Foundation සහ BB cream ගැන හරියට ම දැන ගනිමු

සරල makeup එකක් කරගන්න උවමනා වෙන අත්‍යවශ්‍ය දේවල් අද වෙනකොට ඕනෑම තරුණියක් ලඟ තියෙනවා. නමුත් ඔබ කුමන ආකාරයේ මේකප් එකක් කලත් ඔබ භාවිතා කරන කළමණා පිළිබඳව හොඳ දැනුමක් තියෙන්නට ඕනේ . විශේෂයෙන්ම ඒවායෙන් කෙරෙන කාර්යය සහ ඒවා ඔබේ සමට ගැලපෙනවාද යන්න ඔබ දැනුවත් වී සිටිය යුතුයි. වර්තමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය  BB cream සහ සාමාන්‍යයෙන් ඕනෑම තරුණියක් භාවිතා කරන foundation එකක් අතර වෙනස සහ ඒවායෙන් ඔබට භාවිතා කිරීමට වඩාත් සුදුසු කුමන නිෂ්පාදනය ද කියලා සොයා බලන්න Smartlady අපි හිතුවා. 

මොකද්ද BB cream එකක් කියන්නේ ? 

BB cream කියන කෙටි නාමයෙන් හැඳින්වෙන්නේ beauty balm හෝ blemish balm කියන නිෂ්පාදනයයි. මෙය සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන ෆවුන්ඩේෂන් එකකට වඩා ඉතාම සරල සහ සැහැල්ලු නිෂ්පාදනයක්. ඒ නිසා දිනපතා භාවිතයට, කාර්යාලයට යාමට පෙර හෝ සාමාන්‍ය ගමන් බිමන් වලට BB cream එකක් භාවිතා කළ හැකියි.බොහෝ BB cream භාවිතා කිරීමට පෙර primer එකක් හෝ වෙනත් නිෂ්පාදනයත් සම මත භාවිතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ.  එයට හේතුව වන්නේ මෙමගින් ඔබේ මුහුණට හොඳ දීප්තියක් ලබා දෙනවා වගේම බොහෝ BB cream මගින් හිරු ආවරණයක්ද ලබා දෙමින් සමෙහි තෙතමනය ද ආරක්ෂා කිරීමයි . කෙසේ වුවත් BB cream මිලදී ගත හැකි වන්නේ සීමිත වර්ණ පරාසයක් කිහිපයක් තුළ පමණයි. 

BB cream එකක් මඟින් ලබා දෙන පෙනුම කොහොමද ? 

BB cream එකක් මඟින් ඔබේ සමට ඒකාකාරී වර්ණයක් සහ දීප්තියක් ලබා දෙමින් ස්වාභාවික පෙනුමක් ලබා දෙනවා. නමුත් සම මත ඇති තද ලප කැලැල් , රතු පැහැ ලප වැනි තත්වයන් BB cream එකක් මගින් සම්පූර්ණයෙන්ම මකා දැමීමට හැකි වන්නේ නැහැ. 

Foundation එකක් කියන්නේ මොකද්ද ? 

සාමාන්‍යයෙන් බොහෝ දෙනා foundation භාවිතා කරන අතර foundation එකක් මගින් මුහුණට ඉතාම හොඳ පෙනුමක් ලබා දීමට හැකි වෙනවා. විශේෂ අවස්ථා වලට හැඩ ගැන්වීම් සහ මනාළියන් හැඩගැන්වීම් සඳහා foundation කියන්නේ අත්‍යවශ්‍යම නිෂ්පාදනයක්. Foundation විවිධ වෙළෙඳ නාමයන් යටතේ ඔබේ සමට ගැලපෙන ම ආකාරයෙන්  විශාල වර්ණ පරාසයක් ගණනාවක් ඔස්සේ මිලදී ගත හැකියි. foundation එකක් භාවිතා කිරීමට පෙර අනිවාර්යයෙන්ම ඔබේ සම සූදානම් කරගත යුතු වන අතර එසේ නොමැති වන විට ඔබේ සමට හානි පැමිණවීමේ සම්භාවිතාවයක්  තිබෙනවා.

Foundation එකක් මගින් ලබාදෙන පෙනුම කොහොමද ? 

සාමාන්‍යයෙන් foundation එකකින් ඔබේ මුහුණේ ඇති සියලුම කුරුලෑ කැලැල් , අවපැහැ ගැන්වීම් සහ රතු ලප ආදී සමේ විවිධ තත්වයන් සියල්ලම මකා දැමිය හැකියි. ඔබේ මුහුණට ඒකාකාරී වර්ණයක් ලබා දීමටත් foundation එකකට හැකියාව තියෙනවා.

භාවිතයට වඩාත් සුදුසු BB cream එකද , foundation එකද ? 

මේකප් කිරීම සඳහා මේ නිෂ්පාදනයන් දෙකම බොහෝ දෙනා භාවිතා කරනවා. අවස්ථානුකූලව සහ අවශ්‍යතාවය මත මේවායේ භාවිතය වෙනස් වනවා. ඔබට ලප කැළැල්වලින් තොර නිරෝගී සමක් තිබෙනවා නම් සාමාන්‍ය ගමනකට , කාර්යාලයට හෝ විශේෂ අවස්ථාවකට වුණත් BB cream එකක් භාවිතා කරන්නට පුළුවන්. නමුත් ඔබට ලප කැළල් සහිත සමක් තිබෙනවා නම් සාමාන්‍ය ගමනකට BB cream එකක් භාවිතා කිරීම ප්‍රමාණවත් නොවිය හැකියි. ඒ නිසා මේ නිෂ්පාදනයක් දෙකෙන් වඩාත් හොඳ කුමක්දැයි නම් කිරීම අපහසු කාර්යයක් වන අතර ඉහත සඳහන් කළ ආකාරයට අවස්ථානුකූලව සහ අවශ්‍යතාවය මත මෙම නිශ්පාදන භාවිතා කිරීම වෙනස් වනවා. 

Related Articles

Don't Miss


Latest Articles