මල්වර මල් සර – 15

ඒ වෙලාවේ කණිටු විදුහල් භූමිය පිරීතිරී යන තරමට සෙනගින් ගහන ව තිබිණ. හැම තැනක ම දෙතුන් දෙනා වශයෙන් සැදුණු කණ්ඩායම් එකතු වී ආ ගිය තොරතුරු කතා කරමින් සිටියහ. ඒ අය අතරින් බොහෝ දෙනෙකු හමු වී තිබුණේ වසර ගණනාවකට පසු ය. වැඩි දෙනෙකු අයානා හා දුරාශා සේ ම ආදි ශිෂ්‍ය සංගමයට අලුතෙන් සම්බන්ධ වූ අය ය. මේ වාර්ෂික හමුව සංවිධානය කොට තිබුණේ ම, කාලයක් කිසිදු සම්බන්ධතාවයකින් තොර ව විසිරී සිටි ආදි සිසු සිසුවියන්, මුහුණු පොත ඔස්සේ එකතු කොට ගෙන උනුන් සජීවී ලෙස මුණ ගැස්වීමට ය.

සාමාන්‍යයෙන් පහේ පන්තියේ දී කණිටු විදුහලට සමු දෙන්නට සිසුන්ට සිදු වේ. මධ්‍ය විද්‍යාලයේ දී හෝ ද්විතීයික පාසලකදී යළිත් එකට හමු වන අය හැරුණු විට විවිධ පාසල් වලට විසිර යන ළමුන්ට ඉන් පසු සිය ප්‍රාථමික පාසලේ එක්ව උන් කුඩා මිතුරු මිතුරියන් හමු වෙන්නේ කලාතුරකිනි. උසින් මහතින් වැඩී පෙනුමෙන් වෙනස් වූ පසු, ඉඳ හිටක හමු වුව ද හඳුනා ගත නො හැකි වීමේ සම්භාවිතාව ද වැඩි ය. 

දහස් ගණනක් මුහුණු අතරේ හඳුනා ගත් ඇස් හතරකින් යුතු ව අයානා හා දුල්නෙත් උනුන් දෙස බලා සිටියේ මීටර කිහිපයක් පරතරය ඇතිව ය. දුල්නෙත් හැරෙන්නට ඔහු වටා උන් සිය ගණනක් මුහුණු අතරින් එකක් හෝ අයානා දුටුවේ නැත. අයානා හැරෙන්නට ඈ වටා වූ සිය ගණනක් මුහුණු අතරින් එකක් හෝ දුල්නෙත් දුටුවේ නැත. තත්පර විනාඩි වෙමින් කෙතරම් කාලය ඉදිරියට ගියේ දැයි සිතා ගත නො හැකි විනාඩි ගණනක දී දුල්නෙත් ගේ මනස ඉදිරියේ ඒ දර්ශනය මැවී පෙනෙන්නට විය. ඔහු මඩ වළ වෙත විසි වී ගියේ මිතුරෙකු පිටුපස සිට තල්ලු කළ නිසා ය. ලොකු ඉස්කෝලේ දෙස වැටෙන් බලා උන් දැරිය ගේ සුදු ගවුම පුරා ඒ කළල් දිය විසි වී මොහොතකින් මඩ පැල්ලම් නැගිණි. ඇගේ ටීක් බෝල ඇස් වල කඳුළු පිරෙන්නට මහ වෙලාවක් ගියේ නැත.

ඒ ටීක් බෝල ඇස් වල අයිතිකාරී!

අයානා ව නිර්වාණ ද්වාර හිදී දුටු මුල් ම මොහොතේ පටන් මතකයේ ඈතක හිර වී තිබූ මතය කැබලිත්ත එළියට ආවේ ය. දුල්නෙත් ගේ දෙතොල් පෙති ලිහී දඟකාර සිනහවක් පිටතට පැන්නේ ය. සෙනග අතරින් ඔහු අයානා ට සමීප වූයේ ඒ සිනහවෙනි.

අයානා ඇස් පිය නො සලා බලා සිටියා ය. ඔහු විශ්ව විද්‍යාලයට එත්දී දකිනවාට වඩා බෙහෙවින් කඩවසම් ව පෙනුණේ ය. තද නිල් පාට ඩෙනිම් කලිසමකට නිල් හා සුදු කොටු වැටුණ අත් දිග කමිසයක් හැඳ, ඔහු ඒ දිග අත් වැලමිට සන්ධියට නවා ගෙන සිටියේ ය. සුපුරුදු ඩෙක් ශූස් වෙනුවට ලෙදර් ශූස් පැළඳ සිටියේ ය. හිස කේ වල ජෙල් ගෑම නිසා ඒවා දිළිසෙමින් පිළිවෙලට තිබිණ. ඩෙනිමකට උඩින් ටී බැනියමක් හැඳ, සෝරත මාවත දිග ඇවිද විත් ඕනවට එපාවට නිර්වාණයට ගොඩ වන සරල සැහැල්ලු කොල්ලා නොව එහි වූයේ ජේත්තුකාරයෙකි.

“ඒ ඔයා මෙහෙ ඕල්ඩ් බෝයි කෙනෙක්ද…”

අයානා දුල්නෙත් වෙතින් ඇස් මුදා ගත නො හැකි ව සිටියදී කතා කළේ දුරාශා ය.

“ඔව්නෙ…ඒකත් මාරයි නේ…මට තාමත් ශුවර් කර ගන්න බෑ වගේ”

ඒ සිනහව මුවහ කර ගන්නට ඔහු ට හැකි වූයේ නැත. අයානා ගෙන් ඇස් මුදා ගැනීමේ ලෝබ කමින් යුතුව දුරාශා සමග කතා කරමින් වුව ඔහු වරින් වර අයානා දෙස බැලුවේ ය. කියා ගන්නට ලොකු කතාවක් ඔහු ගේ ඇස් වල ලියැවී තිබිණි. මේ තරම් ලස්සනට හා නිදහස් ව මින් පෙර කිසි දාක ඔහු සිනහ වෙනවා දැක නැති බව අයානා සිතුවා ය.

“ඉස්කෝලෙදි දුල්නෙත් කොහොම ඉන්න ඇද්ද නේ අයා…බෝල චබී කොල්ලෙක් වගේ හිටියද දන්නෑ. අපි අල්ලල මිරිකල චප්ප කරනව ඒ කාලෙ එහෙම කොල්ලංව”

දුරාශා හඬ නගා සිනහ වූවා ය. අයානා දෙතොල් තද කර ගත් සිනහවෙන් ඉවත බැලුවා ය.

“මේ…මං පොඩ්ඩක් අතනට ගිහිං එන්නද…මිස් වුණොත් කෝල් එකක් දෙන්න ඈ”

කියමින් දුරාශා මිතුරු කණ්ඩායමක් වෙත ගියේ අයානා සමග කතා කරන්නට හුඟක් දේවල් ඇති බව දුල්නෙත් ගේ ඇස් නො කියා කියූ බැවිනි. මේ අසිරිමත් හමුව සමරන්නට ඔවුන්ට අවස්ථාවක් දිය යුතු ම බව ඇය වහා තීරණය කළා ය.

“ඉතිං ඉන්නකො මාත්…”

කියා අයානා කියත්දීත් දුරාශා අඩි කීපයක් සෙනග අතරින් රිංගා ගොස් අහවර ය. ඕ තරුණයා දෙස බැලුවා ය. දුල්නෙත් ප්‍රහර්ශයට පත් සිනහවකින් ඇය ඉහත්තාවේ හිරු මඬලක් සේ පායා සිටියේ ය.

“දවසක් පොඩි කොල්ලෙක් තව පොඩි කොල්ලෙක්ව අර උඩහ මඩ වළකට තල්ලු කළා. එතකොට මඩ වතුර විසි වෙලා ගිහින් එතන හිටිය චූටි සුරංගනාවක් වගේ ගෑනු ළමයෙක්ගෙ සුදු ගවුම මඩ පාට කළා”

දුල්නෙත් ඉතා හෙමිහිට වචන අතරේ කාලය තබා ගනිමින් එසේ කීවේ අයානා ගේ ඇස් වලට එබී ගෙන ම ය. එදා ඒ වෙලාවේ කඳුළින් පිරී තිබූ ඒ ඇස්  මේ මොහොතේ කෝටි ගණනක් හැඟුමන් පුරවා ගෙන දුල්නෙත් තුලින් ඒ පොඩි හුරුබුහුටි කොල්ලා ව සොයමින් සිටියේ ය. එදායින් පසු යළි කිසි දා ක සිහිපත් නොවූ එම සිදුවීම අයානා ගේ සිතේ මැවී ගියේ කාලයකට පෙර නැරඹූ චිත්‍රපටයක දර්ශන සේ ය. යළි කිසි දා නැවත සිහිපත් නො කළ ද ඇයට කවදාවත් ඒ මතකය අමතක නොවී යටි හිතේ ඈත කොනක තැන්පත් වී තිබී ඇත. 

“අනේ දුල්නෙත්…”

එතනින් එහාට කිසිත් කියා ගත නො හැකි ව අයානා ගේ උගුර හිර විය. ඇගේ ඇස් පුදුම විදිහට සිනහ වෙමින් තිබුණ මුත් එදා වාගේ ම කඳුළින් ද පිරී යන්නට ගති. දුල්නෙත් සෙනග අතරින් පියවරක් ඉදිරියට තැබුවේ ය. ආරාධනා කිරීමකින් තොරව ම අයානා ඔහු පසෙකින් පිය නැගුවා ය. 

මේ නම් පුදුම හමුවකි. වීපින් විලෝ ගස් පෙළ හැමදාමත් සේ නො වැළපී, සිය හකුළාගත් පත්‍ර මඳක් දිග හැර පවනේ සැළුණේ ය. මේ ගස් අතරේ දුවමින් ගස් මාරු සෙල්ලම කළ හැටි අයානාට සිහි විය. ගොඩනැගිලි අතරින් ඔවුහු ක්‍රීඩා පිටිය දෙසට ඇවිද යමින් සිටියහ. ඒ ගමන ඉක්මන් එකක් නොවේ. සෙනග අතරින් රිංගමින් හෙමි හෙමිහිට ගිය එකකි. නවීකරණය කිරීම් සිදුව තිබිණි ද එදා පාසලේ වූ මූලික සැලැස්ම දැනුදු එසේ ම තිබේ. අයානා ට ඒ පන්ති කාමර කට පාඩම් ය. 

“ඒ සිද්දියෙන් පස්සෙ ඒ පොඩි කොල්ල ඒ ටීක් බෝල ඇස් තියන ගෑනු ළමයව බලන්න එයාගෙ පන්තියෙ දැලේ එල්ලිල ඉඳල තියනව. ටික කාලයක් යද්දි…ඒ ගෑනු ළමය ඉස්කෝලෙ කොතනකවත් හොයා ගන්න නැති වුණා. අර පොඩි කොල්ලට යාළුවො කිව්ව පහෙන් පස්සෙ ලොකු ඉස්කෝලෙට දානව කියල. අර පොඩි කොල්ල වැට ළඟට වෙලා ලොකු ඉස්කෝලෙ දිහා කොච්චර බලං හිටියද…ඒ වුණාට ඒ ටීක් බෝල ඇස් තියන ගෑනු ළමයව දැක්කෙ නෑ. පොඩි කොල්ල බලං හිටියෙ එයත් එහා පැත්තෙ ලොකු ඉස්කෝලෙට යන දවසක් එනකල්. ඒත් ශිෂ්‍යත්වෙ පාස් වෙලා තිබුණ නිසා ඒ කොල්ලට වුණේ කොළඹ ඉස්කෝලෙකට යන්න”

හෙමිහිට පිය නගනා අතරේ දුල්නෙත් හෙමිහිට මිමිණුවේ ය. ඒ වෙලාවේ ඔහු හිතෙන් ජීවත් වුණේ වසර ගණනාවකට පෙර උන් ඒ පොඩි කොල්ලා ගේ ආත්මය ඇතුළේ ය. කෙසේ වෙතත් ටීක් බෝල ඇස් ඇති ගෑනු ළමයා හැම දාමත් සිය හදවතේ කොතැනක හෝ නිදා නො නිදා සිටි බව ඔහු නො කියා සිටියේ ය.

“ඒ ගෑනු ළමයත් ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට ගියා.  එදා යුනිෆෝම් එකේ මඩ විසි කරපු පිරිමි ළමයට රවල බලල ගියාට එයා ගැන කිසිම තරහක් ඒ ගෑනු ළමයගෙ හිතේ තිබුණෙ නෑ. හැබැයි පන්තියෙ දැලෙන් එල්ලිල ඒ පිරිමි ළමය බලන් ඉන්නකොටනං දැක්කෙ නෑ වගේ අහක බලං ගියා කියල මතකයි. ඊට පස්සෙ ඒ පිරිමි ළමය ගැන මතකයක් ඉතිරි වෙලා තිබුණෙම නෑ. ජීවිතේ ඉස්සරහට ආපු කුණාටු සුළි සුළං වලට අහු වෙලා තටු රිද්දගෙන ඔත්පල වෙලා හිටිය ඒ ගෑනු ළමයගෙ ඇස් ඉස්සරහට ආයෙ ඒ පිරිමි ළමය එයි කියල හීනෙකිංවත් බලාපොරොත්තුවක්  තිබුණෙත් නෑ”

අයානා ගේ හිත හොඳට ම රිදෙමින් තිබිණ. ඒ ඇයි දැයි ඇය දැන සිටියේ නැත. හෙමි හෙමිහිට ඇවිද ගිය ඔවුහු නතර වී තිබුණේ ක්‍රීඩා පිටිය ඉස්මත්තේ ය. එතැන දැන් පරණ ගොඩනැගිල්ලක සුන් බුන් හෝ කැඩී බිඳී ගිය සිමෙන්ති බිමක මඩ වළක් හෝ නො වූවා ට ඔවුන් ගේ මනස් ඉදිරියේ එය එලෙසින් ම සනිටුහන් වී තිබිණ.

“මොනා වුණත් ඒ පොඩි කොල්ල හරි වාසනාවන්තයි”

දුල්නෙත් සිනහ වෙවී කීවේ ය. ඒ සිනහව පිපෙත්දී ඇස් ඉවතට ගන්නට නොසිතෙන කාන්දම් බලයකින් අයානා එහි එල්ලී සිටියා ය.

“ඒ ටීක් බෝල ඇස් අයිති ගෑනු ළමයව පරක්කු වෙලා හරි එයා හොයා ගත්ත”

 අයානා දෙතොල් තද කොට පියා ගත්තා ය. නමුත් හදවත සිතිවිලි වලින් දෝරෙ ගලමින් තිබිණ. 

දුරාශා හමු වූ පසු යළිත් දුල්නෙත් සිය මිතුරන් අතරේ නො පෙනී ගියේ ය. ඒ වුණත් වරින් වර කොතැන හෝ සිට ඒ නෙතු අයානා වෙත දැල්විණ.

වාර්ෂික හමුව විසිර යන්නට පෙර කොහේ සිට හෝ දුල්නෙත් යළි දෙමිතුරියන් සොයා ආවේ ය. 

“හවසට නිර්වාණෙ අරිනවද…”

දුරාශා හඬ නගා සිනහ වූවා ය. 

“නිර්වාණෙං පැදුරක් කොට්ටයක් දාල දෙන්නද නිදා ගන්නත්…අපි කොහොමත් මුරකාරයෙක් ගන්න ඉන්නෙ”

අයානා දෙතොල් සපා ගෙන බිමට සිනහ වූවා ය. ඇගේ ඇස් වල කඳුළක තෙතමනය විය. කම්මුල් වල රෝස පාට කාන්තියක් විය. 

“තාත්තට කෝල් කළෙත් නෑ”

අයානා අත් ඔරලෝසුව දෙස බලමින් කීවා ය. 

“මොනා හරි බීල ම යංද..”

ඒ යෝජනාව දුල්නෙත් ගෙනි. ඔවුහු හෙමි හෙමිහිට සෙන්සාල් දෙසට පියවර නැගූහ. ඇනවුම් කළේ දුරාශා ය. බිල ගෙව්වේ දුල්නෙත් ය. මේ මොහොත නිස්කාංසුවේ විඳ ගන්නට අයානා රිසි වූවා ය. 

“මේක ඉතිං සෙලිබ්‍රෙට් කරන්න වටින දවසක්නං තමයි”

දුරාශා කට කැඩිච්ච කතාවක් කියාවියි සීතල වී ගියෙන් අයානා සිටියේ ඇස් දෙක පහළට හරවා ගත් වන ය. දුරාශා ඒකටත් විහිළු කළා ය.

“බලාගෙන ඇස් දෙක කඩං වැටෙයි ප්ලේට් එකට”

මුවග නලියනා සිනහවක් දුල්නෙත් ගේ මුහුණේ දිගට ම වූයේ ය. ඔහු එය හංගා ගන්නට දැන සිටියේ නැත.

“මාත් කැම්පස් එක පැත්තට ගිහිංම එනව”

අවන්හලේ දිගු පිය ගැට කිහිපය බසිත්දී දුල්නෙත් කීවේ ය.

“අංකල්ට කතා කරනවද..”

දුරාශා අයානා විමසුවා ය.

“කැබ් එකක් කෝල් කර ගමු නේ..”

අයානා එහෙම ම කුඩා මෝටර් රථයක් ඇණවුම් කළා ය. විනාඩි කිහිපයක් තුළ එය ඇවිත් නැවතිණ.

“ඇත්තටම අද හරි ශෝක් දවසක්…හුඟ කාලෙකට අමතක වෙන්නෙ නැති”

විජේරාම හන්දියෙන් සෝරත මාවතට රිය හැරෙත්දී දුරාශා කීවා ය. රියෙහි ඉදිරි කැඩපතින් එක මොහොතකට අයානා දුල්නෙත් ගේ නෙතු දුටුවා ය. ඇය වහා බිම බලා ගත්තත් ඔහු තව දුරටත් ඒ බැල්මෙන් ම සිටියේ ය. 

නිර්වාණය ඉදිරියේ දී රියෙන් බැස උනුන් ගෙන් සමු ගත්දී, ඒ දවස තව ටිකක් දිගු වූවා නම් කියන හැඟීම ඔවුන් තුළ ඉතිරි වී තිබිණ!

දුල්නෙත් මිතුරන් සොයා එගොඩවත්ත පාරේ බෝඩිමට ගියේ ය. 

“අඩෝ මූ බලාංකො…උඹ අද ලෙක්චර්ස් එන්නැතුව මනමාලියෙක් බලන්න ගියාද…”

“මට දැන්නෙ තේරුණේ…මං ෆොටෝ කොපි එකක් ගන්න ගියා..එතකොට නිර්වාණෙත් වහල…ඇත්ත කියපං…උඹ අයානාව ඉස්සුව නේද කොහෙට හරි..”

“පයිත්තියංද බං උඹලට…”

දුල්නෙත් මිතුරන් ගේ වදය ඉවසූවේ සිනහවකිනි. පහදා කිව නො හැකි රසවත්කමක් ඔහු තුළ දෝරෙ ගලමින් තිබුණේ ය. මිතුරෙකු ගේ ගිටාරය අතට ගෙන ඔහු එහි තත් හඬවමින් ගීයක් මුමුණන්නට පටන් ගත්තේ කිසිවෙකු ගේ ඉල්ලා සිටීමකින් නොවේ. කුමක් හෝ සැඟවුණු රහසක් ඇති බවට කොල්ලන් සැක කළේ ඒක ය.

Every night in my dreams
I see you, I feel you
That is how I know you go on

Far across the distance
And spaces between us
You have come to show you go on

Near, far, wherever you are
I believe that the heart does go on
Once more, you open the door
And you’re here in my heart
And my heart will go on and on

Love can touch us one time
And last for a lifetime
And never let go ’til we’re gone

Love was when I loved you
One true time I’d hold to
In my life, we’ll always go on

Near, far, wherever you are
I believe that the heart does go on (why does the heart go on?)
Once more, you open the door
And you’re here in my heart
And my heart will go on and on

You’re here, there’s nothing I fear
And I know that my heart will go on
We’ll stay forever this way
You are safe in my heart and
My heart will go on and on

 ටයිටැනික් චිත්‍රපටය වෙනුවෙන් නිමැවුණු ඒ ගීතය මීට පෙර කිසි දා ක ඒ තරම් හැඟීමකින් මුමුණන්නට දුල්නෙත් ට හැකි වී නැත!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles