“මං ජීවිතේ හරිම අමාරු කාලයක් පහු කරනකොටයි මට ඔයාව මුණ ගැහුණේ. මං ඔයාට ආදරේ කරන්න තීරණේ කරාට මට සතුටුයි. ඔෆිස් එකේ සමහර මිනිස්සු හිටියා මාව දැන් අල්ලගන්න බොහොම ලේසියි කියලා හිතපු. තනිකම දරාගන්නම බැරි වෙලාවක එහෙම මනුස්සයෙක්ට කැමති නොවී ඔයා වෙනුවෙන් බලන් ඉන්න හිතුණට මං මටම ස්තූතිවන්ත වෙනවා. එහෙම බලන් ඉන්න වටින මනුස්සයෙක් වුණාට ඔයාටත් ස්තූතියි.”
ලාවන්‍යා එසේ කියද්දී තේජට දැනුණේ දරන්නට අපහසු හැඟීමකි. නමුත් ඔහු තීරණයක් ගෙන අවසන් ය.
“ප්‍රතික්ෂේප වුණාට මට දුකක් නෑ. ඔයා ඒක කිව්වටත් ස්තූතියි.”
සාප කිරීමක් හෝ හැඬීමක් වැළපීමක් නැතිව ඇය ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම බාරගෙන තිබේ. තේජ ඇය දෙස බලා සිටියේ වේදනාබරව ය.
“ආදරේ කරන්න මාව තෝරා ගත්තට ඔයාටත් ස්තූතියි.”
සමහර කතාන්දර වලට වැඩි ආයුෂක් නොමැත. ඒවා උපදින්නට පෙරම ගබ්සා වී යයි. මහත් වැරවෑයමකින් රැක ගන්නට උත්සාහ ගත් ප්‍රේමය බිඳී ගිය දාට වඩා වැඩි වේදනාවක් ලාවන්‍යාට දැනෙයි. එහෙත් ඇය උහුලා ගන්නට තීරණය කළා ය.
“මං මෙතනින් බහින්නම් තේජ.”
ඇය කියන්නේ නිවසට යන්නට තව දුරක් තිබියදී ය. තේජ ඒ ගැන විමසී ය.
“තව කොච්චර දුරක් ගියත් මොකටද? වැනි කට කැඩුණු උත්තර දෙන්නට ඇයට නොසිතේ. ඇය ඒ වෙනුවට දෑස් තද කර පියාගෙන ඔහු දෙස නොබලාම ස්තූති කරන්නට තීරණය කළා ය.
“කොහෙ ගියත් ඔයාවයි ලියෝන්වයි මට හැමදාම මතක තියෙයි.”
ඇය එහෙම කියන්නට මතක තබා ගත්තා ය. ලියෝන් වාහනයට නගින්නේ ඉදිරියෙනි. ඔහු දකින්නට පෙර සමුගන්නට ලාවන්‍යාට ඕනෑ විය. සැබෑවටම ඒ කුඩා තරු දෑසට අම්මා කෙනෙකු වන සිහිනයක තමන් එල්බ ගෙන සිටි බව ඇයට අමතක කරන්නට නොහැකි ය.
“ආදරේ කියන්නේ ඔයිටත් වඩා හිත් අමාරුකම් එන දේකට කියලා ඔයා දැනන් හිටියනෙ ලාවි. අපි ඉවසමු.”
ලාවන්‍යා මෝටර් රථයෙන් බැස ගත් වහ ගත් ඇමතුමට පිළිතුරු දෙන අතර පාරමී පැවසුවේ එහෙම කතාවකි.
“ජීවිතේ කියන්නේ තෝරා ගැනීම්වලට ලාවි. ඔයා ඒ වාහනෙන් බැස්සා කියලා නිර්වාන්ගේ කා එක ඇවිල්ලා ඔයාගෙ කකුල් ඉස්සරහ නතර වෙන් නෑ. අපි ආදරේ මිනිස්සුන්ට අපි ආදරේ නොකිරීමේ පාඩම ඉගෙනගෙන ඉස්සරහට යමු.”
පාරමී වැඩිදුරටත් කියන්නට වූවා ය. ප්‍රතික්ෂේප වන වාරයක් පාසා නිර්වාන්ට සිතෙන්නට ඇත්තේ මොනවාදැයි ලාවන්‍යා සිතුවේ වේදනාවෙනි.
“මුලින්ම ඔය වේදනාවෙන් මිදෙන පාර හොයා ගන්න.මට ආයේ ආයෙ කියන්න තියන දේ තමයි, ඔයා තේජට තවම ආදරෙයිද කියන එක පැහැදිලි කරගන්නේ නැතුව ඉස්සරහට යාමක් නෑ. ඔයා දන්නවද ඔයාට ඔය ඉන්න වේදනාවෙන් මිදෙන එක තේජගෙන් ඈත් නොවී කරන්නත් පුලුවන්. ඈත් වෙලා කරන්නත් පුලුවන්. ඔයා හරිම පරිස්සම් වෙන්න ඕන. වැඩිපුර ඉවසන්නත් ඕන.”
ඒ උපදේශය ලාවන්‍යාට දිනක් ලැබුණේ අනුත්තරාගෙනි. ඇය ඒ උපදේශය පිළි ගත්තා ය. තේජ විදෙස්ගත වුවත් මිත්‍රත්වය පවත්වා ගන්නට නොහැකිදැයි සිතමින් ඇය කල් මැරුවා ය. නමුත් ඒ කාලය අවසන් වී යන්නට පටන් ගත්තේ තේජ මවබිමෙන් යන දින ළංව එද්දී ය.දැන් ඇය හිඳින්නේ ක්‍රමයෙන් තේජගෙන් දුරස් වන අන්දම සැලසුම් කරමිනි. සහමුලින්ම ඔහු අමතකව යාම ගැන ඇය බියටත් වේදනාවටත් පත් වෙමින් සිටියත් එය කළ යුතුම බව ඇය තේරුම් ගනිමින් සිටියා ය.
“අප සමාන්තර ලෝක දෙකක එකම ඉරණමට ලක් වූ ජීවින් වීම දෛවයේ සරදමක් ද එසේත් නැත්නම් දෛවයේ නිර්මාණයක් ද සැක සහිත ය. ඔබ ඔබේ ලෝකයේ තනිව හිඳියි. එහෙත් ඔබට ඔබ අසලින් කුඩා තරු දෑසක් හෝ හිඳියි. ඔහු කිනම් මොහොතක හෝ ඔබට අහිමි වේදැයි බිය මිස මට මෙන් තනිකමක් නොදැනීම ම ජීවිතය ඔබට දුන් ත්‍යාගයකි.
ප්‍රේමයෙනි,
අන් කවරදාටත් වඩා ප්‍රේමයෙනි.
ලාවන්‍යා ඇගේ වැඩසටහනෙහි එසේ කියන අන්දම තේජ අසා සිටියේ ය. ඇය ඉන් අනතුරුව ශශිකා – මියුරු සුසංයෝගය ගයන මේ ගින්දර ගීතය වාදනය වන්නට ඉඩ හැරියා ය.
“සියුම් හැඟුම් ඇඳි සීමාවේ ඔබේ හිතත් නෑ.
ඉතිං තවත් අපි සංසාරේ ගිහින් ඵලක් නෑ”
ඒ දෙපද තේජට ළය පසාරු කරන තරමේ වේදනාවක් ගෙන ආ වග ඇත්‍තකි. එහෙත් යළි හැරීමක් ඕනෑ නොවේ. ප්‍රේමය ඔහුට ඔහුගේ හදවත පවා අහිමි කර ඇති බව තේජට සිතේ.
“ආදරේ කියන්නෙ හිතේ තියෙන හිස්තැනක් පුරවාගන්න එකට තමයි. හිතේ තියෙන හිස්තැන් ජීවිතේ තියෙන හිස්තැන් පිරෙන හින්ද අපි ආදරේ කරනවා. දැන් ඔයාට මහ හිස්කමක් දැනෙනවා තමයි. ඒත් කාලෙත් එක්ක ඔය ආදරේ ඔය කෙටි කාලීන මතකේ ඔයාගෙ හිතින් යන්න යාවි.”
අනුත්තරා මන්තරයක් සේ මතුරන්නට වූවා ය. නමුත් හිස්තැනක වේදනාව හදවත පාරන්නට පෙර තීරණයක් ගන්නට ලාවන්‍යාට ඕනෑ විය.
“සෙනූගේ වෙඩින් එකට පුදුම වැඩ තොගයක් තියෙන්නෙ අම්මේ. අපි කතා වුණේ මේ ටික දවස එයාලගේ ගෙදර ඉන්න. අම්මා එතකන් ලොකූගෙ ගෙදර යනවද? මං වෙඩින් එක කිට්ටු වුණාම අම්මව එක්කන් එන්න කියලා අයියට කියන්නං.”
සෙනුරිගේ විවාහ මංගල්‍යය කියන්නේ ලාවන්‍යා කාර්යබහුල විය යුතුම දෙයක් වග අම්මා දනියි. ඇය ප්‍රශ්න කිරීම් නොමැතිවම කතාව පිළිගත්තා ය.
එහෙත් ලාවන්‍යාට ඕනෑ වූයේ තේජට සමු නොදී ඉන්නට ය.
(අවසන් කොටස එක්ක හෙට හමු වෙමු)