මා හද මට නැති විට – 33

එකම අංකයකින් පැමිණ තිබූ මඟ හැරුණු ඇමතුම් කිහිපය ගැන විපරම් කරන්නට තේජට සිතුණේ රැකියාවේ මඳ ඉසිඹුවක් ලද මොහොතේ ය. සාමාන්‍යයෙන් මෙසේ මඟ හැරුණු ඇමතුම් ඇත්තේ කාර්යාල අංකයට ය. නමුත් ප්‍රතාපසිංහ මහත්මිය සිහි කල්පනාවක් නැතිව තේජගේ පෞද්ගලික අංකය පවා රාජකාරි අවස්ථාවන්වලට ලබා දෙන අවස්ථා වේ. මෙය ද එහෙම අවස්ථාවක් විය හැකි බව ඔහු සිතී ය.

“ඔයා ඉන්නේ STC එකේ හෙඩ් ඔෆිස් නේද?”

සවන ළඟ අකුණක් සරි ය! නිදහස සොයා ගිය ගැහැනිය හදිසියේ ඇමතුමක් දී ඔහු සිටින ස්ථානය විමසන්නී ය. ඇය මව්බිමට ආවේ කවදාදැයි ඔහු සිතී ය.

“කෞෂි?”

තේජ එහෙම ඇසුවේ නාසා බැරිකමට ය. ඔහුට ඇගේ හුස්ම ගැනීමේ ස්වරය පවා හඳුනා ගන්නට හැකි බව ඇය ද දනියි.

“මම ඉන්න තැන ඉඳලා ඔතනට ටෙන් මිනිට්ස් දුරක් තියෙන්නේ.මං එනවා.”

එසේ පැවසූ කෞෂි දුරකථනය විසන්ධි කළා ය. තේජට ඕනෑ වූයේ ඇය කාර්යාලයට ගෙන්වා නොගෙන කෞෂිව පිටතට ගොස් මුණ ගැසෙන්නට ය. නමුත් දැන් එයට කාලයක් නැත. කෞෂි සිතුණු දේ කරන්නට සමත් එකියක බව ඔහු දනියි. ඇය මුළු කාලය පුරාම ඔහුට ලබා දුන්නේ පුදුම කිරීම් පමණි.

“උදාර, අද හවස ප්‍රෝග්‍රෑම් එක කැන්සල් කියලා ලාවන්‍යටයි ඩොක්ට දේවගේටයි දන්වන්න.”

ඒ පණිවිඩය දුරකථන මාර්ගයෙන්ම ලබා දුන් තේජ කල්පනාවට වැටුණේ ය. ලාවන්‍යා කේෂිව දැකීම ගැන මෙතරමට සසැලෙන්නට තමන්ට ඇති හේතුව ඔහුටම පැහැදිලි නොවේ.

කෞෂි තම දරුවාගේ තාත්තා දකින්නට ආවා ය. ඔහු දෑත් විදා තමන් වැළඳ ගන්නට ඉඩ ඇතැයි ඇය සිතුවද ඔහු එවැන්නක් නොකළේ ය. ඒ වෙනුවට ඔහු කාර්යාල කාමරය අගුලු දමා ඇයට මඳ සිනාවක් තිළිණ කළේ ය. කෞෂි සැහැල්ලුවෙන් කතාබහ ඇරඹුවා ය. කිසිවක් සිදු නොවූ ලෙස කතා කරන ගැහැනිය තේජට ගෙන ආවේ අපුලකි.නමුත් කෞෂි මුල් වරට මුණ ගැසුණු දා ඇයට ඇමතූ සුහදත්වයෙන් ම අද අවසන් වතාවට ඇයට සමු දිය යුතු බව ඔහු තීරණය කළේ ය. මුහුණ හරහා ලබා දෙන පහරක්වත් අපහාසාත්මක වචනවත් මේ සම්බන්ධය නිමා කිරීම පිණිස යොදා ගත යුතු නැති බව තේජ ඇගේ මුල්ම නික්මීම දවසේ මෙන්ම මේ මොහොතේ ද විශ්වාස කරයි. ඇය ඇයගේ ජීවිතය අයාලේ යවා ගන්නා අතරම තමන්ගේ ජීවිතයටද බලපෑම් කරන්නට උත්සාහ ගත්තා ය. නමුත් තමන්ගේ ජීවිතය මෙවැනි කාරණාවකට විනාශ කර ගත යුතු නැති බව තේජ නැවත නැවතත් සිතන්නට විය.දෙදෙනාම විනාශ වී ගිය ද කමක් නැත . ලියෝන්ට ඉඳිකටු තුඩක වේදනාවක් විය යුතු නොවේ.

“ඔයා ආදරේ කරන්න විරංගට නං ඔයා මාව මුණ ගැහෙන්න එන එකේ තේරුමක් නෑ.ඕනෙම කෙනෙක් ඉන්න ඕන තමන් ආදරේ කරන කෙනා ළඟඒ අයිතිය ඔයාට තියෙනවා.ඔයාට ඒ සම්බන්දෙ හොරෙන් අරගෙන ගිහින් මාව රවට්ටන්න උවමනාවක් නෑනේ. එහෙම රැවටිලා මට ජීවත් වෙන්න අපි පුන්චි ලමයි නෙමෙයිනෙ. ඒ හන්දනෙ ඔයා මට ඇත්ත කියලා මට දරුවව බාර දීලා විරංග ළඟට ගියේ. අපි මුලින්ම මුණ ගැහුණේ හොඳ යාළුවො විදියට. ඒ යාළුකම  ජීවිත ඉතුරු කාලේ තියාගන්න මගෙ අකමැත්තක් නෑ.ඒත් වෙන කෙනෙක්ට ආදරේ කරන ගමන් ඔයා මාව බලන්න එන්න එපා. ඒක මම මටත් ඔයා ඔයාටත් කර ගන්න අසාධාරණකමක්..”

කෞෂි මෙවැනි තත්ත්වයක් සිහිනයකින්වත් අපේක්ෂා නොකළා ය. විරංගට ආදරය කරමින් ඔහු අසල රැඳෙන්නට ඇයට සිත් වූ බව සැබෑවකි.නමුත් ඔහු දරුණු ඇබ්බැහියක් මිස ජීවන සහ කාරයෙකු නොවන බව ඇය වටහා ගෙන සුළු කාලයකි.ප්‍රේම උමතුවේ ගිලී යන්නට විරංගත් සමාජයේ කැපී පෙනෙන බිරිඳක වන්නට තේජත් ජීවිතයට උවමනා බව ඇය තීරණය කර තිබිණ. නමුත් මානසික සහ කායික සැනසීම ගෙන එන්නට විරංගත් ආර්ථික සහ සමාජයීය තත්ත්වය වෙනුවෙන් තේජත් පාවිච්චියට ඉඩක් නොවන හැඩයකි. තේජ ඇය ප්‍රතික්ෂේප කර හමාර ය.

“මං දරුවෙක් හැදුවෙ ඔයා එක්ක. විරංගට වඩා මගේ ජීවිතේ අයිතිය තියෙන්නෙ ඔයාට”

කෞෂී එසේ පැවසුවා ය. තේජ මන්දස්මිතයක් හෙළුවේ ය. අඩුම තරමේ ලියෝන්ට ඇමතුමක් දෙන්නට හෝ ඇයට ඕනෑකමක් තිබුණේ නැත. 

“ඔයා විරංග එක්ක බ්‍රේකප් වුණාද?”

දේවල් සෘජුව අසන්නට කැමති ඔහු එසේ ඇසී ය. කෞෂි කට කොණකට සිනාවක් නඟා ගත්තා ය. ඔහු ජීවිත ගමන එකට යන්නට නොගැළපෙන මිනිසෙක් වග තීරණය කළේ තමන් ය. විරංගට තවදුරටත් තමන්ගේ ජීවිතයේ ඉඩක් නොවේ.

“මට ඕන කසාද බඳින්න.”

ඇය ඉන් අනතුරුව පැවසුවා ය. ඇගේ අතීත වචනවලින් ඇයටම පහර දෙන්නට තේජ තීරණය කළේ ය.

“හෙටක් ගැන නොහිතා හැකි උපරිමෙන් ,මෙන්න මොහොත විඳින්න.බරපතල නීතිමය ලියවිලියි කසාදයි අහකට දාලා නිදහසේ ආදරෙයි කියන්න.කියලා ඕෂෝ කියලා තියනවා කියලනෙ ඔයා කිව්වේ.”

ඊළඟ වචන කියන්නට පෙර ඔහු මොහොතක් ගෙවා දැමී ය. ලියෝන්ව උස්මහත් කර ගැනීම පහසු කාරණාවක් නොවිණ. කුඩා දරුවාගේ හිස්තැන් පිරවීම පහසු වූයේ ද නැත.

“ඕෂෝ කියන්නේ සුන්දර මනුස්සයෙක්.විරංග වගේ උන් තමන්ගෙ ජරා ඇජෙන්ඩා වලට ඒ මනුස්සය යොදෝන එක තමයි කැත. මොනවයින් හරි මත් වෙලා සිගරට් එකකුත් කටේ ගහගෙන ඕෂෝ ගැන මොනමොනව හරි කියල පවුලක් තියන ගෑනු අන්දන එකද උන්ගෙ අමුතු විදියට හිතන ප්‍රේමෙ කියන්නෙ? ඒක ආදරේ නෙවෙයි ඒකට කියන්නෙ වෙන වචනයක්”

මේ තේජගේ වේදනාව වන්නට ඇත. එහෙත් කෞෂි වඩාත් සැර බෝම්බයක් හෙළන්නට හිතා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles