අහිමි සිහින -174

එතැන් පටන් රෝහලට යාම කිසිසේත් ම සාර්ථක වූයේ නැහැ.ඉතා දැඩිව විනය නීති පවතින තැනක එසේ සුදාරක බලන්නට යාම කිසි සේත්ම කරන්නට නොහැකි බව මම තේරුම් ගත්තා.මට හිතවතුන් බොහෝ අය සිටි බව ඇත්තක් වුණත් ඔවුන්ගේ හිතවත්කම් අයථා ලෙස යෙදවීමට මටත් උවමනා වූයේ නැහැ.ඔවුන් මට උදව් කරන්නේ අපේ සැබෑ ආදරේ ගැන තේරුමක් ඇතිව.නමුත් නීතියට ආදරය හෝ මනුෂ්‍ය සම්බන්ධතා ගැන වැදගත්කමක් ඇත්තේ නැහැ.ආදරයට ගරු කර අපට උදව් කරන්නට උත්සාහ කරන කිසිම නිලධාරියකු නීතිමය වශයෙන් අසරණ වනවා දකින්නට මටත් උවමනා වූයේ නැහැ.මට ඉතාම කෙටි දින කිහිපයකින් මා අසල සිටි රියදුරා ද නැතිව ගිය අතර ඒ සියල්ල ඒ ආකාරයෙන් වන බව මම තහවුරු කරගත්තා.එවැනි කාරණා වලට අයිතිය සම්බන්ධයෙන් සටන් කරන්නට මට බැහැ.

නමුත්, මට ගැහැනියක ලෙස සටන් වැදිය හැකියි!!

මම ඥාතිත්වයෙන් මගේ බාප්පා සහ මාමා කෙනකු වන දෙදෙනෙකු අපේ ගෙදරට ගෙන්වා ගත්තා.ඔවුන් වියපත් අය නමුත් මට ඔවුන්ගෙන් ශක්තියක් ලැබෙනු ඇති බව බවට විශ්වාසයක් මට තිබුණා.මම විවිධ කටයුතුවලට එහෙමෙහෙ යද්දී නිවසේ රැඳෙන්නට බාප්පාටත් මාමටත් හැකි වුණා.

සුදාරකගේ ඥාතීන් සියල්ලන්ම මා සමග කිසිදු සබඳතාවයක් ඇති නොකර ගන්නට මේ කාලයේ ප්‍රවේශම් වුණා.අනුරාධපුර නවාතැනේදී මා සමඟ එක යහන බෙදා ගත් ඔහුගේ සහෝදරිය පවා මට දුරකථන ඇමතුමක්වත් ලබා නොදෙන්නට ප්‍රවේශම් වුණා.අනිත් කාරණාව ඔවුන්ට සුදාරක ගැන කිසිම වග විභාගයක් තිබුණේ නැහැ.ඔහුව අනුරාධපුර රෝහලින් කොළඹට එවූ පසු මොවුන් දවසක් දෙකක් තිස්සේ අනුරාධපුර රැඳී සිට තිබුණා.එවැනි දීන ගති ඇති මිනිසුන් සම්බන්ධයෙන් වැය මටත් කාලයක් නැති බව මම විශ්වාස කරමින් සිටියා.

වගකිය යුතු පුද්ගලයින්ට කතා කරමින් සුදාරක සම්බන්ධයෙන් කළ හැකි දේවල් ඇත්දැයි සොයා බලන්නටත් රෝහල් ආරංචි මාර්ග මගින් ඔහුගේ සැබෑ තත්ත්වය විමසන්නටත් මම මගේ මුළු කාලයම වැය කරමින් සිටියා.නීතිය සම්බන්ධයෙන් තැකීමක් නොකර මට පෞද්ගලිකව ඇමතුම් ලබා දෙමින් ඔහු ගැන කියන්නට බොහෝ අය කාරුණික වූවා.දිල්හානි නොනවත්වාම ලිපි සහ කෙටි පණිවිඩ එවමින් මට සුදාරක සමඟ කිසිදු සබඳතාවක් පැවැත්වීමට නොදිය යුතු බවට ඉහළ පාලනාධිකාරියට දැනුවත් කිරීම් කරමින් සිටියා.

“මම සුදාරක විතානගේගේ නීත්‍යානුකූල බිරිඳ. ඔහු ගැන සියලුම අයිතිය ඇත්තේ මට.ඔහුට අයිතියක් ඇති බව කියමින් අනුරාධාට ඔහු බලන්නට එන්නට ඉඩ දෙන්නට බැහැ.”

ඇය නිතරම පවසා තිබුණේ අන්න ඒ කාරණාවයි.ඇය අම්මාට බලය පවරා තිබුනත් සම්පූර්ණ බලය ඇය අත තබා ගන්නට ප්‍රවේසම් වී තිබුණා.නමුත් සුදාරකගේ ඥාතීන් අනුරාධා පිටුදැක තමන් වෙත හැරීම ගැන ඇයට තිබුණේ පුදුමාකාර සන්තෝෂයක්.නමුත් අතීතයේ ඔවුන් තමන් සහ දරුවන්ව එළවාගත් බව ඇයට අමතක වූයේ කෙසේදැයි මම නැවත නැවතත් හිතෙන කාරණාවක්.

“දැන් මේ ගෙවෙන්නේ අමුතුම වෙලාවක්.මෙයාලා අනුරාධා අමතක කරල මං පැත්තට හැරුනේ හොඳකට වෙන්න බෑ.”

අන්න ඒ කාරණාව පැහැදිලි මනසින් සිතුවා නම් දිල්හානි මෙතරම් විකාර කරන්නේ නැති බව මා නම් හොඳින් දන්නවා.නමුත් ඇස් අන්ධ වූ කෙනෙකුට හොඳ නරක හෝ සැබෑව ගැන කිසිම අදහසක් ඇති වන්නේ නැහැ.අපි අනුරාධපුර සිටියදී පවා සුදාරකගේ ඥාතීන් මට හොරා දිල්හානිට කතා කිරීම අරඹා තිබූ බව මා දැනගත්තේ ඉතාම පසුවයි.නමුත් ඇයට සැබෑවටම මව් රට පැමිණීමේ අපහසුතා තිබුණා.ඒ ඇය රටින් පලා ගිය ආකාරය නිසා.ඒ නිසා ඇයට මෙහි පැමිණ නඩුවක් වත් පැවරිය නොහැකි බව ඇය හොඳින්ම දැන සිටියා.නඩත්තු නඩු ආදියේදී ද ඒ කාරණා මතු වූ ආකාරය ගැන මට ඉතා හොඳින් මතකයේ තිබුණා.අනිත් කාරණාව ඇය සරණාගතයෙකු ලෙස රටින් පලා යාමේදී ඒ සම්බන්ධයෙන් සුධාරකට පමණක් චෝදනා ගොනු කළේ නැහැ.ඇය ඒ වෙනුවට ඔහුගේ පාලනාධිකාරියට පමණක් නොවේ රටට ද එරෙහි චෝදනා ගොනු කළා.එවැනි කාරණා සිදු කළ ඇයට නැවත රටට පැමිණීමට අපහසු යි.ඒ සියල්ල එසේ වුණත් ඇය සුදාරකගේ නීත්‍යානුකූල බිරිඳ වීම ඔහුගේ රැකියා ස්ථානය ආශ්‍රිතව ඇයට සුරක්ෂිතතාවය සලසන්නට හේතු වුණා.නමුත් ඇය නැවත මව් රටට පැමිණීමට උත්සාහ කළ බව මට ආරංචි වුණා.එහෙත් එය සාර්ථක නොවන්නට ඇති.

සැබෑවටම සිදු වූයේ සුධාරකගේ පවුලේ උදවියගේ මහා කුමන්ත්‍රණයකට මා සහ දිල්හානි අසුවීමයි. ඇය වැපුරූ බීජවලින් නෙළාගත් ඵල වන්නේ ඇයට කිසිදිනෙක ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වීමයි.මා සම්බන්ධයෙන් සැබෑ සත්‍ය වන්නේ මම ඔහුගේ නීත්‍යානුකූ බිරිඳ නොවීමයි.අප දෙදෙනාටම ඔහු සම්බන්ධයෙන් ඉතිරි වී ඇති කිසිවකට අයිතිවාසිකම් කියන්නට නොහැකි බව ඔවුන් හොඳින් දැන සිටියා.

එවිට සුධාරකගේ ජීවිතය?

ඒ ගැන අබමල් රේණුවක හෝ වටිනාකමක් ඔවුන්ට දැනුනේ නැහැ.තමන් ගේ අති සමීපතමයන් දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබද්දී  දෙවියන් යදිමින් හඬා වැලපෙන මිනිසුන් දකින වාරයක් පාසා මට අදටද සුදාරකගේ ඥාතීන් සිහිපත් වනවා.තමන්ගේ සමීපතමයා වෙනුවෙන් දෙවියන් හරි හඬා වැලපෙන ඒ මිනිසුන් සිටින්නේ අර නරුම මිනිසුන්ට වඩා මොනතරම් ඉදිරියෙන්ද?මූල්‍යමය වටිනාකම් වලට ඉහළින් මනුෂ්‍යත්වය සහ ආදරය තිබේ තිබේ නම් මේ ලෝකය මොන තරම් ලස්සන වනවාදැයි මං අදටත් බොහෝ වාරයක් කල්පනා කරනවා

ඒත් මට අදටත් ඒ ප්‍රශ්නයට නම් පිළිතුරක් ලැබෙන්නෙ නැති තරම්! 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles