නූරි නැති ‘විශ්’ යූ කෙබඳු ද කියා උපමා කොට දක්වන්නට නො දැන මගේ මුවගට සිනහවක් ආවේ ය!
මා එහි ගියේ විහාර විදෙස් ගත වූවාට පසු දා ය. නූරි ගේ විවාහ උත්සවයේ දෙවන ගමන යෙදී තිබුණේ එදින රාත්‍රියට ය. එසේ තිබියදීත් මා විශ් යූ වෙත ගියේ ගෙදර ම හිටියා නම් මා උන්මන්තක වේවියි ඇති වූ හැඟීම නිසා ය.
පෙත් මග වනස්පති බිං ගෙය තුළ දී ස්කූටිය නතර වූයේ මා හිතා මතා එසේ කළ නිසා නොවේ. සැබවින් මගේ අත පය අක්‍රිය වන්නට ඇත. මම හයියෙන් හුස්ම ගනිමින් සිටියෙමි. පෙත් මග ද ඇතුළු ව මුළු යාය ම අඳුරෙන් වැහී හැම තැනක ම කණාමැදිරි තිත් දිස් වන්නට විය. මේ දැනුත් මගේ සවන් මත රැහැයි නාද අතොරක් නැතිව පතිත වන්නට විය. ඉහළ අහසේ මල් වෙඩි දැවී විචිත්‍ර රටා මැව්වේ ය. මම පහත් වී දකුණු කකුල පිරිමැද බැලීමි. විහාර වෛශාක්‍ය එහි පැළඳු ඇන්ක්ලට් එක නිදුකින් සිටියේ ය.
විශ් යූ වෙත ආවාට මල් පැළ ඕඩරයක් මිස මේ දින වලට නම් කේක් ඕඩර ලබා ගත නො හැකි ය. නූරි ට කවදා විශ් යූ වෙත පැමිණිය හැකි දැයි කිව නො හැකි බැවිනි.
මට මහා මූසල හැඟීමක් දැනිණ. වෙනදා පුරුද්දට වන මලක් කඩා ගෙන ආවේ නෑ නේද කියා දැනුණේත් පමා වී ය. හිතේ බරපතල පාළුවක් විය. කොස්ස අතේ තියා ගෙන ම පත්තර කොලාජ් බිත්තිය ළඟ නතර වී, දිනෙක කඩදාසි අත් පිස්නාවක විහාර විසින් ලියන ලද, පසුව මා කොලාජ් බිත්තිය මත අලවන ලද කවිය දෙස බලා ඉන්නට වීමි. නො කියවූවාට දැන් මට එය කට පාඩම් ය.
‘තාලයක් නැති වුණත් හද බිත්ති කැටපතේ…ඉඳ හිටක ලියවෙනව කෙටි කවී…සුසුවඳක් දරා ගෙන ඉස්සරක පර වෙච්ච…මං තාම හොයනවා මල් පෙතී…’
වචන වලට නගන්නට බැරි හැඟුමන් මහ රලක් සුනාමියක් සේ මා ඉදිරියට හමා ආවේ ය. එයට මුහුණ දී ගත නොහී මම පුටුවක් මතට වැටුණෙමි.
‘She’s an old soul, with young eyes…a vintage heart, and a beautiful mind..’
කොලාජ් බිත්තිය මත වූ මගේ ම අත් අකුරු මට සිනහ වූයේ ය. මගේ ඇස් කඳුළෙන් තෙත් වී ගෙන ආවේ ය. මම ඉක්මන් කොට ඒ කඳුළ මිරිකා හලෙමි. සැබවින් ම මා සිනහ වෙන්න ද නැතිනම් හඬන්න ද?
අතුගෑවාට මල් බඳුනක් හෝ පිටතින් තබන්නට මට සිතක් වූයේ නැත. මිලාන වූ මලක් වගේ හිත හේ බා ගොස් තිබිණ. නූරි නැතැයි සිතෙත්දීට වඩා දරා ගත නො හැකි වූයේ අහංකාර බැල්මකින් අත් දෙක කලිසම් සාක්කු වල ඔබා ගෙන ආයේ විහාර එන්නේ නැති වෙතැයි සිතීම ය. නූරි නම් විවාහයේ උණුහුම තුනී වී ගිය ඉක්බිති නැවත පැමිණෙනු ඇත. මිගාර ඇයට ඇගේ ව්‍යාපාරය කර ගෙන යාමට විරෝධය පෑවේ නැත. විහාර වුණත් ඉක්මනින් ඒවියි සිතන්නට මම උත්සාහ කළෙමි. අමේලි සුව වූවාට පස්සේ ඇගෙන් නීත්‍යානුකූලව වෙන් වී ඔහු යළි පැමිණෙනු ඇත.
මට ඕනෑ වූයේ ඔහු නොයා සිටින එක වලක්වන්නට ය. එය කළ හැකි විය. ඒ මගේ ජයග්‍රහණයකි.ඒ ගැන දුක් වෙන්නේ ඇයි? ඔහු ගියේ ඇය ගේ අසනීපය නිසාවෙනි. ඔවුන් කොහොමටත් වෙන් වී සිටි අයයි. ඇයට මේ හදිසියේ ඔහු ව රඳවා ගන්නට උවමනා වන්නේ නැත. ඔහු යළිත් ඉක්මනින් පැමිණෙනු ඇත.
මම උනන්දුවෙන් මල් පෝච්චි ටික මිදුලේ ලෑලි තට්ටු මතින් තැබුවෙමි. තනිකම කියන්නේ මාරාන්තික පහරකි. පුද්ගලයන් ට ඇබ්බැහි වූ විට එය ඒ තරම් දරුණු ලෙස අප කරා එන්නේ ය. නූරි ට සේ ම විහාර ට ද මම ඇබ්බැහි වී හිඳිමි. ඒ බන්ධන ලිහිල් කළ යුතු යයි මම සිතුවෙමි.
ජංගම දුරකතනය හැඬවුණේ මා සසල කර ගෙන ය. මට එක්වර ම සිහි වූයේ විහාර ය. ඔහු ගොඩ බැස ඇතිවා වත්ද? ඔහු මේ ඒ බව දැනුම් දෙන්නට මා අමතනවා ද? නමුත් ඒ ඇමතුම නූරි ගෙනි.
“මං කෝල් කළේ නෑ ඉතිං…අපි ඩිස්ටර්බ් කරන්නෙ මොකටද…”
මම පුටුවෙහි හිඳ කුඩා මේසයෙහි මුහුණ තියා ගතිමි. මේ මිදුලේ තබන, විහාර නිතර හිඳ ගන්නා මේසය ය. මට එතැන ඔහු ගේ සුවඳ දැනෙන්නට විය. ලෙමන් සුවඳ!
“අම්ම කිව්ව ඔයා විශ් යූ ඇරිය කියල. මං හිතුවෙ නෑ අද අරී කියල”
“ගෙදර ඉන්න බෑ නූරි…මට පිස්සු හැදෙයි…මට හරියට විහාර මතක් වෙනව නූරි…”
“ඉතිං තෝ මොන එකටද අර කොල්ල එක්ක මුකුළු පාන්න ගියේ..එහෙම නොවුණනං විහාර මේ ගමන නොයන්න තිබුණ”
“ඒත් එයා යන්න ඕනනෙ…”
“එයා එයි ශිකී…ඉක්මනට එයි…”
“මන්දා..මට මහ අමුත්තක් දැනෙනව”
“අනං මනං හිතන්නැතුව ඉන්නව”
“නෑ. මං මුකුත් හිතන්නෑ. මට වෙනද වගේ ඉන්නයි ඕනෙ. ඒත් ඔයත් නෑනෙ. කොතන හිටියත් මට මහ අවුල්”
“විහාර කතා කරයි ෆ්ලයිට් එක ලෑන්ඩ් කළාම. මොනා වුණත් ගෙදරට ඇවිත් යනව කියලත්නෙ ගියේ”
හැම දේ ම අමතක කොට මම ඔහු කතා කරනකල් බලා සිටියෙමි. මොනවා කළත් ජංගම දුරකතනය මගේ අතින් බිම තැබුණේ නැත. විශ් යූ වසා නූරි ගේ දෙවන ගමන ට යන්නට සූදානම් වෙන වෙලාවත් ආවේ ය. නමුත් විහාර කතා කළේ නැත! මම විශ් යූ වසා ගෙදර ගොස් අම්මා එක්ක සැලෝන් එකට ගියෙමි. අම්මා ඔසරියට ලස්සන ය. නමුත් ඒ ලස්සන වුව නිවී සැනසිල්ලේ දකින්නට බැරි තරමට මගේ හිත කලබල වී තිබිණ. විහාරගෙන් තවමත් ඇමතුමක් නැත!
“මට මේක් අප් ඕන නෑ”
මම සැලෝන් එකේදි හදිසි තීරණයක් ගත්තෙමි. මා තෝරා ගෙන තිබුණේ කළු පාට සරල දිග ගවොමකි. මට මා ලෙස පවතින්නට ඕනෑ විය. එය තද පාළුවකි. දරා ගත නො හැකි වූ යමකි. වචන වලින් විස්තර කළ නො හැකි ගුප්ත බවකි. මහා අඩුවක් හිතට දැනෙමින් තිබිණ. ඒ හිස් බව වෙන කිසිවකින් සපුරාලිය නො හැකි ය. නමුත් බලාපොරොත්තුවක් තියා ගන්නට මම උත්සාහ කළෙමි.
නූරි ව වැළඳ ගෙන සිටි මුත් මා හැඬුවේ නැත. අහසක් වගේ හිත බර වී තිබිණ. මම තත්පරයක් ගානේ දුරකතනය දෙස බැලුවෙමි. විහාර ගෙන් පණිවිඩයක් හෝ වේ දැයි විමසුවෙමි. හදිසියේ සිහිපත් වී ඔහු ගේ ෆේස් බුක් ගිනුමට පිවිස බැලුවෙමි. දින සති ගණනකින් එහි අලුත් යමක් උඩු ගත කොට තිබුණේ නැත. වට්සැප් අංකයට ඇමතුමක් ගන්නට හිතේ නො ඉවසිලිමත් බවක් නො වූවා නොවේ. නමුත් මම එහෙම කරන්නට නො ගියෙමි. එහෙම කරන්නට මට අයිතියක් හෝ යුතුකමක් නොමැති බව ද මම දැන සිටියෙමි. කොයි වෙලාවේ හෝ ඔහු කතා කරන තුරු බලා සිටිත යුතු ය!
කෙත්මින් සිනහවක් එක්ක විත් මා අස පුටුවක් ඇද හිඳ ගත්තේ ය. ඔහු එදාටත් වඩා ළෙංගතු බවක් පෑව ද මා සිනහ වූයේ මූණිච්චාවට ය. කතා කළේ වෙනත් කල්පනා ලෝකයක සිට ය.
“මොකද ළමයො ඔයාට හිටපු ගමං වුණේ..”
කියා අම්මා ට නෑසෙන සේ ඔහු අසා ගත්තේ ය. මම මෝඩ සිනහවක් පෑවෙමි.
“මේකප් බින්දුවක්වත් නැති වුණත් ඇත්තට ම ඔයා ලස්සනයි. පොළොවෙ පය ගහල ජීවත් වෙන ඇත්ත ගෑනු ළමයෙක් වගේ ලස්සනයි”
“මේකප් කළේ නැත්තෙ මට උණ වගේ නිසා. ඔයත් ටිකක් එහාට වෙලා ඉන්න. වෛරල් ෆ්ලූ එකක්නෙ…බෝ වෙන්න පුළුවන්”
මා එහෙම කීවේ බොරුවට ය. ඔහු ව මගෙන් ඈත් කොට තබන්නට ය.
“අනේ උණනං මොකද්ද” කියා කටට ආවාට කීවාට, තත්පර පහළොවක් ගත වීමට පෙර ඔහු එතැනින් නැගිට ආඳෙකු සේ ලිස්සා ගියේ ය. මම හිත යටින් සිනහ වීමි.
එදා නූරි ගේ දෙවැනි ගමනට සහභාගී වීමෙන් පසු ගෙදර ආවේ එහි ගිය මා නොවේ. ඊට වඩා හිතින් ශක්තිමත් වූ ශික්ෂා කෙනෙකි.
එයින් දින තුනකට පස්සේ නූරි විශ් යූ වෙත ආවා ය. ඇය නැත ද මම එය විවෘත කළෙමි. පුරුදු විදිහට කැලෑ මලක් හා කොළ ඉත්තක් කඩා ගෙන ගිහින් අපේ කැටයම් මේසය මතට සැරසිල්ලක් තැනුවෙමි. මල් පැළ වලට වතුර දැම්මෙමි. පැළ නැවත බඳුන් ගත කළෙමි. ඒ මොනවා කළත් දුරකතනය ඇහෙන මානයක තියා ගෙන සිටියෙමි. නමුත් විහාර එදා ගියා ගියා ම ය. ඔහු ගෙන් එක කෙටි පණිවිඩයක් හෝ ආවේ නැත!
“ඒක වෙන්න බැරි වැඩක්නෙ. විහාර එහෙම කරන කොල්ලෙක් නෙවේ”
නූරි විශ්වාසයෙන් කීවා ය.
“වට්සැප් කෝල් එකක් අරං බලමු”
අත නො තියන්නට මා පරිස්සම් වූ තැන ඇය තරණය කොට ගියා ය. නමුත් ඔහු ව සම්බන්ධ කර ගත නො හැකි විය.
මට පේන්නෙ විහාර ඔන්ලයින් එන්නෑ. මොකක් හරි ලොකු දෙයක් වෙනව වගේ”
“හරි. අපි ඒක අමතක කරමුකො. ඔයාගෙ අලුත් ලයිෆ් එක කොහොමද කියන්නකො”
නූරි ඇහි බැම එසවූවා ය. මම කම්මුලක අතක් ගසා ගෙන ඉස්සර පුරුදු මඳහසින් ඇදෙස බලා ගෙන සිටියෙමි.
“ඇත්තටම ඒක අමුතු ලෝකයක්. ගෑනු ළමයි කසාද බැඳල නැන්දම්මලගෙ ගෙදරට යන්න ඕන කියල කියපු එකාව හම්බුණොත් බෝංචි කඩනව වගේ මං ඌව කඩනව”
“ඇයි…”
නැවතත් අපට පුරුදු සිනහව විශ් යූ වෙත පැමිණ තිබිණ. වෙන මොනවා නැතත් ඒ සැනසීම හෝ ඇත්නම් වෙනදා විදිහට ජීවත් වන්නට හැකිවා නොවේ ද?
“මිගාර වැඩ කරන්නෙ එයාගෙ අම්ම කියන විදිහට…ඔන්න දවසක්..කලින් දවසෙම මං කියල තිබුණෙ අපේ ගෙදර යං කියල. ඔයත් අවුලෙන් නිසා මෙහෙට වෙලා ටිකක් ඉන්න මට ඕන වුණේ. පහුවදා අම්ම කිව්ව කියල එයාලගෙ නෑ ගෙදරක ගියා මට ඕන දේ කෑන්සල් කරල. හැම එකම එහෙමයි. දැනට මට තේරුණ දේ…ඔය අම්ම එක්ක එක ගෙදරක හිටියොත්නං විනාසයි”
“මිගාර එක්ක කතා කරල වෙන ගෙයක් ගන්න බලන්න…දැනට රෙන්ට් එකට හරි”
“අයිය බැඳලත් ඒ ගෙදරමනෙ ඉන්නෙ…ඒ අක්ක කියනව මං උදේට නැගිටින්න පරක්කු වෙනෝ කියල නැන්දම්ම පුපුරනවලු. අනේ මට මොකෝ..මං නැගිටින්නෙ මට නැගිටෙන වෙලාවට”
මගෙන් ලොකු සුසුමක් ගිළිහී ගියේ ය. ජීවිතය කිසි ම තැනක දී පහසු වන්නේ නැත. ඉරණම අප වෙත කිසිවක් ලෙහෙසියෙන් ළඟා කොට දෙන්නේ නැත. ඒ වෙනුවෙන් අපමණ කැපකිරීම් කරන්නටත් පරිශ්‍රමයන් දරන්නටත් සිදු වේ. එහි දී ඇතැම් විට අපට ජය ගත හැකි වේ. ඇතැම් විට පරාජය භාර ගන්නට සිදු වේ.
හෝමාගම යන්නට හේතුවක් හදා ගෙන මම විහාර ගේ වින්ටේජ් මැදුර වෙත ගියෙමි. වෙනදා වාගේ කැටයම් ගේට්ටුව හැර දමා තිබුණේ නැත. මම ඒ ඉදිරියේ ස්කූටිය නතර කර ගෙන ටික වෙලාවක් බලා ගෙන සිටියෙමි. දැන් විහාර නික්ම ගොස් දෙසතියක කාලයක් ගත වී තිබේ. නමුත් ඔහු පිළිබඳ ආරංචි මාත්‍රයක් හෝ නොමැත්තේ ය. අඩු තරමින් ගෙදර වැඩ කරන පුද්ගලයා හෝ පෙනෙන්නට සිටියේ වී නම් යමක් දැන ගත හැකි වන්නට තිබිණ. ටික වෙලාවක් බලා ගෙන සිටිය ද මිනිස් සලකුණක් හෝ දැක ගත හැකි නො විණ. අන්තිමට මා ස්කූටිය පණ ගන්වා එතැනින් නික්මෙන්නට හදත්දී අත්පුඩි ගසමින් ගෙදර සේවකයා මවෙත දිව එන්නට වූයේ ය.
“මිස්…අනේ මිස් යන්නද හැදුවෙ..තව පොඩ්ඩෙන් මං දකින්නැති වෙනව”
“සර් කතා කළාද අංකල්…”
මම ඉක්මන් කොට ඇසුවෙමි.
“ගිහිං කතා කළේනං නෑ මිස්. මගෙ පඩි නඩි ඉතිං ඔක්කොම බේරන්නෙ ලියන මහත්තයනෙ. මට තියෙන්නෙ ගේ දොර බලා ගෙන ඉන්න එකනෙ”
“විහාර ගියාද කියලවත් තොරතුරක් දන්නැද්ද…”
“යන්නැති මිස්. යන වෙලාවෙ සර් මට පාර්සලයක් දීල ගියා. කහ පාට ඉස්කූටරේකින් මිස් කෙනෙක් ආවොත් දෙන්න කියල. හම්මේ..තව පොඩ්ඩෙන් මට ඒක දීගන්න විදියක් නැතුව යනව”
සේවකයා ගේට්ටු පියන විවර කළේ මට ඇතුළට එන්නයි ඇරයුම් කරන්නට මෙනි. මගේ හිත කුතුහලයෙන් පිරී ගියේ ය. එදා ඔහු ගුවන් තොටුපලට යන ගමන් සමු ගන්නට අපේ ගෙදර ආවේ ය. ඒ වෙලාවේ ඔය කියන පාර්සලය මගේ අතට ම නොදුන්නේ ඇයි? ඔහු සොයා ගෙන මා සිය වින්ටේජ් මැදුර වෙත එතැයි අපේක්ෂාවක් විහාර තුළ විනි ද? ඒ පාර්සලය තුළ කුමක් තිබෙනවා විය හැකි ද? ගල් පතුරු ඇල්ලූ මං පෙත දිග මා හෙමිහිට ස්කූටිය පැද ගියේ සිහිනයකින් සේ ය.