මල්වර මල් සර – 28

අයානා හෙමිහිට අසුනෙන් නැගිට ගත්තා ය. මුළුතැන්ගෙයි සින්ක් එක ළඟට ගොස් අත සෝදන ගමන් “කියන්න” කියා කීවා ය.

විදුර හිටියේ මහ කළුවරේ මහ මග රිය නතර කර ගෙන ය. හැඟීම් සමග ඔට්ටු වෙමින් පැරදී මධු විතෙන් සිහි මඳ කර ගන්නට ගිය ඔහුට, මධුවිත නිසා පරණ මතක තව තවත් අලුත් කර ගනිමින් හා පාරා ගනිමින් සිට අවසන අයානා ට ඇමතුමක් ගත්තේ ය. ඔහු ඒ දුරකතන අංකය ගබඩා කර ගත්තේ නිර්වාණ ද්වාරයේ දොරෙහි ගසා තිබූ වට්සැප් අංකය අනුව ය.

“ඇයි අයානා මට මෙහෙම කළේ…”

විදුර හා විවාහ වීමට සිටියේ වී මුත් ඔහු ට ආදරය කොට නැතිවා වී ද ඔහු එහෙම කියත්දී ඇගේ හදවත ගැස්සී නොගියා ම නොවේ. 

“මොකද්ද විදුර ඒ ගමන ඔයා මේ කරන විකාරෙ…”

අයානා තරමක් තදින් කතා කළා ය.

“මොකද්ද අර බ්‍රේස්ලට් එක…කරුණාකරල මංජරීට එක එක දේවල් අල්ලගෙන නිර්වාණෙට එන්න සිද්ද කරන්න එපා. මගෙත් ඉවසීමට සීමාවක් තියනව. ඒ සීමාව ඕගොල්ලො එකතු වෙලා පන්න ගත්තොත් මටත් නිකං බලං ඉන්න බැරි වෙයි”

ඒ අත් පළඳනාව ඔහු අතට ගත්තේ පෙර දා රාත්‍රියේ ය. එවන් මතකයක් දැනී නො දැනී යමින් තිබී ද ඔහු සැබවින් ම එය ගත්තා දැයි විදුර ට නිශ්චිත වූයේ නැත. උදේ ඒ බව නො විමසූ මංජරී ඒ ගැන අල්ලා ගත්තේ හැන්දෑවේ ගෙදර යන ගමන් රියෙහි දී ය.

අයානා එක්ක ඔහු ට වන සම්බන්ධය කුමක් දැයි අත් පළඳනාව පෙන්වමින් මංජරී කෙතෙක් ඇසී ද විදුර වචනයක් හෝ කීවේ නැත. මංජරී ඉකි බිඳ හැඬුවා ය. දුකකට ම නොව ඒ කේන්තියට ය. විදුරට ද අයානා ට ද ශාප කළා ය. අයානා යනු ඇය විනාශ කරන්නට ආ හැතිරක ලෙස චෝදනා කළා ය. ඇගේ සියල්ල උදුරා ගන්නා වූ අයානා ට ශාප කළා ය. 

“අයානා කියන්නෙ මං බඳින්න හිටිය ගෑනු ළමය. අන්තිම මොහොතෙ ඒ කසාදෙ කැන්සල් වුණා. අයානා ඒක කැන්සල් කළා. ඒත් තාමත් මං එයාට ආදරෙයි”

විදුර එහෙම කීවේ ඇනෙක්සිය ඉදිරියේ රිය නතර වෙත්දී ය. මංජරී තැති ගෙන ඔහු ගේ මූණ දෙස බලා සිටියා ය. ඊළඟට හඬාගෙන ඔහු ගේ කමිස පපුවෙන් අල්ලා ඇද්දා ය.

“මොකද්ද මිනිහො කළේ…මොකද්ද මට මේ කළේ…”

ටිකක් වෙලා කෑ ගසා හැඬීමෙන් පස්සේ ඇය රිය දොර හැර ගෙන ඉන් බැස්සේ විදුර යළි හැරී යනු ඇතැයි සිතා නොවේ. නමුත් එය එසේ සිදු විය. ඔහු නික්ම ගියේ ය.

ඇල්කොහොල් මත සිරුර පුරා දිව යත්දී විදුර ගේ හිතේ හිටියේ අයානා විතර ය. 

“ඒ බ්‍රේස්ලට් එක හදල දැං අවුරුදු කීපයක් වෙනව අයානා. වෙඩින් එකට කලින් දවසෙ රෑ ඕගොල්ලන්ගෙ ගෙදර ඩිනර් වලට ආවහම ඔයාගෙ අතට දාන්නයි ඒක මං හැදෙව්වෙ. කවදාවත් ඔයාගෙ අතට දා ගන්න බැරි වුණ ඒ බ්‍රේස්ලට් එක විතරයි මං ළඟ ඉතුරු වුණේ…ඔයා දන්නැති වුණාට මං ඔයාට හුඟක් ආදරේ කළා අයානා”

 සිටියරින් වීල් එකෙහි නළල ගසා ගෙන විදුර ඉකි ගසා හැඬුවේ ය. ඒ පසු ගිය වසර කිහිපය පුරා ඔහු ට හඬා ගත නො හැකි වූ කඳුළු ය. අයානා තැති ගෙන සිටියා ය. කාමරයේ සඳැල්ලෙන් කළුවර අඳුර දෙස බලා ගෙන ඇය සිතුවේ මේ පටලැවිලි කොහොම ලිහන්නද කියා ය. සියල්ල අවුල් වී ඇත්තේ ඇය කේන්ද්‍ර කොට ගෙනයි. එනයින් පටලැවිලි ලිහිය යුත්තේ ද ඇය ය. 

“විදුර මේ අහන්න….”

ඉතාමත් මුදු ස්වරයකින් අයානා විදුර ඇමතුවා ය. ඔහු ඇස් දෙක හැර, ස්ටියරින් වීල් එක මතින් හිස ඉවතට ගත්තේ ය. එතකොට ම අයානා ගේ දුරකතනයට ඇමතුමක් එන්නට විය. ඇය දුරකතනය සවනෙන් ගෙන දෑස් ඉදිරියට කොට බැලුවා ය. දුල්නෙත් ගේ නම එහි සඳහන් ව තිබිණ.

විදුර එක්ක කතා කරනවා ද නැත්නම් ඒ ඇමතුම බිඳ දමා දුල්නෙත් ගේ ඇමතුම හා සම්බන්ධ වෙනවා ද? අයානා තත්පර කිහිපයක් තුළ තීරණයක් ගත්තා ය. ඒ දිගට ම විදුර සමග කතා කරන්නට ය.

“අතීතයෙ සිද්ද වෙච්ච දේවල් වෙලා ඉවරයි. එදා මං ඔයා එක්ක ඇති වෙන්න ගිය බැඳීම එතනින් ම බිඳල දැම්මෙ මට ඔයත් එක්ක එකට ගමනක් යන්න බැරි බව තේරුණ නිසා. ටික කාලෙකට පස්සෙ ඔයා ආයෙ එතනට ම ඇවිත් තිබුණට…මට ආයෙ කවදාවත් එතනට එන්න බෑ. ඒක නිසා ඔයා ඒ පරණ දේවල් අමතක කරන්න. මේ මොහොතෙ ජීවත් වෙන්න. අනාගතේ ගැන හිතන්න. ඔයාව විශ්වාස කරගෙන ඔයා ළඟට ආපු ගෑනු ළමයෙක් ඉන්නව. මංජරී කියන්නෙත් ඇට මස් ලේ වලින් හැදිච්ච මං වගේම කෙල්ලෙක්. දෙයියනේ ඒ කෙල්ලගෙ ජීවිතේට ගිනි තියන්න හදන්න එපා. කෙල්ලෙක් පිරිමියෙක්ව විශ්වාස කරල තමන්ගෙ ජීවිතේ පිරිමියෙක් අතට දෙන්නෙ පුදුම බලාපොරොත්තුවකින් විදුර. එදත් මං ඔයාට විරුද්ද වුණේ ගෑනු ළමයෙක් ඔයා ගැන තියපු ඒ විශ්වාසය කඩපු එකට. අදත් ඔයා කරන්නෙ ඒකමයි”

“අයානා…ඔයාව දැක්ක දවසෙ ඉඳන් හැම දේම වෙනස් වුණා. ඔයාට පුළුවන් මාව වෙනස් මිනිහෙක් කරන්න. ඔයා ළඟ වෙනස් වෙන්න මං කැමැත්තෙන් ඉන්නව. ඇයි අපිට බැරි අලුතෙන් ජීවිතේ පටං ගන්න..”

අයානා කම්පාව අතරින් මඳ සිනහවක් නගා ගත්තා ය.

“මං අලුත් ජීවිතයක් පටං ගන්න හැදුව විතරයි විදුර…දෙයියංගෙ නාමෙට මට ඒකට ඉඩ දෙන්න. අර අහිංසකය ඇත්තටම මට ආදරෙයි. ආදරේ කියන දේ මං තේරුං ගත්තෙ එයාගෙන්. ඒ කොල්ලට මේ සිද්ද වෙන දේවල් දරා ගන්න බැරුව ඉන්නෙ..මට ඒක හොඳට ම දැනෙනව. පව්. එයා හිත හයිය කර ගෙන වගේ මං ඉස්සරහ ඉන්නව. ඒත් එයාට කොච්චර මේව දැනෙනව ඇද්ද…”

එතකොට ම යළිත් දුල්නෙත් ගේ ඇමතුම ආවේ ය. අයානා මුව මඳක් විවර කොට පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය.

“ප්ලීස්…ඔයා මංජරී එක්ක හොඳින් ඉන්න බලන්න. එයත් ආදරේ හොයන ගෑනියෙක්. එයාව තේරුං ගන්න බලන්න”

“අපි බඳිමු අයානා…මංජරී දුල්නෙත් එක්ක ආයෙ හොඳින් ඉඳියි”

“ඔයා මේ මොනාද කියන්නෙ විදුර..දැන් ඔයා ඉන්නෙ හොඳ සිහියෙන් නෙවෙයි. හෙට සිහිය ආවහම මං කියපු දේවල් ගැන කල්පනා කරල බලන්න. මං දැං තියන්නං”

“අයානා”

“හොඳින් ඉන්න බලන්න”

එසේ කී අයානා දුරකතන සම්බන්ධය බිඳ දමා දුල්නෙත් ගේ දුරකතනය අංකනය කළා ය. 

දුල්නෙත් හිටියේ ළතැවිල්ලේ ය. ඒ අත් පළඳනාව මංජරී විසින් අයානා ගේ මූණ ඉදිරියේ අල්ලා ගෙන සිටි ආකාරය තවමත් ඔහු ගේ හද පාරයි. අයානා වැරදි නැති බවට ඇගේ ඇස් සාක්ෂි දැරී ද සිදු වන්නට නියමිත දේවල් ගැන සිතත්දී ඔහු ට වාවා ගත නො හැකි ය. 

“මොකද පුතා..නිදියන්නැද්ද…”

කාමරයේ දොරත් නො වසා ඒ මේ අත සක්මන් කරමින් හිඳිනා දුල්නෙත් දෙස බලා ප්‍රියන්ති එසේ විමසූවේ විදුලි පහන් නිවා නින්දට යන්නට සූදානම් ව ය. තිගැස්සී ගිහින් ඔහු අම්මා දෙස බැලුවේ ය.

“අ..මං නිදියන්නං…අම්ම නිදියන්නකො”

තව මොහොතක් පුතු දෙස බලා උන් ප්‍රියන්ති වාවා ගත නො හැකි හැඟීමකින් කාමරයට ගියා ය. දුල්නෙත් සන්තාපයෙන් දොර වසා දමා සුසුමක් එක්ක යහනට වැටිණ. අයානා ගේ දුරකතන ඇමතුම ආවේ එතකොට ය.

“මං ගත්ත. ඔයා දිග කෝල් එකක හිටියෙ. කෝල් වේටිං වැටුණා”

ඔහු අලුත් සුසුමකින් කීවේ ය.

“අනේ ඔව් දුල්නෙත්. විදුර කතා කළා”

පපුවේ පැත්තක රිදීමක් ඇති වෙනවා දුල්නෙත් ට දැනිණ. 

“ඔයා මං ගැන වැරදියට හිතන්නෙපා  ඕනෙනං මට ඒක නොකියා ඉන්න තිබුණා. ඒත් ඔයාට හංගන්න මට ඕන නෑ. විදුර බීගෙන කතා කළේ. එයා අර බ්‍රේස්ලට් එක හැදුවෙ වෙඩින් එකට කලින් දවසෙ ඩිනර් වලට අපේ ගෙදර ආවහම මගෙ අතට දාන්නලු. කියෙව්ව ඉතිං…ඇඬුවත් එක්ක…එයාට කියන්න තියන ටික මං කිව්ව. ඒත් මං දන්නව. ඔයාට දැං මේක මහ වදයක් වෙලා ඇති. මොන කරුමයක්ද කියල හිතෙනව ඇති”

“නෑ”

එය ඉතා දුර්වල හඬකි. අයානා මඳහසක් නගා ගත්තා ය. 

“නෑ කිව්වට මං දන්නව ඔයාට දැනෙන රිදිල්ල. මටත් ඒ තරං ම රිදෙනව දුල්නෙත්. මේක මහ කරුමයක්. මං සංසාරෙ කවද කොතනක හරි කරපු කරුමයක්. ඔයත් කොහෙ හරි ඉඳල ඒකට ගෑවිච්ච එකයි මට ඉවසගන්න බැරි. ඒත් මට තේරෙනව දුල්නෙත්. මේ ගින්දරට අහු වෙලා ඔයා පිච්චෙන්න ඕන නෑ. මට ඒක බලං ඉන්නත් බෑ. මේ පව්කාර කෙල්ලගෙන් ඔයා ඈත් වෙන්න දුල්නෙත්. ඔයාට ගොඩක් ආදරේ කරන ලස්සන පොඩි කෙල්ලෙක් හම්බ වෙයි”

“මොනාද ළමයො මේ කියන්නෙ..”

“මං ඔයාට හරි ආදරෙයි. ඉස් ඉස්සර වෙලාම පිටස්තර පිරිමියෙක්ට කියල මං ආදරේ කළේ ඔයාට. ඒක මගෙ ජීවිතේ එක ම ආදරේ වෙයි. ඒත්…”

අයානා ඇස් දෙක තද කොට පියා ගත්තා ය. කඳුළු දෙපෙළක් කම්මුල් දිග රූරා ගියේ ය. හඬන බව දුල්නෙත් ට නො හඟවන්නට ඇයට ඕනා විය. ඒ නිසා ඉකි හඬක් හෝ නෑසෙන්නට ඇය දෙතොල් තද කර ගෙන පියා සිටියා ය.

“ඔයා මගෙන් ඈත් වෙලා යන්න දුල්නෙත්. මං ජාති ජාතිවත් තරහ නෑ”

එවර ඉකිය මහ හඬින් පිට වෙන්නට ගියෙන් අයානා උගුර අල්ලා ගත්තා ය. 

“අඬනවද ඉතිං ඔය…”

නැතැයි හඟවන්නට අයානා හිස දෙපසට සැළුවා ය. 

“මට ඔයා ඕනෙ අයානා…අපි කොහොම හරි මේකට මූණ දෙමු. ඇත්තටම…ඇත්තටම දැන් මට ඔයාව නැති කර ගන්න බෑ. ඔයා දන්නවද…ඔයා දන්නවද..කියා ගන්න බැරි තරං මහ හුඟක් මං ඔයාට ආදරෙයි මැණික”

“ඔයාට මේ දුක් විඳින්න බෑ දුල්නෙත්”

“අඬ අඬා හරි මං ඔයාව තුරුල් කර ගෙන ඔයා ළඟට වෙලා ඉන්නං. මට ඔයාව අත් ඇරල යන්න කියන්න එපා”

ඔවුන් දෙදෙනා ගේ ම ඇස් වලින් කඳුළු කඩා හැලෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles