරුදු බවක් දැනිණ. ඒ හැඟීම වඩාත් සමපාත වන්නේ මංජරී මත ද නැත්නම් අයානා මත දැයි සිතන්නට ඔහු බිය වූයේ ය. සමහර දේවල් ගැන වැඩිපුර නො හිතා ඒවාට යන්නට හැරීම වඩා හොඳ බව දුල්නෙත් අලගියවන්න තරුණයා ප්‍රත්‍යක්ෂ වශයෙන් උගනිමින් සිටියේ ය. 

රිදී පැහැති ඒ කුඩයේ තෙත පෙරෙන තුරු ඔහු කාමරයේ කොනක දිග හැර තැබුවේ ය. වියළුණ පසු එය පිළිවෙලට නවා ඇඳ මත තියෙන්නට හැරියේ ය. රාත්‍රියේ නින්ද යන තුරුත් දුල්නෙත් ගේ වමත විසින් කුඩය අල්ලා ගෙන සිටිනා ලදී.

ඒ තරම් උනන්දුවකින් ඊට පෙර කිසි ම දිනෙක ඔහු විශ්ව විද්‍යාල ගමන සඳහා සූදානම් වී නැත. නාන කාමරය තුළත් කණ්ණාඩි මේසය ඉදිරියේත් කොපමණ කාලය ගත වී ද ඔහු වෙනදාට වැඩිය විනාඩි පහළවකට කලින් ගෙදරින් පිටත් වී තිබිණ. 

අයානා අල්ලපු වත්තෙන් සේපාලිකා මල් අහුරක් ඇහිඳ ගෙන ආවා ය. ඒ ගමන් ම සීනියාස් මල් දෙක තුනක් නැටි දිගට සිටින සේ කඩා ගත්තා ය. සේපාලිකා මල් ටික දිය බඳුනට දමා ෆින්ගර් පාම් පත්‍ර දෙකක් සමග සීනියාස් මල් ටික මිටියක් සේ අල්ලා ගෙන එහි හැඩ බැලුවා ය. ඒ මල් මිටිය වීදුරු බඳුනක දමා තැබිය යුතු හොඳ ම තැන ගැන ඇය සිතුවා ය.

නිර්වාණ ද්වාරය විවර වූයේ එතකොට ම ය. උදේ පාන්දර ඒ වගේ සුබ දසුනක් දකිනා පැතුමක් අයානා ගේ යටි හිතේ කොනක හෝ නො තිබුණා යි කිව නො හැක. නමුත් ඕ ඒ සිතිවිල්ලට උඩු සිතට එන්නට ඉඩ නොදී යට ඔබා ගෙන සිටියා ය.

“ගුඩ් මෝනිං…”

මෝනිං ග්ලෝරියා මලක් තරම් ලස්සනට සිනහ වී ඇය මේ උදෑසන දුල්නෙත් ව පිළි ගත්ත ද ගුඩ් මෝනිං කියන්නට ඔහු ට අමතක විය. අයානා ගේ සිනහවේ ඔහු දුරක් ගොස් අතරමං වූ නිසා ය.

ඒ අතරේ ම  බැක් පැක් එකේ පැති සාක්කුවේ වූ රිදී පැහැති කුඩය ගෙන ඔහු ඇය වෙත පෑවේ ය.

“මේක හදිස්සි නෑනෙ…පස්සෙත් ගන්න තිබුණනෙ…”

අයානා සිනාසෙන දෑසින් කතා කළා ය.

මේ මොහොත නිර්වාණය තුළ වන චමත්කාර ම නිමේශයක් සේ දුල්නෙත් ට දැනිණි. පාන්දර ම සුවඳ දුම් ඇල්ලූ බවට සාක්ෂි ලෙස සාම්බ්‍රානි සුවඳක අවසාන අංශුව දෙක නාසයේ දැවටෙන්නට විය. දීප්තිමත් වර්ණ වලින් යුතු සීනියාස් මල් මිටියක් අතින් ගත් යුවතියක ඔහු ඉදිරියේ සිටියේ ය. තැඹිලි පාට නටු සහිත සුදු පැහැති සේපාලිකා මල් පිරිසිඳු දිය බඳුනෙහි පිහිනමින් සුවඳ පොදක් ද අත්හැරියේ ය. ඒ සියල්ලට වඩා රාත්‍රිය පුරා දොරවල් වසා තිබීම නිසා එක් රැස් වූ පොත් වල කඩදාසි සුවඳ වෙන කිසිදු වෙලාවකට වඩා තදින් දැනේ. ‘නිර්වාණ ද්වාර’ තරම් ගැලපෙන නමක් මෙතැනට දමන්නට ඇත්තේ කවුරුන් විසින් ද?

දුල්නෙත් නික්ම ගියේ සුළඟක් වාගේ ය. කහ අරලියා අත්තක පහතට නැමුණු මල් පොකුරක් ඔහු ගේ හිසේ වැදිණි. එතෙක් එහි දැවටී උන් තුෂර බිඳු කිහිපයක් දුල්නෙත් ගේ හිස කේ වැළඳ ගත්තේ ය. අයානා ඒ මල් පොකුරේ කහ අරලිය මල් නො කඩා හිටියේ හිතා මතා ය. ළඟ පාතින් ම ඒ මනරම් දසුන දවස පුරා දකින්නට ඇයට ඕන වී තිබිණ.

ඉක්මනට ම නිර්වාණයෙන් පිට වී ආ එක හොඳ ද අපරාදේ ද කියා දුල්නෙත් නො සිතා උන්නේ ය. ඒ මිහිර විතරක් පපුවේ තියා ගෙන ඔහු රහස් සුවයක් වින්දේ ය.

“අර කොල්ල ඊයෙ ආපහු ආවද…”

දුරාශා අයානා වෙතින් ඒ පැනය විමසූයේ උදේ බත් එක කෑවාට ද පස්සේ ඇය ගෙදරින් ගෙනවිත් තිබූ තද කහ පාටින් යුත් සුවඳ වෑහෙන වරකා මදුළු සහිත බඳුන  වට කර ගත් ඉක්බිති ය. අයානා හයිය වරකා වලට පෙරේතියකි. ඒ නිසා එවැන්නක් ලැබුණොත් නිරාශා ට යෙහෙළිය මතක් වෙයි.

 අයානා ගේ පපුව භූමි කම්පාවකට හසු විය. වරකා වල රසය මිහිරිවට රස නහර පිනවමින් තිබිණි. මේ වෙලාවේ ම මේ වගේ මාතෘකාවක් ඇද ගැනීම හොඳ ද නරක ද කියා සිතන්නට වෙලාවක් වූයේ නැත.

දුරාශා ගේ පැනය හමුවේ  ‘කොයි’ කියා විමසන්නට තරම් මිතුරිය ඉදිරියේ වංචනික වෙන්නට අයානා ට හිත හදා ගත හැකි වූයේ නැත. 

පෙර දා වැස්සක් අත ළඟ තිබියදී නිර්වාණයෙන් පිටත් වූ දුරාශා යන පෙර මගට පැමිණි දුල්නෙත් ගේ දසුන ගැන ඇය කිහිප විට කිහිපාකාරයකින් සිතුවා ය. අයානා සමග ඒ ගැන කතා කරන්නට තීරණය කර ගත්තේ අද උදයේ ය.

“හ්ම්”

“ඇයි…”

“පර්ස් එක අමතක වෙලා ගිහිං”

“අමතක වෙලාද අමතක කරලද…”

තිගැස්සී ගිහින් වාගේ අයානා දුරාශා දෙස බැලුවා ය. දුරාශා ගේ බැල්ම සැළුණේ නැත.

“අමතක…කරන්…නෙ ඇයි…”

තතනමින් වගේ එසේ විමසුවාට පෙර දා මැදියම් රැය ගෙවී ගොස් නින්ද යන තුරු ම අයානා ගේ හිතේ වූයේත් තව ම පිළිතුරු සොයා ගත නො හැකි වූ ඒ පැනයයි. 

“ඇයි අමතක කරල යන්න හේතු තියනවනෙ…ආයෙ එන්න…ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හලල තනියම ආයෙ එන්න…බොරුවට හේතුවක් හදා ගෙන ආයෙ එන්න…”

දුරාශා ගේ ස්වරයේ වූයේ නැලැවිල්ලකි. ඇය යෙහෙළියට අභියෝග කළා නොවේ. ටික දවසක සිට ඇයට යමක් දැනෙමින් නො දැනෙමින් තිබිණ. අයානාටත් වඩා, පෞන්ඩඩ් ෆ්ලවර් ආට් එක බලහත්කාරයෙන් අයිති කර ගත් කොල්ලා ගේ හිතුවක්කාර ඇස් වල ඇය ඒ වෙනස දුටුවා ය. 

“ඇයි ඉතිං එහෙම කරන්නෙ…”

අයානා ගේ හඬ තානය අතිශය ළාමක වූයේ ය. මිහිරි වූයේ ය. ළගන්නා සුළු වූයේ ය. ඊට ම ගැලපෙන හුරතලයක් ඇගේ ඇස් වල ද විය. දුර ඈත මන්දාකිනියක පෑයූ, සියවස් ගණනකට මත්තෙන් මිය ගිය තාරකා යුග්මයක කිරණ වන් ආලෝක පුංජයක්, ඇගේ ඇස් වල පත්ලෙන් දුරාශා ට සොයා ගත හැකි විය.

“ටික දවසක ඉඳල මං අහන්නමයි හිටියෙ..ඒත් කොයි වෙලේ හරි ඔයාම කියයිනෙ කියලයි බලං හිටියෙ…ඇත්තටම මොකද්ද වෙන්නෙ…”

ලී මෝලකින් නැගෙනා ඝෝෂාව වන් යමක් අයානා ගේ පපුව පැත්තේ විය. ඇය හෙමිහිට – ඉතා හෙමිහිට ඇස් පියන් ඔසවා යෙහෙළිය දෙස බැලුවා ය.

“මන් දන්නෑ”

ඒ වූ කලී ඉතා මන්ද්‍ර වූ ස්වරයකි. එය දුරාශා ට වුව ඇසෙන නෑසෙන තරම් විය. වචන දෙක අයානා ගේ උගුරේ හිර වූයේ ය. යාන්තමට ඇස් තෙත් වීගෙන එන බවක් දැනී අයානා ඉක්මනින් ඇස් පිය සැළුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles