සුහදිනි -72

“මං මෙතනට ඇවිල්ලා දුවෙක්ව ඉල්ලපු තරම කියන්න බැරි වාර ගාණක්.”

බෝධි පූජාව වෙනුවෙන් සැරසෙන අතර ඉලංගසිංහ මහත්මිය සකීට පැවසුවේ ආදරයෙනි.ඇය ඒ කියන්නේ අහස්ගේ සහකාරිය ගැනදැයි සකීට තෝරා ගන්නට නොහැකි විය.

“තාත්තට නම් බිස්නස් වලටයි අරකටයි මේකටයි පුතෙකුට ආස හිතුණා.ඒ කාලේ තාත්තා මෙච්චර දියුණුත් නෑ.ඒ වුණාට මං ලස්සන දුවෙක් ගැන හීන මැව්වා.”

ඇය මේ කියන්නේ ඇගේ ගැබිණි කාලය ගැන ය.සකී ඒ ගැන අසා සිටියේ ආශාවෙනි.

“අවුරුදු හතක් තිස්සෙ දරුවෙක් එනකම් බලන් හිටිය ගෑනියෙක් මම.ඒකනෙ පුතේ කුමාරයෙක් වගේ මං අයියව බලා ගන්නේ.”

වසර හතක් මඟ බැලූ කතාව සකී ප්‍රවේසමෙන් ළඟ තබා ගත් පත්තර පිටුවක තිබේ.අහස්ගේ ඉපදීම නිසා වාසනාව තමන් වෙත ආ බව අහස්ගේ අම්මා තරයේ විශ්වාස කරන්නී ය.

“අහස් කියන්නේ අම්මට තදින් ඇලුණු කොල්ලෙක් නේද?ඔය මමාස් බෝයියො එක්ක ජීවිතේ ලේසි නෑ හරිද?”

අහස් ගැන එහෙන් මෙහෙන් ඇසූ කාරණා එකතු කරගත් සරසවි මිතුරියක එසේ පැවසූ අන්දම සකීට සිහි වේ.නමුත් අහස්ගේ අම්මා ඔහුගේ ජීවිතය තුළට ඕනෑවට වඩා ප්‍රවිෂ්ට නොවන බවට සකී හොඳින්ම තේරුම් ගෙන තිබේ.ඒ ඔහුගේ සමහර හැසිරීම් හන්දා ය.

“එච්චර දේවල් කරලා කාලයක් බලන් ඉඳලා සෑහෙන්න බෙහෙත් කරලා හැම පන්සලකටම ගිහින් ලබා ගත්තා දරුවට රස්තියාදුවෙ යන්න ඉඩ දුන්න කියලා නෑදෑයො මට හරියට දොස් කිව්ව.”

ඉලංගසිංහ මහත්මිය එසේ කියන්නේ සිනාවකිනි.අහස් හොඳින් ඉගෙන ගෙන පවුලේ ව්‍යාපාර භාර ගැනීම හෝ වැදගත් යැයි සම්මත රැකියාවක් කිරීම වෙනුවට ක්‍රීඩාවක් තෝරා ගැනීම ඔහු නාස්ති වීමක් බවට විශ්වාස කළ අය අපමණයැයි ඇය කියන්නී ය.

“දූ,මං හිතන විදිය මේ.ඔයා මෙහෙම හිතනවනම් කැමති නිසයි මං මේක කියන්නේ.”

ඉලංගසිංහ මහත්මිය කියන්නේ නිවුණු හඬකිනි.සකී ඇයට ඇහුම්කන් දුන්නා ය.

“අපි දරුවෙක් වෙනුවෙන් මඟ බැලුවද නැද්ද,අවුරුදු ගණන් බලන් හිටියද කියන එක ඒ ළමයට වැදගත් නෑ.මං අවුරුදු හතක් මඟ බැලුවා.දුව සමහරවිට ෆස්ට් ඇනිවසරි එක එනකොට අම්මෙක් වෙන්නත් පුලුවන්.ඒත් හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ අයිති ඒ මනුස්සයට.”

සකීගේ අම්මා ඇතැම්විට ඇගේ ජීවිතය පාලනය කරන්නට උත්සාහ ගෙන තිබේ.නමුත් ඉලංගසිංහ මහත්මියගේ අදහස වෙනස් ය.

“අහස් නරක් වෙන්න පුලුවං,එයාට එයාගේ ජීවිතේ අයාලෙ යවන එක බොහොම ලේසි කියලා කිසිම කෙනෙක් කියපු දේවල් මම ගණන් ගත්තේ නෑ.අඩුම තරමෙ එයා ඔය සමහර ගෑනු ළමයි එක්ක පැටලිලි හදා ගනිද්දි වුණත්.බලහත්කාරෙන් ඒ මැද්දට පනින්න මට හිතුණේ නෑ.”

මිතුරිය පැවසූ මමාස් බෝයි කතාව මොනතරමට වැරදිදැයි සකීට සිතේ.අහස්ගේ අම්මාගේ සිතුවිලි බොහෝ ඉදිරිගාමී ය.

“දරුවො අපේ තමයි.ඒත් දරුවන්ව ඕනෑවට වඩා පාලනය කරන එකෙන් අපට ලැබෙන දෙයක් නෑ දුව.අහස්ට එයාට කැමති දෙයක් කරන්න මම ඉඩ දුන්නේ ඒකයි.”

පහන් දල්වන අතර එසේ කියද්දි අහස්ගේ අම්මාගේ දෙතොලතර මන්දස්මිතයක් ඇඳිණ.ඒ වසර විස්සකට පමණ එපිට අතීතයක් සිහි වීමෙනි.

“ඉස්සර දවසක එතකොට අහස්ට අවුරුදු පහක් ඇති.පහන් පත්තු කරන ගමන් පහන් දැල්ලට අත අල්ලනවා.කොච්චර එපා කිව්වත් අහන්නෙ නෑ.මං හිතුවා පිච්චුනාම ඉගෙන ගනී කියලා.”

අහස් තවමත් ගින්දරට බියක් දක්වන බව සකීට මතක ය.නමුත් ඇය නොකියා සඟවා ගත් කතාව එය නොවේ.ඒ වයසේ දී ඇයද එවැනිම ඇට්ටර වැඩක් කර තිබේ.අහස් පවසන සමහර අතීත කතා ඇගේ ජීවිතයට ද සමපාත වන තැන් ගැන සකීට අත්දැකීම් ඕනෑතරම් ය.

“මටත් එහෙම වුණා අම්මෙ.”

නොකියා හිඳින්නට සකී තීරණය කළා ය.ඇය සහ අහස් අතර ඇති තදබල බැඳීම ගැන අඩුම තරමේ අම්මලා දෙදෙනාටවත් නොකියන්නට ඇතැම්විට සකී ප්‍රවේසම් ය.එය එසේ පහදන්නට බැරිතරමට පුදුමාකාර ය.

“හැමදේම අමතක කරලා කතා කරාම අවුරුදු ගාණකට පස්සෙ මගෙ දුවෙක්ගෙ හීනෙ ඉෂ්ට වෙලා කියලා හිතෙනවා සකී.ඒ ඔයා හරිම හොඳ ලස්සන දුවෙක් හන්දම නෙවෙයි.ඔයා අහස්ගෙ පොඩි නංගි කියලා හිතෙන තරමට රූපෙන් සමානයි.ඔයාලා දෙන්නා අයියයි නංගියි වගේ.”

ආත්මීය සහකරුවන් සමාන රූපයකට හිමිකම් කියන බව නොකියන්නට ද සකී ප්‍රවේසම් වූවා ය.නමුත් ඈ මන්දස්මිතයකින් සැරසුණා ය.අහස්ගේ රසිකයන් පවා වැඩියෙන්ම කියන කතාන්දරය එය ය. 

ඇය ඔහුගේ රූපයට බොහෝ සමානකම් දරන්නී ය.

සකී කිසිවක්ම ප්‍රාර්ථනා නොකළා ය.විශ්වයේ ඇති සෑම යහපත් දෙයක්ම ඔහු සමඟ බව ඇය දන්නී ය.ඒ හන්දා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්නට කිසිවක් නොවේ.

(ආදරේ අරන් SmartLady ව්‍යාපෘතිය වෙනුවෙන් අපි තරමක් කාර්යබහුලයි.ඒ නිසා සකීගේ කතාව වෙනදා තරම් නැහැ.අපේ ව්‍යාපෘතියට ආදරේ අරන් එකතු වෙන්න සකීට ආදරය කරන ඔබ හැම කෙනෙකුටම ආදරයෙන් ආරාධනා කරනවා.ආදරය අහිමි පුංචි සූරියකාන්ත මල් කිහිපයකට පිපෙන්නට උදව් කරන්න කැමති නම් අපිට කතා කරන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles