තාත්තා ගෘහ මූලිකයා වූවාට ඔහු වැඩ කරන්නේ අම්මා ගේ කැමැත්තට මුල් තැන දී වග දුල්නෙත් හොඳින් දනී. ඒ තාත්තා අම්මා කෙරේ වන බියක් නිසා නො වන වග ද ඔහු මැනවින් දනී. ඔවුන් දෙදෙනා අතරේ වන්නේ ගෞරවයකි. එය එකිනෙකාට දෙවැනි නො වන්නකි. අම්මා කැමති ඕනෑ ම දේකට තාත්තා එකඟ වී ද අම්මා එහෙම නැත. ඇය තාත්තා ගේ ආදරය බලන්නේ ඇගේ කැමැත්ත ට එකඟ වෙනවා ද නැත්ද යන්න මත ය. අම්මා ගේ හිත රිදවන්නට ඇති නො කැමැත්ත නිසා තාත්තා ඇතැම් විට ඔහු ගේ කැමැත්ත සඟවා ගත් තැන් දුල්නෙත් දැක තිබේ.
“අම්ම මේකට කැමති වෙන එකක්ම නැද්ද තාත්තෙ…”
දුල්නෙත් ඇසුවේ අසරණව ය. සේකක මඳ වෙලාවක් පුතා ගේ ඒ බැල්ම දෙස බලා සිටියේ ය. ඊළඟට දුල්නෙත් ගේ උරහිසක් අල්ලා ගෙන ඔහු ගේ හදවත විනිවිද දැකීමේ ප්‍රශ්නයක් ඇසුවේ ය.
“අම්ම කැමතිද නැද්ද කියන එක නෙවෙයි වැදගත්. අම්ම කැමති වුණත් නැතත් උඹට ඒක කරන්නම ඕනෙද කියන එකයි වැදගත්”
“ඔව් තාත්තෙ. අමම කැමති නැතිම වුණත්…මට අයානාව අත් අරින්න බැරි වෙයි”
“එහෙනං එච්චරයි. උඹ ඒ කෙල්ලව තෝර ගත්තෙ උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් කෙනා එයා කියල හිතුව නිසානෙ. එහෙමනං ඉතිං මුළු ලෝකෙම අකමැති වුණත් ඒක අත්ඇරගන්න බෑනෙ”
“තෑන්ක්යූ තාත්තෙ මාව තේරුං ගත්තට…ඒත්…”
“මොකෝ ඒත්…”
“ඒත් අම්මගෙ හිත රිද්දන්න වෙයි කියල හිතනකොට…”
“පුතා…රැවුලනං රැවුල…කැඳනං කැඳ…රැවුලයි කැඳයි දෙකම බේර ගන්න එක ගැන හිතන්න ගියොත් ඔය දෙකෙන් එකක්වත් බේර ගන්න බැරි වෙන්න පුළුවන්”
දුල්නෙත් තාත්තා ගෙන් මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ ම නැත. නමුත් තවමත් ඔහු ගේ හිතට සැනසීමක් නැත. ඒ අම්මා ගැන සිතත්දී ය.
“තාත්ත අම්මත් එක්ක හෙමිහිට මේ ගැන කතා කරනවද…”
දුල්නෙත් දෙස බැලූ සේනක සිනහවක් නගා ගත්තේ ය. පුත්‍රයා සමාජයත් එක්ක ලොකුවට ගැටුණු හෝ තැලුණු පොඩි වුණ කොල්ලෙකු නොවේ. ඔහු ප්‍රියන්ති සමග එක්ව දරු දෙදෙනා උස් මහත් කළේ බෝ ප්‍රවේසමෙනි. ඒ ඔහු සමාජය හා හොඳින් මුහු වෙන, සමාජය ගැන දන්නා මිනිසෙකු වූ නිසා ය.
“කෙල්ලංව විතරක් නෙවෙයි ප්‍රියා කොල්ලංව වුණත් මේ කාලෙ බලා ගන්න වෙන්නෙ ඇස් දෙකේ තියාගෙන…ඒ තරං නරක සමාජයක් මේක”
ඔහු නිතර සිය බිරිය අමතා කී කතාවකි ඒ. ඔවුන් ගේ ඇල්ම බැල්ම නිසා ම දුලනිකා හා දුල්නෙත් ඉකා ම හොඳ ළමයින් ලෙස උස් මහත් වූහ. දැන් ඔවුන් සිය ජීවිත ගැන තීන්දු තීරණ ගන්නට තරම් මුහුකුරා ගොස් ඇතැයි සිතන්නට සේනක කැමති ය. ඔවුන් ගේ ජීවිත වල යතුර ඔවුන් අතට දෙන්නට ද ඔහු සූදානම් ය. නමුත් ප්‍රියන්ති ට තවමත් දුල්නෙත් යනු පොඩි දරුවෙකි.
“උඹ තාමත් අම්මගෙ හැටි දන්නැද්ද බං…ඔය වයස වැඩි කතාව එයාට කියන්නැතුව හිටහං”
“ඒත් තාත්තෙ දැන ගන්නවනෙ කොයි වෙලාවෙ හරි…”
“හරි හරි. දැන ගන්න වෙලාවක දැන ගත්තාවෙ. ඉස්සෙල්ල අපි ඒ ගෙදරට ගිහිං…කෙල්ලව දැක බලා ගෙන…ඒ දෙමව්පියන්වත් දැන ඇඳිනගෙන ඉමුකො. ම්…කෙල්ලව දැක්කහම අම්මගෙ අකමැත්තක් නැත්තං එච්චරනෙ. පස්සෙ හෙමීට කියමු. දැංම ඕක කිව්වහම එහෙ යන එකත් වර්ජනය කරල මෙතන හර්තාල් කරන්න ගනී”
“එහෙම කමක් නැද්ද තාත්තෙ…”
සේනක පපුව ආදරයෙන් පිරී ගියේ ය. දවසක සිය පුත්‍රයා සමග මෙවැන්නක් කතා කරන්නට වේවියි ඔහු සිතා නො තිබුණා විය යුතු ය. කොල්ලා හිතුවක්කාර නොවී මේ විදිහට දෙමාපියන් විමසීම ගැන මහත් ආඩම්බරයකින් ඔහු ගේ හදවත පිම්බිණි.
“මේ අම්මගෙයි තාත්තගෙයි පුතෙක් වෙලා උඹ ඔච්චර හොඳ වෙන එක ගැන මටම පුදුමයි කොල්ලො. අපේ සම්බන්දෙට අම්මගෙ ගෙදරින් අකමැති වෙනකොට මං රස්සාවත් කරනව. මේ ඉඩමත් ටික ටික ගෙවන්න අරං බාගෙට වගේ ගෙවාගෙන යන කාලෙ. අපේ මාමණ්ඩි මට චැලේන්ජ් කළා. කපල මූදෙ දැම්මත් මට කෙල්ලව දෙන්නෑ කියල. හොඳින් විසඳගන්න බැලුව බැලුව බෑ. අන්තිමට මං දන්න කෙනෙක්ව ශේප් කරගෙන පිස්තෝලයක් ඉල්ලගෙන දවසක් අම්මලගෙ ගෙදරට පැන්න. පිස්ටල් එක පෙන්නල වෙඩි තියනව කවුරුත් දඟලගෙන එන්න එපා කියල ඔක්කොමලවම ගල් කළා. ඊළඟට අම්මගෙන් ඇහුව මේ කවුරු නැතත් මාත් එක්ක ඉන්නව කියල එන්න ලෑස්තිද අකමැත්නං කිසිම බල කිරීමක් නෑ මං යන්නං කියල. අම්ම ඇඳං හිටිය ඇඳුම පිටිං මාත් එක්ක ආව. අඩු ගානෙ අමතර ඇඳුමක්වත් ඒ ගෙදරින් අරං ආවෙ නෑ. අපි හැම දේම ගොඩ නගා ගත්තෙ ඊට පස්සෙ පුතා. හැම දේම…දෙන්නෙක් අතරෙ ආදරෙයි විශ්වාසයයි අවබෝධයයි තියනවනං එච්චරයි. එදා මං මට ඕන දේ තීරණය කළා. ඒ වගේ උඹටත් අයිතිය තියන උඹට ඕන ගෑනිව තීරණය කරන්න. අම්ම ගැන අපි හෙමිහිට බලා ගමු. ඉස්සෙල්ල කෙල්ලව බලන්න ගිහිං එමු. ම්..”
අයානා හදවතට තට්ටු කරන්නට පටන් ගත් දවසේ පටන් විවිධාකාරයෙන් ඔහු ව දුර්වල කරන්නට හා පසු බස්වන්නට හේතු වූ කාරණා අහෝසි වී යනයුරු දුල්නෙත් ට දැනිණ. පෙර කිසි දා ක නො දැනුණ චිත්ත ශක්තියකින් ඔහු සන්නද්ධ වූයේ ය. තාත්තා ගෙන් නියත විවරණ ලැබීම යනු පුතෙකු ගේ ගමනට යෝධ හයියක් බව ඔහු අත්දැකීමෙන් ම උගනිමින් සිටියේ ය.
ඔවුන් ගේ ගෙදර එන්නට අම්මලා දිනයක් ඉල්ලා සිටි වග දුල්නෙත් එවෙලේ ම අයානා ට කීවේ දුරකතනයෙනි. ඇගේ ඇස වලට කඳුළක තෙත කාන්දු විය.
ඉරිදා යනු නිර්වාණ ද්වාර ය ඉසිඹු ලන දිනයයි. දුරාශා සේ ම අයානා ද ඉරිදා ට නිවාඩුවක් ලබති. ජීවිතයට එහෙම විවේකයක් අවශ්‍ය ම බව අයානා අදහයි. දින හයක් එක දිගට වැඩ කිරීමෙන් වෙහෙසට පත් වෙන කයත් මනසත් නැවත බල ගැන්වෙන්නේ ඒ විවේකයේ දී ය. ඉරිදා ට අයානා ඇය වඩාත් කැමති වැඩක නිරත වෙයි. අම්මා එක්ක ඇඳුම් සාප්පු ගානේ හෝ මල් ප්‍රදර්ශන ගානේ ඇවිදියි. සෙනසුරාදා රෑ වන තුරු කැමති විදිහේ චිත්‍රපටයක් සොයා ගෙන බැලීම නිසා පුරුද්දක් වශයෙන් ම ඉරිදා ට මඳක් පමා වී අවදි වෙයි. තිදෙනා එක්ක පිටතට ගොස් කෑම ගනී.
දුල්නෙත් ගෙන් ඒ සුබ පණිවිඩය එත්දී එදා දවස ගැන ඇගේ කිසිදු සැලසුමක් වූයේ නැත. රෝහණ මිදුල වටේ තණකොළ ගැලවීම හෝ කාණු පිරිසිඳු කිරීම වැඩක් කරන්නේ ඉරිදා උදේ වරුවේ ය. අම්මා හා දුව ගේ රියදුරු වී රස්තියාදුවක යන්නට තිබුණොත් ඔහු ට ඉරිදා දවස අහිමි වේ. අයානා නාලිනී සොයා ගෙන කාමරයට ගියා ය. නාලිනී සිටියේ යූ ටියුබ් එකේ, කෙසෙල් ගෙඩි වලට නටුව සවි කොට රෝස ඉති මුල් ඇද්දවීම පිළිබඳ වීඩියෝවක් නරඹමිනි. දුල්නෙත් ගෙන ලද පණිවිඩය අයානා අම්මා ට කීවා ය.
“මොනාද අපි උයන්නෙ…හොඳ කෑම වේලක් දෙන්න එපැයි…”
නාලිනී සිය අත් ගුණය පෙන්වීම ගැන උනන්දුවෙන් හරි බරි ගැසී යහන මත හිඳ ගත්තා ය. නමුත් අයානා වෙත වූයේ බිය හා ශෝකය විසින් පදම් කරන ලද තෙත් දෑසකි.
“මොනා වුණත් උයන්න පුළුවන් අම්ම. එත්…ඒ අම්ම මට කැමති වෙයිද කියල බයයි මට…”
“අනේ ඇයි පුතේ ඒ…”
අයානා නාලිනී ගේ උරහිසෙහි යන්තම් හිස රැඳවූවා ය.
“දුරාශා කියන්නෙ…එහෙම වෙන්න තියන එකම හේතුව වයස ප්‍රශ්නෙ කියල”
“මටත් ඕක නොහිතුණා නෙවෙයි. ඒත් ඔය දෙන්න එක ළඟ ඉද්දි එහෙම දෙයක් චුට්ටක්වත් පේන්නෙ නෑ දරුවො. ඔයා තාම පොඩි එකා වගේ. ඒ ගෙදරින් එහෙම ප්‍රශ්නයක් මතු කළොත්නං ඒක ඔයාගෙ විතරක් නෙවේ අපෙත් අවාසනාව. අපිට බැර් කමක් නෑ ඔයාට වෙන ප්‍රපෝසල් එකක් ගේන්න. ඒත් මේ ඔයාගෙ හිතේ කැමැත්තක් ඇති වුණ පළවෙනි පිරිමි ළමය. අර විදුරගෙ ප්‍රශ්නෙං පස්සෙ කාලෙ ගත වෙලා යද්දි මං හිතුවෙ ආයෙනං ඔයා කසාදයක් ගැන හිතන එකක්ම නෑ කියල. එහෙම තියෙද්දි දුල්නෙත් පුතාට ඔයා කැමතියි කියල දැන ගත්ත වෙලාවෙ මායි තාත්තයි කොච්චර සතුටු වුණාද…අනේ දෙවියනේ අපේ පවුලෙ සතුට ආපහු අපෙං උදුර ගන්නනං එපා”
“එහෙම වුණත් අම්මල දුක් වෙන්න එපා…මට තනියම ඉන්න පුළුවන්”
“අනේ පුතේ…මගෙ අසරණී දිහා දෙයියො බලයි…”
අයානා නොව ඇසින් කඳුළක් හෙළුවේ නාලිනී ය.
“දෙන්නෙක් ගැලපෙන්න ඕනෙ හදවතින්. හරි අවබෝදයක් තියෙනවනං වෙන කිසි දෙයක් ඒ දෙන්නට බාදාවක් වෙන්න නරකයි. අපි බලමුකො මොකද වෙන්නෙ කියල. සුරංගනාවක් ලේලි කර ගන්න ඒ අම්ම අකමැති වුණොත් ඒක එයාගෙත් අවාසනාව”
දවසකට තිබෙන්නේ එක ම තත්පර ගණන වී ද සමහර දවස් ඉතා දිගු වන්නා සේ අපට දැනේ. එසේ ම සමහර දවස් ඉතා කෙටි වන්නේ ය. අයානා ට ඒ ඉරිදාව ගෙවුණේ සංසාරයක් තරම් දිගට ය.
විදුර සයුරංග ඒකනායක ඉරිදා පෙර වරුව ගෙවී යන තෙක් ද යහන බදා ගෙන සිටියේ ය. අවදි වන්නට තරම් උද්‍යෝගයක් ඔහු ට දැනුණේ ම නැත. අයානා අහිමි වීම මීට වසර කිහිපයකට පෙර දැනුණාට වඩා තදින් දැන් ඔහු ට දැනේ. ඒ සිදුවීමෙන් පස්සේ විවාහයක් පවා කර ගත් ඔහු ට ඇය අමතක ව ගොස් තිබිණ. හුම්මානයක් සේ අයානා හිත පත්ලෙන් පිටතට විසිර ගියේ යළිත් වරක් ඇය හමු වූවාට පසුව ය.
“තේ එක සීතල වෙලානෙ දැන්…නැගිටිනවද රත් කරල ගන්න…”
මංජරී ගේ හඬ ඔහු ගේ සවන් තුළින් රිංගා යත්දී විදුර සිටියේ කොට්ටයක් තදින් තුරුලු කර ගෙන විවිධාකාර විකාර සිහින සිතිවිලි සමග ඔට්ටු වෙමිනි. පිළිතුරක් නොදී ම නැගිට ගත් හෙතෙම නාන කාමරයට වැදී මඳ වෙලාවක් ගත කළේ ය. එදා දුල්නෙත් කෑම පාර්සලයක් ද ගෙන නිර්වාණයෙන් පිටතට යමින් සිටි දර්ශනය තවමත් ඔහු ගේ මනසේ මැවි මැවී නිවේ. ඔහු ට වන්නේ අයානා අමතක කර ගන්නට බැරි කමකට වඩා දුල්නෙත් ජයග්‍රාහකයා වෙන හැටි බලා ඉන්නට බැරි කම බව තමන්ගේ සිත ගවේෂණය කිරීමෙන් දැන් විදුර දනී. ඔහු විවාහ වන්නට සිහින දුටු තරුණිය දැන් දුල්නෙත් ගේ පෙම්වතිය වී හිඳී. දුල්නෙත් විසින් අත් හැර දමන ලද පෙම්වතිය සමග දැන් ඔහු එක යහනක් බෙදා ගෙන ජීවත් වෙයි. ඒ සියල්ල සිය අභිමානය දෙදරවා ලන කාරණා ය.
විදුර නාන කාමරයේ සිට පැමිණි වහා ම මංජරී ඔහු ට උණු තේ එකක් පිලිගැන්වූවා ය. විදුර එය අතට ගත්තේ මංජරී ගේ මූණ මග හරිමිනි. සැබවින් දැන් ඔහු ට ඇය ගැන දැනෙනා අසිරියක් නැත. ඇතැම් විට අයානා යළි හමු නො වූවා නම් ද ඇය තවමත් අවිවාහක බව හෝ ඇය දුල්නෙත් ගේ පෙම්වතිය වී ඇති බව දැන නො ගත්තා නම් ද ඔහු මේ මොහොත තෘප්තිමත් මිනිසෙකු ලෙස ගත කරන්නට තිබිණ. තමන් ට ලැබුණු දේ වලින් තෘප්තිමත් නොවී ලබා ගත නො හැකි වූ දේ ගැන තැවීම මිනිස් ගතියකි.
“අපිට බැරිද ඔය පරණ දේවල් ඔක්කොම අමතක කරල අලුතෙන් ජීවිතේ පටන් ගන්න…ආ…”
මංජරී විදුර ළඟින් යහන කොනකින් හිඳ ගෙන විමසුවා ය. රණ්ඩු දබර කොට හෝ ඔහු සමග උරන වී දිනා ගත හැකි කිසිවක් නොවන බව මේ දින කිහිපය ඇයට අවබෝධ කොට දී තිබේ. ඊටත් වඩා යළි කිසි දා ක ඇයට දුල්නෙත් ගේ සෙනෙහස හිමි කර ගත නො හැකි බව පසක් කොට දී තිබේ. ඇයට වන එක ම පිළිසරණ විදුර ය. ගිලෙන්නට යන මිනිසුන් පිදුරු ගස් වලත් එල්ලෙන්නා සේ ඔහු ගෙන් මිස වෙනත් සරණක් දැන් ඇයට නොමැත.
“අපි මුල් දවස් ටිකේ කොච්චර සතුටෙන් හිටියද…අපිට හැමදාම එහෙම ඉන්න පුළුවන් නේද…”
විදුර හ්ම් වත් නො කීවේ ය. අයානා ගේ පපුවේ දැවීමක් විය. ඇගේ උගුර රිදුණේ ය. තෝරා ගත් මාවතේ කිසිදු ආරක්ෂිත බවක් නොවෙන බව ඇය තව තවත් පසක් කර ගත්තා ය. නමුත් දැන් ඇයට පෙනෙනා වෙනත් මගක් වූයේ ද නැත.
අඟහරුවාදා ට යෙදී තිබුණ පෝය නිවාඩුවේ දී අයානා ගේ ගෙදර දී හමු වෙන බවට සේනක දුල්නෙත් අතේ ජයසුන්දරලා ට සඳුදා උදයේ පණිවිඩයක් එවා තිබිණ.