Chat With Smart Lady – නදීශා අලහප්පෙරුම

අද අපි Chat With Smart Lady එකෙන් කතා කරන්නේ පුංචි තිරයේ ඔබට හුරුපුරුදු ඔබ ආදරය කරන චරිතයක් වන නදීශා අලහප්පෙරුම එක්ක.නැත්තම් ජිවීතය ලස්සනයි ටෙලිනාට්‍යයේ ගායනා කිව්වොත් ඔබට වඩාත් මතක ඇති. ඉතින් අපි ඇගේ විස්තර ඇගෙන්ම විමසා බලමු

ජනප්‍රිය නිලියක් විදියට හැමෝම හිත් දිනාගෙන හිටපු ඔබ එක්වරම කාලයක් කලා කටයුතු වලින් ඈත්වෙලා හිටියා නේද?

මගෙ වෘත්තීය ජීවිතයේ හොඳම කාලේ, ඒ කියන්නෙ මගේ ටෙලිනාට්‍යය තුනක් ප්‍රධාන නාලිකා තුනක විකාශය වෙනකොට තමයි මට මගේ පුතා ලැබෙන්න ආවේ. ඉතින් ජීවිතයේ ලැබෙන ලොකු භාග්‍යයක් තමයි මවක් වෙන එක. ඒ නිසා මම හිතුවා හැමදේම නවත්තලා මගෙ දරුවා වෙනුවෙන් කැපවෙනවා කියලා.ඒ කාලේ මම හිතුවා ආයෙ ක්ශේත්‍රයට එන්නෙ නෑ කියලත්.ඊට පස්සෙ මට දුවත් ලැබුනම අවුරුදු පහක් විතර මම වැඩ කරන්නෙ නැතුවම හිටියා.මොකද මම එයාලගේ පුංචි කාලේ එයාලත් එක්ක එයාලගෙ ලඟින්ම හිටියා.එයාලා පුංචි කාලේ කරන දේවල් මම දැක්කා.දැන් මට ආයෙ රඟපාන්න පුලුවන් .හැබැයි මම ඒ කාලේ බබාලව දාලා රඟපාන්න ගියා නම් මට එයාලගෙ පුංචි කාලෙ ආයෙ ගන්න බෑ.හැබැයි දැන් එයාලගෙ පුංචි කාලෙ එයාලා ලඟ ඉඳන් එයාලගෙ හුරතල් ඔක්කොමත් දැක්කා, දැන් මට ආයෙ වැඩ කරන්නත් පුලුවන් . ඉතින් මම හිතනවා ඒ කාලේ මම ගත්තේ මගෙ ජීවිතේ හොඳ තීරණයක් කියලා .

නැවත කාර්‍යබහුල වෙලා ඉන්න ඔබ බිරිඳක් සහ මවක් හැටියට කොහොමද කලා කටයුතු එක්ක ඔබගේ කාලය කළමනාකරණය කරගන්නේ?

ඇත්තටම කිව්වොත් මගේ ගෙදර වැඩ කරන්න මට කවුරුත් නෑ.මට උදව් කරන්නෙ මගෙ අම්මා. මගේ සැමියාත් මාධ්‍ය ක්ශේත්‍රයේ ඉන්න කාර්‍යබහුල කෙනෙක්.ටිකක් අමාරුයි උනත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි.හැම කෙනාම උදේට කන වෙලාව වෙනස් වගේ අපි හැම කෙනෙක්ම ජීවිතේ පුරුදු උන රටාවක් තියනවා.ඉතින් ඒ රටාවත් එක්ක මම හිතුවා මේ හැමදෙයක්ම මම කරනව කියලා .ඇත්තටම මට උදවු කරන්නෙ මගෙ අම්මා.මේ වෙලාවෙ මගෙ බබාලා දෙන්නා බලාගන්නෙත් එයා.ඊට අමතරව ඕනම කාන්තාවක් දක්ශ වෙන්න ඕන කළමනාකරණය කරගන්න.ඉතින් ඒ නිසා කොච්චර කාර්‍යබහුල උනත් බබාලගෙ වැඩයි ,සැමියගෙ වැඩයි ,ගෙදර වැඩයි ඔක්කොම මම කොහොහරි කරගන්නවා කියලා මම හිතනවා.

විවාහයෙන් පස්සෙත් කාන්තාවක්‍ රැකියාවක් කරන එකේ වැදගත්කම ඔබ දකින්නෙ කොහොමද ?

සාම්ප්‍රදායික කාන්තාවක් හැටියට මම විශ්වාස කරනවා අපේ වගේ රටක කාන්තාවකට පිරිමියෙක්ගේ ආදරයක් ආරාක්ශාවක් රැකවරණයක් ඕන කියලා .හැබැයි ඒ අතරම කාන්තාව ස්වාධීන වෙන්නත් ඕන කියලා විශ්වාසෙකුත් මට තියනවා.මොකද මගෙ සැමියා මට කිව්වෙ නෑ විවාහයෙන් පස්සෙ රඟපාන්න එපා කියලා .මම දැනගෙන හිටියා මම කොහොමද ඉස්සරහට යන්න ඕන කියලා .මගෙ සැමියා මම කියන ඕන දෙයක් අරන් දෙනවා තමයි.නමුත් මට ඕන වෙලාවට කැමති දෙයක් ගන්න, මගෙ බබාලට කැමති දෙයක් අරන් දෙන්න මම ස්වාධීනයි.මොකද මගෙ සැමියාගෙන්ම මම යැපෙන්නෙ නෑ.ඉතින් මම හිතන්නෙ කාන්තාවක් රැකියාවක් කරන එක ඇත්තටම හොඳයි.ඇයි අපි අපිට රැකියාවක් කරන්න පුලුවන්කම තියෙද්දි කරන්නෙ නැත්තෙ.මම ඒකේ වැරද්දක් දකින්නෙ නෑ.මම කවදහරි මගෙ දුවටත් කියන්නේ විවාහ උනත් රැකියාවක් කරන්න ,ජිවිතේ විඳින්න කියලා.

ඔබේ දියණියත් මේ වෙද්දි ක්ශේත්‍රයට ඇවිල්ලා ඉන්නවා.ඔබේ පුතා තවම ක්ශේත්‍රයට ඇවිල්ලා නෑ නේද?

පුතා මේ ක්ශේත්‍රයට එන්න කැමතියි.හැබැයි එයාට තාම ලොකුවට එලියට එන්න කැමැත්තක් නෑ.එයා කලාවට ගොඩක් කැමැතියි.හැබැයි දුව තමයි ගොඩක්ම කැමති.

ඒ කියන්නේ ඔබේ දුව ක්ශේත්‍රයට එනවට ඔබේ අකමැත්තක් නැද්ද?

නෑ.පොඩ්ඩක් වත් අකමැත්තක් නෑ.කලාව කියන්නෙ ලෝකයේ තියන ඉතාම ගෞරවණීය වෘත්තියක්.ඒක ලෝකේ පිලිගත්ත වෘත්තියක්.එක්කෙනෙක් දෙන්නෙක් ඇවිත් මේ වෘත්තියට අගෞරව කලාට මේක ලෝකේ හැමකෙනාව පිළිගන්න වෘත්තියක්. ඉතින් මම හරි කැමතියි එයා කලාව පැත්තෙන් ඉස්සරහට ගියත් ,මොන ක්ශේත්‍රයෙන් ඉස්සරහට ගියත්. මං ඇත්තටම කැමතියි එයා රංගන ශිල්පිනියක් වෙනවට ,එයාට ඒ දක්ශකම තියනවා නම්.හැබැයි එයා තීරණය කරයි එයා මොන විදියටද ඉන්න ඕන කියලා.

වර්ථමානයේ තරුණ රංගන ශිල්පීන් බහුතරයක් ගැන විවිධ අනවශ්‍ය ගොසිප් පැතිරුණත් ඔබ එවැනි ගොසිප් මවන චරිතයක් වුනේ නෑ. ඒ ගැන කතා කලොත්..

මුලින්ම කියන්න ඕන මම මොන සාකච්ඡාවකට ගියත් මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා.ඇත්තටම කිව්වොත් ඒක මට හරි ආඩම්බරයක්.ඔයාලට ස්තූතියි මාව ඒ විදියට හැඳින්වුවට. මගෙ වෘත්තීයට මම ගොඩක් ආදරෙයි .මගෙ සැමියා මාව ගොඩක් විශ්වාස කරලයි මේ වෘත්තියෙ නියැලෙන්න මට උදවු කලේ.ඒ වගේම පොඩි කාලෙ ඉඳලම මගේ හීනයක් තමයි රංගන ශිල්පිනියක් වෙන එක.මම මාව කවදහරි ටීවි එකෙන් බලනව කියලා මට හීනයක් තිබ්බා.මම ඒ දේ කලා.ඉතින් ඇයි මම මගේ චරිතය නැති කරගන්නේ.මට හොඳ ආදරයක් හම්බුනා මගේ සැමියාගෙන්. මට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න හොඳ සහකාරයෙක් හම්බුනා.මම කියන්නෑ මට අනවශ්‍ය බලපෑම් ආවේ නෑ කියල.ඒක ඕනම ක්ශේත්‍රයක කෙනෙකුට එන්න පුලුවන්. අපි ඉන්නේ ආකර්ශනීය ක්ශේත්‍රයක නිසා එහෙම බලපෑම් ආවෙ නෑ කිව්වොත් බොරුවක්.ඉතින් ඇත්තටම කාන්තාවක් හැටියට අපි බුද්ධිමත් වෙන්න ඕන අපි මොනාද කරන්නේ,අපි මේ දේ කලොත් ඉස්සරහට කොහොමද අපි ඒකට මුහුණ දෙන්නෙ කියලා. ඒක මට හොඳටම තේරුනේ මගෙ පුතාගෙ පාසලට ගියාම .ඔහු යන්නෙ රජයේ පාසලකට.මම එතනට ගියාම විවිධාකාර අම්මලා එක්ක ගනුදෙනු කරන්න ලැබෙනවා.එතකොට මට හිතුනා මම කිසිම ගොසිප් එකක් හදාගන්නෙ නැතුව හිටපු එක කොච්චර හොඳද කියලා.නැත්තම් මගෙ දරුව කොහොමද පාසලට ගිහින් මුහුණ දෙන්නේ කියන එක මම ඇත්තටම අත්වින්දා.මට අනවශ්‍ය විදියට ජනප්‍රිය වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුනෙ නෑ.මොකද ජනප්‍රියත්වය කියන්නෙ හරිම තාවකාලික දෙයක්.ඒ නිසා මුලු ජීවිත කාලෙම නැති කරගන්නෙ ඇයි කියන එක මම හැමවෙලේම හිතුවා.

ඔබ අවුරුදු ගනනාවක් ක්ශේත්‍රය තුල රැදී ඉන්න අත්දැකීම් සපිරි රංගන ශිල්පියක්, ක්ශේත්‍රයට පිවිසෙන නවක ශිල්පිනියෙක්ට දෙන්න තියන පණිවිඩය මොකක්ද?

මුලින්ම කියන්න ඕන තමන්ගේ වෘත්තියට ආදරය කරන්න. අපි සමහර වෙලාවට හොඳ චරිතයක් හම්බ උනාම අදටත් ගාන අහන්නෙ නෑ.මම හිතනවා ඒක මම කරනවා ඒක මට හොඳ අත්දැකීමක් කියලා.සල්ලිම නෙමෙයි ජීවිතේ කියන්නේ.ගොඩක් අය මේ ක්ශේත්‍රයට එන්නෙ ගොඩක් සල්ලි හම්බ කරන්න පුලුවන් නිසා,ගොඩක් දේවල් තමන්ට කරගන්න පුලුවන් කියලා. ඒ එන්නෙ ක්ශේත්‍රයට තියන ආදරේට නෙමෙයි.වෙන වෙන දේවල් නිසා.මම කියන්නෙ තමන් කරන වෘත්තීයට ආදරය කරන්න.එතකොට අපි හිතන්නෙ නැති දේවල් අපිට ලැබෙනවා.සමහරු වැඩ එකක් දෙකක් කරලා ලොකු ගනන් කියනවා.බොරු ප්‍රතිරූප මවාපානවා.එහෙම නොවී ගොඩක් සරල වෙන්න ,මිනිස්සු එක්ක හොඳට ගනුදෙනු කරන්න. මිනිස්සු අපිට හරි ආදරෙයි.ඒක වෙන්නෙ අපේ වාසනාවට.අපි එයාලට පෙරලා ආදරය නොකලොත් ඒක මේ ක්ශේත්‍රයටත් හොඳ නෑ.ඒ නිසා අවංකව වෘත්තියට ආදරය කරන්න.

කාර්‍යබහුල ඔබ ඔබේ රූපය ලස්සනට තියාගන්න කරන්නෙ මොනවද?

මම මාව කොයි වෙලාවක වත් අමතක කරේ නෑ.මම මට ගොඩක් ආදරෙයි.ඒ නිසා මම හැමවෙලාවෙම කණ්නාඩිය ලඟට ගිහින් බලනවා.මට අනුව මම ලස්සනයි.එහෙම වෙන්න ඕන නේ.ඕනම කෙනෙක් ලස්සනයි.මගේ රූපය ලස්සනට තිබ්බොත් මගෙ දරුවො සතුටින්,විශේෂයෙන්ම මගේ සැමියා.එයා නිතරම කියන්නෙ මට ලස්සනට ඉන්න කියලා.ඇත්තටම වාසනාවක් ඒ වගෙ කෙනෙක් හම්බුන එක.ඉතින් ගෙදර වැඩ එක්ක ඒ දේවල් අමාරු උනත් ක්ලීනප් එකක් කරගන්න වගෙ දේවල් හැමදාම රෑට තමයි මම කරන්නෙ.බබාලා නිදාගත්තට පස්සෙ මම හිතනවා මම වෙනුවෙන් තව පැයක් එකහමාරක් කැප කරනව කියලා.මම ඒක හරි සතුටින් කරනවා.එතකොට මමත් සතුටින් මගෙ ගෙදර අයත් සතුටින්.

අපි දකිනවා සමහර කාන්තාවෝ හරි අසරණයි .වෘත්තිමය ජීවිතය තුල සමහර වෙලාවට තැලීම් පෙලීම් වලට ලක්වෙනවා.රංගන ශිල්පිනියක් හැටියට ගත්තොත් මේ ක්ශේත්‍රය තුලම බොහෝ අය පීඩනයට ලක් වෙනවා විවිධ හේතුන් මත.එතකොට ගෙදරින් ලැබෙන සහය ,විවාහ උනාම ස්වාමිපුරුෂයාගෙන් ලැබෙන සහය ඇත්තටම කාන්තාවකට මොන විදියටද බලපාන්නේ?

මම හිතන්නේ සීයට සියක් තමන්ගෙ සැමියාගෙන් ඒ සහය හම්බවෙන්න ඕන.මොකද ඕනම කාන්තාවක් විවාහ වෙන්නෙ තමන්ගෙ සැමියාගෙ ආදරය ආරාක්ශාව රැකවරණය බලාපොරොත්තුවෙන් .අපි විශ්වාස කරලනෙ පිරිමියෙක් ලඟට ආරාක්ශාව හොයාගෙන යන්නේ.මම හිතන්නෙ අපිට සල්ලි නැතිවුනත් හොඳ ජීවිතයක් ගත කරන්න පුලුවන් හොඳ සැමියෙක් ඉන්නව නම්.මට මගෙ සැමියාව මුණගැහෙන්නෙ ක්ශේත්‍රයට එන කාලෙ වගේ.එයාගෙන් ලැබුන ආරාක්ශාව මට හැමදේකටම වඩා වටිනවා.අපිට එහෙම ලොකුවට දේවල් තිබුනේ නෑ.අපි හෙමින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන වාහන අරගෙන හැමදේම ප්ලෑන් කරලා අපි කවදහරි මේ තැනට යමු කියලා අපි හරි සහයෝගයෙන් හිටියා.ඉතින් එහෙම නොවුනා නම් අද අපි මෙතන නෑ.නැත්තම් සමහරවිට අපි වෙන් වෙලා වෙන්න පුලුවන් හෝ ආර්ථික වශයෙන් ප්‍රශ්න වල වෙන්න පුලුවන්. ඉතින් සැමියාගෙන් ඒ ආදරය ආරාක්ශාව ලැබුන නිසා තමයි අපි මෙතනට ආවේ අද.

දියණියක් ඉන්න මවක් හැටියට ඔබ කොහොමද ඇගේ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන්නේ?

ඇත්තටම ඒක ලොකු වගකීමක්.එයා ඉපදුන දවසෙම ඒක මට දැනුනා.ඉතින් කිසිම වෙලාවක මම එයාව අත ඇරලා නෑ.මගෙ ජිවිත කාලෙම මගෙ හුස්ම තියනකන් මම එයාව මගෙ අතින් අල්ලගෙන ඉන්නෙ.අතින් වගේම හිතිනුත්.එයාට හැමවෙලාවෙම මම යාලුවෙක් වගේ ඉන්නේ.මොකද මගේ තාත්තා නෑ.මගෙ අම්මා ,මගෙ අම්මයි තාත්තයි දෙන්නම වෙන්න ඕන නිසා අම්මා මගෙත් එක්ක යාලුවෙක් වගේ නෙමෙයි හිටියේ.අම්මා පොඩ්ඩක් සැරයි.හැබැයි හරි ආදරෙයි .ඉතින් ඒ නිසා මම හිතුවා මගෙ දුවට මම යාලුවෙක් වගේ ඉන්න ඕනේ කියලා.එතකොට එයා මට හැමදේම කියයි කියලා.මම හිතන්නෙ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දුවව ජීවිත කාලෙම අතින් අල්ලගෙන හිටියොත් ඒ දුව වැරදි පාරක යන්නෙ නෑ කියලා .

අම්මා කෙනෙකුට පුතෙකුට වඩා සාමාන්‍යයෙන් දියණිය ගැන බලාපොරොත්තු තියනවා වැඩියි. ඔබට ඔබේ දියණිය ගැන තියන බලාපොරොත්තු මොනවද?

එයා ගැන ලොකු බලාපොරොත්තු තියනවා.හැබැයි මම කලින් කිව්ව එයා කාගෙන්වත් යැපෙන්නෙ නැති ස්වාධීන කාන්තාවක් කරනවා .එයා හොඳට අධ්‍යාපන කටයුතු කරලා කිසියම් වෘත්තියකින් ඉස්සරහට යයි කියලා බලාපොරොත්තුවක් තියනවා.එයාගෙ ජීවිතේ එයාට නිදහසෙ ආදරේ කරන්න දෙනවා.එයා කැමති දේවල් කරලා එයාව සතුටින් තියන්න මං බලාපොරොත්තු වෙනවා.එයා සතුටින් ඉන්නවා බලන එක තමයි මගෙ ලොකුම හීනේ.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles