ස්කින් එක ඩැමේජ් කරගන්නේ නැතුව මේකප් ඉවත් කරමු.

මේකප් කරන එක ඕනෑම කාන්තාවක් කරන දෙයක්. හැබැයි මේ මේකප් නිසි ආකාරයෙන් ඉවත් කරන එක අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම නින්දට යන්න පෙර මේකප් නිසි ආකාරව ඉවත් කරේ නැත්නම් ඔබේ සමේ සිදුරු අවහිර වෙලා කුරුලෑ ආසාදන ඇතිවීම සහ සම හානියට පත් වෙන්නට පුළුවන් . 

මේකප් ඉවත් කිරීම සඳහාම නිපදවන ලද නිෂ්පාදන මේ වන විට වෙළඳපළේ තිබෙනවා. නමුත් මේ නිෂ්පාදන මගින් සම වියලීම වගේම සංවේදි සමක් ඇති අයගේ සමට හානි වීම හෝ වෙනත් ආසාදන තත්ත්වයන් ඇතිවීම සිදුවිය හැකියි. නිරෝගී සමක් පවත්වා ගෙන යන්න කැමති ඔබට සමට හානි නොවන ආකාරයෙන් මේකප් ඉවත් කර ගන්න ආකාරයයි මේ ලිපියෙන් ගෙන එන්නේ.

පොල්තෙල්

මේකප් ඉවත් කර ගැනීමට පුළුවන් හොඳම අමුද්‍රව්‍යක් ලෙස පොල්තෙල් සැලකෙනවා. සමේ තෙතමනය ආරක්ෂා කිරීම වගේම කුණු දුහුවිලි ඉතා හොඳින් ඉවත් කිරීමටත් , සමට පෝෂණයක් එකතු කිරීමටත් පොල්තෙල් වලට පුළුවන්. මේකප් ඇති මුහුණ මතට පොල්තෙල් ආලේප කර හොඳින් සම්බාහනය කර මද උණුසුම් ජලයෙන් සෝදන්න. එහෙම නැත්නම් මද උණුසුම් ජලයෙන් පොඟවන ලද රෙදි කැබැල්ලකින් පිස දමන්න.

ඔලිව් තෙල්

ඔලිව් තෙල් වල ඇති විශේෂ ගුණාංග නිසා එය ඉතා හොඳ මේකප් ඉවත් කරන්නෙක් ලෙස ක්‍රියා කරනවා. වතුර මගින් ඉවත් කර ගැනීමට අපහසු Water proof මේකප් වර්ග ඉවත් කර ගැනීමට පවා ඔලිව් තෙල් වලට හැකියාව තියෙනවා.ඔලිව් තෙල් වල විශේෂත්වය වන්නේ එය ඔබේ සම මත ඇති ඝණ මේකප් තට්ටු ඉවත් කිරීම වගේම සමේ තෙතමනය ආරක්ෂා කිරීම මෙන්ම සම පැහැපත් කිරීමත් සිදුකිරීමයි.

බේබි ඔයිල්

ළදරුවන්ගේ සම සඳහාම නිෂ්පාදනය කරන ලද බේබි ඔයිල් මේකප් ඉවත් කිරීම සඳහාත් භාවිතා කරන්නට පුළුවන්.ඒවායේ ඇති ඉතා හොඳ මොයිස්චරයිසින් ගුණය නිසා මේකප් ඉවත් කිරීම සඳහා මෙය ඉතා ඵලදායි වනවා. බේබි ඔයිල් ළදරුවන්ගේ සම සඳහා භාවිතා කිරීමට ඉතා මෘදු ලෙස නිෂ්පාදනය කර ඇති නිසා මේවා මේකප් ඉවත් කිරීමට භාවිතා කිරීමේදී තදින් ස්ක්‍රබ් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අයි මේකප් ඉවත් කිරීම වැනි සියුම් දේ සඳහාත් විශේෂයෙන්ම බේබි ඔයිල් භාවිතා කරන්න පුළුවන් .

පිපිඤ්ඤා පේස්ට්

වෙළඳපළේ ඇති බොහෝමයක් මේකප් ඉවත් කිරීමේ නිෂ්පාදන වල අඩංගු වන්නේ පිපිඤ්ඤා යි. ඒ නිසා ඔබට මේකප් ඉවත් කිරීම සඳහා නිවසේදී සෘජුවම පිපිඤ්ඤා භාවිතා කරන්න පුළුවන්. පිපිඤ්ඤා මගින් සම සුවපත් කිරීම වගේම තෙතමනය ආරක්ෂා කිරීමත් සිදු කරනවා. ඒ නිසා මේකප් ඉවත් කිරීම සඳහා පිපිඤ්ඤා භාවිතා කිරීම ඉතාම ඵලදායී ක්‍රමයක්. පිපිඤ්ඤා වල පොතු ඉවත් කර එය වතුර ඉතාම ස්වල්පයක් ආධාරයෙන් තලපයක් සේ සකස් කර ගන්න.ඉන්පසුව මේකප් ගැල්වූ මුහුණ මත එය ආලේප කර රවුම් චලිත වලින් සෙමෙන් සම්බාහනය කරමින් මේකප් ඉවත් කරගන්න.

කෝමාරිකා

කෝමාරිකා යනු මේකප් ඉවත් කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් අපූරු ස්වාභාවික අමුද්‍රව්‍යයක්.එය ස්වභාවික වගේම ,රසායනික අමුද්‍රව්‍ය වලින් තොර නිසා මේකප් ඉවත් කිරීම වගේම සම ආරක්ෂා කිරීමත් තෙතමනය පවත්වාගෙන යාම වගේම මේකප් නිසා සමට ඇතිවිය හැකි හානි ද අවම කරනවා.

ඉතින් මේ වගේ අමුද්‍රව්‍ය වලින් ඔබ මේකප් නිසි ආකාරයෙන් ඉවත් කරනවා නම් ඔබේ සම මේකප් නිසා කවදාවත් හානියට පත් වෙන එකක් නෑ.

Related Articles

Don't Miss


Latest Articles