අපි ඔය භවන්ත කාරයා ලාවිගෙන් අයින්ම කරපු එකේ එයාට ටික කාලයක් නිදහසේ ඉන්න දුන්නොත් හොඳ නැද්ද?ඔය හිතේ තුවාල එක්ක එයා ආයේ අලුත් රිලේෂන්ශිප් එකක් පටන් ගත්තොත් ඒක තේජට නෙවේ එයාට ළං වෙන කාට උනත් වේදනාවක්..”
පාරමී පැවසුවේ ඇය බොහෝ වෙලාවක් සිතමින් සිටි දෙයකි.භවන්ත නිසා පෑරුණු හිතකින් පසුවන ලාවන්‍යා අතින් වෙනත් පෙම්වතෙකුට ආදරයක් නොලැබෙනු ඇතැයි ඇයට සිතිණ. සිදුවීම ගැන අකුරක් නෑර දන්නී ඇය ය. අඳුරුම ගුහාවක ජීවත් වූ ලාවන්‍යා දැන් දීප්තිමත් හිරු රැස් දහරකට ගිනිකන වැටෙන්නට ඇති ඉඩ බොහෝ වැඩි ය.
“ඒ වගේ ගොං මූසලයෝ නැති ලෝකෙ ලස්සනයි කියලා ලාවිට දැනෙන එක ඊට වඩා හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ පාරෝ. එතකොට ලාවිට හිතෙයි මෙච්චරකල් හිටියේ අපායක කියලා..”
ලාවන්‍යා තමන්ගේ කාර්යාලය සමග ඇති කරගත් ගිවිසුම විස්තර කරන අතර තේජ ගැන කියන්නට සිතුණේ ද අනුත්තරාට ය. දැන් ඇය ඒ කතාව දිගින් දිගටම රැගෙන යන්නට සිතා ගත්තා ය.
“ලාවිගෙ හිතේ එයාට කැමැත්තක් තියනවනම් අවුලක් නෑනෙ.”
තේජ සම්බන්ධයෙන් ද වෙනසක් නැති බව අනුත්තරාට සිතේ. කොට මේ හදිසියේ ලාවන්‍යා ලවාම වැඩසටහන් කරවා ගැනීමට උවමනා වීම පුදුමයකි. ඒ උවමනාවන් හේතු රහිතව හටගන්නේ නැත.
“මොනවහරි හිතේ තියනවනම් තේජ ඒක හංගගෙන ඉන්න එක ඇත්තටම තේරුමක් නැති වැඩක්.නැද්ද?”
ප්‍රේමය ගැන සිතමින් කල් මරන්නට මේ සාමාන්‍ය පෙළ පන්තියේ දරුවන් නොවේ. ජීවිතය තීරණයක් ගත යුතු වයසේ පසුවන අය ය. කතාබහ කර තීරණයකට එළඹෙන්නේ නම් අනාගතය වඩාත් වර්ණවත් විය හැකි බව සිතන්නේ පාරමී ය.
“ලියෝන් ඉන්න නිසා අනෝජම්මා කැමති වෙයි කියලා සමහරවිට තේජට හිතෙනවා ඇති.”
අනුත්තරා පැවසී ය. භවන්ත කියන්නේ ලාවන්‍යාගේ තීරණයකි. ඇයගේ අම්මා ඒ තීරණයට එරෙහි වූයේ නැත. ඔහු කිසිසේත්ම නොගැලපෙන විකාරයක් බවට මත පළ කළේද අකමැත්ත ප්‍රකාශ කළේ ද අක්කලා ය. සියල්ලම නරක ලෙස සිදු වී අවසන් වුවද තවමත් ලාවන්‍යාගේ කැමැත්තට ඉඩදෙන්නට අම්මා සූදානම් ය.
“හරියට බැලුවනම් කැමති වෙන්න හිතෙන්නේ නිර්වාන්ට තමයි. ඒ වුණාට ලාවිගෙ කැමැත්ත අන්තිම තීරණේ කරගමු.”
පාරමී එහෙම කියන්නේ ප්‍රේමයේ අඳුරු අහුමුළු ගැන රැකියාව කරන්නට ගත් දා පටන් ඇයට ඇති අත්දැකීම් හන්දාම ය.
“ඒත් මට තේජ ගැනත් පොඩි අවුලක් දැනෙනවා. මට තේරෙන දේ හරියටම පැහැදිලි වුණාම මං ඔයාට ඒ ගැන අනිවාර්යයෙන් කියනවා පාරෝ”
අනුත්තරා පිළිණ දුන්නේ තවදුරටත් හදවතට විරුද්ධ වීම අසීරු හන්දා ය.
ගිම්හානයකට වඩා කාෂ්ටක කාලයකට කිට්ටුවෙන් සිටි ආකාසයේ දීප්තිමත් නීල පැහැය මැකී ගියේ වැහි වළාකුළු එහි රැඳෙන්නට වූ නිසා ය.දැවෙන හිරුත් වලාකුළු රහිත අහසත් නැති ලෝකය අමුතු සිහිලසකින් පිරී ඇති බව ලාවන්‍යා සිතුවා ය.අනන්තාවකාශයට ඇස් අලවාගෙන අවිනිශ්චිත අනාගතය ගැන සැක සංකා හිතමින් හුන් කාලය ඈ කෙරෙන් ද පලා යමින් තිබිණ.
හේතු ඇතිව ද නැතිව ද ඇය වෙනස් වෙමින් සිටියා ය.
කාර්යබහුල රැකියාවක ගෙවී යන සතියේ දවස් වේ. ඉන් අනතුරුව සති අන්තය ඈ ඇරඹූ නීති උපාධියට වෙන් වේ. කොන්ත්‍රාත් ක්‍රමයට කරන රැකියා කටයුතු ද නිසා ඈ හුන්නේ කාර්යබහුලව ය. විදෙස් ටෙලි නාට්‍ය වෙනුවෙන් හඬකැවීම් සඳහා ලාවන්‍යා යන්නේ ද සති අන්තයේ ය. විවාහයේ අවසන් කාලයේ භවන්ත මොනතරම් චෝදනා කළ ද ඇයට ඒ ජීවන රටාව වෙනස් කර ගන්නට සිතුණේ ම නැත. දැන් කොහොමටවත් ඇයට ඒ රටාවෙන් පිට පනින්නට ද නොසිතේ.අත් මිටින් ගිලිහී ගිය ජීවිතයේ සුන්දරම කාලය නැවත ලබා ගන්නට ප්‍රමාද නැති බව කියමින් මිතුරියන් ඈ පසුපසම හිඳීම ලාවන්‍යාට මහත් අස්වැසිල්ලකි .පන්ති කාමරයක අවුරුදු ගණනාවක් එක්ව ජීවිතය බෙදා ගත්තා නම් මහ ගැහැනුන් වූ පසු ද ජීවිතය ද බෙදා ගත යුතු බව කෙල්ලන් විශ්වාස කළ අතර එය පිළිගැනීමට ලාවන්‍යා ද කැමති වූවා ය.
“මිසිස් ප්‍රතාපසිංහට මනුස්සයෙක් අල්ලලා ගියොත් ඒ මනුස්සයාට පුලුවන් තරම් උදව් කරනවා.තමන්ගෙම කෙනෙක් කරගන්නවා. ඒ නිසා මේ පවරපු වැඩේ ඔයා ඕනෑවටත් වඩා හොඳට කරයි කියලා මම ට්‍රස්ට් කරනවා.”
තේජ එසේ පැවසුවේ “දරුවන් වෙනුවෙන්” වැඩසටහන සඳහා ලාවන්‍යා සම්පත් දායකයන් සොයද්දී ය. ඇය සිටියේ ද කළ යුතු හොඳම දේ කරන ආශාවෙනි.නමුත් ඒ ප්‍රතාපසිංහ මහත්මියගේ හිත දිනාගන්නට නොවේ. නිවේදන වෘත්තිය තමන්ට ඕනෑවටත් වඩා හොඳින් කළ හැකි බව ඇය දන්නී ය. නමුත් ඒ වෙනුවෙන් කැපකිරීම් කරන බවත් වෙහෙස වෙන බවත් දකින්නට ඕනෑ තේජ වග ඇයට සිතේ.
“දරුවෝ ගැන කතා කරනකොට මිසිස් ප්‍රතාපසිංහ, මට හිතෙනවා අනිවාර්යයෙන් ම මමාස් බෝයිස්ලා ගැන කතා කරන්න ඕනෑ. මං සයිකොලොජිස්ට් ලතිකා සේරසිංහටත් කතා කරා. පස්සෙ කාලෙක නැන්දම්මා ලේලි අර්බුද විතරක් නෙවෙයි මිසිස් ප්‍රතාපසිංහ. දරුවන්ගේ පෞරුෂය පවා හානි වෙන්නේ මේ වැඩේ නිසා.”
ලාවන්‍යා චතුර ලෙස කියවාගෙන යයි. ඇගේ යෝජනාව ඕනෑවටත් වඩා ඉහළ එකකි. නමුත් තේජ සිටියේ ඇයගේ ඇස් කියවමිනි. ලාවන්‍යාට මේ මාතෘකාව තෝරා ගන්නට හේතුවක් තිබෙන්නටම ඕනෑ ය.
සැබෑවටම ලාවන්‍යා සිටියේ භවන්තගේ අම්මා සිහි කරමිනි. ඇය භවන්තගේ මව ගැන වසර කිහිපයක් තිස්සේ හොඳින් දැන සිටි නිසා ඇයට මේ මාතෘකාව ගැන වසර ගණනක් කතා කරන්නට දේ තිබේ. ඒ අම්මා සිතන්නේ ඇගේ පුතු තරම් නිවැරදිකාරයෙකු සහ හුරතල් දරුවෙකු මෙලොව නැති බවකි. භවන්තගේ වැරදි ගැන ඕනෑම කෙනෙකුගෙන් පැමිණිලි ලැබෙන විට ඇයට තිබුණේ එකම පිළිතුරකි.
“එයා බඳින ගෑනු ළමය දැන ගන්න ඕන එයාව හදා ගන්න.. කොල්ලො හැදෙන්නෙ කසාදෙන් පස්සෙ..”
මවක් වූ පමණින් තමන්ගේ දරුවා යහපත් කෙනෙකු කරන්නට අසමත් මව්වරුන් අතරට එක් වී සිටි ඇය ඒ මන්තරය නිතර දෙවේලේ මැතිරුවා ය.පුතෙකු යහපත් මිනිසෙකු කිරීමට වගකීම ඇත්තේ ඔහුගේ බිරිඳට බව කියමින් ඇය ලාවන්‍යාට ද දේශනා පැවැත්වීමටද අමතක කළේම නැත.භවන්ත බිරිඳ සමඟ අමනාප වන ඕනෑම මොහොතක ඇය ඇමතුමක් ගෙන ලාවන්‍යාට වඩා තදින් දෙහි කැපුවා ය.කාන්තාවක් සම්බන්ධතාවයක දී ඉවසීමෙන් කටයුතු කළ අන්දමත් පිරිමියෙකු සෑම විටකම නිවැරදි වන ආකාරයත් ඇය තරම් දන්නා කෙනෙකු සිටියේ ම නැත.
ඒ අතීතය නරා වළක් බව සිතමින් සිටියදී ලාවන්‍යාගේ මුහුණ වෙනස් වන්නට පටන් ගෙන තිබිණ. තේජ ඇයව සියුම් නිරීක්ෂණයට ලක් කරන බව ලාවන්‍යාට වැටහුණේ නැත.