මල්වර මල් සර – 27

චාරිත්‍රානුකූල විවාහ උත්සවයට පෙර දා රාත්‍රී භෝජනය සඳහා මනාලිය ගේ නිවසට යහළු මනාලයන් ද සමග යාම සම්ප්‍රදායික විවාහ චාරිත්‍රයකි. එම භෝජන සංග්‍රහය සඳහා ජයසුන්දර නිවසට පැමිණීමේ දී මතක සටහනක් ලෙස අයානා අත පළඳන්නට විදුර කල් ඇතිව ම අත් පළඳනාවක් රනින් සැකසෙව්වේ ය. එහි අයානා ගේ හා ඔහු ගේ මුල් නම් කොටා හදවත් සලකුණු දෙකක් අඩංගු කරවූයේ ඔහු ගේ අදහසක් අනුව ය. අයානා අතේ ඒ පළඳනාව පළඳන්නට කෙටි කාලීන සිහිනයක් දුටුව ද විදුරට ඒ සිහිනය හැබෑ කර ගත හැකි වූයේ නැත.

අයානා ජයසුන්දර වූ කලී විදුර සයුරංග ඒකනායක ගේ දුර්වල තැන ය. අයානා හමු වන්නට පෙර ඔහු ඕනෑ තරම් ස්ත්‍රීන් ඇසුරු කොට තිබේ. නමුත් ඇය හමු වූ පසු අයානා අස නතර වීමක් ගැන හීනයක් විදුර තුළ ඇති විය. අනවරත ගමනකින් පසු ගිමන් නිවන්නට නවාතැන් පලක් ඕනෑ ම ජීවියෙකුට අවැසි වන්නේ ය. විදුර ට ද නැවතීමක අවශ්‍යතාවයක් දැනෙමින් තිබිණ. අයානා සුවදායී වනස්පතියක් සේ ඔහු ට දැනිණ. ඇය හා විවාහ වීමෙන් පසු සිය සෙල්ලක්කාර දිවියට නැවතීමේ තිත තියන්නට ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ය. නමුත් සියල්ල කණපිට හැරෙන්නට මහ කාලයක් ගත නො වී ය.

විදුර ගේ ජීවිත කාලය තුළ ඔහු ට වැදුණ දරුණු ම කම්මුල් පහර අයානා ඔහු ව ප්‍රතික්ෂේප කිරීමයි!

එකෙනෙහි විදේශ ගත වූ නිසා ඔහු ට කම්පනයෙන් යම් කිසි මට්ටමකට සමනය විය හැකි විය. ටික කාලයකදී විවාහයක් කර ගැනීමෙන් පසු ඔහු ඒ සිද්ධිය අමතක කොට දැමීමේ උත්සාහයක් ගත්තේ ය. ඒ නැත ද අයානා විවාහ වූවාය යන ආරංචිය නිසා අසීරුවෙන් හෝ ඇය අතීතයේ කොටසක් සේ කාලයේ වැලි තලා අතරේ සඟවා ලන්නට ඔහු කටයුතු කළේ ය. නමුත් වෙන කිසිදු ගැහැනියක ගැන නො දැනුණ විදිහේ හැඟීමක් හදවතේ කොතැනක හෝ අයානා නමින් ඉතිරි ව තිබිණ.

අපේක්ෂා භංගත්වයක තුවාලයක් සමග විදුර ඔහු සන්තකයේ තියා ගත්තේ අයානා වෙනුවෙන් තැනවූ අත් පළඳනාව පමණකි. සිය කෙටි කාලීන විවාහ දිවිය තුළ ද පෞද්ගලික කලමනා අතරේ බිරියට රහසේ ඔහු එය සුරක්ෂිත ව තබා ගත්තේ ය. ඉතා කලාතුරකින් කලමනා අදිනා වෙලාවක එය ද අතට ගෙන බලා නැවතත් පුරුදු ලෙස තැන්පත් කළේ ය. 

කෙසේ වෙතත් උමතුවක් ඇති වූයේ යළි අයානා හමු වීමෙන් පසුවයි. රෝහණ වෙතින් අයානා විවාහ වූයේ නැත කියා දැන ගැනීමෙන් පසු ඒ උමතුව උත්සන්න විය. ඇය ඉතා බරපතල ලෙස හිතට කරදර කළ පෙර දා රාත්‍රියේ ඔහු බීමත් ව ගෙදර පැමිණියේ ය. විශ්ව විද්‍යාලයේ සිට මංජරී ව ගෙදර බස්වා  නික්ම ගිය හෙතෙම යළි පැමිණියේ මධු විතෙන් පදම් වීමෙනි.

“ඇයි අනේ මේ කවදාවත් නැතුව”

මංජරී තරමක් වික්ෂිප්ත වූවා ය. මධු විත නිසා ඇතැම් පිරිමි කලහකාරී වූව ද විදුර වඩාත් මොළොක් ගති පෙන්වන්නේ ය. එතකොට ඔහු වැඩියෙන් සිනහ වේ. වඩා වැඩියෙන් ප්‍රේමණීය ගති පෙන්වයි. 

“ඇයි කියලද ඔයා අහන්නෙ…ම්..”

කියමින් විදුර මංජරී ගේ උරහිස වටා අතක් යවමින් ඇයව සිය සිරුරට වඩාත් ලං කොට ගත්තේ ය. ඔහු ළඟ දැනුණ දෙහි මුසු මත් පැන් පුසුඹෙහි පවා අමුතු පෙම්වත් බවක් ඇයට දැනිණ.

“මං හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ මංජරී…ඔයා දන්නෑ…කිසි දෙයක් ඔයා දන්නෑ. මට ඕන වුණේ ජීවිතේ හදා ගන්න බං. ඇයි මිනිස්සු අතින් වැරදි වෙන්න බැරිද… වැරදිච්ච එවුන්ට ආයෙ ජීවිතේ හදා ගන්න කිසි අයිතියක් නැද්ද…තියෙන්න ඕනනෙ…නැද්ද මං අහන්නෙ…තියෙන්න ඕනනෙ…මේක හරි අසාධාරණ ලෝකයක් බං”

විදුර දෙඩවූ කිසිත් මංජරී ට වැටහුණේ නැත. ඇය ඒවා වටහා ගැනීමේ උත්සාහයක් දැරුවේ ද නැත. විදුර ගේ අතීතය වනාහි මංජරී ඉදිරියේ වන පාරාන්ධ තිරයකට එහා වන්නකි. ඔහු කිසි දාක සිය අතීතයේ වූ කිසිදු සිදුවීමක් ගැන ඇය සමග කියා නැත. මංජරී ඒ කිසිත් විමසා ද නැත. ඇය ඒ අතීතය හාරා අවුස්සන්නට සැබවින් බිය වූවා ය. මොන රහස් ගුහා එහි පැවතී ද ඇයට ඕනෑ වූයේ ඒවා නොදුටු නො පෙනුණු ගානට වර්තමානයේ ඔහු සමගින් ජීවත් වෙන්නට ය. ඇගේ අනාගතය සේ ම වර්තමානය ද විදුර සමග ගොඩ නගා ගන්නට මංජරී ඉත සිතින් එකඟ වී සිටියා ය. 

ඇල්කොහොල් මත නිසා ද මන්දා නන් දොඩමින් සිටි විදුර ට ඉක්මනින් නින්ද ගියේ ය. කෙටි නින්දකින් ඔහු අවදි වන විට මංජරී සිටියේ නින්දේ ය. ඇගේ ශ්වසන මාර්ගයෙන් අමුතු හඬක් නිකුත් වෙමින් තිබිණ. අවදියෙන් සිටියදී ඇගෙන් දකිත හැකි සුන්දරත්වය වෙනුවට කුමක්දෝ අශෝභන පෙනුමක් විදුර දුටුවේ ය. රූප සුන්දරියක ගේ වුව යථාර්ථය එය බව ඔහු ට ඒ නිමේශයේ සිහිපත් විය. නළඟනන් ගේ විකාර දැකීම නිසා බුදුන් වහන්සේ ද එක්තරා රාත්‍රියක දී  ගිහි ගෙය හැර ගිය බව වහා විදුර සිහි කර ගත්තේ ය.

යහනෙන් බට හෙතෙම සිය බැගේජ් එකක් විවර කොට එහි රහස් සාක්කුවක වූ බ්‍රේස්ලට් එක සොයා ගත්තේ ය. නො දන්නා හේතුවක් මත තවමත් ඔහු ගේ පපුව රිදේ. දැවීමක් හිතේ පැතිරේ. හුස්ම හිර වීමක් දැනේ. අයානා ට එහෙම නොකර ඉන්නට තිබුණායි දැනුත් ඔහු ට සිතේ.

අත් පළඳනාව අතේ මිට මොලවා ගෙන ම ඔහු යළි ඇඳට වැටුණේ ය. එහෙම ම නින්ද ගිය අතර පාන්දර පිබිදුණ මංජරී ට විදුරගේ අතෙන් ගිලිහෙමින් තිබුණ බ්‍රේස්ලට් එක හමු විය. එහි වන අයානා ගේ හා විදුර ගේ නම් කෙටූ හදවත් සලකුණු දුටු ඇය ගේ ඉහ මොළ දැවිල්ල ගත්තේ ය. පළඳනාව සඟවා ගත් ඕ විදුර ගෙන් කිසිවක් ම නො විමසූවේ මංජරී වෙත කෙළින් ම යන අදහසිනි. දුල්නෙත් ව සේ ම විදුර ව ද ඇය විසින් රවටා ගෙන ඇත ය යන වැරදි වැටහීමත් අයානා කෙරේ තදින් බලපෑවේ ය. 

“මං දන්නෑ ඔය මොකද්ද කියල…ඇත්තටම මං දන්නෑ”

අයානා එය දැක අපහසුතාවයට පත් වූයේ එතැන දුල්නෙත් ද සිටි නිසා ය. ඒ අතීතය ගැන ඇය දන්නා තරමින් ඔහු දැනුවත් කොට ඇත ද මේ වාගේ අහම්බයන් නිසා ඔහු ට හෙළි නොකළ රහස් ද එහි විණැයි දුල්නෙත් සිතාවියි අයානා තැති ගත්තා ය. ඇය මංජරී දෙස සේ ම මාරුවෙන් මාරුවට දුල්නෙත් දෙස ද බැලූයේ එබැවිනි.

“ඔයාගෙ නමයි සයුරංගගෙ නමයි දෙකම මේකෙ කොටල තියනව කියල පේනව ඇතිනෙ”

මංජරී අභියෝග කළා ය.

“ඒක මට පේනව. හැබැයි මොන හේතුවක් නිසා මේක ගත්තද කියලනං මං දන්නෑ. මට ඒ ගැන කිසිම වගකීමක් ගන්නත් බෑ. කරුණාකරල මගෙන් නෙවෙයි…ඕක තිබුණෙ විදුර ළඟනං ඔයා එයාගෙං අහන්න. මට කියන්න තියෙන්නෙ එච්චරයි”

අයානා ට නො දැනී ම ඇය තරමක් දැඩි ව කතා කරමින් සිටියා ය. ඇගේ නළලත නැගී ඇති රැළි කිහිපය නිසා ද ඒ බව මැනවින් වටහා ගත හැකි විය. 

“කියපු ලස්සන ඒක. තියන ලැජ්ජ නැති කමනෙ…ඔයාට පේනවද දුල්නෙත්…ඔයා අහුවෙලා ඉන්නෙ මොන වගේ මැජික් කාරියෙක්ගෙ මායං වලටද කියල”

“මංජරී…මං මේ හුඟාක් ඉවසීමෙන් කතා කරන්නෙ. කිව්වනෙ මං ඔය ගැන මුකුත් දන්නෑ කියල. දන්නවනං ඒ ගැන කියන්න මං ඔයාට බය වෙන්නෙත් නෑ. ඒක නිසා කරුණා කරල ඔයා මෙතනින් යන්න. ගිහිං එයත් එක්ක ඔය ප්‍රශ්නෙ විසඳ ගන්න”

තදින් කීවාට අයානා ගේ ස්වරයේ දැඩි හික්මීමක් හා සංවර බවක් තිබිණ. එසේ වීත් සිය කෝපය හා හැඟීම් පාලනය කර ගත නොහී මංජරී අතක් එසවූයේ ආවේගයට නතු ව අයානා ට පහර දෙන්නට ය. ඒ එසවූ අත දුල්නෙත් ගේ අතකින් තදින් අල්ලා ගැනිණ. ඒ අත් ග්‍රහණය කෙතරම් දැඩි වූයේ ද යත් මංජරී ට රිදිණ. ඔහු ගේ ඇස් බැල්ම ඇය දවා ලන තරම් විය.

“ඔයාට විශ්වාසද දුල්නෙත් මේ ගෑනි කියන ඒව…ඕගොල්ලොන්ට මොන ඉනාවක් දීලද මේකි..”

මංජරී අත මුදවා ගන්නට තැත් කරමින් දත්මිටි කෑවා ය. ඇගේ මුහුණ කෝපය විසින් රක්ත වර්ණ කොට තිබිණ. 

“ඔයා යනවද නැත්තං මං එළියට දාන්නද මංජරී…”

දුල්නෙත් ගෙන් එහෙම දෙයක් මංජරී බලාපොරොත්තු නොවන්නට ඇත. අයානා ඉදිරියේ ඇසූ ඒ ප්‍රශ්නය නිසා ඇයට ලැජ්ජාවක් හෝ අපහසුතාවයක් දැනිණ. දුල්නෙත් අතේ ග්‍රහණය ලිහිල් කළේ ය. 

“තමුසෙට හොඳක් වෙන්නෑ”

කියා අයානා ගේ මුහුණට එබී ශාප කරමින් මංජරී නික්ම ගියා ය. 

“හනුමන්තා වගේනෙ…ගිනි අවුලෝ අවුලෝ යන්නෙ…”

දුරාශා නිර්වාණ ද්වාර ය අගුලු ලෑවා ය. අයානා හඬාගෙන පුටුවක් මතට වැටුණා ය.

“ඇත්තටම මං ඒක ගැන මුකුත් දන්නෑ දුල්නෙත්”

“හරි දරුවො ඉතිං…මං කිව්වෙ නෑනෙ මුකුත්…”

“ඒත් ඔයා හිතන්නැති වෙයිද…විදුර මගෙ නමත් ගහගෙන බ්‍රේස්ලට් එකක් හැදුවෙ කවදද මොකටද කියල මං දන්නෑ. අඩු ගානෙ ඒ කාලෙවත් මං ඒක දැකල නෑ. දැං හැදුවනං මං කවදාවත් එහෙම දේකට අනුබල දීලත් නෑ”

“අඬන්නෙපා ඉතිං”

ඔහු මුදු ලෙස මිමිණුවේ ය. නමුත් දුල්නෙත් ගේ සිත්හි දෙදරීමක් නොවූවා ම නොවේ. සිද්ධ වෙන සමහර දේවල් දරුණු වැඩි ය. 

“කොහේ හරි තියෙන ගාබේජ් ට්‍රක් එකක් මෙතන හලල යනවනෙ අප්ප මේ මංජරී…මොන වදයක්ද…මේ කෙල්ලට එක දිගට පැය විසි හතරක් සැනසීමෙං ඉන්න දෙන්නෑනෙ ඒ ගමන”

දුරාශා දුම්මල වරම අතට ගත්තේ අන්තිමට ය. 

“ඇත්තමයි මේ මං ඉවසපු අන්තිම වතාව. තවත් එක පාරක් හරි ඔය ගෑනි මෙතනට ඇවිත් ඩෙඟා නටන්න ගත්තොත් ගහනව දත් ඇන්ද බඩට යන්න..ඇයි අප්ප මොන කරුමයක්ද මේ…”

“මං හිතුව මංජරී විදුර එක්ක හොඳින් ඉඳියි කියල…ඒ දෙන්න ලස්සන ජීවිතයක් ගත කරයි කියල”

දුල්නෙත් එසේ කීවේ සුසුමකිනි. අයානා ගේ සේ ම දුරාශා ගේ ද පපු වල හෝස් ගෑමක් සිදු විය. මොනවා වුණත් දුල්නෙත් කියන්නේ තවමත් ජීවිතය ගැන බරපතල අත්දැකීම් නැති තරුණයෙකි. සිද්ධ වෙන සමහර දේවල් දරා ගන්නට ඔහු ට අසීරු තරම ය. විශේෂයෙන් ම මංජරී කියන්නේ ඔහු පෙම් කළ යුවතිය ය. අයානා කියන්නේ ඔහු ගේ වර්තමානය හා මුළු මහත් අනාගතය ය. ඔවුන් දෙදෙනා ම සතුටෙන් වියුක්ත නම් ඔහු ට වන සැනසීම කුමක් ද? 

“මේ ප්‍රශ්නෙ හොඳම විදිහට විසඳන්න මට කරන්න පුළුවන් දෙයක් මං කරන්නං දුල්නෙත්”

අයානා කෙඳිරුවා ය. සැබෑ වේදනාවකින් ඇය මිරිකෙමින් සිටියා ය. 

“ඔයා මං ගැන හිතේ සැකයක් තියා ගන්න එපා. මට ඕනෙ එච්චරයි. ඔයත් මං ගැන වැරදියට හිතුවොත්නං…මං තවත් මේ ජීවිතෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ”

ඒ සන්ධ්‍යාව මල් සුවඳක් හෝ දැනුණේ නැති එකකි. අයානා ඇතුළාන්තයෙන් විඳවමින් සිටියා ය. දුල්නෙත් පමණකුදු නොව දුරාශා ද නික්ම ගියාට පස්සේත් ඇය නිර්වාණය විවෘත කර ගෙන බලා සිටියේ කොයි මොහොතක හෝ විදුර එහි ඒවිද කියා ය. නමුත් එසේ වූයේ නැත.

“මේ විදිහට මේ දේවල් දුල්නෙත් පුතාගෙ ගෙදරට ආරංචි වෙන්න ගත්තොත්…ඒක හොඳකට හිටින එකක් නෑ. මොනා වුණත් අම්ම තාත්ත දෙන්නෙක් දහ දුක් විඳල පුතෙක් හදන්නෙ ප්‍රශ්න ගොඩක් එක්ක ඒ දරුව කසාදයක් කර ගන්නව දකින්න නෙවේනෙ”

රාත්‍රී කෑම මේසයේ දී එසේ කීවේ නාලිනී ය. රෝහණ දැනෙන නො දැනෙන ගාණට හිස සැළුවේ ය. 

“මං පැහැදිලිවම කිව්ව විදුරට. හොඳින් කියල හරියන්නෙ නැත්තං..”

“අනේ තාත්තෙ…මං නිසා කරදර වල පැටලෙන්න නං එපා”

අයානා ගේ හඬ බිඳී ගියේ ය.

“මට තියන ලොකුම හයිය තාත්ත. අපිට මුළු ජීවිතේදිම ඒ හයිය ඕනෙ තාත්තෙ…”

මේසය මත වූ ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ඒ වෙලාවේ ය. අයානා තිරය දෙස බැලී ද එහි සටහන් ව තිබුණේ නාඳුනන අංකයක් මිස නමක් නොවේ.

“හෙලෝ..”

ඇය සියුම් හඬකින් ඇමතුම හා සම්බන්ධ වූයේ ය.

“අයානා…මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ අයානා”

ඇල්කොහොල් වලින් පෙඟුණ ඒ හඬ අයිති වෙනකෙකුට නොව විදුර ට ය. අයානා අම්මාත් තාත්තා ත් දෙස මාරුවෙන් මාරුවට බැලුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles