තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව.”
ඒ කතාව උගත් තැන නිලුපුලීට අමතක ය. නමුත් එය එසේ බව පමණක් ඇය සිතුවා ය. නමුත් ඒ කතාව ගැන පාසලේ විදුහල්පතිනියගේ කියවා ගැනීම වෙනස් එකක් වූ බවත් ඇයට මතක ය.
” ඕනම කෙනෙක්ට මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ම තමයි. අපි කිසිම මොහොතක අපිව අත් අරින්න නරකයි. මිනිස්සු ජීවිතේට එනවා. ආපහු යනවා. ඒත් මැරෙනකම්ම තමන්ට තමන් එක්ක ඉන්න වෙනවා.”
කුඩා කෙලි රොත්තකගේ සිට යොවුන් විය දෝතින් දරන යුවතියන් රොත්තක් දක්වාම පාලනයට ඇය ශක්තිමත් වන්නට ඇත්තේ එසේ ය. ඇය සෑම මොහොතකම ඇයත් අනිත් කාන්තාවනුත් වෙනුවෙන් පෙනී සිටිනා චරිතයකි. ඇය කිසිම මොහොතක ඇගේ ඇතුළාන්ත සාමය විනාශ කරන්නට කිසිවෙකුටත් ඉඩ නොදුන්නා ය.
එවැනි ගැහැනියක වන්නට තිබුණානම් අපූරු බව නිලුපුලීට සිතිණ. නිලුපුලී උදෑසන අවදි වූයේ ඒ ධෛර්යය හිතේ තබාගෙන ය. ඈ ඉවුම් පිහුම් අහවර කර මුළුතැන්ගෙය අස් පස් කරන්නට වූවා ය. හැඩි වූ නිවසක් හිත හැඩි කරන බව ඇයට පැවසුවේ ද විදුහල්පතිනිය ය. ඇය උදා රැස්වීම්වලදී එවැනි කතා බොහෝ ප්‍රමාණයක් පැවසුවා ය.
එදා කාර්යාලයට එද්දී උපේකා කොහෙන්දෝ ඕපාදූපයක් සොයාගෙන තිබිණ
“රදීෂ් සර් ෆිල්ම් එකක් ප්‍රඩියුස් කරන්න යනවලු”
එහි රඟපාන්නට පවා කෙල්ලන්ට ඕනෑ විය. චිත්‍රපටි පිටපතේ එක දර්ශන තලයක හෝ ලිලී ෂේඩ් නැති වන්නට ඉඩක් නැත. හේමාල් රණසිංහ චිත්‍රපටියේ සිටී නම් එය ඉතාම අපූරු බව එකියක පැවසී ය. හේමාල් දැන් මැදි වයසට ළං වෙමින් සිටියි. පොඩි කෙල්ලන්ට ඕනෑ වූයේ සචින් ලියනගේ ය.
“ෆිල්ම් එක කබීර් සිං වගේ හරි ආශිකී හරි වගේ නම් මරු.”
එසේ පැවසූ කෙල්ලන් රොත්ත එක පොදියට හිනැහෙන්නට පටන් ගත් අන්දම නිලුපුලීට අමතක නොවේ. ඔවුන්ට එසේ හිනැහෙන්නට කුමක් හෝ හේතුවක් ද තිබිය හැකි බව ඇය අනතුරුව සිතුවා ය.
“කබීර් සිං, රාහුල් වගේම කැරැක්ටර් එකක් අපිට ඔෆිස් එක අහල පහලින් හොයා ගන්න පුලුවන්. ඔය හැමතිස්සෙම යන්නේ එන්නේ”
එහෙම කීවේ දේවින්දි ය. ඇය සිතන්නේ පිරිමියෙකු නිකමටවත් මත් වන යමක් දෙස ඇස හැර බලන්නට නුවුමනා බව ය. මත්ද්‍රව්‍ය ලෝකයට පහළව ඇත්තේ මිනිසුන් නැත්තටම නැති කර දමන්නට බව විශ්වාස කරන ඇය මත් වෙන යමක් ලබා ගන්නා හැම කොල්ලෙකුටම බැන වදින්නට ද අමතක නොකරයි.
” බීලා වැටිල හිටියත් විකුම් සර් ලස්සනයි හැබැයි. අර මල හෝන්තුව නිසා බොන එකයි වැරදි”
ඊළඟ සිනාව මතු විය. දකින ඕනෑම මොහොතක විකුම් හිඳින්නේ මත් වී බව මේ දිනවල ලිලී ෂේඩ් හි කෙල්ලන්ගේ ජනප්‍රිය විහිළුවකි.නමුත් එය අසා සිටින අතර නිලුපුලීය සිතුණේ වෙනම කතාවකි. ඇයට මත්ද්‍රව්‍ය සහ මත් වෙන දේ ගැන අලුතින් ඉගෙන ගන්නට ඕනෑ ද නැත. වේල්ල වත්තේ කොල්ලන් නොගන්නා මත්ද්‍රව්‍යයක් නැති තරම් ය.
“රැල්ලට බොන, විනෝදෙට බොන කොල්ලො තමයි වැඩියෙන් ඉන්නේ.ඒත් විකුම් සර් ඔහොම කරන්නේ අපිට නොපෙන්නන මොකක්ම හරි වේදනාවක් හංගා ගන්න. එයා නිමේෂා ගැන හිතන්නේ නෑ කියලා පෙන්නන්න හැදුවට මට හිතෙන්නෙම එයාට නිමේෂාව අමතක කරන්නම බෑ.මට වුණත් වෙලාවකට වැටෙන්න බොන්න හිතෙන්නේ ඒකනෙ. ඒක මට සිතුවිල්ලක් විතරක් වුණාට සර්ට ඒක හිතුවිල්ලකින් නවත්තා ගන්න හයියක් නෑ.”
වේදනාත්මක තැනකින් මිදී නතර විය යුතු වන්නේ සරතැස නිවෙන තැනක ය. ඇය හිඳින්නේ ද ප්‍රශ්න කෝටියක් ඇති වේල්ල වත්තේ ය. අහසක් මෙන් වෙනස් වෙන අම්මා කෙනෙකු සමඟ ය.තාත්තාව ජීවිතයට දකින්නට නොලැබෙන බව ඇය දනියි. දකින්නට තබා මියැදෙන්නට පෙර ඔහු කවුදැයි දැන ගන්නටවත් ඉඩ නැති වග සහතික ය. ඉතින් ඇය ඉන්නේ ප්‍රශ්න කෝටියක ය.නමුත් තමන්ගේ නවාතැන කරගන්නට ඇයට උවමනා නිස්කලංක තැනක් නම් නොවේ.
“අඩුම තරමේ විකුම් සර් බොන එකවත් නවත්තා ගන්න මට පුලුවන් වුණොත්”
ඇයට එහෙම හිතෙන්නට පටන් ගෙන තිබිණ. එය කරන්නේ කොහොමදැයි නොතේරුණත් එය කළ යුතුම බව ඇය සිතන්නට පටන් ගෙන තිබිණ.
මට එක දෙයක් හොඳාකාරවම පැහැදිලි. මං උඹ දිහා බලාගෙන ඒක ක්ලියර් කරගන්න ගමන් ඉන්නේ හොඳද?
රදීෂ් ඥාති සහෝදරයා දෙස බැලුවේ උපේක්ෂාවෙන් ය. විකුම්ට ඒ මුහුණ දෙස නොබලා දුරකථන ක්‍රීඩාවේ නිරත වෙන්නට සිත් විය. රදීෂ් වැඩ කටයුතු පසෙක තබා ක්‍රිකට් තරගයකට ඇස අලවා ගෙන ඉද්දී පවා තමන්ට දුරකථනයේ විකාර කරන්නට සිතෙන්නේ ඇයි? විකුම් සිතුවේ ය. වෙනදානම් ඥාති සහෝදරයන් දෙදෙනා කරන්නේ නායකයාට නායකත්වය ගැන ඉගැන්වීම ය. පන්දු යවන්නන්ගේ දොස් සෙවීම ය. පිතිකරුවන්ට වඩා තමන් කොපමණ දක්ෂදැයි කතා කිරීම ය.නමුත් දැන් සියල්ල මඟ හරින්නට බව ඔහුට සිතේ. කරන්නට සිතෙන එකම දෙය බීමත් වීම ය. අනෙක් කාරණාව රදීෂ් අයියා ඕනෑවටත් වඩා තමන්ව කියවා ගන්නා නිසා කළ යුතු වන්නේ ඔහුව ද මඟ හැරීම ය.
“ ඔයාගේ අතින් මේ දවස්වල පුදුම තරමට වැරදි වෙනව හොඳේ. ධම්මි ආන්ටි ඒ ගැන හිතලා හරියට වොරි වෙනවා. අනික මනුස්සයෝ උඹේ අක්කා ප්‍රෙග්නන්ට්. ඒකිට දුකින් ඉන්න හොඳ නෑ. අහස් වුණත් වැඩ ඔක්කොම පැත්තකින් තියල උඹ ගැන නාහෙන් අඬනවා”
සාමාන්‍යයෙන් රදීෂ් අයියා කිසිවෙකුටත් වැරදි නොකියන පන්නයේ මිනිසෙකි. නමුත් ඔහු එසේ කියන්නට පසුබට නොවූයේ තමන් එතරමට දේවල් පටලාගෙන හන්දා ද? විකුම්ට ලැජ්ජාවක් ඇති විණ. ප්‍රේමයක අවසානය මෙතරමට වේදනාවක් යැයි ඔහු ඇත්තටම සිතා තිබුණේ නැත. නමුත් දැන් ඔහු කරන්නේ ඒ වේදනාවේ ගිලෙමින් සිටීම ය. මානසික වෛද්‍ය උපදෙසක් වත් ගන්නට තිබුණානම් යහපත් බව ඔහුට හදිසියේ සිතිණ.
“ඔළුව අවුල් වෙනව කියන්නේ අපි කරන හැම වැඩක්ම අවුල් වෙන එක. ලව් කරලා බූට් එකක් කනවා කියන්නේ අමාරු වැඩක් බව ඇත්ත. ඒත් ඔලුව අවුල් කරගත්තම තියන අනිත් දේවලුත් නැත්තටම නැති වෙලා යනවා හොඳේ.”
ඒ රදීෂ්ගේ ආදර්ශ පාඨය ය.ඔහු ජීවිතයේ කිසිදා ඔළුව අවුල් කර නොගත් තරුණයෙකි. ජීවිතය ඔහුට බොහෝ දේවල් අහිමි කර තිබුණ ද ඔහු තමන්ගේ ක්‍රමයකට ඒ සියල්ල දරා ගත්තේ ය.
“මිනියක් මරලා හරි උඹට ඇවිල්ල අම්මට කියන්න පුලුවං. ඒ සැනසීම මට තියනවද?. අහස් මුණ ගැහෙනකම්ම මම නිකම්ම නිකම් වේලිච්ච මිනිහෙක්. හැඟීමක් දැනීමක් නැති මිනිහෙක්. අහස් නිසා මට උඹලා ලැබුණා. මං ජීවත් වෙන්න පටන් ගත්තා.”
රදීෂ් එසේ කියා සුසුමක් හෙළී ය.අනතුරුව වඩාත් කාරුණික බැල්මක් ඥාති සහෝදරයාට තිළිණ කළේ ය.
“මල්ලි, උඹට හොඳ පවුලක් තියනවා. උඹ ඒ මිනිස්සු නිසා සැනසීමෙන් ඉන්නවා. මම අහස්‍යා නිසා සැනසීම හොයා ගත්තා. උඹ නිමේෂා නිසා උඹෙත් සැනසීම නැති කරගෙන ගෙදර මිනිස්සුන්ගෙත් සැනසීම නැති කරන්න එපා.ඔයා එක්කෝ මම මේවා කිව්වට පස්සෙ සන්තෝසෙන් ජීවත් වෙනවා වගේ රඟපාන්න පටන් ගන්නව. නැත්තං වෙන කවදාටත් වඩා ඔයා ඔයාව නැති කරගන්නව. මට තියන බය ඔය දෙකෙන් මොකක් උනත් ඒක බලාගෙන ඉන්න සිද්ද වෙන එකම මනුස්සය මම වෙන එක.”
එය සත්‍යයකි. සිදුවන්නේ කුමක් වුවත් විකුම් ව දරා ගන්නට සිදුවන්නේ රදීෂ්ට ය. ගගනට ද වඩා ඔහු සමීප රදීෂ්ට ය.
“කමක් නෑ. උඹට හොඳයි කියලා හිතෙන දෙයක් කරපන්..මං ඉන්නව. එක අතකට මිනිස්සු තමන්ට හොඳයි කියලා හිතෙන දේවල් කරල වරද්දා ගත්තත් මොකද? අඩුම පැයකට හරි සැනසිල්ලෙ ඉඳලනෙ.බීලා බීලා මැරෙන එක උඹේ තීරණෙනම් ඒක කරපං.”
විකුම් කතාවේ ඉතිරිය නෑසෙන්නට ඉයර් ෆෝන් යුගලය පැලඳ ගත්තේ ය. ඒ ඔහු තමන්ගෙන් මිදෙන්නට කළ දෙයක් බව සිතූ රදීෂ් තමන්ගේ වැඩක් කර ගන්නට සිතුවේ ය.
ලිපි ගොනු කිහිපයක් ඔසවාගත් නිලුපුලී කාර්යාල කාමරයට ආවේ ඒ මොහොතේ ය.