ජපුරෙහි කතිකාචාර්ය කමක් ලද මොහොතේ විදුර සයුරංග ඒකනායක ට මුලින් ම සිහිපත් වූයේ අයානා ජයසුන්දර ය. කැළණිය සරසවියෙන් උපාධිය ලැබූ ඔහු මුලින් ම ජපුර සරසවිය දුටුවේ අයානා බලන්නට ඔවුන් ගේ නිවසට ආ දා ය.
අයානා ගැන ඉන්පසු කිසිදු තොරතුරක් ඔහු ට ලැබුණේ නැත. දහම් ජයසුන්දර ගේ ඇසුර ඒ සිදුවීමෙන් පස්සේ දුරස් වී නැත්තට ම නැතිව ගියේ ය. ඔවුන් දෙදෙනා ගේ ම මිතුරෙකු වතාවක් කීවේ අයානා විවාහ වී කැනඩාවේ පදිංචියට ගිය බවයි. ඒ වගේ බොරුවක් සිය මිතුරන් අතරේ පැතිරෙව්වේ දහම් ම ය. කෙසේ හෝ වේවා ජීවිතය ඉදිරියට ඉන් පසු පැමිණි සිදුවීම් සමග ගසා ගෙන යත්දී ඇය ගැන සිතන්නට හෝ සොයන්නට ඔහු ට කාලයක් වූයේ නැත. හේතුවක් වූයේ ද නැත. නමුත් මේ සුවිශේෂ කෙල්ල ඔහු ට හැමදාම මතකයේ තිබුණේ ය.
පශ්චාද් උපාධිය සඳහා විදෙස් ගත වීමට පෙර අයානා හා විවාහ වෙන්නට සියලු කටයුතු සූදානම් වෙත්දී විදුර සිතුවේ ජීවිතයේ අලුත් ම පිටුවක් පෙරළන්නට අවස්ථාව ලැබෙනු ඇත කියා ය. ඒ වෙත්දීත් ඔහු ට සිය මිතුරන්ගෙන් පවා සඟවන ලද සෙල්ලක්කාර රහස් ජීවිතයක් තිබිණ. අයානා හමු වන්නට ආ යුවතිය විදුර ට බෙහෙවින් ආදරය කළා ය. ඇගේ මුළු ජීවිතය ම ඔහු විය. නමුත් ඇගේ ඒ උමතුව විටෙක ඔහු ට හිසරදයක් වූයේ ය. එකී යුවතිය ඇසුරු කරත්දී ම ඔහු කාටත් රහසින් සිය මිතුරෙකු ගේ බිරිඳ හා හාද වී සිටියේ ය. එය කායික ඇසුරක් දක්වාත් දුර දිග ගිහින් තිබුණේ උනුන් ගැන කිසිදු වගකීමක් ඔවුන් ට දනවන්නේ නැතිව ය. ඒ සමග ම විදුර ට තවත් සම්බන්ධතා කිහිපයක් ඇති වී ද නැති වී ද තිබිණ. වතාවක් ඔහු සිය පන්තියකට පැමිණි සිසුවියන් අතරින් හොඳ ම මිතුරියන් දෙදෙනා සමග ම පෙමින් වෙළුණේ ය. ඒ බව යෙහෙළියන් දෙදෙනා ම නො දැන සිටින තැනට වග බලා ගන්නට ඔහු සියුම් කපටිකමකින් ක්‍රියා කළේ ය. වරෙක ඔහු සහෝදරියන් දෙදෙනෙකුට එක ම කාලයක දී පෙම් කළේ ය. ඒ බව ඔවුන් දෙදෙනා ම දැන සිටියේ නැත.
මේ සෙල්ලක්කාර දිවියෙන් මිදී නතර වීමක් ඔහු ට සැබවින් ම උවමනා වූ අවස්ථාවක් උදා විය. නමුත් සිය දීර්ඝ කාලීන පෙම්වතිය සමග විවාහ දිවියකට එළඹෙන්නට විදුර ට හිත හදා ගත නො හැකි විය. ඔහු ට ඕන වුණේ අලුතෙන් සියල්ල පටන් ගන්නට ය. අයානා වගේ තරුණියක සමග ඔහු බලාපොරොත්තු වෙන ජීවිතය පහසුවෙන් ම උදා කර ගත හැකි බව විදුර දැන සිටියේ ය. ඇය දැන උගත්, විචාරශීලී බුද්ධියකින් යුතු සමාජශීලී ගෑනු ළමයෙකි. විදුරට ඕන වී තිබුණේ ඔහු ගේ දිවිල්ල නවතා ඇය වාගේ කෙනෙකු ළඟ ඉසිඹු ලන්නටයි. නමුත් අවාසනාවන්ත ලෙස ඒ සියල් සිහින බිඳී ගියේ ය.
කෙසේ වෙතත් විදුර මේ අලුත් සරසවි ඇදුරු රැකියාවේ දී සිය දෙවන නම භාවිතා කළේ අතීතයෙන් වහං වී සිටීමේ මගක් වශයෙනි.
සරසවියට යන ගමන් නිර්වාණය ළඟ දී විදුර ගේ නෙතු ඒ දෙසට හැරෙන්නේ ඉබේ ය. දැන් එතැන සන්නිවේදන මධ්‍යස්ථානයකි. අයානා විවාහ වී විදේශ ගත වීමෙන් පස්සේ ජයසුන්දර යුවළත් දරුවන් දෙදෙනා ගෙන් කෙනෙකු ළඟට යන්නට ඇතැයි ඔහු අනුමාන කළේ ය.
අයානා ගැන සිහි වෙත්දී දැනුත් ඔහු ගේ තොල් කොනක් සිනහවකට නළියයි. ඇය වාගේ කෙල්ලක ඔහු ට කිසි දා හමු වී නැත. ඒ තරම් ආත්ම විශ්වාසයක් හා අභිමානයක් තිබූ කෙල්ලක්!
මංජරී ගැන නම් විදුර ට ලොකුවට හිතන්නට දෙයක් ඇත්තේ ම නැත. ඔහු ඇසුරු කළ කෙල්ලන් පෝලිමේ හැටියට ඇය සිල්ලර සීනි බෝලයකට සම කළ හැකි ය. නමුත් ඇගේ පෙනුම ඔහු ට ඉවත බැලිය නො හැකි එකකි. මංජරී කියන්නේ පහසුවෙන් ම නම්මා ගත හැකි ප්‍රතිපත්තිමය ශක්තියක් නැති ගෑනු ළමයෙකු බව ප්‍රථම හමුවෙන් ම ඔහු දැන හැඳින ගත්තේ ය. ඒ එදා කැන්ටිමේ දී ඇය කඳුළු පෙරමින් හඬමින් සිටි අවස්ථාවේ ය. ඊට පෙර ද දේශනා අතරේ දී විදුර ගේ ඇස් ඇය ළඟ නතර වී තිබේ. සිය බැල්ම ඉදිරියේ ඇය පෑ ලැජ්ජාශීලී ඉඟි බිඟි අනුව මංජරීව නතු කර ගැනීම ගැන විදුරට කිසිදු අසීරු බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. දුල්නෙත් හා ඈ අතරේ ඒ වෙලාවේ ඇති ව තිබූ අර්බුධය, විදුර ට මග පහසු කළේ ය.
දුල්නෙත් හිටියේ සංක්‍රාන්ති සමයක ය. සයුරංග සමග මංජරී ව දකිනා ඇතැම් වෙලාවක ඔහු දරුණු ගණයේ පීඩන අවපාතකයකට හසු වෙයි. නමුත් ඇය වාගේ අවස්ථාවාදී කෙල්ලකගෙන් ගැලවෙන්නට වීම කෙතරම් වාසනාවක් ද යන තිත්ත ඇත්ත තේරුම් ගන්නට බැරි කමක් ඔහු ට නැත. ඒ ගැන තමන් වෙනුවෙන් සතුටු වෙන්නට ඔහු ට පුළුවන. ඔහු නිර්වාණයට නො යන්නේ අයානා ට මුහුණ දිය නො හැකි මොකක්දෝ සුළියක් ඔහු තුළ කැරකෙන හින්දා ය. කොහොමත් ඈ ගැන මුල සිට ම දැනුණා වූ සුවිශේෂී හැඟීම ප්‍රේමයක් කියා සිතන්නට ඔහු බිය ය. දුල්නෙත් දැන් ප්‍රේමයට කොහොමටත් බිය ය.
කළල් දියක් වූ සිය හද මඬල පෑදෙන තෙක් හෙමිහිට ජීවත් වෙන්නට ඔහු සිතා ගත්තේ ය.
මේ කියන උදයේ දුල්නෙත් අලගියවන්න නිර්වාණ ද්වාරය වෙත ගොඩ වූයේ සැබවින් ම ඔහු ට අවශ්‍ය ව තිබූ සටහන් වගයක පිටපත් ලබා ගන්නට ය. ඒ වෙලාවේ අයානා පුටුවක් මතට නැගී, පා ඇඟිලි තුඩු වලින් එසවී ගෙන දොරකඩ ම සිවිලිමෙහි සුළං සීනුවක් එල්ලන්නට තැත් කරමින් සිටියා ය. හදිසියේ බලාපොරොත්තු නොවූ වෙලාවක ඔහු දුටු ඕ සිනහ වී ඔහු දෙස බලා හිඳ පසුව පුටුවෙන් බැස ගත්තා ය.
“කාලෙකින් දැක්කෙ”
ඇගේ මුව මඳහසෙහි කිසිදු වෙනසක් වූයේ නැත. දුල්නෙත් ඈ අත වූ සුළං සීනුව අරගත්තේ ය. කතා නැතිව ම සිවිලිමෙහි වූ කොක්කෙහි එය එල්වූයේ ය.
“තැන්ක්ස්”
අයානා මුදු ලෙස මිමිණුවා ය. දුල්නෙත් පුස්තකාල කොටසට ගොස් ඔහුට අවශ්‍ය වූ පොත ගෙන පිටු පෙරළමින් එහි අවශ්‍ය කොටස් තෝරත්දී ය දුරාශා පැමිණියේ.
“එල්ලුවද මේක…තනියම කොහොමද එල්ලුවෙ…මං කිව්වනෙ මං ආවහම කරමු කියල”
නිර්වාණයට ඇතුළු වෙත්දී ම දුරාශා ගේ ඇස් යොමු වූයේ සුළං සීනුව වෙතට ය. අයානා දුල්නෙත් ව ඇසින් පෙන්වූවා ය.
“ඒක තමා මං බැලුවෙ…දොඩං ගෙඩි දෙකක් තරංවත් උස නැතුව එහෙම දෙයක් කර ගත්තෙ කොහොමද කියල”
දුරාශා හඬ නගා කළ විහිළුවට අයානා ඇගේ පිටට ගසත්දී දුල්නෙත් යන්තම් බලා අඩ සිනහවක් පෑවේ ය.
“හලෝ…ගුඩ් මෝනිං…කොහොමද ඉතිං…”
දුරාශා දෙවරක් නො සිතා දුල්නෙත් වෙතට සිය මිත්‍රශීලී බව විසි කොට දැමුවා ය. ඔහු යන්තම් සිනහවකට අර ඇන්දා පමණකි. මූණ පුරා රැවුල් කොට වැවුණු, දුක්බර බැල්මක් තියෙන කොල්ලෙකු එහෙම හිනා වෙනකොට මොන තරම් ලස්සනද කියා සිතුණ සිතිවිල්ලත් එක්ක ම අයානා බිම බැලුවා ය.
“ඔයා මේ පැත්තට වැඩිය එන්නැති වෙනකොට අපි ඒත් හිතුව ගර්ල් ෆ්‍රෙන්ඩ් තහනම් කරලද දන්නෑ කියල. එයා ඇවිත් අපිට කෑගැහුවනෙ ඔයාව ගෙන්නගන්න එපා කියල. අපිට ඉතිං කිසි කෙනෙක්ට කියන්න බෑනෙ එන්නෙපා කියල..ඒක මං එයාට කිව්ව”
අයානා දුරාශා දෙස බලා ඇස් වලින් කියන්නට උත්සාහ කළේ ඒ කතාව නතර කරන්නට කියා ය. දුරාශා නෙතගින් මිතුරිය ගේ අවශ්‍යතාවය දුටුවා ය. නමුත් හිතා මතා ම නොදුටුවා සේ හිටියා ය.
“ආයෙත් ඇවිත් එයා මේ කෙල්ලගෙ කං අඩිය පලන්න හදයිද දන්නෑ නේ..”
දුල්නෙත් මුණිවත නො බිඳ සිටි නිසා දුරාශා ට ඕන වුණේ ඔහු ලවා කතා කරවා ගන්නට ය. දුල්නෙත් අසුනෙන් නැගිට පොතත් ගෙන කවුන්ටරය වෙත ආවේ ය. අයානා ඔහු ගෙන් පොත ගත්තේ පිටපත් කළ යුතු පිටු දෙපසට බුක් මාක් දමමිනි.
“ඒක දැං නෑ”
දුල්නෙත් දුරාශා ගේ ඇස් දෙස බලමින් ද ඒවායින් මිදෙමින් ද යළි බලමින් ද කීවේ ය.
“ඒ කිව්වෙ…”
දුරාශා පිළිවිසියා ය. නො දන්නා හේතුවක් මත අයානා ගේ හෘද ස්ඵන්දනය වේගවත් වූයේ ය.
“ඒ සම්බන්දෙ”
දුල්නෙත් බිම බලා ගෙන තත්පර වෙමින් සිටි කාලය තුළ කියා ගන්නට හෝ අසා ගන්නට යමක් දුරාශා ට සිහි වූවා නොවේ. ඇය ඒ තරමට අපේක්ෂා නො කළ විපිළිසර බවකට පත් ව හිටියා ය.
“මං පස්සෙ ගන්නං” කියාගෙන දුල්නෙත් නිර්වාණයෙන් පිටතට අඩිය තැබුවේ ය. දෙමිතුරියන් උනුන් ගේ මුහුණු බලා ගත්තේ ඉනික්බිති ය. අයානා එහෙම ම අත වූ පොත තුරුලු කර ගත් වන එතැන වූ පුටුවට කඩා වැටුණා ය. දුරාශා වීදුරු දොර ළඟට ම ගොසින් දුල්නෙත් යනවාද කියා බලා යළි අයානා වෙත ආවා ය.
“ඒක තමුසෙ නිසා වෙච්ච දෙයක් කියල හිතනව එහෙම නෙවෙයි හරිද…”
අයානා හුස්ම ගත්තේ හෙමිනි. නමුත් හද ගැස්ම පිටතටත් ඇහෙනා තරම් විය. ඇය අමාරුවෙන් කෙළ බිඳක් ගිල්ලා ය. උගුර වියළී, හිර වී ගොස් ඇති බවක් ඇයට දැනිණ.
දුල්නෙත් බිම බලා ගත් මඳ වේගී ගමනෙන් සුපිපි මල් ගොමු සහිත කොංක්‍රීට් පාර දිගේ සරසවි බිම තුළ ඇවිද ගියේ ය. මේ ටික දවසට ඔහු වඩ වඩාත් නිහඬ චරිතයක් බවට පත් වෙමින් තිබේ. ආත්මීය හුදෙකලාව බාහිරයට පවා විද්‍යමාන වන තරමට ඔහු තමන් වෙතට නැඹුරු වී තිබේ.
මංජරී කිකිණි හඬින් සිනහ වෙමින් සයුරංග සමග කැන්ටිම පැත්තට ඇවිද යනු දුල්නෙත් දුටුවේ ය. ඔහු වහා ඉවත බලා ගත්තේ ය. දැන් දැන් මංජරී පිළිබඳව මුලදී තිබූ ශෝකය හෝ දුල්නෙත් තුළ ශේෂ ව නැත.
“මට බෝඩිමක් හොයල දෙනවද…එතන කිසි නිදහසක් නෑ අප්ප..ඔයත් එකක් ටිකක් කතා කර කර ඉඳල යන්න පරක්කු වුණත් ඒ ගෙදර මනුස්සය ප්‍රශ්න කරනව. මල වදේ”
මංජරී ට අලුතෙන් ඇති ව තිබූ ප්‍රශ්නයකි එය. ඉස්සර දුල්නෙත් නම් ඇය සමග කතා බහ කළේ විශ්ව විද්‍යාලය තුළදී ය. නමුත් සයුරංග හැන්දෑවට ඈ රියෙහි නංවා ගෙන කොහේ හෝ එක්ක යයි. එතකොට බෝඩිමට එන වෙලාව ගැන මංජරී ට ද කිසිදු වගක් නැත. සැබවින් දුල්නෙත් වගේ නොව සයුරංග ගේ ප්‍රේමය ඇගේ සිතේ ගතේ ස්නායු සෛලයක් ගානේ හැඟීම් වලින් පුබුදුවාලයි. ඒ විදිහට ඔහුත් එක්ක ඕනෑ තරම් කාලයක් ගත කරන්නට ඇය රිසි වූවා ය.
“මාත් තැනක් හොයා ගන්න ඕනෙ..කැමතිනං අපිට එක තැනක ඉන්න පුළුවන්නෙ. ඇනෙක්ස් එකක් අරං”
සයුරංග අඩ සිනහවකින් එසේ කීවේ නිකමට ය. එහෙව් යෝජනාවකට කිසි සේත් මංජරී කැමති වේවියි සිතා ගෙන නොවේ.
“එහෙම හොදයිනෙ. ඒත් මට ලොකුවට ගෙවන්න සල්ලිනං නෑ”
“සල්ලිනං මට තියනවනෙ”
සයුරංග ඇසක් ඉඟි මැරුවේ ය. ඊළඟ දෙතුන් දින ගෙවී ගියේ ඇනෙක්ස් එකක් හොයනු වස් ය. ඔවුන් එය වෙන් කොට ගත්තේ අලුත විවා පත් අඹු සැමියන් බව නිවෙස් හිමියන්ට පවසමිනි.