ඉඳුදුන්න -25

තරිඳිගේ ලෝකයට ඉරවල් හතක් පායා තිබිණ.ඇය ප්‍රීතියෙන් දිදුලන්නට වූවා ය.රටේ යුවතියන්ගේ සිහින කුමරා ඇගේ ය.ඔහු ගැන සිහින මවන්නට සහසක් දෙනා හිඳීම තව දුරටත් ඇය පෙළන්නේ නැත.නමුත් ඈ ඔහුගේ ය.

“ඕක ගොසිප් කාරයන්ට දැනගන්න තියන්න එපා..”

ආරංචිය දැනගත් වහා සිතිජ පැවසී ය. පෞද්ගලිකත්වය නිරාවරණය වීම අතිශය අවදානම් බව ඔහු පවසද්දී තරිඳි පුපුරන්නට ගත්තා ය.

“ඇයි සිතිජයියා එයා මැරීඩ් කියල කියන් නැත්තේ.”

ඇය ඉඳුවරගෙන් ඇසුවේ සිතිජ මඟ හැර ය.

“කරදරයිනෙ තරූ.සිතිජගේ වයිෆ් ෆේමස් වෙන්න ආසම නැති කෙනෙක්.එයා ටීච කෙනෙක්නෙ.ඉන්ටවිව් වලට එන්න, කවර් ෆොටෝස් වලට ඉන්න ආස නෑලු.අනික මේ තරු ගොසිප්වලට එහෙම ගෙන්නං ෆස්ට් කිස් එකයි හනිමුන් එකයි හැම කෙහෙම්මලම අහනවනෙ..විකාරයි කියනවා.”

තරිඳි උරහිස් ගැස්සුවා ය.සිතිජ බොහෝ ජනප්‍රිය යෞවනයෙකි.ඉඳුවරගේ ජනප්‍රියකම ප්‍රියකරන තරමටම සිතිජගේ දඟකාරකම ප්‍රිය කරන්නියන් ද අනන්ත ය.ඔහු තනිකඩ බව පෙන්වීම ඒ ගැහැනු ළමයින්ට අත්තටු දීමක් බව ඈ සිතුවා ය.

“අපි මේක හංගන්න ඕන නෑ..හැමෝටම දැනෙන්න අරිමු.”

තරිඳි ඉඳුවරට පැවසී ය.

“නෑ..ඇත්තටම අපි මේක දැන්මම හැමෝටම කියන්න ඕන නෑ..”

ඉඳුවර එසේ පැවසී ය.තරිඳි කෝපත් වූවා ය.

“ඔයා හිතන්නකො.අපි බ්‍රේකප් වෙන්න පුලුවන්.අම්මලා අකමැති වෙන්න පුලුවන්.කීයක් ජාතිද?”

ඉඳුවර කල්පනාකාරීව පැවසී ය.

“මං මේ බ්‍රේකප් වෙන්න හිතාගෙන පටන් ගත්තු එකක් නෙවේ ඉඳුවර…”

තරිඳි එසේ පැවසුවේ ඔහු අහිමි නොකර ගන්නට තදින් අදිටන් කර ගනිමිනි.

ඉඳුවර ප්‍රේමයක් නැති වගත් තනිකඩ බවත් ලෝකයට පෙන්වන්නට බොහෝ උත්සාහ කළේ ය.නමුත් තරිඳි පිරිස අතර හිඳිද්දී පවා ඒ සාමාන්‍ය මිතුරුකමක් නොවන වග හඟවන්නට තැත් දැරී ය.

“තරිඳිට ආදරේ කරන කෙනෙක් ඉන්නවද?”

ඇගෙන් සති අන්ත ටැබ්ලොයිඩයක් එසේ විමසා තිබිණ.

“ඔව්, මං ඒ ගැන ඉක්මනින්ම කියන්නම්..ඔයාලා ගොඩක් ආදරේ කෙනෙක් තමා මට ආදරේ.”

ඈ පැවසුවේ රහස අඩක් හෙළි කළ සතුටිනි.නමුත් ඒ පුවත්පත් පිටුව බොහෝ ගොසිප් අඩවිවල පළ වන්නට විය.ඒ ඉඳුවරගේ රුව රැගෙන ය.

“මොන විකාරයක්ද තරූ මේ කළේ..දැන් අර මිනිස්සු මගෙන් ඉන්ටර්විව් ඉල්ලනවා..”

ඔහු තරිඳිට කෝපයෙන් පැවසී ය.

“ඉතින් හොඳයිනෙ අනේ..ඔයා ඉතුරු ටික කම්ප්ලීට් කරන්න..”

තරිඳි පැවසුවේ සැහැල්ලුවෙනි.නමුත් ඉඳුවර හුන්නේ කෝපයෙනි.තරිඳි කළේ අනවශ්‍ය ක්‍රියාවක් වග ඔහු දැඩිව සිතී ය.

ඉඳුවර ප්‍රේමයක පැටලී ඇති බවට පළ වන ආරංචි වෙබ් අඩවිවල සීග්‍රයෙන් පැතිරෙද්දී, ෆේස්බුක් ඕපාදූප පිටු වාර්තා තබද්දී බොහෝ තරුණියන් කම්පා විණි.තරුණයන්ගේ බොහෝ උසුළු විසුළු විඳිමින් ඔවුන් ඒ ගැන ෆේස්බුක් සටහන් පවා තැබී ය.

නමුත් ඒ ඉඳුවර නොදන්නා තරුණියන් ය.ඔහු දන්නා තරුණියන් දෙදෙනෙකු ඒ ගැන බාර ගත්තේ වෙනස් ආකාරයකිනි.

“ඉඳුවර අර තරිඳි එක්ක යාළු වෙලාද?”

අමන්දී හිත හදා ගන්නට සිතා සනුරිගෙන් ඇසුවා ය.

“කමක් නෑ..මං දැන් බැඳලත්නෙ.මං දැන ගන්න ඇහුවේ..”

සනුරිගෙන් පිළිතුරක් නැති තැන ඈ යළිත් කීවා ය.

“අමා, මෙහෙමනෙ කෙල්ලෙ..අපි දන්නවනෙ එයා කාටම හරි ආදරේ කරන්න ඕන කියල.මේක සාමාන්‍ය නිව්ස් එකක්.හැබැයි අදීෂ නම් කීවේ මේක කතාව ෆේමස් කරන්න චැනල් එකේ මාකටිං එකෙන්ම කරන වැඩක් කියල..”

සනුරි පැවසුවා ය.අමන්දී සුසුම් ලමින් අසා හුන්නා ය.

“මට ඒ නිළි කෙල්ල අල්ලන්නෙ නෑ.ඉඳුවරයා නාස්ති වෙයි ඕක උනොත්..”

සනුරි තවදුරටත් කීවා ය.නමුත් එසේ නොකියන්නට තිබුණු වග ඇය සිතුවේ පසුව ය.අමන්දී ඒ අසා බොහෝ ශෝක වන්නට ඇතැයි සනුරි සිතුවා ය.

සනුරි තවදුරටත් කීවා ය.නමුත් එසේ නොකියන්නට තිබුණු වග ඇය සිතුවේ පසුව ය.අමන්දී ඒ අසා බොහෝ ශෝක වන්නට ඇතැයි සනුරි සිතුවා ය.

අමන්දීට ශෝකයකට වඩා දැනුණේ හිස් බවකි.තිරයේ නිතර දකින දඟකාරියගේ සැබෑ ජීවිතය ද සෙල්ලක්කාර එකක් විය හැකි බව ඈ සිතුවා ය.ඉඳුවර ආදරය ද අවධානය ද වඩාත් සොයන්නෙකි.එවැනි ආකාරයෙන් ඔහු ගැන සොයා බලන්නට තරිඳිට හැකි වේදැයි අමන්දී සිතුවා ය.

ප්‍රකාශ කරගත නොහැකි වුවද ඒ ඇගේ ප්‍රථම ප්‍රේමය ය.ඒ ආදරය වෙනකෙකුට අයිති වීම දරා ගත නොහැකි වී අමන්දී දුක්ඛිත වූවා ය.

“උඹ බැඳලා ඉවරනෙ අමා..ඌ තරිඳි නෙවේ අර දේවකී සෙට් කරගත්තත් උඹට මොකද?

සනුරි ඈ සනසන්නට කීවා ය.නමුත් ඔහුගේ ප්‍රේමය ඔහුව පහසු කරන්නක නොවී කරදරයේ දමන්නකදැයි අමන්දී හුන්නේ ම ශෝකයෙනි.

“මේ..අර තරිඳිගෙ ඉන්ටර්විව් එක ඔයාලා මාකටිං වලට කරපු වැඩක්ද”

ෂෙරිල් ඇසුවේ නාලිකාවේ ප්‍රචාරණ අංශයේ හිතවතෙකුගෙනි.

“නෑ ෂෙරී..ඇත්තටම අපි ඔහොම නිව්ස් එකක් හිත හිතා හිටියා. මේකි තනියම එහෙම එකක් කියල ඒක වෛරල් ගිහිල්ලත් ඉවරයි..”

එසේ කී මිතුරා ෂෙරිල්ට තවත් ආරංචියක් දුන්නේ ය.

“සෙට් එකේ සමහරු කියනව දෙන්නගෙ අෆෙයා එකක් තියන පාටයිලු..”

ෂෙරිල් දැවෙන්නට ගත්තා ය. ඈ වැනි ධනවත් රූමතියකට පැහැර ගන්නට නොහැකි වූ ඉඳුවරගේ හදවත මේ ආගන්තුක නිළිය දිනා ගැනීම ෂෙරිල්ට විශාල ලැජ්ජාවකි.ඇය කා අතින්වත් ප්‍රතික්ෂේප නොවූ ගැහැනියකි.නමුත් මේ අහංකාර යෞවනයා ෂෙරිල්ව සෘජුවම ප්‍රතික්ෂේප කළා ය.එය ඇයට තදින්ම දැනෙන්නකි.

“බලා ගනිං..මං උඹට කරන දේ..”

තරිඳි ඉන්ස්ටග්‍රෑම් පළ කරන ලද සුන්දරම ඡායාරූපයකට නියවමින් ෂෙරිල් සිතුවා ය.තරිඳිට මතක හිටින අන්දමේ පාඩමක් ඉගැන්වූයේ නැතිනම් තමන් ෂෙරිල් වික්‍රමබාහු නොවන බව ඇය තමන්ටම කොඳුරා ගත්තා ය.

ඉඳුවර තරිඳි කෙරෙහි ප්‍රේමයෙන් පසු වීම ගැන අමන්දී ශෝක වෙද්දී ෂෙරිල් තරිඳි විනාශ කර දමන්නට සැලසුමක් සකසමින් හුන්නා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles