කවදාවත් නො සිතූ ලෙස එවර වසර අවසාන විභාග ප්‍රතිඵල අනුව දුල්නෙත් ‘බැච් ටොප්’ වී සිටියේ ය. ඒ බව දැන ගත් වෙලාවේ මුළු විශ්ව විද්‍යාලය ම තුෂ්ණිම්භූත වූයේ ය. වසර දෙකක පෙම් සබඳකමක් බිඳ වැටී තුවාල ලබා සිටි ඔහු ඒ තරම් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගනීවියි කිසිවෙකුට ඇදහිය හැකි වූයේ නැත. නමුත් සිදුව තිබුණේ එයයි. එක දොරක් වැසී යත්දී ජීවිතයට තව දොරක් විවර වෙන බව දුල්නෙත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගනිමින් සිටියේ ය.
“මාර සතුටුයි මචං උඹ ගැන…ඒත් මට හිතා ගන්නත් බෑ උඹ අවුල් ගිහිං හිටිය හැටියට..”
සුමීර දුල්නෙත් වැළඳ සුබ පැතුවේ ය. දුල්නෙත් ගේ ඇස් වල තුනී කඳුළු පටලයක් ගැබ් ගෙන, ඇස් පියන් මතින් ගබ් සා වූයේ ය.
“මටත් හිතා ගන්න බෑ”
“උඹ හරි ට්‍රැක් එකට වැටුණ. අරකි ට දැං පොළව පලාගෙන හැංගෙන්න හිතෙයි”
සුමීර මතක් කළේ මංජරී ගැන ය. දුල්නෙත් වචනයක් හෝ කියන්නට නො ගියේ ය. අහම්බෙන් හමු වී ඔවුන් එක ගමනක් යන්නට ගිවිස ගත් බව ඇත්ත ය. නමුත් වැඩි කාලයක් එසේ කළ නො හැකි විය. ඒ ගැන මංජරී ට දොස් කියන්නට කිසි දා දුල්නෙත් ගේ හිත ඉඩ දෙන්නේ නැත. ඔහු ඇයට පෙම් කළේ අයානාව හිතේ රඳවා ගෙන ම ය. මුළු හිතකින් පෙම් නො කිරීමේ අඩුව ඇයට දැනෙන්නට ඇත. අනිත් අතට අයානා සිටි ඒ තැනට පිවිසෙන්නට මංජරී ට කිසි දා හැකි නොවිණ. ඔහු සෙවූ ආදරය ඇය තුළ විණි නම් අයානා ට හිත් කොනක හෝ හැංගී ඉන්නට අවස්ථාවක් නො ලැබෙනු ඇත.
මංජරී ට තනිකර දොස් පවරනු වෙනුවට මැදහත් සිතකින් ප්‍රශ්නය දෙස බලා දෙදෙනා ගේ ම වැරදි දකින්නට දැන් දුල්නෙත් ට පුළුවන.
කෙසේ වෙතත් ප්‍රේමය කියන්නේ වැරදි ගණං කරමින් සිටිත හැකි තැනක් නොවේ. එක්ව ඉන්නට තරම් සතුටක් නොවන තැනක වෙන් ව යාම සැනසීමක් ඇති කරන්නේ ය.
එදා දවල් දුල්නෙත් ට මංජරී හමු විය. සැබවින් එය අහඹු හමුවක් ම නොව ඇය එවන් මුණගැහීමක් වෙනුවෙන් බලා සිටියා ය.
“සුබ පැතුම් ඈ”
ඇගේ හඬේ වූයේ සුභ ප්‍රාර්ථනා ස්වරයක් නොව ඇනුම් පදයක විලාශයකි. දුල්නෙත් ලස්සනට සිනහ වූයේ ය. මංජරී තුළ ඊර්ෂ්‍යා සහගත හැඟීමක් ඇති විය.
“ඔයාගෙ රිසාල්ස් කොහොමද…”
“ඒකවත් හොයල බලන්න තරං මං වැදගත් නැති වුණා නේ…”
යළිත් ඇය වචන විසි කළේ අරෝවට ම ය. දුල්නෙත් ඉවත බලා ගත්තේ ය.
මංජරී පසු ගිය වසරේ හොඳ ප්‍රතිඵල ලැබුව ද මෙවර එය පහළ බැස තිබිණ. පාඩම් කිරීමේ උනන්දුව ඇය වෙතින් පලා ගොස් තිබුණේ ය. සියලු විභාග කිරීමෙන් පසුව අසීරුවෙන් ලබා ගන්නට නියමිත ව තිබූ ජීවිතය දැන් කෙටි පාරකින් හමු වී තිබේ. ඇය ඒ ප්‍රීතිය භුක්ති විඳිමින් සිටියා ය. අනිත් අතට විශ්ව විද්‍යාලයේ සිට ගෙදර ගියාට පස්සේ ගෘහ ජීවිතයක් ඇය අභියස තිබුණේ ය. ඒ අතරින් රිංගා ගොස් පාඩම් කරන්නට උනන්දුවක් හා කාලයක් සොයා ගන්නට නම් ඒ සදහා දැඩි අවශ්‍යතාවයක් දැනිය යුතු ය. මේ වසරේ පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් මංජරී ට දැනුණේ ම නැත. ඒ නිසා ඇගේ ප්‍රතිඵල පහල ගියේ ය.
“පාඩං කරල එග්සෑම් ගොඩ දාගන්න ඕන කියන එක අමතක කරන්නවත් අත් ඇර ගන්නවත් එපා මංජරී. ඔයා හීන දකින ලෝකෙ කාගෙවත් උදව්වක් නැතුව වුණත් ඔයාට ගොඩනගා ගන්න පුළුවන් මේ ඉතුරු වෙලා තියන අවුරුද්ද හරියට ගොඩ දා ගත්තොත්”
දුල්නෙත් එසේ කීවේ හදවතින් ම ය. නමුත් මංජරී මූණ හකුළා ගත්තා ය.
“අනේ මේ මට ඔයාගෙ බණනං ඕන නෑ දුල්නෙත්. අර බැ ල් ලි හිටියෙ නැත්තං ඔයාට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න බෑ කියල මං දන්නව”
එවර ද දුල්නෙත් සිනහවක් පෑවේ ය.
“මංජරී…උස අතු වල මල් පිපුනට ගෙඩි හැදෙනකොට ඒව පහළට බර වෙනව. එහෙම වෙන්න”
කියමින් දුල්නෙත් ඇගෙන් සමු ගෙන ගියේ තවත් සිටියේ වී නම් ඇය ඔහු සමගින් අනවශ්‍ය රණ්ඩුවක් ඇද ගන්නට තිබූ බැවිනි. මංජරී තවමත් ඔහු ගැන ඊර්ෂ්‍යා සහගත කේන්තියක පසු වේ. නමුත් දුල්නෙත් ගේ හිත නිදහස් ය. අල්ලා ගැනීමේදීත් අත් හැරීමේදීත් තෘෂ්ණාව පාලනය කර ගන්නට මංජරී තවම පුහුණු වී නැති බැවිනි.
දුල්නෙත් ගේ ජයග්‍රහණය ගැන පුවත නිර්වාණයට පැමිණියේ ඔහු ගේ මිතුරෙකු ගෙනි.
“කොච්චර වුණත් අපේ ප්‍රයිමරි යාළුවෙක්නෙ. ට්‍රීට් එකක් දෙමුද..”
අයානා ඒ බව දැන ගත් ගමන් දුරාශා විමසූයේ සිය හදවතේ වාං දමන සතුට හැකි තාක් හංගා ගෙන ය. නමුත් හිතේ හංගන ඒවා අයානා ගේ ඇස් වලින් කියවන්නට දුරාශා දැන සිටියා ය. නමුත් කිසිවක් ම නො තේරුණ බවක් හැඟවූවා ය.
“ඔව්නෙ. චූටි කේක් එකක් ගෙනත් ටී පාටි එකක් දෙමු නේ…”
අයානා පමා වූයේ ඒ වචනය පිට වන තුරු පමණ ය. ස්ට්‍රෝබෙරි හා චෙරි වලින් හැඩ කළ පළතුරු කේක් එකක් ද හොඳ ම තත්වයේ කෙටි කෑම වර්ග කිහිපයක් ද ඇනවුම් කළ ඇය දුල්නෙත් පැමිණෙන තුරු හිතෙන් තත්පර ගැන්නා ය.
“කෝල් එකක් දුන්නනං එයිනෙ”
දුරාශා මිතුරිය ගේ හිත දැන සිටියා ය.
“ඕන්නෑ…එන වෙලාවක දෙමු”
අයානා තමන් පාලනය කර ගැනීමට පුහුණු වී සිටියා ය.
ඒ ශුභ ආරංචිය කියන්නට නිර්වාණයට දිව යන්නට දුල්නෙත් ට ඕන වී තිබුණේ උදේ සිට ම ය. නමුත් මිතුරු කණ්ඩායම නිරන්තර ඔහු සමග සිටි නිසා ඊට ඉඩක් ලැබුණේ ම නැත. ඔහු ට ඕන වුණේ මිතුරන් පිරිවරා ගෙන නොව තනිව නිර්වාණයට යන්නට ය. කොල්ලන් ගේ කටවල් වල පාලනයක් නැති බව ඔහු දනී. නිර්වාණය වූ කලී පන්සලක් වාගේ තැනකි. කොල්ලන්ගේ අසංවරය එහෙම තැනකට නොහොබී. යන්තම් ඉඩක් ලැබුණු ගමන් හැන්දෑවේ ඔහු විශ්ව විද්‍යාලයෙන් පිට වූයේ කිසිවෙකුටත් නො දන්වා ය.
පුස්තකාල කොටසේ උන් අයානා සුළං සීනුවේ හඬින් වහා හැරී බැලුවා ය. සමහර ඉඟි හදවත විසින් ලබා දෙන්නේ ඇස්, ඉස්, මස් වලට ඒවා දැනෙන්නට පෙර ය. ඒවා හැඳින ගත හැක්කේ හදවතත් එක්ක සංවේදී ගනුදෙනුවක් කරනා අයට පමණකි.
එක උරයක බෑග් එක එල්ලා ගෙන, දුල්නෙත් අලගියවන්න දොරකඩ වූයේ ය. අයානා ගේ තොල් පෙති පියුම් පිපිණි. වහා ඉදිරියට දිව ගොස් ඔහු වැළඳ සුබ පතන්නට තිබුණා නම් හොඳ ය. නමුත් ඇය තමන් පාලනය කර ගත්තා ය.
“කන්ග්‍රැජුලේශන්ස් දුල්නෙත්…අපිටත් මාර සතුටුයි හරිද…”
අයානා ඉස්සර නොවෙන බව දන්නා නිසා ම දුරාශා සුරත දිගු කර ගෙන ම දුල්නෙත් වෙත පැමිණියා ය.
“ඒකත් ආරංචි වුණාද…”
ඔහු ලැජ්ජාශීලී ව සිනහ වූයේ ය.
“ආයෙත් අහල..ගමේ ඔක්කොම නිවුස් කෝපි කඩේට එනව වගේ තමයි…කැම්පස් එකේ ඔක්කොම නිවුස් නිර්වාණෙට එනව”
“කන්ග්‍රැජුලේශන්ස්”
අයානා දුරාශා පිටුපසින් සිට මුදු ලෙස මුමුණමින් සුරත පෑවා ය. දුල්නෙත් ඒ අත අල්ලා ගත්තේ පපුවට මොනවා ද වෙත්දී ය. ඇගේ ඇස් රෝස පෙති වාගේ ඔහු ගේ ඇස් මත හැපිණි.
“තෑන්ක් යූ…ඔයාට ගොඩක් පිං…මං මාර විදිහට වැටිල හිටිය වෙලාවක නිර්වාණෙට වෙලා පාඩං කරන්න සීමාවක් නැතුව ඉඩ දීපු නිසාම වෙන්න ඇති මෙහෙම රිසල්ට් එකක් දාන්න පුළුවන් වුණේ. ඇත්තටම බැච් ටොප් වෙනව කියන එක මගෙ හීනයක්වත් වෙලා තිබුණ දෙයක් නෙවෙයි”
ඒ අත සීතලට ද බෙහෙවින් මෘදුවට ද ඔහු ට දැනිණ. අයානා අයිස් කුට්ටියක් බවට පරිවර්තනය වෙමින් සිටියා ය. තව ටිකක් වෙලා ඒ අත අල්ලා ගෙන ම ඉන්නවාද නැත්නම් අත් හරිනවාද කියා ළතවෙමින් සිට ඔහු අත අත්හැරියේ අයානා මුළුමනින් රෝස පාට ගැන්වී සිටියදී ය. හද ගැස්ම මේ තරම් තීව්‍ර වී ඇත්තේ කෙසේ ද කියා සිතන්නට අයානා ට ඉඩක් ලැබුණේ නැත. වීදුරු දොර හැර ගෙන කොල්ලන් රෑන නිර්වාණයට කඩා පැන්නහ.
“අපි හිතුව එක පාරටම අතුරුදහන් වෙනකොට. අපිව හලල නිර්වාණෙට එන්න නේ හැදුවෙ…ඒව කොහෙද අපිත් එක්ක”
“අපිට කේක් බැරිනං පාං පාටියක් හරි දීලයි කොල්ලො උඹ අද ගෙදර යන්නෙ”
මොහොතකින් නිර්වාණය එකම ගාලගෝට්ටියක් බවට පත් විය. අයානා කියන්නේ නිහඬ නිසංසල චරිතයක් බව මේ ටික කලට දුල්නෙත් ට දැනී තිබේ. ඒ නිසා ම ඇය මේ සද්ද බද්ද ගැන නො රිස්සුම් විය හැකැයි ඔහු තුළ තුනී බියක් ඇති විය.
“හරි හරි මං දෙන්නංකො. උඹල දැං කැම්පස් එකට පලයල්ලකො”
“අඩෝ අඩෝ මේ..එහෙම මාරු වෙන්න දෙන්නෑ උඹට”
“මාරු වෙන්න නෙවේ බං. මං එන්නං…මේ මෙතන කෑගහන තැනක් නෙවේ හරිද..”
දුල්නෙත් එසේ කීවේ ‘බී ක්වයට්’ යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණ පුවරුව දෙසට ඇඟිල්ල දිගු කරමිනි.
“හරි හරි. අපි දෙන්නංකො ට්‍රීට් එකක්”
අයානා ගේ ඒ සියුම් හඬ පිටුපසින් ඇසෙත්දී කොල්ලන් ගේ කෑ ගැසීම ක්ෂණික ව නතර විය. ඒ තරම් සියුම් ගැහැනු හඬකට පිරිමි සමූහයක ඝෝෂාවක් නතර කළ හැක්කේ කෙසේ ද කියා සිතන්නට කිසිවෙකුට ඒ වෙලාව නොවී ය. අයානා ඇතුළට ගොස් කේක් එක ගෙනැවිත් මේසයක් මතින් තැබුවා ය. දුරාශා කෙටි කෑම ගෙනාවා ය. කොල්ලන් ගේ ඇස් විශ්මයෙන් ඇලලී ගොස් තිබිණ.
“මේකනං කීයටවත් අහම්බයක් වෙන්න බෑ. මේක ෆුල් ප්ලෑන් කරල කරපු දෙයක්”
සුමීර විරෝධය පෑවේ ය. අයානා දෙතොල් තද කර ගෙන සිනහව හංගා ගෙන සිටියා ය.
“අපිට කන්න ගෙන්නෝගත්තෙ. හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුණ වගේ කියන්නෙ මේවට තමයි”
දුරාශා පුංචි බොරුවකින් කොල්ලන්ගේ කටවල් වහන්නට බැලුවා ය. නමුත් එය ඒ හැටි සාර්ථක වූයේ නැත.
“ඒකනං වෙන්න බෑ කොහොම කිව්වත්…මෙතන ඊට වඩා ලොකූ දෙයක් තියනව”
“හරි හරි…නිකං හම්බ වෙන අස්සයගෙ දත් බලන්නැතුව කාපං”
පුංචි පිහියෙන් අයානා කේක් එක කපත්දී දුල්නෙත් බලා සිටියේ ඇස් පියවන්නට අමතක වී වාගේ ය. කොල්ලෙක් ඔහු ගේ මූණ ඉදිරියෙහි සිය අතක් වැනුවේ ය.
“ඕගොල්ලොන්ට මාර වදයක් වුණේ අපි නිසා”
දුරාශා කෝපි මැෂිමෙන් කෝපි දමා ඔවුන් වෙත ගෙන යත්දී දුල්නෙත් අවංක පසුතැවීමේ ස්වරයකින් කීවේ ය.
“අන්තිමට මෙයා බිල ගෙනල්ල මෙතනින් තියයිද දන්නෑ. එහෙම වුණොත් උඹ ගෙවන්න ඕන හරිද..”
සුමීර ගේ කතාවට කවුරුත් එක හඬින් සිනහ වූහ. අයානා ද පොත් කබඩ් එකකට හේත්තු වී ගෙන දෑත් පපුවේ බැඳ බලා සිටිමින් සිනහ වූවා ය.
ඉර බැස ගියේ අහසෙහි රතු තැඹිලි පැල්ලම් ඉතිරි කරමිනි. කොල්ලෝ ඝෝෂා කරමින් ම නිර්වාණයෙන් සෝරත මාවතට බටහ.
“තෑන්ක් යූ…තෑන්ක් යූ සෝ මච්”
දුල්නෙත් මඳක් පමා වෙමින් අයානා ට මිමිණුවේ ය. ඇය ඇස් වලින් සිනහ වූවා ය. ඔහුට කහ අරලියා සුවඳ දැනිණ.
“ඕක මොකද්ද…ගිෆ්ට් එකක් දෙන්න ඕන. පස්සෙ දෙන්නං”
දුල්නෙත් මොනවාවත් ම නො කියා සමු ගත්තේ ය. කියා ගන්නට ලියා ගන්නට බැරි හැඟුම් පොදියක් සිය පිරිමි පපුවේ තෙරපී ගෙන ඇති බවක් ඔහු ට දැනිණ.
දිය නා ගෙන යහනට වැටෙමින් ජංගම දුරකතනය ඔස්සේ මුහුණු පොතට එබෙත්දී ම දුටු දසුනෙන් දුල්නෙත් කැළඹී ගියේ ය. වහා යහන මත හිඳ ගත් ඔහු වඩාත් හොඳින් එදෙස බැලුවේ ය.