ආතතිය , එහෙමත් නැත්නම් stress එක කියන්නේ ජීවිතයේ ස්වාභාවික කොටසක්. එය අවධානය අවශ්‍ය වන එදිනෙදා පීඩනකාරී තත්ත්වයන් හේතුවෙන් ශරීරය විසින් දක්වන ප්‍රතිචාර ආකාරයක් වන අතර එහි උච්චතම අවස්ථාවන්වලදී ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා.එසේ නොවුනහොත් එය බරපතල සෞඛ්‍ය ගැටලු දක්වා ද වර්ධනය වීමේ හැකියාව පවතිනවා.
ආතතිය ඇතිවීමට හේතුව කුමක්ද?
ආතතිය විවිධ හේතු මත පුද්ගලයන් තුළ පැන නැගිය හැකි අතර, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා . ආතතියට බලපාන පොදු හේතු අතර රැකියා පීඩනය, මූල්‍ය අරගල, අධ්‍යයන අපේක්ෂාවන්, සම්බන්ධතා ගැටුම් සහ සෞඛ්‍ය ගැටළු ඇතුළත් වනවා . සමහර පුද්ගලයන් හට නව නිවසක හෝ රටක පදිංචියට යාම, නව රැකියාවක් ආරම්භ කිරීම හෝ අනපේක්ෂිත වෙනස්කම් වලට මුහුණ දීම වැනි අවස්ථාවන්වලදී ද ආතතිය ඇති විය හැකිය.
වර්තමානයේදී තරුණ තරුණියන් අතර විශාල වශයෙන් මානසික ආතති තත්ත්වයන් දක්නට ලැබෙන අතර එය බහුලව රැකියා කටයුතු, මූල්‍යමය අවශ්‍යතා සහ අනාගත සැලසුම් හේතුවෙන් ඇතිවන අනාරක්ෂිත තත්ත්වයන් මත ඇතිවනවා
ආතතිය ශරීරයට සහ මනසට බලපාන්නේ කොහොමද ?
ආතතිය ශරීරයට සහ මනසට සෘජුවම බලපෑම් එල්ල කරනවා.කෙනෙකු ආතතියට මුහුණ දෙන විට, ශරීරය කෝටිසෝල් සහ ඇඩ්රිනලින් වැනි හෝමෝන නිකුත් කරන අතර, මෙමගින් හෘද ස්පන්දන වේගයේ වෙනස්කම් , රුධිර පීඩනයේ වෙනස්කම් සහ විශේෂයෙන් නින්දේ රටාවේ වෙනස්කම් සහ නින්දට වැටීමේ අපහසුතා ඇති කළ හැකිය.
කෙසේ වෙතත්, ආතතිය දිගු කාලීනව පවතින විට, එය බරපතල සෞඛ්‍ය ගැටළු වලට හේතුවීම ආරම්භ වනවා.එහිදී ඇතිවිය හැකි ශාරීරික බලපෑම් අතර හිසරදය, මාංශ පේශි වල වේදනාව , තෙහෙට්ටුව, ආහාර ජීර්ණ ගැටළු, දුර්වල ප්‍රතිශක්තිය සහ නින්දට බාධා වීම් ඇතිවීම ඇතුළත් වෙනවා.චිත්තවේගීය බලපෑම් අතර කාංසාව, නුරුස්නා බව, දුක, මනෝභාවය පහසුවෙන් වෙනස් වීම සහ සාමාන්‍ය ජීවිතයේ වල නිරත වීමට ශක්තියක් නොමැතිකමද සිදුවනවා.
Stress වීම හෙවත් ආතතියට පත්වීම පුද්ගලයෙකුගේ සිතීමේ රටාවන්ට ද බලපෑ හැකියි. එය තීරණ ගැනීමේ හැකියාව දුර්වල වීම සහ මතක ශක්තිය අඩු කිරීම කළ හැකිය.ඊට අමතරව කාලයත් සමඟ, නිදන්ගත ආතතිය පුද්ගලයන් තුළ ආත්ම විශ්වාසය අඩු කළ හැකි අතර නිරන්තරයෙන් තමා නොවටිනා බව,තමාට කිසිවක් කළ නොහැකි බව සහ තමාගේ ජීවිතය අර්ථවත් නොමැති බව යනාදී සිතුවිලිද ඇති කළ හැකිය.
ආතතියේ හැසිරීම් සංඥා මොනවාද?
ආතතිය බොහෝ විට පුද්ගලයකුගේ හැසිරීම් වල වෙනස්කම් හරහා පෙන්නුම් කරනවා. පුද්ගලයෙකු වගකීම් වලින් වැළකී සිටීමට, සමාජ අන්තර්ක්‍රියා වලින් ඉවත් වීමට හෝ ඔවුන් සාමාන්‍යයෙන් නිරත වන ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුව නැති වීම ආරම්භ කර තිබෙනවා නම්, ආහාර ගැනීමේ පුරුදුවල වෙනස්කම්, ඩිජිටල් තිර කාලය වැඩි වීම සහ අක්‍රමවත් නින්දේ රටා පෙන්නුම් කරනවා නම් එම පුද්ගලයා තුළ අධික ආතතියක් පැවතීමේ හැකියාව තිබෙනවා.
සමහර පුද්ගලයන් ඉතා කුඩා කරුණු වලට පවා පහසුවෙන් කලකිරීමට පත්වීම හෝ කුඩා ගැටළු වලට දැඩි ලෙස ප්‍රතිචාර දැක් වීම කල හැකිය. තවත් සමහරු ඉතා නිහඬව, නමුත් අභ්‍යන්තරයෙන් දැඩි ලෙස පීඩාවට පත් වි සිටිය හැකිය. පුද්ගලයෙකු තුළින් දිස්වෙන මෙවැනි සංඥා සහ සලකුණු කලින් හඳුනා ගැනීමෙන් ආතතිය වඩාත් බරපතල වීම වළක්වා ගන්නට පුලුවන්.
ආතති වර්ග මොනවද ?
ආතතියේ විවිධ ආකාර පවතිනවා. උග්‍ර ආතතිය කෙටි කාලීන වන අතර එය සාමාන්‍යයෙන් විභාගයක් හෝ හදිසි අභියෝගයක් වැනි නිශ්චිත තත්වයකට සම්බන්ධ වනවා. එවන් තත්වයක් ගෙවී ගිය පසු බොහෝ විට ආතති තත්ත්වය මැකී යාම සිදුවනවා.
නිදන්ගත ආතතිය දිගු කාලීන වන අතර එය වඩාත් හානිකර වනවා. අඛණ්ඩ මූල්‍ය ගැටළු හෝ නොවිසඳුණු පෞද්ගලික ගැටළු වැනි සහනයක් නොමැතිව පුද්ගලයෙකුට නිරන්තරයෙන් පීඩනයක් දැනෙන විට එය සිදු වන අතර කාර්යබහුල හෝ අවුල් සහගත ජීවන රටාවක් හේතුවෙන් යමෙකු නිතර දැඩි ආතතියක් අත්විඳින විට උග්‍ර ආතතිය ඇති වීම සිදුවනවා.
ආතතිය කළමනාකරණය කිරීමට හැකි සෞඛ්‍ය සම්පන්න ක්‍රම මොනවද ?
දැනුවත්භාවය
ආතතිය කළමනාකරණය කිරීම සඳහා දැනුවත්භාවය සහ ක්‍රියාමාර්ග යන දෙකම අවශ්‍ය වනවා. මේ සඳහා එක් ඵලදායී ක්‍රමයක් වන්නේ දෛනික චර්යාවේදී පුද්ගලයකුට අවශ්‍ය විවේකය ඇතුළත් සමබර දෛනික චර්යාවක් පවත්වා ගැනීමයි.
ව්‍යායාම
ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම යනු ප්‍රබල ආතති සහනයක් ලෙස සැලකෙනවා . ඇවිදීම, දිවීම, යෝගා අභ්‍යාස හෝ සැහැල්ලු ව්‍යායාම වැනි ක්‍රියාකාරකම් එන්ඩොර්ෆින් වැඩි කිරීමෙන් ආතතිය මුදා හැරීමට සහ මනෝභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා.
සිහිකල්පනාව
සිහිකල්පනාව පුහුණු කිරීම සහ භාවනා කිරීම මනස සන්සුන් කිරීමට හැකි තවත් ක්‍රමයක් ලෙස සැලකෙනවා. ගැඹුරු ලෙස හුස්ම ගැනීම, භාවනා කිරීම හෝ මිනිත්තු කිහිපයක් නිහඬව වාඩි වී සිටීම කාංසාව අඩු කර කලබලකාරී මනසට තරමක පැහැදිලි බවක් ගෙන දිය හැකිය. දිනපොතක් ලිවීම ද තවත් ප්‍රයෝජනවත් ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි අතර එමඟින් පුද්ගලයන්ට හැඟීම් ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ සිතුවිලි වඩා හොඳින් තේරුම් ගැනීමට ඉඩ සලසනවා.
කාල කළමනාකරණය
කාල කළමනාකරණය යනු ආතතිය අඩු කිරීමට හැකි තවත් වැදගත් කුසලතාවයකි. දෛනික කාර්යයන් කුඩා පියවරවලට බෙදීම, ප්‍රමුඛතා සැකසීම මගින් අවසාන මොහොතේ පීඩනය වළක්වා ගැනීමට සහ වගකීම් වඩාත් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
ජීවන රටාව
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා හුරු වීමද ආතතිය පාලනය කර ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ නිසි නින්දක් ලබා ගැනීම ශරීරයට ආතතියට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කරන අතර කැෆේන් සහ ඩිජිටල් තිර කාලය සීමා කිරීම, විශේෂයෙන් නින්දට පෙර, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරගත හැකි වෙනවා.
සමාජ සම්බන්ධතා
සමාජ සහයෝගය මානසික ආතතිය පාලනය කර ගැනීමට අත්‍යවශ්‍ය තවත් එක කාරණාවක් ලෙස කිව හැකි අතර විශ්වාසවන්ත මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ උපදේශකයෙකු සමඟ කතා කිරීම මගින් චිත්තවේගීය සහනයක් සහ ජීවිතයට නැවුම් දෘෂ්ටිකෝණයක් ලබා දිය හැකියි. සමහර අවස්ථාවලදී, උපදේශකයෙකුගෙන් හෝ චිකිත්සකයෙකුගෙන් වෘත්තීය උපකාර ලබා ගැනීම ද ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.
ආතතිය ජීවිතයේ සාමාන්‍ය කොටසකි, නමුත් එය නොසලකා හැරීම හෝ එයට ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. එයට හේතු තේරුම් ගැනීම, එහි සලකුණු හඳුනා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්නව මුහුණ දීමේ උපාය මාර්ග අනුගමනය කිරීම මගින් සැලකිය යුතු වෙනසක් ඇති කළ හැකිවන අතර බරපතළ සෞඛ්‍ය සහ මානසික ගැටළු ඇතිවීම වළක්වා ගත හැකිය.










