විදුර සයුරංග ඒකනායක දැන් ඉස්සරටත් වඩා කඩවසම් ය. ස්ත්‍රීන් සේ ම පුරුෂයන් ද කොහොමටත් කඩවසම් වන්නේ වයස ගත වෙමින් පරිනත වන විට ය. උස් දේහයක් දරනා විදුර පෙර දී ට වඩා තරමක් මහත් වී සිටියේ ය. කොටට කපා තිබූ ඔහු ගේ කොණ්ඩය දැන් උරහිස ළඟට වවා තිබේ. ඒ පෙනුම ඔහු ට කදිමට ගැලපුණේ ය. මුහුණ පුරා වැඩුණ හා කප්පාදු කොට නඩත්තු කරනා රැවුල ඔහු ගේ කඩවසම් බව තීව්‍ර කරවී ය. උකුස්සෙකු වාගේ ඉලක්කය ගන්නා ඔහු ගේ තියුණු දෑස් අයානා මත පතිත වූයේ අදහා ගත නො හැකිව ය.
“අයානා…”
ඒ අකුරු තුනත් එක්ක ඒ විශ්මය පිටතට පැන්නේ ය. අයානා හෙමිහිට අසුනෙන් නැගිට ගත්තා ය.
“ඔයා ආයෙ ලංකාවෙද….මට ආරංචි වුණානෙ ඔයා මැරි කරල අබ්‍රෝඩ් ගියා කියල…එතකොට…ඔයාද මේ කමියුනිකේශන් සෙන්ටර් එක කරන්නෙ…”
ඒ එක ප්‍රශ්නයකට හෝ උත්තර දෙන්නට අයානා කලබල වූවා නොවේ. විදුර දුරාශා ව හැඳින්නේ දෙවනුව ය. ඔහු ඇදෙස බලත්දී ම ඇය ඉවත බැලුවා ය.
“මං ජපුර විසිට් කරනව ලෙක්චර්ස් වලට. දවස් කීපයක්ම බල බල ගියා…කමියුනිකේශන් එකක් තිබුණ නිසා හිතුවෙ රෙන්ට් අවුට් කරල හරි විකුණල හරි කියල”
අයානා ඒත් ප්‍රතිචාර දැක්වූයේ නැත. විදුර හෙමිහිට පිය තබා ඇය අසලට ආවේ ය. ඔහු ගේ සපත්තු කාළ වර්ණ කැඩපත් සරි වූයේ ය. නිහඬ නිසසංසල නිර්වාණය තුළ ඒ කළු සපත්තු හඬ මහත් ගුප්ත බවක් ඇති කළේ ය. සිය හදවත මත සපත්තු අඩි වැදෙනවා සේ අයානා ට දැනිණ.
ඇය ළඟට ම විත් දෑත් පපුව මත බැඳ ගත් විදුර එක බැල්මකින් ඇදෙස බලා සිටියේ ය. අයානා ඒ මුහුණ දෙස බලන්නට ගියේ නැත.
“ඔයා ඉස්සරටත් වැඩිය ලස්සනයි”
දුරාශා කියා කෙනෙක් එතැන ඉන්නවා කියා නො දැනෙන නො පෙනෙන සෙයින් විදුර මිමිණුවේ ය. ඔය වාගේ පපුව කීරි ගස්වන පෙම් බස් දොඩන්නට ඔහු සමතෙකු බව අයානා දැන සිටියා ය.
“ඒ වගේම…ඉස්සර තරංම ආඩම්බරයි”
අයානා වහා තීරණය කොට ඉක්මන් ගමනින් කැෂියර් එක වෙත ගියා ය. විදුර සපත්තු වල ශබ්දය ඇති කරමින් එතැනටත් ආවේ ය.
“ගෙදර කවුරුවත් කිව්වෙ නැද්ද ඔයාට මෙහෙම මුදලාලියෙක් වෙන්න එපා කියල…ළමයො…ප්‍රයිවට් කැම්පස් එකකට ගෙවල ඔක්ස්ෆර්ඩ් එකේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එක ගත්තෙ මෙතන නතර වෙලා ඉන්නද…අඩු ගානෙ ඔයාට ලෙක්චරර් පෝස්ට් එකක් ඇප්ලයි කරන්න තිබුණ. එහෙම නැත්තං ප්‍රයිවට් සෙක්ටර් එකේ හොඳ ෆර්ම් එකකට ජොයින් වෙන්න තිබුණා. ඇත්තටම මොන විකාරයක්ද මේ…මං හිතුවෙ ඔයා ඉංග්ලන්ඩ් වල හරි අමෙරිකා වල හරි කියල”
විදුර මොන තරං කියවා ගෙන ගියත් අයානා දිගට ම මුණිවත රැක්කා ය. ඔහු වෙනුවෙන් නිදහසට එකදු කාරණයක් හෝ කියන්නට ඇයට උවමනා වී නො තිබිණ. සැබවින් ඔහු නිර්වාණයෙහි මේ විදිහට රැඳී හිඳිනා එක ගැන ඇයට දැනුණේ නො රිස්සුමකි. දැන් අහම්බෙන් හෝ දුල්නෙත් මෙහි පැමිණියහොත් ය කියන සිත්විල්ල හදිසියේ ම ඇය තුළ ඇති විය. ඇය ක්ෂණික ගැස්මකට ලක් වූවා ය. එහි අනියත වී ද බියක් තැවරී තිබිණ.
“ඔයා එදා ගත්ත මුරණ්ඩු තීරණේ මගෙයි ඔයාගෙයි දෙන්නගෙම ජීවිත නාස්ති කරල අයානා. මට තේරෙන්නෙ එච්චරයි”
විදුර ගේ හඬ හැඟීම්බර හා තරමක් රහසිගත තානයකින් යුතු වූයේ ය. අයානා ගේ සීමාව පැන්නේ ඒ වෙලාවේ ය.
“මිස්ට විදුර ඒකනායක. තමුන්ගෙ ජීවිතේ ගැන කියන්න මං දන්නෙ නෑ. හැබැයි මගෙ ජීවිතේට කිසිම නාස්තියක් වෙලා නෑ. අනික එදා ගත්ත තීරණේ ගැන සැනසීමක් මිස අද තව වෙන තුරා මට කිසිම පසුතැවීමක් දැනිලත් නෑ. ඒක නිසා ඔයාට තේරෙන විදිහ වැරදියි. කරුණාකරල ආවෙ මොකටද කියනවද…”
එක අතක් පපුවේ බැඳ ගෙන අනිත් අතින් නිකට පිරිමදිමින් නිවී සැනසිල්ලේ විදුර අයානා දෙස බලා සිටින්නට වූයේ ය. ඔහු ගේ පිරිමි හදවත මත ඇය ඉතිරි කළ උණුහුම තවමත් ශේෂ වී නොමැති තරම ය. සිය ජීවිතයට ලං වූ කිසිදු ගැහැනියක ඔහු ට ඇය සේ දැනී නැත. අයානා ගේ බැල්ම ඉදිරියේ අදටත් දැවී යන්නට ඔහු ට පුළුවන.
මංජරීව එක වර සිහිපත් වූයේ විදුර මෙසේ අයානා දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටියදී ය. නමුත් ඇය පරිගණක තිරය දෙස බලා සිටියා ය. නමුත් එහි දර්ශනය වූ කිසිත් අයානා ගේ මනස හැඳින ගත්තේ නැත.
“අපි පස්සෙ කතා කරමු. මං එන්නං”
කියා ගෙන ඉක්මන් කලබලයකින් නිර්වාණය මැදින් පියවර තබා විදුර පිටතට යන්නට වූයේ ය. ඔහු තිරුවානා මිදුලට බහිත්දී ම අයානා දිගු අඩි තබා වීදුරු දොර වෙත ගියා ය.
“විදුර”
ඇගේ හඬ වෙව්ලා ගියේ ය. විදුර එහෙම ම නතර වෙමින් හැරී බැලුවේ ඔහු ගේ තොල් කොනක මාංශ පේශියක් ගැස්සී යත්දී ය.
“ආයෙ මෙහෙ එන්නෙපා”
එය ඉල්ලීමක් නම් නොවේ. එසේ නම් විධානයක් ද? ඇස් දෙක පුරා ඇදෙස බලා උන් හෙතෙම සෝරත මාවතට පිළිපන්නේ ය. අයානා අසීරුවෙන් කෙළ බිඳක් ගිල ගත්තා ය. අයානා ගේ උරහිසට පිටුපසින් දුරාශා වූවා ය.
විදුර රිය වෙත යන විට මංජරී ඒ තුළ සිටියේ නැත! අපරාදේ යන්න ඔහු තුළ මුලින් ම නැගුණ සිතිවිල්ලයි. තව ටිකක් වෙලා අයානා සමගින් කතා කර කර ඉන්නට තිබිණ!
මංජරී රියෙන් බැස්සේ කේන්තිය ඉවසා ගත නො හැකි ව ය.
“ඔක්කොම පිරිමි එකයි”
ඇයට තනිව එසේ කියවිණ. නිර්වාණයට කඩා වැදී සයුරංග ව ඇද ගෙන එන්නට ඇයට නො සිතුණා නොවේ. ආයේ ම වතාවක් අයානා ගේ කම්මුල් දෙක ම අත ගාන්නට තරම් ආවේගයක් ඇයට තිබිණ. නමුත් නිර්වාණය තුළට අඩිය තැබුවොත් අයානා කෙසේ වී ද දුරාශා කුමක් කරනු ඇත්ද යන බිය ඉස්මතු වූයේ ය. රිය දොර හයියෙන් වසා දමා ඇය විශ්ව විද්‍යාල ප්‍රවේශ දොරටුව දෙසට වේගවත් ව ඇවිද ගියා ය.
“ඇයි කා එකෙන් බැහැල ගියේ…මං ටක් ගාල ආවනෙ”
මෝටර් රථය නවතන සුපුරුදු තැන සයුරංග එන තුරු මංජරී බලා සිටියේ කෝපය එවේලේ ම පිට කර ගන්නට ද අවශ්‍ය වූ බැවිනි.
“ටක් ගාල…ඒ ගමන වශී වුණාද අර සක්කර වට්ටමට ඔයත්..”
විදුර ගේ මුහුණේ තුනී සිනහවක් ඇඳී ගියේ ය.
“ඔයා කියන්නෙ දුල්නෙත් ක්‍රශ් වෙලා ඉන්නෙ අයානාට කියලද..නැත්තං දුරාශාටද…”
“හහ්. එක සැරයයි ගියේ. ෆොටෝ කොපි කෙල්ලංගෙ නමුත් දැනගෙන”
“වල්ගෙ පාගගෙන දඟලන්න එපා හලෝ. අයානා මැරීඩ්. අනිත් එක එයා නිකංම ෆොටෝ කොපි ගහන කෙල්ලෙක් නෙවේ. බිස්නස් මැනේමන්ට් වලට ඔක්ස්ෆර්ඩ් වල ඩිග්‍රි එකක් තියන ළමයෙක්. මං එයාව දන්නෙ සෑහෙන්න කල් ඉඳන්. අයානාගෙ අයිය දහම් මගෙ යාළුව”
මංජරී ගේ පපුවට මඳ සැනසිල්ලක් දැනුණේ ඇය විවාහකයි කී නිසා ය. ඇය හින්දා දුල්නෙත් එක්ක රණ්ඩු කර ගත්තේ අපරාදේ යයි ඊළඟට සිතුවා ය. ඇය ජාත්‍යන්තරව පිළිගත් උපාධිධාරිනියකැයි දැන ගැනීම තුළ ඊර්ෂ්‍යාවක් ද හීනමානයක් ද එකවර දැනිණ. ඉංග්‍රීසි භාෂාවේ අඩුව ඇයට දැනෙන අවස්ථා දැන් බහුල ය. අයානා ඒ අතින් ඇය ට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිතැයි දැන ගැනීම තුළ හීන මානය ප්‍රබල ව නැගුණේ ය. නමුත් දැන් ඇයට අයානා ගේ ඇති සම්බන්ධකමක් නැතැයි සිතන්නට මංජරී ට ඕන විය.
“මොනා වුණත් ඔයා ආයෙ එහෙම ඕකට රිංගන්න යන්නෙපා. මං දන්නවනෙ ඔය ගෑනිගෙ අඟර දඟර…කොල්ලො වශී කර ගන්න උපාධියකුත් කරල ඇති ඔයා දන්නැති වුණාට. බැඳලත් ඉඳගෙනනෙ ඉතිං අර දුල්නෙත්ව රවට්ටගත්තෙ”
මංජරී විදුර ට අවවාදයක් දුන්නා ය. ඔහු ගේ මුව කොනක අමුතු තාලයේ සිනහවක් විය. එ් සිනහව තේරුම් ගන්නට මංජරී ට ඕන වුණේ නැත.
අත්තේ ඉන්නා ගැහැනියක නිසා අතේ ඉන්නා ගැහැනිය නැති කර නො ගන්නට තරම් විදුර දැන් ජීවිතයේ අත්දැකීම් වලින් පරිනත ව හිඳින්නේ ය. අයානා ගේ වරුණාව කියා මංජරී කෝප ගැන්විය යුතු නැති නිසා ඔහු එතැනින් ඉදිරියට ඇය හා වාද කරන්නට ගියේ නැත.
මංජරී ට නම් කටගැස්මට අලුත් යමක් ලැබී තිබිණ. ඇය ප්‍රථම දේශනයටත් පෙර දුල්නෙත් සොයා ගියා ය.
“මං ඔයාට කිව්ව අර ගෑනි මහ කපටි රැජිනක් කියල. පේන්නැද්ද පෙනුමෙන්…ඕගොල්ලො ඉතිං ගෑනුංගෙ මායං වලට අහු වෙනවනෙ. දැංවත් මේක දැන ගත්ත එක හොඳයි. අයානා කියන්නෙ බැඳපු ගෑනියෙක්”
වැල් වටාරම් නැතිව කියන්නට ඇති දෙයක් ඉක්මනින් කියන්න කියා කියන්නට දුල්නෙත් කට අරිත්දීම ය මංජරී ඒ අවසාන පේළිය කීවේ. දුල්නෙත් එහෙම ම පාෂාණිභූත වූවා සේ ය. අයානා සමච්චල් සිනහවකින් ජයග්‍රහණය භුක්ති විඳින්නට වූවා ය.
“කවුද කියන්නෙ…”
දීර්ඝ වූ තත්පර ගණනාවකට පසු ඔහු එසේ ඇසුවේ අහසත් පොළොවත් එකිනෙක වටා භ්‍රමණය වෙනවා වාගේ දැනෙමින් තිබී ඒ ක්ලාන්ත ගතිය මඳක් සමනය වූ පසුව ය. එද ප්‍රශ්නයක් ලෙසට ම නොවේ. නිකමට ය. තමන්ට ම කියන්නා සේ ය.
“කියන්නෙද…සයුරංග ඉස්සර ඉඳන්ම දන්නවලු ඒගොල්ලන්ව. අයානගෙ අයිය එයාගෙ හොඳ යාළුවෙක්ලු”
දුල්නෙත් එතැනින් එන්නට හැරුණේ කට කොනක සිනහවක් රඳවා ගෙන ය. නමුත් ඒ සිනහව මංජරීට ද නැත්නම් තමන්ට ම ද කියා ඔහුට සිතිණ.
“හොඳ වැඩේ ඕගොල්ලොන්ටත්. අන්තිමට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ”
මංජරී කෑ ගසා කියනු ඇසිණ. දුල්නෙත් දිගට ම ඇවිද ගියේ ය. පොලු පහරක් හිසට එල්ල වූ කලෙක සේ, අසිහියෙන් මෙන් ඇවිද ගියේ ය.
“හැබැයි විදුර මාර හැන්ඩිය වෙලා නේ…”
විදුර ඒකනායක නිර්වාණ ද්වාරයට ඇවිත් ගිය පසු, ඒ කුණාටු ස්වභාවය තුනී වී ගිය ඉක්බිති දුරාශා සිනහවක් නගා ගනිමින් විමසුවා ය.
“ඇත්තමයි මට අහන්න හිතුනා අපි දෙන්නා බඳිමුද කියලත්”
ඇය නැවත ද හඬ නගා සිනහ වූවා ය. ඒ සිනහව නතර කර ගත්තේ අයානා ගේ දැඩි බැල්ම එල්ල වූ නිසා ය.
“නෑ මං කිව්වෙ ඉතිං…ඇත්තටම හැන්ඩ්සම්නෙ…ගෑනු ඇස් දෙකකට ආයෙ බලන්න හිතෙන තරංනෙ. අර ගර්ල්වද දන්නෑ නේද මිනිහ බැන්දෙ…”
අයානා උත්තර දෙන්නට ගියේ නැත. විදුර ගැන කතා කරන නිසා ඇය තරහෙන් යයි සිතූ දුරාශා ඒ විහිළුව එතැනින් නතර කළා ය.
අයානා හිටියේ අන්තර් පීඩන කලාපයක ය. සිතිවිලි තරංග හැම පැත්තෙන් ම වට වී ඇය මත පීඩනය එල්ල කරමින් තිබිණ. කලබල වෙන්නට නියත හේතුවක් නොවිණි ද දුල්නෙත් ඇයට රිදීමක් ව දැනෙන්නට විය. ඔවුන් දෙදෙනා ම එක ම විශ්ව විද්‍යාලයක සිටීමත්, ඔවුන් දෙදෙනා ම නිර්වාණයේ දී යම් මොහොතක හමු විය හැකි සම්භාවිතාවය ඉහළක තිබීමත් කියන කාරණාව ඇගේ හිත තෝන්තු කරවී ය. දුල්නෙත් නිර්වාණයට ගොඩ වූයේ ඇය ඒ වාගේ මානසිකත්වයක පීඩා ලබත්දී ය. ඔහු ගේ ඇස් එක මොහොතකට අයානා දෙසට එල්ල විය. ඒ ඇස් වල ආත්මීය වේදනාවක් ද කෝපයක් ද නො රිස්සුමක් ද කියා වෙන් කොට හැඳින ගත නො හැකි හැඟුමන් රැසක කැලතුමක් විය. අයානා සිනහ වීමේ උත්සාහයක් ගත්තා ය. නමුත් ඔහු ඉවත බලා ගත්තේ ය. අයානා ගේ පපුව රිදිණ. දුල්නෙත් පුස්තකාල කොටසට ගොස් පොතක් පෙරළා ගත්තේ ය. නමුත් ඔහු පොත නො කියවන බව අයානා දුටුවා ය. ඇගේ රිදුම තව තවත් දැඩි විය.