Vintage eyes – 20

පිරිමියෙකු ගේ ආදරය, කරුණාව, රැකවරණය අහිමි වී තිබි හුදෙකලා ගැහැනුන් දෙදෙනෙකු ගේ ලෝකයට විහාර වෛශාක්‍ය අමරසිංහ ඒ සියල්ලෙහි ප්‍රතිමූර්තියක් සේ කඩා වැදුණා කියා කියන්නට පුළුවන. එදා තේ එකක් බී යන්නට පොල් ගෝනියකුත් උස්සා ගෙන අපේ ගෙදරට ගොඩ වූ ඔහු ට අම්මා තේ එකක් විතරක් බී යන්නට දුන්නේ නැත්තේ ඇය වසඟ කර ගත හැකි මායාවක් ඔහු වෙත තිබූ හින්දා ය. රෑට කෑම ටිකකුත් ගෙන යන්න යයි අම්මා කී විට ඔහු ඇවිටිලි කරන්නට හෝ පෙරැත්ත කරන්නට ඉඩක් නො තියා එකඟ වූයේ ය. අප උයන්නට ගත් විට විහාර ආලින්දයේ තනිව සිටි නිසා,

“අර ළමයට කුස්සියට ඇවිත් ඉඳගෙන ඉන්න කියල පුටුවක් තියන්නකො බබා. කම්මැළි ඇතිනෙ තනියම ඉන්නකොට”

කියා කීවේ ද අම්මා ම ය. කිසිදු සබකෝලයකින් තොරව, මේ ගෙදරට කාලයක් තිස්සේ හුරු පුරුදු ව සිටියා සේ ඔහු ඇවිත් කුස්සියෙන් හිඳ ගත්තේ ය. ඉන් පසු කෑම උයා නිම වන තුරු ම ඔහු අප සමගින් කතා කරමින් සිටියේ ය. අප කියා කීවාට වැඩිපුර කතා කළේ ඔහු හා අම්මා ය. කතා නොකළා ට මම ඒ ඇස් බැල්ම වලින් හිත පුරවා ගනිමින් සිටියෙමි. ආදරයේ අංශු කෝටි ගණනකින් හදවත පුරවා ගනිමින් සිටියෙමි. ඔහු ගේ ජීවිතයේ හිස් වූ තැන්  අම්මා සංවේදී ලෙස පිරිමැද්දා ය. අපේ ජීවිත වල හිස් වූ තැන්, ඔහු මහා කරුණාවකින් පිරිමැද්දේ ය. ඔහු ට සිය ලෝකය තුළ ස්ත්‍රී ආත්මයක අඩුවත්, අපට අපේ ලෝකය තුළ පිරිමි ආත්මයක අඩුවත් දරුණු ලෙස දැනෙමින් තිබී ඇති බව මම ඉතා සියුම් ව පසක් කොට ගතිමි. අපේ හදවත් වල තුවාල අපට ඒ තරම් සංයමයකින් පිරිමැදිය හැකි වූයේ එබැවිනි. 

“ඒ ළමයගෙ හිනාව ඇති බඩ පිරෙන්න”

යයි අම්මා මා හා කීවා ය.

“ඕගොල්ලංගෙ ගේ ඇතුලෙ මොන විදිහෙ දෙයක්ද ඒ තියෙන්නෙ…ඒක ජීවත් වෙන්න ආසාව වැඩි කරන සතුටු ගුලාවක්”

පසු දාක විහාර මට කීවේ ය. කාලාන්තරයක් තිස්සේ අප අපව සොයමින් සිට ඇතිවා වන්නට ඇත. අප සොයනා දේවල් මඳක් කල් ගත වී හෝ විශ්වය අප වෙත සමීප කරවන්නේ ය. අපෙන් අප පිරෙමින් සිටියා සේ මට දැනිණ. එදායින් පස්සේත් හිතෙන ඕනෑ ම වෙලාවක ඔහු අපේ ගෙදර ආවේ ය. ඔහු එන දවසක අම්මා ඉතා උනන්දුවෙන් කෑම පිළියෙල කළා ය. අප දෙදෙනා වෙනුවෙන් බතක් මාළුවක් උයන්නට කිසිදු උද්‍යෝගයක් නො දැක්වූ ඇය ඔහු එන දාට ප්‍රීතියෙන් කෑම පිසුවේ මහ පිරිසකට උයන්නා සේ ය.

විවාහය නිමිති කොට ගෙන නූරි කාර්ය බහුල වෙත්දී ඇය මගෙන් ඈතකට යනවා වැනි කාංසියක් මට නො දැනුණා නොවේ. ඒ කාංසිය මගහරවා ගන්නට මට තිබූ හුදෙකලා නාශකය වූ කලී විහාර ය. යමෙකුට ටික ටික හෝ ඇබ්බැහි වෙත්දී ඒ බව දැන හැඳින ගන්නට පුළුවන. කෙටි කාලයක් තුළ මම විහාර ට ඇබ්බැහි වෙමින් සිටියෙමි.

මගේ උපන් දිනය දවසේ අපට විශ් යූ විවර කළ නො හැකි වූයේ නූරි හා ඇගේ විවාහ අපේක්ෂකයා ඔවුන් ගේ රන් අබරණ මිල දී ගන්නට යාම වෙනුවෙන් ඒ දවස වෙන් කර ගෙන සිටි නිසා ය.

“ඔයත් යමු ඉතිං”

කියා නූරි කීවාට මම එය හිතා මතා ම ප්‍රතික්ෂේප කළෙමි.

“යන හැම තැනකම නැට්ට වගේ මං ගිය කාලෙ ඉවරයි දැන්. ඒක එහෙම වෙන්න ඕනෙ. ඔයා මිගාර අයියට ක්ලෝස් වෙන්න ඕනෙ. මේ වගේ දවස් ඒකට උදව්වක් කර ගන්න බලන්න. ඕක ඔයා හිත හදාගෙන ගත්ත තීරණයක්නෙ. හැබැයි පස්සෙ ඒ තීරණේ ගැන පසුතැවෙන්න හේතු තියාගන්න එපා. හිස් තැන් තියා ගන්නැතුව ඒ ලයිෆ් එක ඇක්සෙප්ට් කරන්න ඔයාට කරන්න පුළුවන් හැම දේම කරන්න”

වෙනදාට මගේ උපන් දිනය සේ ම ඇගේ උපන් දිනය ද අප සමරන්නේ එකට ය. ජීවිතය හැම දා ම එක ම රිද්මයකින් නො ගලන්නට පුළුවන. අප ඒ තත්වයන් පිළි ගත යුතු ය. එදා උදේ ම නූරි මට කතා කොට සුබ පැතුවා ය. 

“අනේ ශික්කො අපි හෙට සෙලිබ්‍රේට කරමු. නැත්තං රෑට…හරිද…”

ඒ ස්වරයේ වූ පසු තැවීම මා නො හැඳිනුවා නොවේ.

“හරි හරී. ඒක ගැන හිතන්නෙපා. ඔයාගෙ වැඩ ටික කරගෙන එන්න. මං හවස කෝල් එකක් දෙන්නං”

එහෙම කියා නූරි ගේ හිත හැදුවාට අමුතු දුකක් මගේ හිතේ විය. කිරිබත් කා අම්මා එම්බ්‍රොයිඩර් රටා මහන හැටි ටික වෙලාවක් නිකට මහන මැෂිම මත තබා ගෙන බලා සිටි මම ඇඳට වැටුණෙමි. යළි මා අවදි වූයේ හැන්දෑවේ දෙකත් පහු වී අම්මා කෑම කන්නට කතා කළ විට ය.

“එච්චර වෙලා මං නිදා ගත්තද…කිරිබත් කාපු නිසා වෙන්න ඇති”

මම ලහි ලහියේ දිය නා ගෙන විත් බත් කෑවෙමි. හැන්දෑවේ ස්කූටියෙන් අම්මා එක්ක ගමේ පන්සලට ගියෙමි. මා පන්සල් යන්නේ විශේෂ ආගමික ශ්‍රද්ධාවකින් ම නොවේ. එය වනාහි හිත සැහැල්ලු කර ගැනීම වෙනුවෙන් යන ගමනකි. එක ගාථාවක් හෝ නො කීවාට බෝ සෙවනෙහි වැලි මළුවේ හිඳ ගෙන සිටියදී මගේ හිත වලාකුළක් තරම් සැහැල්ලුවකට පත් වෙයි. භාවනාවකින් කරන්නේත් හිත ඒ වාගේ සන්සුන් බවකට පත් කිරීම ය. 

කුමක් හෝ නො පිරුණු ඉඩක් හිතේ තියෙනවා මට නො දැනුණා නොවේ. ඒ නූරි වෙනදා සේ සිනා සයුරක් මවමින් මගේ උපන් දිනය සමරන්නට නො සිටීම ද විශ් යූ වැසීමේ පාළුව ද විහාර දුරකතන ඇමතුමක් හෝ නොදුන් සංකාව ද කියා වෙන් කොට හැඳින ගන්නට පවා මම උත්සුක නොවුණෙමි. මගේ උපන් දිනය ගැන විහාර දන්නේ නැත. මුහුණු පොතට පවා මා උපන් දවස එක් කොට නැති නිසා ඔහු එය දැන ගන්නට විදිහක් ම නැත. හිතේ මොකක්දෝ මුරණ්ඩු කොනක් ඔහු ට ඇමතුමක් දෙන එක පවා ප්‍රතික්ශේප කළේ ය. හවසට හමු වෙමු කීවාට නූරි ද කතා කළේ නැත. පන්සල් ගිහින් ඇවිත් මා ඇයට ඇමතුමක් ගත්ත ද ඇවිදලා මහන්සි නිසා ටිකක් නිදා ගත්තා යි ඇය කීවා ය. 

එය මහා පිරිසක් අතරේ හුදෙකලා වීමක් බඳු තත්වයකි. කවුරුන් හිටියත් අපට තනි කමක් දැනෙනා වෙලාවල් තිබේ. නො සන්සුන්කම තීව්‍ර ව නැගෙත්දී මම එය තුනී කර ගන්නට නොයෙකුත් උත්සාහයන් ගතිමි. මල් පැළ අතරේ වෙනදා දැනෙන ප්‍රබෝධය වූයේ නැත. පොත් දෙක තුනක් ම කියවන්නට ගත්ත ද කියවිය හැකි වූයේ පිටු කිහිපය බැගින් පමණකි. මට දැන් පොත් කියවීමත් කිසිදු ආශ්වාදයක් ගෙන  නො දෙන දෙයක් වී ද? මම බියෙන් බිරාන්ත ව මගේ ම අතක් කොනිත්තා බැලුවෙමි. ඇත්තට ම මට රිදුණේ නැති තරම ය!

බොහෝ සංවේදනාවන්ට නිරාවරණය වීමෙන් පසු හිතක් වුවත් එහි සංවේදී බවෙහි ක්ෂය වීමක් අත් විඳින්නට පුළුවන. මටත් සිදු වී තිබෙන්නේ එය දැයි මම යහනේ පෙරළෙමින් සිතුවෙමි. 

“බබා”

අම්මා ගේ මෘදු ළතෙත් හඬ කාමරයේ ද්වාරය දෙසින් නැගුණේ මා එසේ හුදෙකලා  විඳවුම් කලාපයක තනි වී වේදනා විඳිමින් සිටියදී ය. ඒ වෙලාවේ අම්මා නො එන්නට මා උමතු වන්නට තිබුණ තරමි. 

“විහාර පුතා ඇවිත්”

දීර්ඝ වූ කටුක ගිම්හානයකින් පස්සේ අහසේ පැතිර යන රිදී පැහැති අකුණු රේඛාවක් සේ ඒ වචන මට අස්වැසිල්ල ගෙනාවේ ය. මා ආලින්දයට ආවේ අඩියට දෙකට, පුදුම ප්‍රබෝධයකිනි.

“අර…වත්තට වෙලා කළුවර වෙලාවක ඉන්න ආසයි කිව්වනෙ. මං ආවෙ යමුද අහන්න…යමුද…”

රිදී ඉරකින් සලකුණු වූ අකුණු පුපුරා අක් වැහි ඇද හැලෙන්නට ගත්තා මෙනි. එදා දවසේ ම මලානික වී ගොස් තිබි හිත ඒ වැස්සෙන් පණ ලබන්නට ඇත. 

“අම්මත් එනවද…”

මම බලාපොරොත්තු සහගතව අම්මා විමසීමි. ඇගේ ඇස් වල සන්තුෂ්ටියක මන්දහාසය තුනීවට ඇඳී තිබිණ.

“හ්ම්”

මා හිටියේ ඉකි බිඳ හැඬෙන්නට ඔන්න මෙන්න තත්වයක වාගේ ය. සිනහවත් කඳුළත් එක ම කාසියක දෙපැත්ත මෙනි. කොයි මොහොතේ කොයි පැත්ත පෙරළේ දැයි සිතා ගත නො හැකි ය. විහාර ගේ ඔස්ටින් රියෙහි නැගී පෙත් මග පසු කොට පොල් වත්ත තෙක් ගිය ඒ ගමන සංසාරය තව තවත් දිගින් වැඩි කළ ගමන වන්නට ඇත. මම වදනකුදු නොබිනුවෙමි. දොඩමළු වී තිබුණේ හදවත ය. වත්තේ මඳක් ඇතුළට කොට විහාර රිය නවතන විට එය අන්ධකාර ලෝකයක් සේ පෙනිණ. කණාමැදිරි තිත් කෝටි ගණනක් පෙනෙන්නට ගත්තේ ඉනික්බිති ය. රැහැයි නාදය සංගීතයක් සේ සවන් පුරවමින් අප පිළිගත්තේ ය. මම හෙමිහිට රියෙන් බැස ගතිමි.

ඒ සීතල සම මත කටු තුඩු සේ ඇනිණ. මා දෑත් බැඳ ගත්තේ රතදර මත ඇඳී ගිය සිනහවක් එක්ක ය. කණාමැදිරි එළි ගණඳුර නිවන්නේ නැති නිසාවෙන් කිසිවෙකු ඒ සිනහව නො දකින්නට ඇත. ඒ සිනහවේ නිමිත්ත මේ වාගේ ම එක රාත්‍රියක පෙත් මගෙහි වනස්පති බිංගෙය තුළ දී ජීවිතයට එක් වූ මතකයකි.

මගේ මනස් සන්තාප සියල්ල කොහේ දූරිංබූත වූයේ ද කියා මට ම සොයා ගත නො හැකි විය. ඒ තරම් ලස්සන මොහොතක් දවසේ වෙන කිසිදු තැනකින් සොයා ගත නො හැකි බව මගේ ඇස් වහ වහා නිරීක්ෂණය කරන්නට විය. රාත්‍රිය! එය ඒ තරම් මනරම් ය.

පොල් රුප්පාව නිසා අහස මුළුමනින් පෙනෙන්නේ නැත. නමුත් තරු සිදුරු තැන් තැන් වලින් කොකම් පෑවේ ය. සඳ කිනිත්තක් අහසේ කොනක එල්ලී ගෙන තිබිණ. වායු ගෝලයත් පොළොවත් ගණඳුර හා කදෝකිමි තිත් නිසා අහසෙන් වෙන් වෙන්නේ නැත. මුළු රාත්‍රිය ම එක ම තරු පිරි අහසකි. මා ඒ වශීය තුළ අතරමං වී සිටියදී “ශික්ෂා” කියන මෘදු පිරිමි හඬ සවන් ළඟ මිමිනිණ. මම ඉතා හෙමිහිට හිස හරවා බැලීමි. විහාර ගේ මන්දාකිණී දෑස් මට ඉඟියක් දුන්නේ ය. ඒ අනුව මම ඔහු හා ගියෙමි. ඔහු නතර වූයේ රිය පිටුපස ය. පිටුපස දොර හෙමිහිට විවර විය. මුලින් ඇසුණේ ‘හැපි බර්ත් ඩේ ටූ යූ’ සංගීත ඛණ්ඩයයි. නිවෙන දැල්වෙන විදුලි පහන් එකළු වී රක්ත වර්ණ බැලුන් බෝල අසීමිත සංඛ්‍යාවක් දිස් වන්නට විය. ඒ බැලුන් බෝල අතරින් කුඩා කේක් එකක් අතින් ගෙන ගුලි වී ඉඳ ගෙන සිටි නූරි ව මා දුටුවේ අන්තිමට ය. 

“අනේහ්”

මට එහෙම කියැවී තිබිණ. 

“හැපි බර්ත් ඩේ මා ගර්ල්”

මා අතට කේක් එක පත් කරමින් නූරි රියෙන් බැස මා සිප ගත්තා ය.

“මං තරහම තරහයි. හවස නිදිමතයි කියල ඔයා මාව හරියට තනි කරලයි තිබුණෙ”

නූරි හඬ නගා සිනහ වූවා ය. අම්මා නෙත කඳුළක් පිස ගනු මට පෙනිණ. කේක් කපා මම මුල් ම කැබැල්ල අම්මාට ද දෙවැන්න නූරිට ද කවා විහාර වෙත ගියෙමි. පොල් වත්තේ අඳුරු අහසේ රටා මවමින් මල් වෙඩි පුපුරා ගියේ ඒ වෙලාවේ ය. තවත් නො හඬා සිටින්නට මට බැරි විය. කේක් කැබැල්ලක් මුව තුළට ගැනීමෙන් පසු විහාර මගේ නළල් තලය මත හාදුවක් තැබුවේ ය. ඒ තරම් සදෙව් සුව දුන් හැඟීමක්!

“අනේ ඉතිං ඕගොල්ලන්ට මෙහෙම නොකර ඉන්නයි තිබුණෙ”

මම මාව පාලනය කර ගන්නට නො වෙහෙසී කඳුළු වලට ඕනෑ දෙයක් කර ගන්නට ඉඩ හැරියෙමි. නූරි මා වැළඳ ගත්තා ය.

“චුට්ට චුට්ට නැතුව එකපාර මේ ස’ප්‍රයිස් එක දෙන්නනෙ අපිට ඕන වුණේ…නේ විහාර…”

ඒ දෑස් මන්දාකිණී වල ඈත ම ගැඹුරක පෑයූ තරුවක මා ඉන්නවා වාගේ සීතල හැඟීමක් මා වෙව්ළුවා ලූයේ ය. 

රිය තුළ විශේෂිත රාත්‍රී භෝජනයක් විය. එළිමහනේ අඩ අඳුරේ රිය පිටුපස පෙළට හිඳ ගෙන කෑම කත්දී දැනුණේ අප කොහේ හෝ දුර ඈත ගමනක් ගොස් ඇතිවා මෙනි. ජීවිතය කියන්නේ ජීවත් වෙන්නට ආශා හිතෙන මොහොතවල් කෝටි ගණනක් විය යුතු යයි විහාර කීවේ ය. ඔහු මේ එකතු කරමින් සිටිනුයේ මගේ දිවියට එහෙව් සතුටු මොහොතවල් ද?

 කෑම ගැනීමෙන් පස්සේ සාක්කුවෙන් කුඩා අබරණ පෙට්ටියක් ගෙන දිග හළ විහාර, ඉන් පිටතට ගත් සිහින් රන් පා සළඹක් මගේ පයෙහි පැළඳුවේ ය. ඇන්ක්ලට් එකකට මා ආශාවෙන් සිටි බව නූරි දනී. මේ ඇගේ අනුදැනුම මත සිදු වූ දෙයකැයි සිතා ගත හැකි වී ද ඒ වෙලාවේ මා සිටියේ ඒ ගැන ඇයට දොස් කිව හැකි තත්වයක නොවේ. හදවතක් තුළ හැඟීම් සරැලි නගත්දී මුව ගොළු වෙන එක විශ්මිත ය. ඒ තරම් දැඩි හැඟීම් ප්‍රවාහයකට ඉන් පෙර හෝ පසු මා හසු වූවායි මම නො සිතමි. ඒ වෙලාවේ මා කළේ ඒ ප්‍රවාහයෙන් මිදෙන්නට උත්සාහ නොකොට තව තවත් ඊට මැදි වෙන එක ය. මැදි වී මට මා අහිමි කර ගන්නා එක ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles