නිලුපුලී එදින නැවත අන්තර්ජාල සබඳතාවය ක්‍රියාත්මක කළේම නැත. ඇය රාත්‍රියට ඔහේ ගෙවී යන්නට ඉඩ දුන්නා ය. ඇයට ඒ රාත්‍රිය දිගු විය. නින්ද අහිමි වග දැනිණ. එහෙත් ඈ ඒ රාත්‍රියට ගෙවෙන්නට දුන්නා ය. අඩුම තරමේ හොඳ යහළුවෙකු වත් සිටියානම් ජීවිතය මීට වඩා පහසු වන්නට තිබුණා නොවේදැයි ඇය සිතුවා ය. ඇයට සිටින එකම හොඳම මිතුරිය රුකී ය. රුක්ෂානි සමඟ මෙවැනි කතා බෙදා ගැනීම අසීරු ය.
සමාජ විෂමතාවය කියන්නේ විස්තර කරන්නටත් අසීරු මහා බර මාතෘකාවක් බව නිලුපුලී දන්නී ය. ඇයට පොහොසත් තරුණයෙකු සමග ආදරෙන් බැඳෙන සිහිනයක් සිතේ කොතැනකවත් තිබුණේ නැත. නමුත් වේල්ල ඇත්තටම සින්න වන අදහසක් ද ඇයගේ නොතිබිණ.
“කැම්පස් ගියාම ඈත පළාතකින් දුප්පත් කොල්ලෙක් හොයාගන්න ඕනෑ.”
ඇය දිනක් රුක්ෂානි ට එසේ කීවා ය. රුක්ෂානි කළේ හිනැහීම ය.
“ගමට යන බස් එකක් නැති, ගමට අලි එන, කුඹුරුවල අඳේට වැඩ කරන, පැල් රකින අන්ත දුප්පත් පවුල්වල කොල්ලොත් එනවනම් තමයි. උඹට ඕනෑ එහෙම කොල්ලෙකුට කිට්ටු වෙලා ජීවිතේ අලුතින් පටන් ගන්නද?”
රුක්ෂානි එසේ අසද්දී නිලුපුලී හිස වැනුවා ය. මේ කුණු ගඳ ගහන කාණු ඇති කට කමසෙයියාවක් නැතුව කියවන මිනිසුන් නැති වත්තෙන් මිදී ඇයට ඈතකට රැගෙන යන තරුණයෙකු සරසවියේ හිඳින්නට ද පුළුවන. ඈත වියළි කලාපයේ ගමකට හෝ යන්නට එන්නට අපහසුකම් ඇති කඳුකර ගම්මානයකට හෝ කසාදයක් බැඳගෙන යන්නට තිබේ නම් නරක නැත. ඒ සිහිනය ඉටු වන්නට ඇය සරසවි වරම් ලබන බව ද නිලුපුලීට විශ්වාස ය.
“ඒ වුණාට නිලුවෝ එහෙම එකෙක්වත් අපිට කැමති නෑ. කොල්ලො කැමති වුණත් මහ මිනිස්සු අකමැතියි. මුඩුක්කුවල ජීවත් වෙන උන් කියලා අපිව නිකං වෙනම තැනකට මේ රටේ උන් අතෑරලා තියෙන්නෙ.”
රුක්ෂානි කියන්නේ යථාව ය. අසද්දී රිදුම් දුන්න ද යථාව එය බව නිලුපුලී සිතුවා ය.
“ඒ වුණාට උඹ ලස්සන හන්දා ඔය ඔක්කොම බොරු වෙන්නත් පුලුවං.”
රුක්ෂානි අනතුරුව එසේ පැවසුවේ නිලුපුලීගේ හිත හැදෙන්නට ය. ඒ ගැන මහා පරිමාණයෙන් එදා සිතන්නට නිලුපුලීට ඕනෑ වූයේ නැත. නමුත් ඇයට දැන් සිතේ. ඉන්නේ වේල්ල වත්තේ බව කියන්නට ලැජ්ජා සිතිණ. ඊළඟ කොටස තාත්තා සම්බන්ධ කතාව ය. හැඩරුව යම් තරමකට තිබුණාට මහන්සි වී ඉගෙන ගත්තාට හොඳටෝම අසරණ වෙන තැන් එන්නට හැකි බව දැන් ඇයට වැටහේ. වේදනාව දැරිය හැකි සීමාවෙන් එහා යන්නේ ද ඒ හන්දා ය.
“ආදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවං. ඒත් මළ මිනියක් වෙලා ජීවත් වෙන්න බෑ. ජීවිතේ ඔයාගෙ. ඒ ජීවිතේට තව කෙනෙක් ඕනෑද නැද්ද කියලා හරි හෙමින් හිතන්න.”
විකුම් කතා කළේ මිත්‍රත්වයක් වෙනුවෙන් බව සත්‍යයකි. නමුත් නිලුපුලී කුඩා කැඩපතෙන් පෙනෙන රුවට එසේ පැවසුවා ය. මහ පොළොවට වී ඉන්නා ගමන් අහසේ තරුවකට දෑත් දිගු කරන්නට යාම කිසිම ඵලක් ඇති දෙයක් නොවේ. එයින් කිසිම යහපතක් වෙතැයි සිතන්නට ඇයට නොහැකි ය.
විකුම් ඇගේ වේදනාව නිහඬවම දරා ගන්නා තරමට නිමේෂා ඇගේ වේදනාව ඝෝෂාවකට නඟමින් සිටියා ය. ඇය සිතෙන සිතෙන වාරයක් පාසා ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් ලයිව් වීඩියෝ පට මඟින් ප්‍රේමයක් බිඳී යාමේ වේදනාව ගැන හඬ ගාමින් සිටියා ය.
“නිම්ට කමෙන්ට් වලදී හුරේ දාන මිනිස්සු ඉන්බොක්ස් වල එයාට කොච්චර හිනා වෙනවද කියලා එයා දන්නේ නැහැ. ඔයා සද්ද නැතුව ඉන්නේ ඔයා වැරදි හින්දා නෙවෙයි ඔයාට ලැජ්ජාව තියෙන හින්දා කියලා මිනිස්සු කියන්න පටන් අරගෙන.”
නිමේෂාට සයිබර් අවකාශයේ මිස සැබෑ ලෝකයේ මිතුරන් අල්ප විය. නමුත් අත නෑර ඇය දරාගත මිතුරියක වූ ටරිනිට මේ තත්ත්වය තව දුරටත් දරා ගන්නට හැකි වූයේ නැත. ඈ විකුම් ඇමතුවේ ඒ හන්දා ය.
“මං මොනවද කරන්නේ ටරී. ඇත්තටම මට මේවා මහ ලැජ්ජාවක් ඉතින්. මං ෆේස්බුක් පවා නොයා ඉන්නේ ඒක හන්දා. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් දන්න කියන මිනිස්සුන්ටයි ඔෆිස් එකටයි විතරයි. ඇත්තටම මම යන්න ඇරලා මිනිස්සු කොච්චර මටත් හිනා වෙනවා ඇති ද කියලා මට හිතෙනවා. ඒක හරිම අමාරු ෆීලිං එකක්.”
අතිශය පෞද්ගලික ගැටළුවක් පිටතට දුන් විට දී සමාජය එයට අනුකම්පා කරනවාට වඩා හිනැහෙන්නට බලා සිටින බව නිමේෂා අවබෝධ කරගන්නේ නැති බව විකුම් දනියි. ඇයට එය අවබෝධ කරන්නට ද පහසු නොවේ. ඇයට ඕනෑ වූයේ නොගැළපෙන ප්‍රේමයක් හන්දා අගතියට පත් වූ යුවතියක ලෙස සමාජයට පෙන්වීම මිස අන් කිසිවක් නොවන බව ඇයට සිටින සීමිත සමීපතමයන් පවා අවබෝධ කර ගැනීම ගැන විකුම්ට සැබෑවටම වේදනාවක් දැනිණ. ඇතැම් විට ඇයට කිසිවකුත් නැතිව යන්නට ඉඩ තිබේ. ඔහුට නම් මිතුරන් සහ තමන්ගේ සහෝදර පිරිස පවුරක් සේ ඉතිරිව හිඳී.
“කොහොමහරි එයාව බලාගන්න. මට වෙන කියන්න දෙයක් නෑ.”
මිතුරියකට වුවත් ඇය දැරිය හැකිදැයි සිතමින් විකුම් පැවසුවේ ය. ඇය සයිබරයේ අතරමං වී හිඳිනා තරමට ගලවා ගැනීම අපහසු බව ඔහු හොඳින්ම දනී. ඇයගේ යූ ටියුබ් නාලිකාවේ මිතුරන් පවා සමාජයෙන් අසන්නේ හොඳට වඩා සරදම් ය. මේ සියල්ලම යහපත් කාරණා නොවේ.
“ඇත්තටම ඔයා නිමේෂා හැදෙන්න ලෑස්ති නම් ආයේ එයා එක්ක එකතු වෙන්න කැමති නැද්ද?ං
ටරිනි එසේ ඇසුවේ සරදමට නොවේ. නිමේෂාගේ මේ ගමන ගැන ඇයට දැනෙන්නේ බියකි. මනෝ උපදේශකයෙකු මුණ ගැසෙන්නට පවා ටරිනි කරන ලද යෝජනා නිමේෂා පිළි ගත්තේ ද නැත. අනෙක් අතට විකුම්ට මිස වෙනත් පිරිමියෙකුට නිමේෂා දරා ගන්නට හැකි වෙතැයි ටරිනිට නොසිතේ
“මිනිස්සු ජීවිතෙන් පාඩම් ඉගෙන ගන්න වෙලාවල් තියෙනවා. ඒත් සමහරු කවදාවත් ඉගෙන ගන්නෙ නෑ. සමහරුන්ට කවදාවත් ඉගෙන ගන්න ඕනෙත් නැහැ. සමහර එහෙම පාඩම් ඉගෙන ගන්න එකේ තේරුමකුත් නෑ.”
නිමේෂා එයින් අයත් වන්නේ පාඩම් ඉගෙන ගැනීමෙන් තේරුමක් නොවන කොටසට බව විකුම් පවසන්නේ මඳහසකින් ය. ඔහු සෑම විටම හෙලන වේදනාකාරී මඳහස පිටුපස ඇති වේදනාව ටරිනිගේ හදවත පතුලටම දැනෙන තරම් ය. එවැනි තැන්වල ඇය නිරුත්තර ය.
ගත යුත්තේ මිතුරියගේ පැත්ත නොව හරි පැත්ත බව ටරිනි සිතුවේ ඒ හන්දා ය.