සෙනුරි බෙල්ල දිගු කරමින් සොයන්නේ මොනවාදැයි ලාවණ්‍යා හොඳින් දනියි. ඇය පිටුපසින් විත් සෙනුරිට තට්ටුවක් දැමූයේ ඒ හන්දා ය.
“මොනවද මැඩම් හොයන්නේ?”
සෙනුරි උස් හඬින් හිනැහේ. මේ සිනාවට ඉන්ද්‍රා ආන්ටි පවා තාප්පයෙන් එබෙන්නට ඉඩ ඇතැයි ලාවණ්‍යා සිතී ය. ඉන්ද්‍රා ආන්ටි කියන්නේ මව්වත් ගුණ පිරුණු අසල්වැසි ගැහැනියක බව ඇත්තකි. නමුත් ඇය අතීතය හෝදමින් මඩේ දැමීම ලාවණ්‍යාට හිසරදයකි. අමතක කරන්නට උත්සාහ ගන්නා දේ අමතක කරන්නට ඉඩ දිය යුතු වේ. එහෙත් ඉන්ද්‍රා ආන්ටි සමඟ ඒ කටයුත්ත අසීරු ය.
“උඹේ කුමාරයා ඉන්නව නේද ගෙදර? අර කාර් එක තියෙන්නේ. පව් ඊයේ නිදි මරලා අමාරු ඇති.”
සෙනුරි කියවන්නී ය. ප්‍රාථමික පන්තියක ගුරුවරියක වීම නිසා ඇගේ කට ද ඕනෑවට වඩා සද්ද ය. කොහොමටත් පාසල් යන කාලයේ පටන් ඒ කට ඒ තරමට සද්ද වග ලාවන්‍යාට මතක ය.
“කෑගහන්න එපා ඊරියේ. අනික අපි ඊයේ එක වගේ වෙනකොට ගෙදර ආවා. එච්චර වෙලා ඇහැරන් ඉන්න එක පිරිමියෙක්ට අමාරුද?”
ලාවණ්‍යා සැර දැමුවා ය. සෙනුරි උස් හඬින් හිනැහේ. සාරියට මිතුරිය ඕනෑවටත් වඩා හැඩ බව ලාවන්‍යා සිතුවා ය. ළඟ එන විවාහ දිනයේදී ඇය සුරඟනක් මෙන් හැඩට ඉන්නා බව සහතික ය.
“ලස්සන කෙල්ලක් ගාව ඉඳලා ඉඳලා මිනිහට අමාරු ඇති.”
සෙනුරිගේ සිනාව නැවතත් නැඟේ. ලාවණ්‍යා ඇයට රැව්වා ය. නමුත් සෙනුරිගේ කට එහෙම පහසුවෙන් වැහෙන්නේ නැත.
“වෙඩින් එක කිට්ටු හින්දද මන්දා උඹ දැන් අන්තිම වල් වෙලා. කටේ තියෙන්නෙම කුණුහරප.”
එය ඇසීමේ ගැටළුවකි. තමන් කිසිම අසභ්‍ය කතාවක් නොපැවසූ බව සෙනුරි සහතික කරයි. ලාවණ්‍යාගේ හිත කැත වීම ගැන ඇත්තටම ඇයට කරන්නට දෙයක් නොවේ. සෙනුරි එසේ කියවාගෙන යයි. ලාවණ්‍යා මිතුරිය දෙස බලා සිටියේ සිනාවතිනි. ජීවිතය මොනතරම් අසීරු වුවත් සෙනුරි, අනුත්තරා සහ පාරමී හන්දා ඒ අසීරුතා මැකී යයි. සෙනුරි මේ පැමිණ ඇත්තේ ද එවැනි අත්උදව්වකට ය. ලාවණ්‍යාට රැකියාවට යන්නට ඉඩ දී අනෝජා බලා ගන්නට ය.
“මට ඇත්තටම තේජව බලන්නෝන. මං මේ සාරිය ගලවලා වොෂ් එකක් දාන්නේ මිනිහව කීයට හරි බලාගෙන.”
සෙනුරි පිළිණ දුන්නා ය.
“අනිත් චිංචි මානවිකාවෝ දෙන්නත් ඉන්න තිබ්බේ.”
ලාවණ්‍යා කියන්නේ තොල අනිත් පිට හරවාගෙන ය. සෙනුරි හැම කතාවකටම හිනැහේ.
“අන්න පුතානම් ඉන්නවා.”
කුඩා පර්සියන් පූස් පැටවෙකු වඩාගෙන සඳැල්ලට ආ ලියෝන්ට අත වනන අතර ලාවන්‍යා පැවසුවා ය.එක බැල්මකින් ඒ තමන්ගේ පාසල් සිසුවෙකු නොවන බව සෙනුරි තහවුරු කරගත්තා ය. නමුත් තුනේ පන්තියේ ටීචර් කෙනෙකු හැටියට ඇයට මේ කුඩා කොලුවා යාළු කර ගැනීම පහසු දෙයකි. පුතු සමඟ හිතවත් වූ පසු තාත්තාව හිතවත් කර ගැනීම ඉතා පහසු ය.
” ඇත්තටම මං ආයේ මැරි කරොත්..”
ලාවන්‍යා එසේ කියන්නේ බරාඳයේ හිඳ ගන්නා අතර ය. මිතුරියගේ මුවින් එහෙම වචනයක් පිටවීම ගැන පවා සන්තෝසයට පත් සෙනුරි වහා ඈ අසල පුටුවකට බර වූවා ය.
“මට ගැළපෙන්නේ තේජ වගේ කෙනෙක්ද සෙනූ?”
ලාවන්‍යා අහන්නට යන දේ සෙනුරිට ඕනෑවටත් වඩා හොඳින් වැටහේ. නමුත් ඇය ප්‍රශ්නය නෑසුණු ගානට ඉන්නට සිතා ගත්තා ය. නැත! එවැනි කතා නෑසුණු ගානට හිඳීම යහපත් නොවේ. කළ යුතු වන්නේ ඒවා වරදවා වටහා ගැනීම ය.
“ඒකට තමා මෙතනට වෙලා ඇහැ ඉරාගෙන බලන් ඉන්නේ. උඹ ආලියා බාත් වගේ ඉන්නකොට ඌ රන්බීර් වගේ ඉන්නවනම් ඕං ගැළපෙනවා.”
සෙනුරි කියන්නේ ඉවත බලාගෙන ය. හයේ පන්තියේ සිට දන්නා මිතුරියට බොරු කිරීම පහසු නැත. කළ යුතු වන්නේ ඇස් හංගාගෙන උත්තර දීම ය.
“මං අහන දේ ඔයා දන්නවා. මං මට වෙලා තියන දේ තේරුම් අරගෙන ඉන්නේ කියලා ඔයාලා හොඳටම දන්නවා. අම්මා,අක්කලා දෙන්නා, ඔයාලා තුන්දෙනා එහෙම දන්නේ නෑ වගේ හැසිරෙනවා.”
ලාවන්‍යා කියන්නේ වේදනාත්මක හඬකිනි. නමුත් සෙනුරි ඇයට බුරුලක් නොදෙන්නට සිතා ගත්තා ය.
“මං දික්කසාද ගෑනියෙක්. කිසිම වටිනාකමක් නැති ගෑනියෙක්.මට ඇත්තටම හරියන්නේ තේජ වගේ දරුවෙක් එක්ක තනි වුණු මනුස්සයෙක් නේද? මටත් එහෙම හිතෙනවා.”
සෙනුරි සාරි පොට ඉඟෙහි ගසාගෙන නැගිට ගත්තා ය.
“දැන් අපි උඹට නිර්වාන්ව මීට් කෙරෙව්වෙ ඇයි? කසාදයක් කරන් ළමයි ඉන්න මිනිහෙක් උඹව බාර ගන්නෝන කියලා අනුකම්පා කරලද? නිර්වාන් කියන්නේ එහෙම මිනිහෙක් ද?”
නිර්වාන්, සෙනුරිගේ පෙම්වතාගේ කාර්යාල මිතුරෙකි. ඔහුගේ අදහස නොදන්නා ගාණට ඉන්නට ලාවන්‍යා සෑම මොහොතකම ප්‍රවේසම් වේ. ඔහු ළං වන්නට අසීරු දුර තාරකාවකි. වේදනා විඳිය යුතු නොවේ. සෙනුරි සහ උෂාන් ඕනෑවට වඩා නොසිතා කළ දෙයක් වග කියමින් සෑම විටම ඒ සම්බන්ධයෙන් දොස් නඟන්නට ලාවණ්‍යා ප්‍රවේසම් ය.
“මට නිර්වාන්ට ආදරේ කරලා දුක් විඳින්න බෑ. මට එයාගෙ ගෙදරින් එයාව දෙයිද? මං වගේ….”
ලාවණ්‍යාගේ එකම තැටිය අහන්නට සෙනුරිට ඕනෑ නැත.
“එලිසබෙත් රැජිනට නටාගනිං කියලා හැරී කුමාරයා මේගන්ව බැන්දේ. දැන් ඉන්නේ එහෙම කොල්ලො. ජීවිතේ පහසුවෙන් ගෙවන තැනට ලෝබකම් කරන කොල්ලො. ඒ නැතුව ඔය ඕන්නැති විකාර හිතන කොල්ලො දැන් හරිම අඩුයි.”
සෙනුරි එසේ කියද්දී ලාවන්‍යා හිනැහුණා ය. භවන්ත ද එහෙම හිතන්නට ඇත. ඔහු ජීවිතය පහසුවෙන් ගෙවිය හැකි තැනක නැවතී හිඳියි. විඳවීම අයිති තමන්ට ය.
“අනේ මේ ලාවි. තමුසෙ හිනා වෙන්නේ අර තුරු සුනකයා මතක් වෙලානෙ.ඌ ජීවිතේ පහසුවෙන් ගෙවන තැනක නැවතුණා නෙවෙයි.අකුරු දෙකේ වැඩ කරා මිසක්. භවන්තයට එහෙනම් රටෙන් බාගයක්ම සුවපහසු තැන් තියනවනෙ. මං කියන ඒවා තමුසෙට තේරෙන් නෑ. වෙලාවක අනූට එන්න කියලා හොඳ දෙකක් කියවන්න ඕන.”
සෙනුරි එසේ කියද්දී අනුත්තරා අද කාර්යාලය නිමවී එන්නේ මෙහෙට වග ලාවන්‍යා පැවසුවා ය. එය සෙනුරිට සැනසීමකි. පාරමීට ද එන්නට හැකි නම් අපූරු ය. නිර්වාන් ද තේජ ද තෝරන්නට පසුවට කල් දමා ලාවන්‍යාගේ අමන කල්පනා ගැන රැය එළිවෙනතුරු බැන වදින්නට හැකියාව ලැබීම ම අපූරු දෙයකි.
“මේ…ඒක නෙවේ. දැන් ෂවර් එක යටට වෙලා අඬන්න තියාගන් නැතුව නාලා ලෑස්ති වෙනවා රස්සාවට යන්න. තමුසෙ මොනවටත් වඩා පරිස්සං කරගන්න ඕන වොයිස් එක. ඒක අමතක කරන්න එපා. අනික මේ රටේ ඉන්නේ භවන්තයි, නිර්වානුයි, තේජයි විතරක් නෙවෙයි.තව කොල්ලො ඉන්නවා. ඔක්කොටොම කලින් පාරමීට උඹේ නඩුව ඉවරයක් කරන්න දෙනවකො.”
ඉස්සරහ ගෙදරට ඇහැ ගසා හිඳින අතරම සෙනුරි දීර්ඝ දේශනයක් ආරම්භ කළා ය. ඇගේ කතා අසා හිඳින්නට කාලයක් නොවේ. කාර්යාල රථය තව පැයකින් පමණ ගේට්ටුව අසලට පැමිණේ. ඒ හන්දා කාලය නාස්ති නොකරන්නට ලාවණ්‍යා තීරණය කළා ය.
(ලාවන්‍යා ගැන හිතෙන දේවල් ද කතාව ගැන හිතෙන දේවල් ද ලියා යන්න අමතක කරන්න එපා)