කදෝකිමි ඇස් -08

0
3973
කදෝකිමි ඇස්

“මොකද සහස්?”

ආරණ්‍යා අසන්නේ මිතුරා වෙත නොකැමති බැල්මක් දෙමිනි.නිසලිගේ සම්පූර්ණ කේලම අසා ගත් සහස්ගේ මුහුණ කෝපත් වී තිබිණ.සැබෑවටම කෝප නොවිය යුතු තැන්වල පවා කෝප ගන්නා සහස් ගැන ආරණ්‍යාට ඇති වූයේ තරහකි.

“ඔයා මාර මනුස්සයෙක්නෙ.යන යන තැන්වල එහෙම පර්ස් වට්ටා ගන්නවද?”

සහස් අසයි.ආරණ්‍යා දෑත් ඉනෙහි ගසාගෙන මිතුරා ඉදිරියේ සිට ගත්තා ය.සහස් අදනම් මට්ටු කළ යුතුම ය.

“අනේ මෝඩයෝ.මට දැන් අවුරුදු විසි එකයි මේ තරම් කාලෙකට මං මකන කෑල්ලකත් නැති කරගෙන නෑ.ඔය ඔහොම වුණාමයි.නිකං විකාර නොකියා ඉන්නවා..”

ආරණ්‍යා එසේ කීවේ සහස්ව තඹයකට හෝ මායිම් නොකරමිනි.නමුත් ආරණ්‍යා කියන්නේ සහස්ට එසේ ලෙහෙසියෙන් පසෙකට විය හැකි චරිතයක් නොවේ.ඔහු හිඳින්නේ ඈ කෙරෙහි ප්‍රේමයෙනි.ඇය ඒ ප්‍රේමය තේරුම් නොගෙන ඔහුට මචං පාට් දැමීම ගැන කෝපයෙනි.

“කවුද ඕක අහුලන් තියෙන්නෙ..”

සහස් අසද්දී ආරණ්‍යා ඔහු දෙස කමකට නැති බැල්මක් හෙළුවා ය.මිනිස්කම් ඇත්තේ මිනිසුන්ට ය.ඒ මිනිසුන්ගේ නම් සහ මුහුණු අමතකව ගිය ද මිනිස්කම් අමතක කළ නොයුතු බව අම්මා ඇගේ නවකතාවක ලියා තිබුණා ය.ආරණ්‍යා ඒ මුළු වාක්‍ය ඛණ්ඩයම සහස්ට ඇසෙන්නට කීවා ය.

“කොල්ලෙක් උදව්වක් කරාම ඔයාලටත් හරි අගේ නේද?”

සහස් මිතුරෙකුගේ මට්ටමේ තබා නොගන්නට ආරණ්‍යාට සිතෙන්නේ මෙවන් මොහොතක ය.කඩවසම් තරුණයෙකුට ඇහැ අලවා ගන්නා ඕනෑම මොහොතක කොල්ලෙක් පේන්න බැරිකම ගැන මිතුරියන්ට බැන වදින්නට සහස් අමතක නොකරයි.නමුත් හරිහැටි හිතනවානම් ඔහු ද කෙල්ලන්ට දෙවතාවක් හැරී බලන්නට සිතෙන අන්දමේ කොලුවෙකි.

“ඔයාට විකාරනෙ සහස්.මම ඒ බෝයි ඇහැටවත් දැක්කේ නෑ.අප්පච්චිට පර්ස් එක දීලත් තියෙන්නෙ..”

සහස් තවත් මොනවාදෝ කියද්දී ආරණ්‍යා ඔහුගෙන් මිදී නිදහස් තැනකට ආවා ය.අමතක වන්නට පෙර අර තරුණයාට ඇමතුමක් දිය යුතු වේ.ඇය දුරකථනය ගෙන ඒ අංකය අංකනය කළේ ය.

මේඝ වාහනය මාර්ගයේ නිදහස් තැනක නවතාගෙන මොහොතක් ගෙවූයේ ම නේහා ඔහුගේ මනස අවුල් කර යන්නට ගිය නිසා ය.කෙනෙකුට කරන්නට හදනා උපකාරයකට පවා වරදක් සොයා ගන්නා ඇය මේඝ නොදන්නා කැම්පස් කෙල්ලෙකුගේ පසුම්බියක් රැගෙන සරසවිය වෙත යාම අමනකමක් සේ දුටුවා ය.

“උන්ට සිහි නැතුවනෙ ඕවා හලා ගන්නෙ.මෙතනින් තියල යං..”

කාර්යබහුල සරසවි සිසුවියකට බැංකු කාඩ්පත් සහ හැඳුනුම්පත් හදන්නට කාලය වැය කරන්නට සිදු වීම අපරාධයක් බව කියද්දී මේඝට හිනැහුණු නේහා ආරණ්‍යාගේ හැඳුම්පතේ ඡායාරූපය දෙස මොහොතක් බලා සිටියා ය.

“කැත කෙල්ලක්..”

ඇය කියන්නේ සිනාවක සමච්චලය දවටාගෙන ය.මේඝ ඈ දෙස බැලුවේ ඊට වඩා සමච්චලයකිනි

“අයිඩී ෆොටෝ එකේ ඔයා ආලියා වගේ පේනවද?”

මේඝ ඒ සිදුවීම සිහි කරමින් නළල ඇඟිලිතුඩුවලින් මිරිකමින් මොහොතක් වෙලා ගෙවන්නට වූයේ ය.දුරකථනය නාද වේ.නොදන්නා අංකයකි.

“අනේ මං ඔයාගේ නම නම් දන් නෑ.මම ආරණ්‍යා.ඔයා මගේ පර්ස් එක ඇහිදලා අප්පච්චිට දීලා තිබ්බා..”

මේඝට තැවුල් අමතකව ගොස් සිනා ඉපිදිණ.ආරණ්‍යාගේ ආචාරශීලී හඬට යටින් ඇත්තේ කුඩා දැරියක සතු කෝල බවකි.

“මගේ දූ සම්පූර්ණයෙන් ම මගේ කාබන් පිටපතක්..”

තමන්ගේ ප්‍රියතම ලේඛිකාව එක් රූපවාහිනී ගී තේරීම් වැඩසටහනක දී කියූ අන්දම ඔහුට සිහි විණ.ඔහු හිනැහී මොහොතක් ගෙවී ය.

“අම්මා වගේ ලියනවද නංගිත්? සිහිනැතුව පාරේ යන්නේ..”

මේඝ එසේ කියද්දී ආරණ්‍යාට ද සිනා පිපිණ.ඔහුගේ කටහඬෙහි කුමක්දෝ ආකර්ෂණයක් තිබේ.නමුත් කටහඬකට ආකර්ෂණය වී පලක් නැත.

“මං ඔයා කවුද කියලවත් දන් නෑනෙ.”

ආරණ්‍යා සිහින් සරින් එසේ කියන්නී ය.මේඝට ඔහු හඳුන්වා දෙන්නට සිත් විණ.

“මම මේඝ සේනාධීර.ඔයාට නංගි කීවේ මං නංගිට වඩා අවුරුදු පහක්ම වැඩිමල්.ඔයාගේ අයි ඩී එක බලපු නිසා මං ඔයා ගැන ඔක්කොම දන්නවා..”

මේඝ! ආරණ්‍යා තිගැස්සී ගියා ය.දෛවය ඔහුව මෙසේ තමන්ට වරින්වර මුණගස්වන්නේ ඇයිදැයි ඇය සිතුවා ය.පෙරදා ඔහුව විදුලි සෝපානයක මුණ ගැසුණු බවත් ඊටත් පසු ඔහුව ෆේස්බුක් පිරික්සන්නට සිතුණු බවත් කියන්නට ආරණ්‍යාට නොහැකි ය.එනිසා ඇය නීති සිසුවියකට ආරූඪ වූවා ය.

“අයිඩී එකෙන් ඔක්කොම දන්නව කියන්නනම් බෑ..”

මේඝ උස් හඬින් හිනැහී ආරණ්‍යාගේ පන්දුවට හයේ පහරක් එල්ල කරන්නට සිතුවා ය.

“සාමාන්‍යයෙන් දන්නව.මිසිස් මේකලා ටීවි එකට ආවම වැඩියෙන්ම කියන්නෙ නංගි ගැනනෙ.මං එයාගෙ ප්‍රෝග්‍රෑම් බලනව.මගෙ ෆේවරිට් ඕතර් ඔයාගෙ අම්මා..”

ආරණ්‍යා ඒ අසා සසැලුණි.නමුත් පෙරදා කියන්නට නොහැකි වූ කතාව මේ වතාවේ කියන්නට ඇයට සිතිණ.

“ඔව් ඉතිං..ඔයාගේ නමත් මේඝනෙ.ඔයා ඉපදුණු අවුරුද්දෙම වගේ අම්මා ඒ පොත කරන්න ඇත්තෙත්..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here