මල්වර මල් සර – 14

හැන්දෑවට නිර්වාණය හිස් වෙන වෙලාවක් එයි. අයානා හා දුරාශා මොනවා හෝ කමින් හවස තේ එක බොන්නේ ඒ වෙලාවට ය. එදාට කෑමට ඇති දේ අනුව තේ ද කිරි ද කෝපි ද ඉඟුරු තේ ද කියා තීරණය කරන්නේ අයානා ය. ඇයට රස ගැලපීමේ මනා ඉවක් තිබේ. ඒ නිසා ම දවල්ට පහළට විත් ‘අද මොනාද උයන්නෙ පුතේ’ කියා ඇසීමේ පුරුද්දක් නාලිනී ට තිබේ. 

අයානා කැමති විදිහට කෑම බීම තනා දීම දැන් නාලිනීට වන එක ම සතුට ය. අයානා කියන්නේ දුක් විඳිමින් හැදුණු ළමයෙකු නොවේ. රජයේ සේවකයෙකු වූ සේනක ට මහා ලොකු වැටුපක් ලැබුණා නොවේ. නමුත් ඔහු ළමයින් ගේ ඉගෙනීමට මුල් තැන දී කටයුතු කළේ ය.

“කන එක ගැන එච්චර හිතන්න ඕන නෑ. ජීවත් වෙන්න ඕන නිසා කනව මිසක් අපි ජීවත් වෙන්නෙ කන්න නෙවෙයි”

කන්න තියෙනා සල්ලි වලින් ළමයින්ට, විශේෂයෙන් ම අයානා ට කියවන්නට සේනක අතිරේක පොත පත ගෙන එත්දී නාලිනී දොස් කී විටෙක ඔහු කීවේ එහෙම ය. ඒ වුණාට පොඩි උන්ට කන්න බොන්න ද අඩුවක් නැතිව දිව යුතුය යන්න නාලිනී ගේ අදහස විය. විශ්ව විද්‍යාලය ඉදිරියේ ගෙයක් තියෙද්දී එතැන සුළු හෝ ව්‍යාපාරයක් කර ගෙන අතිරේක ආදායමක් උපයන්නට නාලිනී හිතුවේ ඒක ය. ඇය වඩා හොඳින් කරන්නට දන්නා දෙය වන කෑම පිසීමෙන් ගෙදර කෑම වියදම පියවා ගැනීමට ඇය තීරණය කළා ය.

“පිස්සුද…මේ ගේ ඉස්සරහ තියං බත්මුල් විකුණන්නද…නෑ නෑ ඒක හරියන්නෑ. මොන ලැජ්ජ නැති වැඩක්ද..”

සේනක ගේ අභිමානය ඉස්සර වූයේ ය. සැබවින් ඔහු ආඩම්බරකාර පිරිමියෙකි. සැමියෙකි. තාත්තා කෙනෙකි. ඒ ආඩම්බරය පළුදු වෙන කිසිත් සිදු වෙනවා දකින්නට ඔහු ට ඕනෙ වුණේ නැත. බත් මුල් බැඳ ගේ ඉදිරියේ විකුණනවා වෙනුවට යාබද කඩ කිහිපයකට දමන්නට නාලිනී කටයුතු කළේ ඉන් පසුව ය.

ඒ ව්‍යාපාරයෙන් ගෙදර කෑම වියදම පියවා ගත්තා පමණක් නොව මුදලක් යහමින් ඉතිරි කර ගන්නට ද ඇය සමත් වූයේ නාලිනී ගේ අත් ගුණය නිසා ම විශ්ව විද්‍යාල සිසුන් අතරේ ඒ බත් මුල් ජනප්‍රිය වූ නිසා ය.

බැංකු ණයක් ගෙන ගෙදර පහළ තට්ටුව පමණක් ඉදි කර ගෙන සිටි ඔවුන්, තවත් ණයක් ගෙන ඉහළ මහලේ වැඩ ද කර ගත්තේ නාලිනී ගේ ධෛර්යය නිසා ය. නමුත්  උසස් පෙළ අවසන් වූ ගමන් සේනක ගේ ඥාතියෙකු ගේ උදව් ඇතිව දහම් ඉතාලිය හරහා ප්‍රංශයට ගිය පසු, ඔහු අම්මාට තව දුරටත් බත් මුල් බඳින්නට දුන්නේ නැත. 

එදා උදේ කඩල පරිප්පු පෙඟෙන්නට දැමූ නාලිනී හවස කන්නට වඩේ බැද්දා ය. අයානා සේනක ලවා බේකරියෙන් තැටි පාන් ගෙන්වා ගත්තා ය. තැටි පාන් වල තෙල් රසැති වාටි කන්නට ඇය ඉස්සර සිට ම ආස ය. එදා ඉඟුරු ප්ලේන්ටි හදන්නට නියම විය.

දුල්නෙත් නිර්වාණ ද්වාර වෙත පැමිණියේ දෙමිතුරියන් තැටි පාන් එක්ක කර කොට බැද්ද පරිප්පු වඩේ කත්දී ය.

“ඔහ්. සොරි”

කුඩා මේසයක් දෙපස හිඳ පාන් කන මිතුරියන් දුටු ගමන්, වීදුරු දොර විවර කළ ඔහු ට කියවිණ. දුල්නෙත් ගේ හිසේ වැදී සුළං සීනුව මිහිරි සංගීතයකින් ඔහු පිළිගත්තේ ය.

“නෑ නෑ එන්න එන්න”

එහෙම කීවේ දුරාශා ය. දොර අල්ලා ගත් වන  පස්සට තැබුණු ඔහු ගේ පය නැවත ද ඇතුළට ආවේ ය.

“වඩේ එක්ක පාන් කන්න එන්න”

දුල්නෙත් පොත් රාක්ක දෙසට හැරෙත්දී නැවත ද දුරාශා ඔහු ඇමතුවා ය. අයානා නම් සිටියේ මුව තුල වූ පාන් වාටි කැබැල්ල හඬ නො නැගෙන සේ ඉතා හෙමිහිට හපමිනි. ඇගේ ඇස් මල් පෙති ඉතා සිහින් වී තිබුණේ ඒවා ඇතුළතින් සිනහ වන නිසා බව දුරාශා නම් දනී.

දුල්නෙත් පිටුපස හැරී යන්තම් සිනහ වූයේ ය.

“එන්න අනේ සල්ලි ගන්නෙ නෑ”

එවර ඔහු ගේ තොල් පෙති විවර වී සිනහවක් පැන්නේ ය. දුකෙන් ඉන්නා කොල්ලෙකු සිනහ වෙන විට වෙනම ම ලස්සනක් තිබේ යයි අයානා ට සිතිණ.

“මං බත් කාල ඉන්නෙ”

“හරි ඉතිං ඒ දවල්ටනෙ. අපිත් බත් කාල ඉන්නෙ. ඒ වුණාට මේ අයානාගෙ බඩේ ඉන්නව හිඟන්නෙක්. කොච්චර කඩචෝරු බඩට දැම්මත් ඌ කනව මෙයා බඩගින්නෙ”

දුල්නෙත් පුටුවක් ඇද අසුන් ගත්තේ ලැජ්ජාශීලී සිනහවකිනි.

“මගෙ විතරක් ඇයි..ඒ හිඟන්න ඔයාගෙ බඩෙත් ඉන්නෙ”

“දුල්නෙත්ගෙත් ඇති. ගෑනු ළමයි ඉන්න තැන කියන්න ලැජ්ජ ඇති. ගණං ගන්න එපා. කන්න. මේව හොම් මේඩ් වඩේ”

දුරාශා වඩේ පිඟාන දුල්නෙත් වෙත කිට්ටු කළා ය. ඔහු පැකිළෙමින් මුත් වඩේ එකක් ගත්තේ ය.

“පානුත් කමු. මේව අයානාගෙ රෙසිපීස්. අපි දෙන්න මේ තේ එක බොමු නේ..”

යනුවෙන් දුරාශා අයානා විමසූයේ ඇගේ තේ මග් එක අතට ගනිමින් උගුරක් රස විඳිමිනි. ඒ ගමන් ම අයානා ගේ තේ එක දුල්නෙත් ට දෙන්නයි ඇසින් ඉඟි කරමිනි. අයානා හෙමිහිට සිය මග් එක ඔහු ළඟට කළා ය.

“මං ආවෙ පොතක් කියෝගන්න කියල. එග්සෑම් ළඟයි”

මේ ගෑනු ළමයින් දෙන්නා මේ තරම් මිත්‍රශීලී වෙත්දී ඔහු ද මඳ හෝ  හිතවත් කමක් පෙන්විය යුතුය කියා සිතුණ නිසා දුල්නෙත් කොඳුළේ ය. ඔහු ගේ සංවර බව නිසා ම, මංජරී වාගේ ග්‍රාම්‍ය හැසිරීමක් ඇති කෙල්ලක තෝරා ගන්නට ඔහු ට බල පෑ හේතුව ඇගේ රූපවත් බව ය කියා දුරාශා සිතුවා ය.

“පහුගිය ටිකේම හරියට පාඩමක් කෙරුන්නෑ”

මඳහසක් දෙතොලතර වූවාට දුල්නෙත් ගේ ඇස් ගැඹුරේ සන්තාපයක ශේෂයක් තිබී අයානා සොයා ගත්තා ය.

“අතෑරල දාන්න අනේ. පාඩං කරල එග්සෑම් ගොඩ දාගන්න. කැම්පස් ලව් එකක් නිසා එග්සෑම් රිපීට් කර ගන්නවට වඩා හොඳයි…”

“මෙතනට ඇවිත් පාඩං කරන්න… ඔයා ෆ්‍රී වෙලාවල. අර පැත්ත බිසී වුණත් මෙතන ඉතිං එහෙම නෑනෙ”

අයානා හැකි තාක් සාමාන්‍ය තත්වයෙන් හැසිරෙන්නට උත්සාහ ගනිමින් කීවා ය. මංජරී ගේ කම්මුල් පහර නිසා ඇයටත් වඩා තවම ඔහු ට රිදෙනා බව ඇගේ හිත කොඳුරා පවසමින් තිබිණ.

“දුල්නෙත්. මේ මොහොතෙදි නොපෙනෙන දේවල් අපිට හරියට දැනෙන්න පේන්න ගන්නෙ මේ මොහොත පහු කරල ඉස්සරහට ගියාට පස්සෙ. ඔයාල බ්‍රේකප් වෙන්න හේතුව මං දන්නෑ. ඒත් එහෙම වුණ එක හොඳයි කියල මට දැනෙනව. ටොක්සික් රිලේශන්ශිප් එකක් ඇතුළෙ විඳවන එක මහ පාපයක්. එහෙම තැනකින් පුළුවන් තරං ඉක්මනට අයිං වෙන එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න හේතුවක්. දැනි දැනී තියෙද්දිත් එහෙම නොකර ජීවිතේ දිගේ ඉස්සරහට ගියාට පස්සෙ ඒ විශ අපිව නොමරා මරණව දුල්නෙත්. නමුත් එතනින් අයින් වෙන්න බැරි අතුරු හේතු ගොඩක් ඒ වෙනකොට අලුතෙන් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා මේ මොහොත ගැන සතුටු වෙන්න. දුකයි තමයි. කොච්චර ටොක්සික් වුණත් රිලේශන්ශිප් එකකින් ගැලවෙනව කියන එක ටිකක් අමාරු දෙයක්. මේ මොහොත දරා ගන්න. මේ මොහොතෙ හිත හයියට ඉන්න. ස්ටෙප්ස් දෙක තුනක් ඉස්සරහට තිබ්බට පස්සෙ ඔයාට හිතෙයි ඔයා ගත්ත තීරණේ නිසා ජීවිතේට කොයි තරං සැනසිල්ලක් උදා වෙලාද කියල”

දුරාශා ඒ තරම් දිග කතාවක් කියවූයේ සිය අත්දැකීම ඒ විදිහට හෝ තවත් කෙනෙකු ගේ ජීවිතයට පාඩමක් වෙන එක ගැන සැනසුම් හැඟීමකිනි. කෙසේ වෙතත් දුරාශා හා දුල්නෙත් අතරේ හිත මිතුරු කමක් ඇති වෙන්නට ඒ කතා බහ මුල් ගල වූයේ ය.

ඉනික්බිති දේශන අතරේ විවේකයක් වූවොත් දුල්නෙත් ඇතැම් අවස්ථාවක නිර්වාණයට පැමිණියේ ය. විටෙක මිතුරන් සමග පුස්තකාලයට ගියේ ය. යම් අහිමි වීමක් වඩා හොඳ හිමි වීමකට ජීවිතයෙහි ඉඩ ලබා දෙන්නේ ය. දුල්නෙත් වෙහෙසුණේ ඉහළ ම ප්‍රතිඵලයකින් විභාග කඩඉම ජය ගන්නට ය.

නිර්වාණයේ පාඩම් කළොත් අයානා ඔහු ළඟින් කෝපි එකක් තැබුවා ය. ගෙදර හදන පළතුරු යුෂ වීදුරුවක් තැබුවා ය. ඒ වෙලාවට ඔවුන් ගේ ඇස් මත ඇස් පතිත වේ. අයානා ඇස් වලින් සිනහ වන්නී ය. දුල්නෙත් සිනහ පොදක් නැති දෑසකින් බලා හිඳී. එහෙම බැල්මක දී ඔහු හොයනා යමකි. මීට පෙර කොහේදී හෝ ඇය දුටු බවට මතකයක් හදවත ගැඹුරේ ඇහැරෙන්නට හදයි. නමුත් මතක පාරා ඇය සිටියේ කොතැනක දැයි තවමත් ඔහු ට සොයා ගත නො හැකි ය.

මංජරී සයුරංග සමග එක ගෙදරක ජීවත් වෙන්නට පටන් ගෙන ඇති බවක් විශ්ව විද්‍යාලය තුළ කනින් කොනින් පැතිර යන්නට පටන් ගත්තේ ය. ඔවුන් විවාහ වීමට යන බව මංජරී කිට්ටුවෙන් ඇසුරු කළ අයට පවසා තිබේ. දැන් දුල්නෙත් ඒ පුවත් නිසා ඇතුළාන්තයෙන්වත් සැලෙන්නේ නැති තරමි. ඇයට හොඳක් වෙනවා නම් ඔහු කැමති ය. 

මංජරී දැන් සිටින්නේ සතුටෙනි. ඇනෙක්ස් එක පිහිටියේ උඩහමුල්ලේ ය. එක නිදන කාමරයක් ද කුඩා ආලින්දයක් හා නවීන මාදිලියේ කුස්සියක් ද නූතන නාන කාමරයක් ද මනහර බැල්කනියක් ද එහි වේ. සියල්ල අතරින් ඇය වැඩිපුර ම ආසා කුස්සියට ය. කුඩා පැන්ට්‍රි කබඩ් එකෙහි ඇය අඩුම කුඩුම අසුරා ගත්තේ කටපාඩම් වන තරමට ය. ගමේ ගෙදර තියෙන දුම් මැස්සක් සහිත දැළි කුණු පෙරුණු කුස්සිය සමග සසඳත්දී මංජරී ට මෙය දෙව් විමනකි. සයුරංග මිල දී ගත් එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය ආම්පන්න ටික නිසා මංජරී ඈ පැතු ජීවිතය දෝතින් වැළඳ ගෙන සිටියා ය. 

විවාහක බිරිඳක නොවූවාට ඇය උදේට සයුරංග ගේ යහනෙන් පිබිද ඔවුන් වෙනුවෙන් තේ හැදුවා ය. අහර පිසුවා ය. ඇය ඒ සියල්ල කළේ සතුටෙනි. දැන් නිදහසේ ජීවත් වන්නට ඇයට ඇගේ ම වූ නිවසක් තියේ. සමහර දවසක ඔවුහු කොහේ හෝ ඇවිදින්නට ගියහ. ඇගේ ජීවිතයේ මධු සමය එය වූවාට සයුරංගට නම් එය නවමු අත්දැකීමක් නොවේ. කෙසේ වෙතත් මංජරී නිසාවෙන් සිය දෛනික ජීවිතය පහසු වූ වග ඔහු පිළිගත්තේ ය. තනිව ජීවත් වෙනවාට වඩා ගැහැනියක ගේ ඇල්ම බැල්ම ඇති ජීවිතයක් පහසු ය. කෑම ටික තේ ටික හදා දෙන්නට, ඇඳුම මැද දෙන්නට, රෙදි ටික හෝදා දෙන්නට ගැහැනියක ජීවිතයේ හිඳින විට වෘත්තීය කටයුතු ගැන විතරක් අවධානය යොමු කරන්නට පුළුවන. ඊටත් වඩා යහනේ පසෙකින් ගැහැනියක නිදනා විට පිරිමි ආත්මයක් බොහෝ දුරට නිශ්චල ය.

“අපි දෙන්නටම ප්‍රශ්නයක් නැති එකේ අපි බැන්දනං හරි නේද…”

ගැහැනු ඉව විසින් මෙහෙයවනු ලදුව මංජරී කිහිප විටක් සයුරංග විමසුවා ය. කොහොමටත් ඇයට ඕන වී තිබුණේ ඇයගේ ම කියා අයිතිවාසිකම් කිව හැකි සුවපහසු ජීවිතයකි. දුල්නෙත් ට ලං ව හිටියා නම් සිය ඉලක්ක වෙත ළඟා වීම තව වසර කීයකට කල් දමන්නට සිදු වනු ඇත්ද කියා ඇයට සිතා ගත නො හැකි ය.

“බඳිනව කියල කියන්නෙම උගුලක්ද කියල හිතෙන වෙලාවක් එනව මංජරී. බැඳල ලිහල අත්දැකීම් තියන නිසයි මං කියන්නෙ. මේ විදිහට ජීවත් වෙන එක මාර නිදහස්. දවසක ඔයාට වුණත් හිතුණොත් මාත් එක්ක ජීවත් වෙන්න බෑ කියල…යන්න ලේසියිනෙ..”

“ඒ වුණාට අපිටම කියල දරුවො ඉන්නත් ඕනනෙ දවසක”

“දවසක දරුවො හදමු. ජීවිතේ නිදහස කියන දේ විඳල. ම්…”

සයුරංග ගේ වචන අදහන්නට මංජරී කැමති වූවා ය. ඔහු වූ කලී පරිනත පිරිමියෙකි. ඔහු කතා කරන්නේත් තීරණ ගන්නේත් කල්පනාකාරීව ය. දුල්නෙත් වාගේ කොල්ලෙක් ළඟදීට වඩා සයුරංග ළඟ දී මංජරී ට ආරක්ෂිත හැඟීමක් දැනිණ.

එක උදයක දුල්නෙත් සෝරත මාවත දිග ඇවිද එත්දී නිර්වාණ ද්වාර යෙහි ‘ක්ලෝස්ඩ්’ බෝඩ් එක දමා තිබිණි. ඒ දැනුණ අභ්‍යන්තර හෙලවීම කුමක් දැයි ඔහු ට ම වැටහුණේ නැත. එදා දුල්නෙත් විශ්ව විද්‍යාලයට ආවේ පළමු දේශනයට පමණක් හිඳ ගෙදර යනවා කියන බලාපොරොත්තුවෙනි. එක වරක් හෝ නිර්වාණයට ගොඩ වැදී යාම ඔහු ගේ යටි හිතේ වූ අදහස විය. 

අයානා නිර්වාණය විවර නොකළේ ඇයි? ඇය ට දුරකතන ඇමතුමක් දී ඒ ගැන විමසිය යුතු ද? ඔහු ජංගම දුරකතන අතට ගත්දී එහි ඇගෙන් පැමිණි කෙටි පණිවිඩයක් විය. 

“අද නිර්වාණෙ වහල. ඔයාට පාඩං කරන්න එන්න බැරි වෙනවට සොරි”

එපමණකි. ආ එකේ සුමීර ලා සමග ටික වෙලාවක් ගත කළ දුල්නෙත් යළි ගෙදර ගියේ ය. මගහරින්නට බැරි අවස්ථාවකට සහභාගී වන්නට ඔහුට සිදුව තිබේ. 

අයානා හා දුරාශා ධර්මාශෝකය ඉදිරියෙන් බස්වා සේනක යන්න ගියේ ආදි සිසු හමුව අවසාන වෙන වෙලාව අලලා යළි පැමිණෙන බව කියමිනි. දොරටුවෙන් ඇතුළු වෙත්දී ම පපුව හිර වෙනවා වාගේ අයානා ට දැනිණ. කොණ්ඩය පොල් ගස් දෙකක් වන සේ දමා ගෙන, සුදු රැලි ගවුම හැඳ එබිම පුරා දුව පැන ඇවිදි ළමා වියක් ඇයට වේ. දුරාශා ගේ අතින් අල්ලා ගෙන ඈ ඒ පන්ති කාමර සහිත දිගටි ගොඩනැගිලි අයිනෙන් ආවිද ගියේ සිහිනයෙන් ඇවිදින්නා සේ ය. ඉස්සර කිරි කාමරය තිබි ශාලාව ළඟදී දැනුත් කිරි සුවඳ දැනෙන්නා සේ විය. කිරි උණු කර පන්ති වල නම ගැසූ ඇළුමිනියන් මුට්ටි වලට දමා පන්තියට ගෙනැවිත් දුන් කාන්තාව ගේ නම මතක නැතත් ඇගේ මුහුණ දැනුදු සිහි කර ගන්නට අයානා ට පුළුවන. විවේකයේ දී ගෙදරින් ගෙනෙනා කෑම වලට අමතරව හතරැස් හැඩැති බිස්කට් කිහිපයක් පන්ති භාර ගුරුතුමිය විසින් බෙදා ගෙන ගිය හැටි සිහිනයකින් වාගේ සිහි වෙන්නට පටන් ගති. 

පහේ පන්තියෙන් කණිෂ්ඨයට ආයුබෝවන් කීවාට පස්සේ මේ ඇය මෙහි පැමිණි ප්‍රථම වතාව ය. එද ආදි ශිෂ්‍ය සංගමයට බැඳෙන්නයි ළඟක දී මුහුණු පොත ඔස්සේ හමු වූ මිතුරෙකුගෙන් ලද ඇරයුමක් නිසා ය. බොහෝ ගොඩනැගිලි හා පන්ති කාමර වෙනස් වී තිබේ. මුහුණ ඉදිරියට හමු වූ බොහෝ මුහුණු ද හඳුනා ගත නො හැකි ය. නමුත් ඒ හැම දෑසක ම පරණ පුරුදු සිනහවක් විය. 

ආදි සිසු සුහද හමුව අතරේ අයානා දුල්නෙත් ව දුටුවේ හරි අහම්බෙනි. ඇගේ ඇස් ලොකු වී මුව අතින් වැසිණි. අයානා විශ්මිතව බලා හිඳිනා දෙසට දුරාශා ගේ ඇස් පා විය. ඇගේ මුහුණේ ලස්සන සිනහවක් ඇඳුණේ ය. තමන් දෙදෙනා වෙතට ම දැල්වී ගෙන ඇති ගැහැනු ඇස් හතරක් දැක ඉවත බලන්නට ගිහිනුත් දුල්නෙත් යළි හොඳින් බැලුවේ ය. හදවත ඇතුළේ අකුණක් පුපුරා ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles