නූරි ට සිය මාස කිහිපයක් වයස වූ විවාහයෙන් නීත්‍යානුකූලව වෙන් වීමේ අවසරය ලැබිණ. ඒ වන විට ඇය ඒ තත්වය සඳහා මානසිකව සූදානම් වී සිටිය ද ඇස් වලට කඳුළක් උනනා එක නතර කර ගත හැකි වූයේ නැත. ඒ කඳුළ අතරින් ම ඇය සිනහ වූවා ය.
“ඒකත් ඉවරයි ඇති යන්තං”
මා බලා සිටියේ කුමක් පවසම් දැයි නො දැන ය. ඒ විවාහය එතැනින් නිමා වූ බව ඇත්ත ය. නමුත් ඇගේ ජීවිතය මෙතැනින් නිමා නොවේ. ඇගේ මාවතේ තව බෝ දුර ඇය ගමන් කළ යුතුව තිබේ. කොන්දේසි විරහිත ව ඕනෑ ම තත්වයකදී ඇගේ අතකින් අල්වා ගෙන මා ඈ පසෙකින් ඉන්නා බව මා ඇයට කිව යුතු නැත. අප දෙදෙනා අතරේ කුඩා කල පටන් ම සියල්ල සිදු වූයේ ක්‍රියාවෙනි. අපට අප අවැසි වූ හැම මොහොතක ම අප වෙනුවෙන් අපි සිටියෙමු. එය වූ කලී කල් ඉකුත් නොවෙන බැඳීමකි. විශ්වයෙහි කිසිත් සදාකාලික වන්නේ නැත. නමුත් අපේ පැවැත්මේ සීමාව තුළ අපට අප අහිමි නොවී පවතිනු ඇත.
“කවදාවත් මුකුත් වෙලා ඉවර වෙන්නෑ නූරි. හැම දාම සිද්ද වෙමින් පවතිනව. අපේ ජීවිත වලින් දේවල් අයින් වෙලා යන්නෙ ඊට වඩා හොඳ දේවල් සිද්ද වෙන්න නියමිත නිසා. සොබා දහම එයා අතින් සිද්ද වෙච්ච වැරදි හදා ගන්නෙ අලුත් දේවල් සිද්ද වෙන්න ඉඩ දෙන්න. ඒක නිසා අපි මේ ෆ්ලෝ එකේම අපේ ජීවිත වලට ගලං යන්න අරිමු”
“අපෝ ඔව්. කිසි දෙයක් ආයෙ සිද්ද වෙන්නෑ කියල මං කියන්නෑ. සමහර විට අකමැත්තෙන් වුණත් මං ඒ කසාදෙ සිද්ද වෙන්න ඇරියෙ මොකක්ම හරි වෙන්න ඕන නිසා. හොඳක් හරි නරකක් හරි…එතකොට එතනින් එහාට වෙනම හැඩේකට ගලන්න ජීවිතේට පුළුවන් නිසා. දැන් ගෙදරින් වුණත් මට ඕනවට වඩා බලපෑම් කරන එකක් නෑනෙ. ඒක නිසා ජීවිතේ ඉස්සරහට එන දේවල් දිහා කල් අරගෙන නිදහසේ බලන්න පුළුවන් වෙයි. අනිත් එක ගෑනු ළමේක්ට පිරිමියෙක් ඕනමයි කියල එකක් නෑ ශිකී. ඉන්නවනං හොඳයි. ඒත් ඉන්නවට ඉන්න කෙනෙක් එක්ක මානසික වදයක් විඳිනවට වඩා නැති එක හොඳයි. ඔයා ළඟින් විහාර ඉන්නවනෙ. ඉතින් ඔය දෙන්නම අපිට ඉන්නවනෙ. එතකොට තව සියපත් පැටිය…එයාගෙ ඇස් ඇතුළෙ කොච්චර ලස්සන හීනයක් තියනවද…අයිතියක් නැතුවම අපි හැම කෙනෙක්ම එයාට කොච්චර බැඳිලද…අපි අපි වෙනුවෙන් ඉමු ශිකී. ජීවිතේ එහෙම ගෙවෙයිනෙ…වෙන අය හම්බ වෙන්න තියනවනං බලමු ඉතිං…”
ඒ තරම් උපේක්ෂාවකින් ජීවිතය පිළි ගන්නට හැකි වීම ම භාග්‍යයකි. එදා දික්කසාද තීන්දුව ලැබුණ දා හැන්දෑවේ, කාලෙකට පස්සේ කෙත්මින් විශ් යූ වෙත ආවේ ය. ඔහු ගේ යතුරු පැදිය නැවතෙත්දී නූරි හා මා උනුන් ගේ මුහුණු දෙස බලා ගත්තේ කිසියම් විශ්මයකින් කියා සිතමි. ඔහු මෙහි එන එක නතර වී ගියේ නූරිලා ගේ දික්කසාදය වෙනුවෙන් නඩු පැවරීම නිසා ද නැත්නම් විහාර යළි පැමිණි නිසා ද කියා නිශ්චිතව කිව නො හැක.
“මොකක් නිසා හරි එන එක එයාම නතර කරපු එක හොඳයි. කෙත්මින් හොඳ කොල්ල. ඒකයි ඌ ඔයාට ලං වෙන්න හදනව කියල දැනගෙනත් මං ඔහේ හිටියෙ. ඒත් මට දැන් හිතෙනව ඒ වගේ පවුලකට ඔයා වගේ කෙල්ලෙක් ගෑවෙන්නවත් ඕන නෑ කියල. ඇත්තටම ඒක මහ කරුමයක්”
කෙත්මින් විශ් යූ වෙත නො එන්නට පටන් ගත් දින වල නූරි කීවා ය. ඔහු ආවා ය නාවා ය කියා මට වෙනසක් දැනුණේ නැත. ඒ ඔහුත් එක්ක මිත්‍රත්වයක් වැනි බැඳීමක් හෝ ඇති කර ගන්නට මා ඉක්මන් නොවූ නිසා ය. බිඳෙත්දී රිදෙන්නේ බැඳුණු තරමට ය. බැඳෙන්නේ හෝ ඇලෙන්නේ නැතිව උන් විට හමු වීමත් වෙන් වීමත් අතරේ තිබිය හැක්කේ සිනහවක මතකයක් පමණකි.
හෙල්මට් එක ගලවා හැන්ඩ්ල් එකේ එල්ලන ගමන් කෙත්මින් එක අතකින් හිස කේ සකසා ගත්තේ ය. ජැකට් එකෙහි සිප් එක ගලවමින් ඔහු විශ් යූ ඇතුළට ආවේ අපට හරි හැටි මුහුණ නො දෙනා බැල්මකිනි.
“මෙන්න එක්කෙනෙක්ට මෙහෙ මතක් වෙලා”
ඒ වෙලාවේ නූරි හා කෙත්මින් යන දෙදෙනා ගේ ම හිත් වල වූ අපහසුතාවය තුනී කොට දමනු වස් මම එහෙම විහිළුවක් කළෙමි. ජැකට් එක ගලවා පුටු වතෙහි එල්ලන ගමන් මදහසක් ඇතිව ඔහු අප දෙදෙනා දෙසට මාරුවෙන් මාරුවට කෙටි බැලුම් කිහිපයක් හෙළුවේ ය.
“දැං අපිට මෙහෙට එන්න අවසර තියනවද මන්දා”
“ඉඳගන්න කෙත්මින්”
ඒ ඇරයුම නූරි ගෙනි. මඳ වෙලාවක් හුළඟේ හඬ පමණක් ඇසෙමින් ගෙවී ගියේ ය. කවුරුන් මුලින් කතා කළ යුතු දැයි නිනව්වක් නො වුණෙන් මම මුණිවත නො බින්දෙමි.
“සිද්ද වෙච්ච දේවල් ගැන හිතනකොට පුදුමයිත් එක්ක..ඒ වගේ ම මාර අවුල් අප්ප”
මුව මත මඳහසක් වූවා ට කෙත්මින් ගේ හිතේ හැබෑ කඳුළක් වන බව මට දැනිණ.
“නුරානිගෙන් මං සමාව ඉල්ලනව…අපේ පවුල වෙනුවෙන්…ඒක ලොකු අසාධාරණයක්. ගේ ඇතුළෙ මං මාර ෆයිට් එකක් කළා මෙහෙම දෙයක් වෙන එක නවත්තන්න. ඒත් තනි මිනිහෙක්ට එහෙම කරන්න බෑ කියල තේරුං අරං අන්තිමට මං පැත්තකට වුණා”
කෙත්මින් ට මා වෙත කළ ප්‍රේමාරාධනය අමතක වී තිබීම මට සැනසිල්ලක් විය. ඔහු සිටියේ දිය සුළියක් මැද්දේ වූ කැළඹීමකින් විඩා පත් ව ය. මා ද ඒ දිය සුළියෙහි එක අංශුවක් වන්නට ඇත. නමුත් ඊට වඩා ලොකු බලපෑමක්, නූරි ට වූ අසාධාරණය තුළ ඔහුට සිදුව තිබිණ.
“එහෙම නෑ කෙත්මින්. කොටින්ම මට ඒක එච්චර ගාණක් නෑ කියල හිතන්න මං කැමතියි. දේවල් සිද්ද වෙන්නෙ එක්කො ජීවත් වෙන්න ආස හිතෙන්න. නැත්තං ජීවිතේට අත්දැකීමක් වෙන්න. නැතුව ජීවිතේ නැති කර ගන්න නෙවෙයි”
ටික වෙලාවක් අප සමග කතා කරමින් සිටි කෙත්මින් යළි නික්ම ගියේ ඕනෑ ම වෙලාවක ඔහු ඇය වෙලුවෙන් සිටිනා බව නූරිට ඒත්තු ගන්වන්නට උත්සාහ කොට යයි මට සිතිණ. යතුරු පැදිය රවුමක් කැරකී පාරට අවතීර්ණ වූ ගමන් මා නූරි දෙස බැලුවේ දෑස් ලොකු කර ගෙන ය. ඇය ‘බකස්’ ගා සිනහව දෝරෙ යන්නට හැරියා ය.
“තමුසෙ වටේ කැරකිල වැඩක් වෙන්නෑ කියල විශ් යූ ළඟදි නතර නොවී ගිය එකා නේ…එහෙම තමයි ශික්කා ගොඩක් පිරිමි. අපි කියෝන බලන කතන්දර වල ඉන්න ආදර්ශ පිරිමින්ට වැඩිය සාමාන්‍ය සමාජෙදි හම්බ වෙන ඇත්ත පිරිමින්ගෙ වෙනස ඕක. ඒගොල්ලො දන්නෑ ඒගොල්ලොන්ට ඇත්තටම ඕනෙ මොනාද කාවද කියල..ඒකයි ගෑනු දෙතුන් දෙනෙක් අතරෙ දෝලනේ වෙන්නෙ. සමහර පිරිමින්ට කසාද බැන්ද වුණත් ඔය ගතියෙන් සම්පූර්ණයෙන් මිදෙන්න බෑ. ඒගොල්ලො දන්නෑ ගෑනු අපි හොයමින් ඉන්නෙ ඒ සාමාන්‍ය දෝලනය වෙන පිරිමියා නෙවෙයි තනිකර අපි වෙනුවෙන් ඉන්න කෙනෙක් කියල. ඇත්තටම එහෙම පිරිමි හොයා ගන්නත් හරි අමාරුයි අප්ප. ඒක නිසා එහෙම පිරිමියෙක් හොයන අපි වගේ ගෑනු මැරි කරන්න ඉක්මන් නොවී ඉන්න එකමයි හොඳ”
සිය ප්‍රේමයෙහි බිඳ වැටීමත්, විවාහයත්, දික්කසාදයත් කියනා සිදුවීම් අතරේ නූරි වඩාත් අත්දැකීම් සහිත ප්‍රේමණීය ගැහැනියක වී සිටියාය කියා මම සිතමි. ආදරය සහ අත්දැකීම් අප වඩා පිරිපුන් මිනිසුන් බවට පත් කරයි.
නූරි ආකාරයෙන් නොවී ද නංගී ද වෙනත් ආකාරයකින් ජීවිතය පිළිගනිමින් සිටියා ය. අපේ ගෙදරට පැමිණි අලුත අම්මා ගෙන් එම්බ්‍රොයිඩර් කිරීම ගැන සුළුවෙන් පුහුණුව ලැබූ ඕ ඉක්මනින් ම ඒ කටයුතු වඩා හොඳින් ප්‍රගුණ කළා ය. අම්මා සියපත් ගේ කටයුත්තක නිරත වෙන වෙලාවක, කාලය පිරිමසා ගනු වස් නංගී අම්මා ගේ එම්බ්‍රොයිඩර් මැස්මක් කරනු දැකිය හැකි කාලයක් උදා විය. සියපත් නිදනා වෙලාවක මැෂින් දෙකෙහි ඔවුන් දෙදෙනා ම වැඩ කරනු ද දැකිය හැකි විය. අම්මා ගේ මැස්මකත් නංගී ගේ එකකත් අතරේ වෙනසක් සොයා ගත නො හැකි තරමට නංගී දියුණු වෙමින් සිටියා ය.
සුජානි නංගී ට රට රැකියාවක් සොයා තිබුණේ ඔය අතර ය. එය හොඳ මාසික වේතනයක් සහිත රෝහල් පවිත්‍ර කිරීමේ අංශයේ රැකියාවක් වී ද නංගී එක හෙළා එය ප්‍රතික්ශේප කළා ය.
“අක්කයි අම්මයි එක්ක පුතා බලා ගෙන මං මෙහෙම ඉන්නව. බබාව කාට හරි දෙනව කියල මුලින් හිතං හිටියට මට ඒක කරන්න බෑ. පුතාව මං කාටවත් දෙන්නෑ”
සුජානි ට ඇය එහෙම පවසා තිබිණ. එසේ නම් මාස් පතා ඇගේ වියදමට දිගින් දිගට ම මුදල් එවිය නො හැකි යයි සුජානි විසින් තර්ජනය කරනු ලැබ තිබිණ. මුදල් වලට වැඩිය දරුවෙකු වටිනා බව සුජානි වාගේ ගැහැනියකට ඇතැම් විට තේරුම් ගත නො හැකි වන්නට පුළුවන.
“ඔයා යනවනං ගිහිං සල්ලි ටිකක් හම්බ කර ගෙන එන්න. ඒ එනකල් අපි සියපත්ව බලා ගන්නං”
අම්මා දිනෙක නංගී ට එහෙම කීවේ ඔවුන් දෙදෙනා ගේ ම අනාගතය ගැන සිතා විය යුතු ය. ඒ වෙලාවේ නංගි ගේ ඇස් වල කඳුළු පිරෙනා හැටි මම දුටුවෙමි.
“සියපත්ගෙන් ඈත් වෙලා ඉන්න බෑ කියල මට හිතෙනව අම්මෙ. සල්ලි ඕනෙ තමයි. ඒත් මට හිතෙනව අම්මත් එක්ක මේ එම්බ්‍රොයිඩර් කරන වැඩේ දියුණු කර ගත්තොත් අපිට සියපත් හදා ගන්න බැරි වෙයිද කියල. අම්ම අක්කව ලොකු කර ගත්තෙ මේක කරලනං…තව ටිකක් බිස්නස් එකක් විදිහට මේක දියුණු කර ගෙන සියපත් හදා ගන්න අපිට බැරි වෙන එකක් නෑ නේද අම්මෙ…”
ඒ වෙලාවේ මට දැනුණේ නංගී ව බදා වැළඳ ගන්නට තරම් ආදරයකි. ඇයට සිදු වූයේ ආරන්‍යයේ පැත්තට වැටුණ ගිරවාට සිදු වූවා වන් විපර්යාසයකි. එදා ඇය සුජානි ගේ පැත්තට වැටී සියපත් උපන් ගමන් කාට හෝ විකුණා විදෙස් ගෘහ සේවයට ගියේ වී නම් අපට සියපත් කෙනෙකු ගේ හුරතල් විඳින්නට අවස්ථාවක් නො ලැබෙන්නට තිබිණ. එසේ ම නංගී ට මේ වාගේ මව්වත් ජීවිතයක උරුමය මගහැරී යන්නට තිබිණ.
ආසන්න දිනෙක විහාර මට ‘ගමනක් යන්න’ ය කියමින් ඇරයුමක් කළේ ය. මා ඒ ගමන කොහේ දැයි ඇසුවාට ඔහුගෙන් ඍජු පිළිතුරක් ලැබුණා නොවේ. ඒ දෙතොලතර නලියමින් තිබූ මඳහස මා තුළ කුහුල වැඩි කළා පමණකි.
ඔස්ටින් රිය හෝමාගම නගරයෙන් හයිලෙවල් පාරේ කොට්ටාව දෙසට ධාවනය වී එක් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරියේ නතර විය. එහි අලුත් වැඩියා හා තීන්ත ආලේපන කටයුතු සිදු වෙනා බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණ.
“එන්න”
කියමින් විහාර ඒ දෙසට ඇවිද්දේ යන්තම් මගේ බඳ පිටුපස අතක් තබා මා ඉදිරියට කරමිනි. අලුතෙන් සුදු වර්ණාලේප කිරීම නිසා ගොඩනැගිල්ල ඇතුළ සුදු රෙද්දක් සේ දිස් විය. තීන්ත වල නැවුම් පුසුඹ අප සාදරයෙන් පිළිගත්තේ ය.
“කොහොමද මෙතන…”
ඔහු ඇස් කුඩා කොට මගේ මූණට එබුණේ දෑත් සුපුරුදු පරිදි කලිසම් සාක්කු වල ඔබා ගනිමින් මට ලං වී ය..
“ලස්සනයි. සුදු පාට නිසා ඇස් වලට සනී…පයි”
එහෙම කියත්දී මගේ ඇස් අඩ වශයෙන් පියවෙන්නට ඇත. විහාර තරමක් හඬ නගා සිනහ වූයේ ය. වැඩ වල නිරත වෙමින් සිටි මිනිසුන් ගේ ඇස් වරින් වර අප දෙසට යොමු විය. ඔවුන් වැඩිපුර බැලුවේ මා දෙස යයි මට සිතුණ තරමි.
“අලුත් විශ් යූ එකට මෙතන හොඳයි කියල ඔයාට හිතෙන්නැද්ද…”
මම දෙතොල් තදින් පියැවී සිනහ රේඛාවක් ඇදී ගියේ ය.
“මෙහෙම තැනක් හීන හීනයක් අපිට තිබුණ. ඒත් අපේ බජට් එකේ හැටියට ඒ වගේ හීන ඒ වෙලාවෙ අපිට මැච් වුන්නෑ. පස්සෙ පස්සෙ…වැඩ වැඩි වෙද්දි…රෙන්ට් එකට ටවුන් එකෙන් කඩයක් ගන්න බැරි කමක් තිබුණමත් නෙවේ. ඔයා ආගිය අතක් නැතුව හිටිය කාලෙ නූරි මගෙන් ඒ ගැන අහලත් තියනව. ඒත් ඒ දවස් වල මට වෙන තැනකට යන්න ඕන වුණේ නෑ. විශ් යූ එකත් එක්ක බැඳිල වගේ හැම තැනකම තිබුණෙ ඔයාගෙ මතකෙ නිසා වෙන්නැති”
විහාර ඇස් වලින් මා සිම්බේ ය. ඊළඟට මගේ අතකින් අල්ලා ගෙන ගොඩනැගිල්ලේ පිය ගැට පෙළ නැගෙන්නට වූයේ ය.
“මේක අපේ තාත්තගෙ බිල්ඩින් එකක්. තට්ටු තුන වෙන වෙනම රෙන්ට් එකට දෙනව කාලයක් තිස්සෙ. ප්‍රයිවට් බෑන්ක් එකකිනුත් මගෙන් මේක ඉල්ලුව. ඒත් මං කැමතියි මෙතන විශ් යූ බෝඩ් එකක් වැටිල…සුදු රාක්ක වල තියපු ප්ලාන්ට්ස් වලට එබි එබි ඉන්න ඔයාව දකින්න. ඔයා සතුටෙන් ඉන්නෙ ප්ලාන්ට්ස් එක්ක. මට ඕනෙ සතුටෙන් ඉන්න වයිෆ් කෙනෙක් මිසක් හිරේට ගත්ත වයිෆ් කෙනෙක්ව නෙවෙයි”
“අනේ විහාර”
මගේ උගුරේ යමක් හිර වී ගියේ ය. මඳහසකින් ඔහු මදෙස බලා ගෙන ම සිටියේ ය. මම ඉක්මන් ඇස් පිය කිහිපයක පිහිටෙන් එතැන වැටෙන්නට නියමිත ව තිබූ කඳුළු පොකුරක් ගබ් සා කළෙමි.
“මේ ෆ්ලෝ එකේ අම්මලට එම්බ්‍රොයිඩර් වැඩ කරගන්න කියමු. දැන් නංගිත් ඉන්න නිසා..තව වැඩට කෙනෙක් දෙන්නෙක් අරගෙන හරි අම්මලට පුළුවන් හොඳ මාකට් එකක් හදා ගන්න. ඔය දැන් වැඩ කරන තැනට වැඩ කරන ගමන් ම…එයාලගෙ ප්‍රඩක්ට්ස් ඔන්ලයින් වගේ ම මෙතන ම මාකට් කරන්න හදා ගත්තනං…හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් ශික්ෂා. අපි ප්‍රඩක්ට්ස් අලුතෙන් ඉන්ට්‍රඩියුස් කරන්න ඕනෙ. ඒකයි වැදගත්. තර්ඩ් ෆ්ලෝ එකනං රෙන්ට් එකට දෙන්න පුළුවන්”
ගැහැනියකට ප්‍රේම කරන්නට පුරුෂයෙකුට පුළුවන. ඇයට සිය සිහින සැබෑ කර ගනු වස් අත හිත දෙන්නට ද පුළුවන. නමුත් ඒ ගැහැනිය ගේ ආදරය හා බැඳුණු සියල්ලන් එක ම දයාවකින් පිළිගන්නට හැම පිරිමියෙකුට ම හැකි වන්නේ නැත. ඊටත් වඩා ඔවුන් ගේ හීන ගැන හිතන්නට හෝ ඔවුන්ට අවශ්‍යතාවයක් ඇත්තේ නැත. නූරි කී සාමාන්‍ය සමාජයේ හමු වෙන පිරිමින් එහෙම ය. විහාර උත්තම පුරුෂයෙකු වන්නේ එබැවිනි.
“ඔයාට කියන්න තව දෙයක් තියනව. දුව තව සති දෙකකින් වගේ ලංකාවට එනව. එයා හොස්ටලස්ලට එහෙන් අමේලි දූව බාර දෙයි. මං ගිහිං ගන්නව. දුව වැකේශන් ඉන්න අතරෙ අපේ වෙඩින් එක පොඩියට අරගෙන මං ළඟට එන්න ඔයාගෙ අකමැත්තක් නැත්තං…මං කැමතියි එහෙම කරන්න. ඔයා මොකද කියන්නෙ..ම්..”
ප්‍රධාන පාරට මුහුණ ලා ඇති වීදුරු බිත්තිය වෙතට මම ඇවිද ගියෙමි. මගේ ඇස් ලෝකය දුටුවේ, වැස්සට බොඳ වූ රියක වින්ඩ්ස්ක්‍රීනයක් තුළින් දකිත හැකි දර්ශනයක් සේ ය. මඳ වෙලාවකට පස්සේ විහාර මා පිටු පසින් ළඟට ම පැමිණි බවක් උණුහුමෙන් හා සුවඳෙන් දැනිණ. මම යන්තම් හිස ඇල කළෙමි. විහාර ගේ පපුවත් උරයත් අතරේ හිස යන්තම් ස්පර්ශ විය. ඔහු වමතින් මා සිය සිරුරට වඩාත් ලං කොට ගත්තේ ය. ඇස් බොඳ කළ කඳුළු මේඝය එසැනෙන් ඉහිරිණි.