මල්වර මල් සර – 06

ඒ හිරු රැස් දැඩි වී ගෙන එන වෙලාව ය. නමුත් පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා සෞම්‍ය බවක් වායු ගෝලයේ වූයේ ය. අහසේ ගැඹුරු අහස් නිලක් වූ අතර, වලාකුළු සුදු පාටින් පේළි සැදී නතර වී සිටියේ ආකාස රැස්වීමකට අර අඳිමින් මෙනි. විශ්ව විද්‍යාලයේ නිවාඩු දී ඇති නිසා සාපේක්ෂව සෝරත මාවත පාළුවට හැරී තිබිණ. ඒ සියල්ල අතරින් නිර්වාණ ද්වාරයේ දොරකඩ දුල්නෙත් අලගියවන්න බලා සිටියේ සිනමා නිර්මාණයක ප්‍රේමවන්තයාගේ භූමිකාව අයානා ගේ මනස ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරමිනි.

“කොෆී එකක්”

කියමින් දුල්නෙත් පුස්තකාල කොටසට ගියේ ය. පිටතට නො පෙනෙන ගැස්මක් ඔහු ගේ පපුවේ වෙයි. එය කිසි සේත් පිටතට පෙන්වන්නට ඕනේ ද නැත. මංජරී ගැන හිතේ කරදරයකින් තොර ව ටික වෙලාවක් නිර්වාණයෙහි රැඳී ඉන්නට දුල්නෙත් ට ඕන වී තිබිණ. කෝපි ඇනවුම ඊට අවස්ථාව සාදා ගැනීමකි. එදා වැස්ස දවසේ ඔහු ට ඒ ශක්තිය නොවීම ගැන ලැජ්ජාවක් පහුගිය දින දෙක තුනේ ම ඔහු ව පෙළුවේ ය.

දුල්නෙත් පොතක් ගෙන ඔහු ගේ අසුනට බර වූයේ පොත් කියවීමේ උවමනාවකින් ම නොවේ!

අයානා කෝපි මැෂිම ක්‍රියාත්මක කළේ පිරුණු හදවතකිනි. එහෙම වූයේ කොහොමද කියා සිතා ගත නො හැක. බරපතල හිස් කමක් පහු ගිය දෙතුන් දිනයේ ම ඇය අත් වින්දා ය. වචන වලින් විග්‍රහ කළ නො හැකි අඳුරක් ආත්මයේ පැතිරී තිබිණි. කළුවර රැයක් වාගේ ය. හුළඟක්වත් හමන්නේ නැති, වායු අංශු වල තෙතමනයක් කියා නාමයක් හෝ නැති වියළි අන්ධකාරයක් වාගේ ය. ලස්සන පැත්තකට ගොස් දින කිහිපයක් ගත කොට එන්නට ඇය තීරණය කළේත් ඒ අඳුරෙන් කෙසේ හෝ පිටතට එන්නට වූ උවමනාවට ය. අයානා කෝපි  මැෂිමෙන් කෝපි වත් කොට ගත්තේ පරිස්සමට ය. කෝප්පය අල්ලා ගත් සුරත වෙව්ලන්නා සේ ඇයට දැනිණ. එහෙම ගැස්මක් ඕනේ ම නැත. ඇය හැකි තාක් සාමාන්‍ය වන්නට උත්සාහ කරමින් කුඩා බන්දේසිය ඔහු උන් මේසය වෙත ගෙන ගියා ය. සාමාන්‍යයෙන් නිර්වාණයෙහි එහෙම දෙයක් වන්නේ නැත. මැෂිමෙන් කෝපි දමා කවුන්ටරයෙහි තබනවා විතර ය. පාරිභෝගිකයා එය එතැනින් ලබා ගත යුතු ය. නමුත් දුල්නෙත් කවුන්ටරය අසල නො රැඳී පොතක් පෙරලා ගෙන සිටියේ ය. 

“සොරි. මට අමතක වුණා ගන්න”

කෝපි සුවඳ දැනුණ වහා දුල්නෙත් හිසෝසවා අයානා දෙස බැලුවා ය. ඇගේ ටීක්බෝල ඇස් ඔහු ගේ ඇසට හසු විය.

“ඉට්ස් ඕකේ”

ඇය මුමුණමින් හැරුණා ය.

“මට දැකල පුරුදුයි”

ඒ වචන තුන දුල්නෙත් ගේ මුවින් නික්මුණේත් අයානා ගේ දෙපා ගල් ගැසී වගේ නතර වූයේත් එකට ම ය. එහෙම කිව් එක හරි ද වැරදි ද කියා සිතිය යුතු නම් එය කළ හැකි වන්නේ දැන් ය. කිසිත් හිතන්නට පෙර ඔහු ට ඒවා කියැවී අවසාන ය. නමුත් ඔහු තුළ පසුතැවීමක් නොවිණ.

අයානා ගේ හදවත් පේශි පෙරළිණ. නමුත් ඕ ඒ බවක් නොතකා සිනහ වූවා ය.

“මොනාද…මාවද…ඉතිං අනේ ඒක අමුත්තක්ද…මෙහෙට යන එන අය කොහොමත් මාව දකිනවනෙ”

“එහෙම නෙවේ”

කියා කීවේ ඔහු ගේ හිත ය. හිතේ තියන දේවල් කියන්නට ගියෝතින් ඇය වරදවා වටහා ගනු ඇතැයි දුල්නෙත් තුළ හදිසි බියක් ඇති විය. කෙල්ලක සමග කතාවට වැටෙන්නට ඔය වගේ සම්ප්‍රදායික ප්‍රවේශයක් ගැනීම කොල්ලන්ගේ සුලභ ගතියකි. අයානා ඉදිරියේ එහෙව් සුලභ කොල්ලෙකු වන්නට දුල්නෙත් ට ඕනෑ නැත.

ඒ හුරු පුරුදු කම කොතැනකදී උත්පාද වූවක් ද කියා ඔහු ට තවමත් පහදා ගත නො හැකි ය. ඒ වූ කලී බොර දියක පත්ලේ වන යමක් මෙනි. පැහැදිලි ව දකින්නට නම් කළල් දිය පෑදෙන තුරු සිටිත යුතු ය. ඒ කවදා වෙන තුරු ද කියා ගණන් බැලිය නො හැකි ය. 

අයානා ගේ පිළිතුරෙන් ලැජ්ජාවට පත් දුල්නෙත් ලොකු පොත ඇතුළේ මූණ ඔබා ගත්තේ ය.

“නිවාඩුනෙ…ඉතිං ඇයි කැම්පස් එන්නෙ…”

අයානා එසේ විමසුවේ සිය පිළිතුරෙන් තරුණයා අපහසුවට පත් වී නම් ඉන් මුදවා ගන්නට ය. 

“බෝඩ් වෙච්ච යාළුවො ටිකක් ඉන්නව…එගොඩවත්ත පාරෙ. තාම ගමේ ගිහිං නෑ. ගෙදර හිටියත් කම්මැළියි…ඉතිං අරුන් ටිකත් එක්ක ටිකක් සෙට් වෙලා ඉඳල යනව”

අයානා කවුන්ටරය වෙත එන්න හැරෙන කොට ම කොල්ලන් රෑනක් උස් සිනා කතා සමගින් ම වීදුරු දොර තල්ලු කරමින් නිර්වාණයට ගොඩ විය.

“අඩෝව් මූ මෙහෙ”

දුල්නෙත් ව දුටු තරුණයෝ ඔහු උන් මේසය වට කොට ගත්හ.

“උඹට නිර්වාණෙට එන්නැතුව ඉන්නම බෑ වගේ නේ…”

“මූ උදේම එගොඩවත්ත පාරට එනව කියපු එකා…මෙතන්ට වෙලා නිර්වාණ දොරටු විවර වෙනකල් ඉන්නවද යකූ…”

අයානා දෙතොල් තද කොට සිනහව හිර කර ගෙන සිය අසුන වෙත ගියා ය.

“ලොකු පොතක් පෙරලනව වගේ නේ මල්ලි…”

කොල්ලන්ගේ වද දීම අතරින් දුල්නෙත් පොත වසා දැමුවේ ය. අයානා මෙතන හිඳීම නිසා කිසිත් කියා ගත නො හැකි සෙයක් ඔහු ට දැනිණ. අනිත් අතට කොල්ලන් කී කතා නියත වශයෙන් අයානා ට ඇසෙන්නේ ය. ඇය ඔහු ගැන කුමක් සිතනු ඇත්දැයි දුල්නෙත් තුළ ගැස්ම මුසු චකිතයක් පහළ විය.

“යමල්ල”

ඔහු පුටුව පස්සට දමමින් නැගිට ගත්තේ මීටත් වඩා යමක්, මංජරී ගැන යමක් මිතුරන් වෙතින් කියවෙතැයි ඇති වූ බියට ය.

“මේ ටික ෆොටෝ කොපි කරල තියනවද…”

දුල්නෙත් පොතේ මැද හරියෙන් පිටු කිහිපයක් වෙන් කොට අල්ලා ගෙන අයානා වෙත පෑවේ ය. ඒ පිටු ටික අල්ලා ගන්නට යත්දී දෙදෙනා ගේ අතැඟිලි අතරේ විදුලි සරක් පැතිර ගියේ ය. දෙදෙනාගෙන් එක්කෙනෙකු හෝ උනුන් ගේ මුහුණු දෙස බැලුවේ නැත.

“මං එන ගමං ගන්නං”

දුල්නෙත් එසේ කීවේ අයානා ට විතරක් ඇසෙන්නට හඬ පහත්කොට වී ද එය කොල්ලන්ට ඇසී තිබිණ.

“කොහොමද ඒක…”

ඔවුහු කොක් හඬ ලා සිනහ වූහ.

“මොනාද බං ගොං පාට් දාන්නෙ..”

සෝරත මාවත ට බට දුල්නෙත් මිතුරන්ට දොස් කීවේ ය. නමුත් කිසියම් රසවත් බවක් ද හිත අස්සේ අහුමුළු වලින් එළියට එන්නට ඉඩක් නො සෙව්වා නොවේ. 

“ගොං පාට්…මංජරී ගැලපෙන්නෑ කියල කියන්න හේතුව තියෙන්නෙ නිර්වාණෙද කියල හිතෙන්නෙ මට විතරද…”

“අන්න කතාව”

නැවතත් සෝරත මාවත උඩහටත් පහළටත් පැතිර යන සිනහවකි.

“මොන එහෙකටද උඹල දැන් නිර්වාණෙට ආවෙ…”

“ආ…ඇයි අපිට නිර්වාණෙ තහනං කලාපයක්ද…උඹට විතරද එහේ කරක් ගහන්න හොඳ…”

“හැබැයි ඔක්කෝම බදා ගන්නනං හදන්නෙපා කොල්ලෝ…අපි උඹට මංජරීව දීල පැත්තකට වුණා. ඒ ගමන උඹ අයානාටත් කොක්ක ගහන්නද හදන්නෙ…”

“දොඩවන්නෙපා යකෝ”

කොල්ලන් නිර්වාණයට ගියේ කලින් සැලසුම් කොට පැමිණි ගමකක් ලෙස නොවේ. ඔවුන් මගට බැස්සේ විජේරාම පැත්තට ඇවිද ගොස් මොනවා හෝ කනවා කියන අදහසිනි. දුල්නෙත් නිර්වාණය තුළ සිටින බවක් ඔවුන් සිහිනෙන් හෝ සිතුවේ ද නැත. නිර්වාණ ද්වාරයෙහි ‘ඕපන්’ බෝඩ් එක දුටු කොල්ලන්ට, අයානා දැකීමේ දොළක් පහළ වූයේ හදිසියේ ය. මීට පෙරත් ඔවුන් එහි ගොඩ වී උසුළු විසුළු කරමින් කාලය කා දමා තිබේ. මොනවා හෝ ගන්නවාට වඩා ඔවුන් කරන්නේ අයානා ට මොනවා හෝ කියමින් ඇය කතාවට ඇද ගන්නට බලනා එක ය. ඒ උසුළු විසුළු වලින් කවදාවත් ඇය කලබල වන්නේ නැත. තරහ ගන්නේ ද නැත. කොටින් ම ඇගේ සන්තානයෙහි කිසිදු වෙනසක් ඒ නිසා සිදු නොවේ. ඇය සිය දෑස් මත වන මඳහසින් ඇගේ පාඩුවේ සිය කටයුතු කර ගෙන යයි. කොල්ලන් ප්‍රශ්නයක් ඇසුවොත් සංවර ලෙස පිළිතුරු දෙයි. විහිළු වලට ප්‍රතිචාර දක්වන්නට නොයයි. බොරු ලැජ්ජාව හෝ හුරතලය ඇයට නුහුරු වූවකි. කොල්ලන් ගේ විහිළු කවර මට්ටමක වී ද ඒවා ඇගේ ආත්මයට කිසිදු බලපෑමක් නො කරන බව ඇය සිය හැසිරීමෙන් පෙන්වයි. ඒ අසීමිත ස්ත්‍රී පෞරුශය වටහා ගන්නට බොහෝ විට විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබනා සිසුහු සමත් නොවෙති. මංජරී වාගේ අහිංසක පාට, දිග කොණ්ඩයක් ඇති, බිම ගෑවෙන තරම් දිගට ගවුම් අඳිනා ගෑනු ළමයින් ස්ත්‍රීත්වයේ සම්මත සුන්දරත්වය සේ සිතන්නට කැමති කිසිදු පිරිමියෙකුට අයානා වැටහුණේ නැත.

ඇය බය නැතිව කොටට ඇඳුම් ඇන්දා ය. කොණ්ඩ මෝස්තරය කාලෙන් කාලෙට මාරු කරමින් කැපුවා ය. කුංකුම, චන්දන, අංජන ගල්වා මුහුණේ අංග වලට කැපී පෙනෙන සුන්දරත්වයක් එක් කළා ය.

“පාට පෙට්ටියක් වගේ. හැටි…”

තමන් අහිංසක හා චාම් බව පිරිමින් ඉදිරියේ ඔප්පු කරන්නට උත්සාහ කළ මංජරී ඇතුළු ගෑනු ළමයින් අයානා ගැන එසේ කියා තිබේ. නමුත් ඒ ආලේපන නිසා කිසි සේත් අයානා පාට පෙට්ටියක් සේ නොපෙනුණ බව හැම කොල්ලෙක් ම දැන සිටියහ. ඇයට තිබුණේ වෙනම ම ලස්සනකි. ඒ ලස්සන පිරිමින්ගේ හද ගැස්ම වැඩි කරන්නකි. ඒ වුණත් ඇගේ ගවුම් වාටිය වන්නේ දණහිසේ සිට කෙතරම් උඩින් ද යන කාරණය මත විහිළු කරන්නට මිස ඇය වෙත ප්‍රේමාරාධනා කරන්නට ඔවුහු පසුබෑහ. අයානා කියන්නේ ඔවුන් ගේ නෙතට රසඳුනක් වූවාට, ඇස් දෙකෙන් ඇගේ කෙටි ගවුම් පවා ඈත් මෑත් කෙරුවාට, අයානා ගේ අතැඟිල්ලකට හෝ අත තබන්නට ඒ කිසිදු පිරිමියෙකු සමත් වූයේ නැත. ඒ පරතරය සදහට ම පවත්වා ගන්නට තරම් ඇය ආඩම්බර ගැහැනියක වූවා ය. ඒ ආඩම්බරයට ද පිරිිමි සසල වූහ. කැළඹුණහ.

එගොඩවත්ත පාරේ බෝඩිම් කාමර වූ කලී ලොකුවට පහසුකම් ඇති ඒවා නොවේ. දුල්නෙත් ගේ මිතුරන් සිටි බෝඩිමේ උඩු මහළ ගෙහිමියෝ වසති. පහළ මහලේ කාමර තනා තියෙන්නේ ම පිරිමි ළමයින් ගේ බෝඩිම් ලෙස ය. එක කාමරයක පිරිමි ළමයි සිව් දෙනෙකි. කාමරයේ දෙපස බිත්ති දෙකට ලං කොට, යකඩෙන් තැනවූ තට්ටු ඇඳන් දෙකකි. ඇඳන් දෙක මැද්දේ ටිකක් ලොකු මේසයකි. හතර දෙනා ම පාඩම් වැඩ වලට භාවිතා කළ යුත්තේ ඒ මේසයයි. ඊට අමතරව රෙදි දමන්නට රෙදි රාක්කයක් ද ආහාර පාන තැබීමට කුඩා මේසයක් ද කාමරය සතු වෙයි. සමහර දවස් වලට මිතුරන් සිව් දෙනා කෑම පිස ගත් නිසා ඔවුන් සතුව කුඩා ගෑස් සිලින්ඩරයක් ද තනි ගෑස් ලිපක් ද ඇළුමිනියම් වළං කිහිපයක් ද වේ. කුඩා මේසය මත තබා පොල් ගාන්නට හැකි හිරමණයක් ද ඔවුන් මිලදී ගෙන තිබේ.

බෝඩිං ජීවිතය ගැන දුල්නෙත් ට අත්දැකීම් නැත. තවමත් අම්මා ඔහු ට උයා පිහා බත් බෙදා කන්නට දෙයි. අතින් කන්නට බෑ කීවොත් ඇය කවයි. උදේට නම් විශ්ව විද්‍යාලයට යන්නට කලබලේට සූදානම් වන අතරේ පස්සෙන් දුව දුවා ඔහු ට බත් කවයි. රෙදි සෝදා නවා අල්මාරියේ දමා තබයි. සපත්තු හෝදා වියළා තබයි. තමන් ගේ වයසේ ම මිතුරන් උසස් අධ්‍යාපනයේ නාමයෙන් ගෙදරින් පිට බෝඩින් වල නතර වී කරනා දුෂ්කර ක්‍රියාව ගැන දුල්නෙත් තුළ ශෝකයක් නැතිවා නොවේ. නමුත් එහෙම ජීවිතයක රස පිරි විවිධත්වයක් වන බව ද ඔහු දැන සිටියේ ය.

“දුලා ආපු එකේ සින්දුවක් කියමු නේ…”

දුල්නෙත් ගේ ගිටාර වාදනය විශ්ව විද්‍යාලය තුළ ප්‍රකට ය. සුමීර සිය ගිටාරය මිතුරා වෙත පෑවේ දුල්නෙත් ගේ ගායනයේ වන මිහිර ගැන ද දැන සිටි බැවිනි. බාහිරයට වැඩිපුර හඬ පිට නොවෙන සේ ඔවුහු සින්දු දෙක තුනක් කීහ. ඒ අතරේ පරිප්පු උයා බිත්තර තම්බා කොච්චි බැද දවල් බත ද පිසිණි. දුල්නෙත් බෝඩිමෙන් පිට වූයේ එහෙම කෑම වේලක ද විශේෂ රසයක් ඇති බව ප්‍රත්‍යක්ෂ කර ගෙන ය. 

අයානා නිර්වාණ ද්වාරය වසා නො දමා සිටියේ දුල්නෙත් එන තුරු ය. කුස ගින්නක් දැනුණ ද ඇය දොර වසා මතු මහළට නො ගියා ය. දුල්නෙත් ඇවිත් හැරී යනු ඇත යන බිය ඇයට දැනිණ.  ෆොටෝ කොපි ටික එක් කොට ඈ එ්  පොතක් වන සේ බයින්ඩ් කළා ය. ඒ සඳහා කවරය ඇය විසින් ම පරිගණකයෙන් සකස් කළා ය. කොළ ටික ගන්නට නිර්වාණයට ගොඩ වූ දුල්නෙත් ගේ ඇස් විශ්මයට කුඩා විය.  කොළ මිටියටට උඩින් වූ බිල් පතෙහි සඳහන් වූයේ ෆොටෝ කොපි සඳහා අය කිරීම පමණි.

“කම්මැළි කමට ඉන්න නිසා මං හැදුවෙ ඉතිං”

ඔහු බිල්පත දෙසත් කොළ මිටිය දෙසත් මාරුවෙන් මාරුවට බලත්දී අයානා සන්සුන් ව කීවා ය. පියවරක් පසු පසට තැබූ දුල්නෙත්, අයානා දෙස ඇස් කුඩා කොට වඩා හොඳින් බැලුවේ ය. ඔහු ගේ ජංගම දුරකතනය හැඬවුණේ ඒ වෙලාවේ ම ය. මංජරී යන නම තිරය මත ලියැවී තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles