මම වෙන ම මලක් – 06

“මේ රස්සාව හොඳයි වගේ අම්මේ.”

නිලුපුලී එසේ පැවසුවේ අම්මා ගෙන ආ බත් සහ ව්‍යාංජන බෙදා ගන්නා අතර ය. නිර්මලා කැත සිනාවක් පෑවා ය. ඇයට මේ රස්සාව ගැන විශ්වාසයක් නැත. නරක තාත්තා කෙනෙකුගේ දුව හොඳ එකියක වන්නට බැරි බව පමණක් ඇය දනියි.

“පොත්ත රත තියනතාක් ඔය රස්සාව හොඳ වෙයි තමා.”

නිර්මලා ඔලොක්කු කටහඬකින් පැවසී ය. නිලුපුලීට ඇගේ කාර්යාල හිතවතියක වූ චතුරිගේ අම්මා ඇයට අමතන හඬ සිහි විණ. සමහර මොහොතකදී ඒ අම්මා කතා කරන හඬ ඉසිහින් ස්වරයකින් නිලුපුලීට ද ඇසේ. ඒ අම්මා චතුරිට කතා කරන ආදරයෙන් සියයෙන් එකක්වත් තමන්ගේ අම්මාට දිය හැකිනම් යැයි නිලුපුලීට සිතේ.

“මං මේ රස්සාවට ගියේ මහන්සියෙන් ඉගෙන ගෙන. ප්‍රතිඵල ආවම කැම්පස් තේරිලානම් මම කැම්පසුත් යනවා.”

අම්මා ඒ ගෝරනාඩුවට උස් හඬින් හිනැහුණා ය. අනතුරුව නිලුපුලී දෙස බලා අකුරු දෙකක පහත් නමක් පැවසුවා ය. අම්මාට ඇය එවැන්නියක බව විශ්වාස ය. නමුත් තමන්ට පිරිමියෙකුගේ හුස්මත් වැටී නැතැයි දන්නී නිලුපුලී ය.

“උඹේ බෑග්ගෙකේ තියන සෙන්ට් කුප්පි දුන්නෙ මොකාද? කොම්පැනියේ මහ එකාද?”

නිලුපුලී සිතුවා නිවැරදි ය. බෝම්බය පිපිරී තිබේ. ඇය කට කොණක සිනාවක් නඟා ගත්තා ය. මේවා ගැන කතා කිරීම පවා තේරුමක් නැති වැඩකි.

“මං කරන්නේ රස්සාවක්. ගෙවල්වල ඉඳුල් හෝදනවා නෙවෙයි.”

ඇය එසේ කියා බත් පිඟානක් බෙදාගෙන කාමරයට එන්නට ආවා ය. අම්මාට ඇයට ආදරයෙන් සලකන්නට නොහැකි එකම කාරණාව නිලුපුලී සක්සුදක් සේ දනියි. ඇය තාත්තා නැති කෙල්ලකි. එහෙත් ඇගේ උපත දූෂණයක ප්‍රතිඵලයක් ද නැතහොත් ආදරයක ප්‍රතිඵලයක් ද කියන්නටවත් ඇය නොදනියි. ජීවිතය එතරමට අමුතු එකකි. කෙසේ නමුත් අම්මා ඇය කෙරෙහි හැසිරෙන්නේ වියරුවෙනි. එය තවමත් එහෙමම ය.

නිලුපුලී බත් අනන අතරේ අතීතය දිග පියමං කළා ය. ඒ ඇය සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූ දවස් ය. ළඟම පාසල හේතුවෙන් කොළඹ බාලිකාවක් හිමි වූවාට ඇය “දහයේ විභාගයෙන්” පසු පාසල් යවන්නට අම්මාට ඕනෑ වූයේ නැත.ඇය එයට දැඩි විරෝධයක් එල්ල කළා ය. අවසානයේ නිලුපුලීගේ සාමාන්‍ය පෙළ පන්තියේ ගුරුතුමිය ද අංශ භාර ගුරුතුමිය ද වත්තට පැමිණෙන්නට තීරණය කළ හ.

මං හිතන් ඉන්නේ මේකිව ආයේ ඉස්කෝලෙ නොයව ඉන්න..මොන කැම්පස් ද?”

අම්මා ගුරුතුමියට කඩා පැන්නේ කිසිම වගවිභාගයකින් තොරව ය. කිසිම ගෞරවයක් ඇගේ වචනවල ගෑවී තිබුණේ නැත.

“මොනවද අම්මා මේ කියන්නේ.මේ ළමයගේ අනාගතේ එහෙම බලෙන් අල්ලල නවත්තන්න ඔයාට බෑ. ඔයා කවුද එහෙම කරන්න?

ගුරුතුමිය සූදානම් වූයේ අම්මා බියපත් කරන්නට ය.නමුත් අම්මා එහාමෙහා ඇවිද්දේ කෝපයෙනි.

“ඊටපස්සෙ..ටිකක් ඉගෙන ගෙන බඩවල් එල්ලන් ආවම? කැම්පස් නෙවෙයි කොහෙ ගියත් ගෑනු රැවටෙනවා. අනික මේකිට උගන්වන්න අප්පෙක් නෑ”

ගුරුතුමිය නිලුපුලී ළංකරගෙන හිස පිරිමැද්දේ කරකියා ගන්නට දෙයක් නොමැතිව ය.නමුත් ඔවුන් කෙසේ හෝ දිනන්නට සමත් විණ. ඒ සදාකාලික ජයක් නොවන බව නිලුපුලී දැන සිටියා ය. කොහොමටත් අම්මා සාප කරන හැටියට ඇය සරසවියට යන්නට ඉඩක් නොවේ. පළමු වතාවේ ද හරස් වූයේ බුද්ධිය නොව අම්මාගේ සාපය බව සිතන්නට නිලුපුලී කැමති ය.

හෙටක් ගැන නොහිතා හැකි උපරිමෙන් ,මෙන්න මොහොත විඳින්න.බරපතල නීතිමය ලියවිලියි කසාදයි අහකට දාලා නිදහසේ ආදරෙයි කියන්න”

මල් කළඹක එසේ ලියන්නට කියා එවා තිබුණේ තරුණියකි. ඇය එසේ නිදහස් කතාවක් පැවසුවේ කොහොමදැයි නිලුපුලී සිතුවා ය. නිලුපුලී කියන්නේ ද නීතිමය ලියවිලි නොතකා කළ ආදරයක ප්‍රතිඵලයක් නම්? තමන්ට ද ඕනෑ එහෙම ආදරයක ගොදුරක් වන්නටදැයි නිලුපුලී සිතුවා ය. 

එහෙත් ඇයට එක් දෙයක් වැටහේ. ඇයට ඕනෑ රදීෂ්ගේ ආදරය ය. ඒ ආදරය ප්‍රේමවන්තයෙකුගේ වෙසින්ම අවශ්‍ය නැත. ඇයට ඕනෑ ඔහුගේ ආදරය ය. ඔහු දකින විට දැනෙන සමීප හැඟීම සහ උතුරා ගලන ආදරය කුමක්දැයි කියන්නට ඇය නොදනී. නමුත් ඔහු ඇය නොවිඳි ප්‍රේමයක් වී ඇගේ සිත පුරා සක්මන් කරමින් සිටින බවනම් පැහැදිලි ය.වත්තේ මහා කලබලයක් ඇසුණේ ඒ මොහොතේ ය. වෙනදාට එවැනි දේට උදාසීන ප්‍රතිචාරයක් දක්වන නිලුපුලීට එළියට බසින්නට සිතිණ. ඇය එළියට බැස්සේ රණ්ඩුව නරඹන්නටම නොවේ. රදීෂ් බර අඩි තබමින් ඇවිද යන සිත වෙනස් කරගන්නට ය.

කොණ්ඩය වවා එය බැඳ සිටි තරුණයෙක් වත්තේ තරුණයෙකුට හොඳටෝම පහර එල්ල කරමින් සිටියේ ය. ඔහුගේ බාහුවක තිබූ ටැටූව ද වවාගත් කොණ්ඩය ද නොවූවානම් නිලුපුලී හොඳටෝම රැවටෙන්නට තිබිණ.

රදීෂ්!

කොල්ලාට තිබුණේ ඔහුගේ දෑසම ය. ඒ අංගපුලාවම ය. රදීෂ්ගේ සිල්වන්ත පෙනුම ඔහුට නැති වීමත් කොණ්ඩයත් ටැටූවත් නොවන්නට නිලුපුලී හොඳටෝම රැවටෙන්නට ඉඩ තිබිණ. ඔහු වත්තේ තරුණයා වූ තිකාගේ මුහුණේ ලේ පිස යන්නට හැදුවේ ය. කවමදාවත් නැතිව මැදට පනින්නට ඕනෑකමක් ඇති වූයේ නිලුපුලීට ය.

(වෙනම මලක කතාව හෙට සිට දීර්ඝ කොටස්වලින් බලාපොරොත්තු වෙන්න. පෞද්ගලික හේතුවක් මත ලියන්නට වූයේ අල්ප ව. එහෙත් නිලුපුලීගේ ගමන ගැන ඔබේ අදහස් කියවන්නට ආශාවෙනි)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles