පායන්නට අරන් මාසයක් ඉක්මවූවා පමණක් වන්නට ඇත. නමුත් ගිම්හානය
ඉතා කටුක වූයේ ය. ගහ කොළ දුහුවිලි පාටට හැරී, පෙත් මග තුරු වියන පවා
ඝණත්වයෙන් අඩු වන්නට විය. සරත් සමයක් ගැන මතක අවුස්සමින් තුරු පත් කහ,
තැඹිලි හෝ ගුරු පැහැයකට හැරී හැලී යමින් තිබිණ. පාර දෙපැත්තේ එක් රැස් වූ
වියළි තුරු පත් දුහුවිලි සුළඟත් එක්ක එහෙ මෙහෙ ගියේ ය.
උදේ පටන් අහස අරාඳින්නේ ඉඩෝරයේ කෙළවරක් දකින්නට ද කියා සිතෙනා
තරමට මන්දාරමක් පැතිර පවතී. සැම දා නියං එක දා වැහි වළාවකින් නිමාව
සනිටුහන් කරනු ඇත. සීතල සුළං රැල්ලක් එක්ක හීන් කුඩු වැස්සක් පිනි ඉසින්නා
සේ පා ව ගියේ ය. මම මුහුණ අහස දෙසට හරවා ගෙන ඒ පිනි පොදයෙන් දෝවනය
වන්නට හැරියෙමි.
මා හිටියේ තුරු වියනත් වෙල් යායත් අතරේ ස්කූටරය නවතා ගෙන වෙල්
තීරයෙහි පඳුරු ගැසී වැඩුණ කැනස් වලින් මල් කිනිති කඩමිනි. කහ, තැඹිලි, රතු
කැනස් මල් යායක් ම පිපී තියේ. වෙනදාට මේසය මතින් තබනා සැරසිල්ලට වඩා
ලොකු සැකසුමක් කිරීමේ අදහසක් මගේ සිතේ තිබිණ.
වැහි පොදයට ස්කූටියේ අසුන තෙමී තිබුණෙන්, මල් මිටිය අතැතිව ම සර්වියට්
එකක් ගෙන මම එය පිස දැමුවෙමි. ඉන්පසු ස්කූටියට නැගී එය පණ ගන්වන්නට
හදත්දී ම දෙතොල් මත්තට මඳහසත්, දෑස් මත්තට සතුටත් ගෙන ඔස්ටින් රිය ඇවිත්
එතැන නතර වූයේ ය.
“අනේ…මේ උදේ මොකද මේ…”
විහාර වෛශාක්‍ය අමරසිංහ හදිසි පිම්මක් රියෙන් පිටතට පැන ගත්දී මගේ
තොල් මිමිණී ය.
“හිතුවද දැං මට ගෙදරට ගෙනියනකල් ඉවසිල්ලක් නැතුව කියල…”
ඔහු අත් දෙක පපුව මත බැඳ ගෙන මා ආස ම ඉරියව්වෙන් රියට හේත්තු
වූයේ ය. මම සිනහව හංගා ගන්නට නො ගියෙමි. විහාර ඇස් පිය නො සලා මදෙස
බලා ගෙන සිටින්නට විය.
“හිතන්න දෙයක් නෑ ඉතිං…පේනවනෙ…”
“වැඩේමයි. මේක මේ ස’ප්‍රයිස් එකක්”
“ස’ප්‍රයිස්…එහෙම කියනකොටත් ඇඟ හිරිවැටිල යනව. ඔයා මට දීල
තියෙන්නෙම ස’ප්‍රයිස්මනෙ…”
ඇස් වලින් ඉඟි කරමින් විහාර රියෙහි අනෙත් පසට ගියේ ය. ඒ අනුව මම ද
මල් මිටිය සමගින් ම එතැනට වීමි. විවර කරන ලද දොර තුළින් දැකිය හැකි වූයේ
ඇතුළත අසුන් ගෙන උන් සුරංගනා පැටික්කියකි.
“අනේ…”
මට එහෙම කියැවී තිබිණ. අසෙලියා මදෙසත් විහාර දෙසත් සිය බෝල දෑස්
කරකවමින් බැලුවා විනා සිනහ වූයේ නැත. මම ඇය වෙත පහත් වී ඈ වැළඳ සිප
ගතිමි. නමුත් දැරිය මා කෙරේ ළෙංගතු ප්‍රතිචාරයක් නො දැක්වූවා ය. ඇය ඉතා තද
වෙහෙසකින් පසු වෙතැයි මට සිතිණ. දීර්ඝ වූ ගුවන් ගමනකින් පසු එසේ වීම
සාමාන්‍ය දෙයක් මිස පුදුම වෙන්නට කාරණයක් නොවේ.
“කොහොමද පැටියො…ඔයා එනකල් තාත්ති වගේම මාත් බලං හිටියෙ. ඔයාව
මං දැකල තිබුණෙ පින්තූර වලින් විතරයිනෙ. අනේ ඒවගෙ දැක්කටත් වඩා ගොඩම
ගොඩක් ඔයා ලස්සනයිනෙ. හරියට චූටි සුරංගනාවක් වගේ. හැබැයි දැන්නං ඔයාට
මහන්සියි වගේ නේද…එහෙම තමයි ඉතිං…ඔයා ගොඩක් වෙලා ට්‍රැවල් කළානෙ. අපි
හොඳ…රෙස්ට් එකක් අරං ඉමු. හොඳේ…”
මා කියවා ගෙන ගිය ද ඇය සතුටක ඉඟියක් හෝ පෙන්වූයේ නැත. ඒ
වෙනුවට මගේ උරයට මත්තෙන් විහාර දෙස බලා “තාත්ත…ශැල් වී ගෝ හෝම්…” යයි
විමසුවා ය.
“බබාට මහන්සියි විහාර. අපරාදෙ මෙහෙ අරං ආවෙ…ඔයාට කෙලින්ම ගෙදරයි
යන්න තිබුණෙ”
මම නැගී සිටිමින් විහාර ට සම්මුඛ ව පැවසීමි.
“ඔයා එයාව දැක්කාම සතුටු වෙනව බලන්නයි මට ඕන වුණේ”
ඒ වෙලාවේ ඔහු තුළ හිඳිනා කුඩා ළමයා පිටතට ආවා යි මම සිතමි. අහිංසක
විලාශයකට ඔහු ගේ ඇස් සිහින් වී තිබිණ. මම යන්තම් ඒ අතැඟිල්ලක් අල්වා
ගතිමි.
“තෑන්ක් යූ…හැම වෙලේම මගෙ සතුට ගැන හිතනවට…”
“දැන් ඉතින් මට ඔය දෙන්න විතරයි ඉන්නෙ. මගෙ ලෝකෙම මේ තමයි. ඔය
දෙන්නව සතුටෙන් තියන එක මිස වෙන බලාපොරොත්තුවක් දැන් මට නෑ”
ඔහු ගෙන් සුසුමක් ගිළිහී ගියේ ය. මම අතක් දිගු කොට විහාර ගේ හිස්
මුදුනේ කෙහෙ රැල් අවුල් කළෙමි.
“ඔයා එනවද ගෙදර යන්න…”
පොඩි දරුවා ගේ හඬ වී ද ඔහු ගේ ඇස් වල වූයේ අසරණ තාත්තා කෙනෙකු
ගේ බැල්මකි. මම ඉක්මන් සිනහවක් නගා ගතිමි.
විශ් යූ වෙත ගොස් කැනස් මල් මිටිය වතුර පිරවූ වීදුරු බඳුනකට දමා මම
විහාර ගේ රියට නැගුණෙමි.
“හැම දේම මෙහෙම වෙන එක ගැන මට සතුටුයි ශික්කා”
ඊට මොහොතකට පෙර නූරි මිමිණුවා ය. මම ඇගේ කම්මුලකට මුදු තට්ටුවක්
දැමුවෙමි.
“ඔයා ඉස්සරහට ඇවිත් අසෙලිව උකුලට ගන්න ශික්ෂා”
කියා විහාර කීවා ට ඒ ගැන අසෙලියා සතුටු වූ බවක් පෙනෙන්නට නො
තිබිණ. ඒ කාරණාව ප්‍රබල වන්නට නොදී,
“කමක් නෑ විහාර. මෙහෙම යමුකො”
කියමින් මම පසුපස අසුනේ හරි බරි ගැහුණෙමි.
දුවෙක්!
මගේ හිතේ වූ කැළඹීම කුමක් දැයි නිශ්චිත ව හැඳින ගන්නට මා උත්සුක
නොවී ද ඒ තුළ අසෙලියා සිටියා විය යුතු ය. විහාර ගේ දුවට මා ආදරය කරන්නට
ගත්තේ ඔහු ඇය ගැන පැවසූ දවසේ සිට ය. ඔහු කෙරේ මට දැනෙන්නා වූ ප්‍රේමය,
ඔහු ගේ ම වූ දියණියක කෙරේ ස්නේහයක් ලෙස විහිද යාම ගැන පුදුම විය යුතු
නැත. එයින් පරිබාහිර ව අප කුඩා දරුවන්ට කොහොමත් ආශා කරමු. ආදරය කරමු.
ඔවුන් ගේ හුරතලයෙන් ප්‍රහර්ෂයට පත් වන්නෙමු. මිනිස් ළපටීන් පමණකුදු නොව
ඕනෑ ම සත්ව කොට්ටාශයක පැටවුන් හුරතල් ය. හුරුබුහුටි ය. ඒ නිසා ම ආදරය
මලු පිටින් දිනා ගන්නට සමත් ය. එය පොදු ලක්ෂණයකි. මා කුඩා දරුවන්ට ඒ තරම්
ආදරය කළ හැකි ජීවියෙකු සේ මා විසින් මාව හැඳින ගනු ලැබූයේ සියපත් නිසාවෙනි.
ඔහු නංගී ගේ කුස තුළ මෝරා වැඩෙත්දී ඊට සමාන්තර ව මගේ හද මඬල තුළ දරු
සෙනෙහස කියන දේ මෝරා වැඩෙමින් තිබිණ. සියපත් උපන්නේ නංගී පමණකුදු
නොව ලේ කිරි නො වූවාට මා ද මවක කරමිනි.
විහාර ට දියණියක සිටියාට ඇය මගේ දෝතට ලැබෙනු ඇතැයි අදහසක් මා
තුළ වූයේ නැත. විහාරට හෝ අයිතිවාසිකම් කිව නො හැකි අසෙලියා මගේ ලියා
හිතනා එක තරමක් දුරස්ථ වූ හැඟීමක් සේ ය. ඒ නිසා ඔහු ගේ දියණියට අම්මා
කෙනෙකු වීම ගැන මා කිසි දා සිහින මවා නැත්තේ ය. නමුත් පෙත් මගේ දී රිය තුළ
උන් ඇය වෙතට නැඹුරු වෙත්දී මගේ ළය මඬල අමුතු විදිහේ හැඟුම් පොදියකින්
ඇදුම්කන හැටි මට දැනිණ. එය හරියට අම්මා කෙනෙකු ගේ ළැමෙහි කිරි එරී දරුවා
වෙනුවෙන් ඒවා ඇදුම් කනවා වන් හැඟීමකැයි සිතමි.
නමුත් මා තුළ ක්ෂණිකව උපන් ඒ දාරක ස්නේහය අසෙලියා දෝත පා පිළි
ගත්තේ නැත. එතැන්හිදී සියුම් රිදුමක් හෝ ගැස්මක් හෝ බියක් හෝ මා තුළ ඇති වී
ද මම එය විහාරටවත් පෙනෙන්නට දැනෙන්නට නො හැරියෙමි.
දුවෙක්!
මම දුවකට ආදරය කරමි. මම අසෙලියා ට ආදරය කරමි. මම විහාර ගේ
දියණියට ආදරය කරමි!
පපුව පිරෙන්නට මා හුස්මක් ගත්තේ ඒ හඬ පිටතට ඇසෙනා ලෙස නොවේ.
නමුත් විහාර ඉදිරි කැඩපතෙන් මදෙස බැලුවේ ය. මගේ මඳහසෙහි වෙනසක් ඇතැයි
ඔහු ට දැනුණා දැයි නො දනිමි.
මම ඇයට ඇඟ සෝදා ගෙන ඇඳුම් මාරු කරන්නට උදව් කරන්නට සූදානම් වීමි.
නමුත් අසෙලියා මා ප්‍රතික්ෂේප කළා ය.
“නෝ. අයි කැන් ඩූ ඉට් මයිසෙල්ෆ්”
මගේ හිත ගැස්සුණ බවක් විහාර ට දැනෙන්නට ඇත. අසෙලියා නාන
කාමරයේ දොර වසා ගත් පසු විහාර මගේ නළල සිප ගත්තේ ය.
“ලංකාවෙ වගේ නෙවෙයි ශික්ෂා. ඒ රට වල ළමයි පොඩි කාලෙ ඉඳලම
තමන්ගෙ වැඩ කර ගන්න පුරුදු වෙනව. අමේලි දුවව හැදුවෙ එහෙම. ඒකයි
අසෙලියා ඔයාට එහෙම කියන්න ඇත්තෙ”
මා සිනහවක් පෑවා විතර ය. විහාර වෙනුවෙන් කෙසේ හෝ ඇය දිනා
ගන්නෙමැයි ඒ වෙලාවේ තදින් මම සිතා ගතිමි. ඒ විහාර ගේ හදවතට ඇතුළු වීමේ
මාර්ගය අසෙලියා තුළින් වැටී ඇතැයි සිතීම නිසා නොවේ. ඔහු ගේ දියණිය මට මගේ
ද දියණිය ලෙස දැනිය යුතු නිසා ය. ඒක පාර්ශ්වික ආදරයක වටිනාකමක් නැත්තේ
ය. අසෙලියා දිනෙක මා පිළි ගත යුතු ය!
ගෘහ සේවකයා කෑම වර්ග ගණනාවක් පිළියෙල කොට තිබිණ. මා අසෙලියාට
කෑම කවන්නට උත්සාහ කළ ද ඇය එකඟ නොවූවා ය. මහන්සියි කියා ඇය
ඉක්මනින් යහනට ගියා ය. ඇයට නින්ද යන තුරු මම හිස පිරිමැද්දෙමි. අසෙලියා ඒ
ගැන විරෝධය පෑවේ නැත. නමුත් සතුටක් පෙන්වූයේ ද නැත. ඇයට ඉක්මනින් නින්ද
ගියේ ය.
“එයාගෙ තාත්ත එක්ක ඔයා ඉන්නකොට පොඩි ජෙලසි ෆීලින් එකක් එන්නැති.
ඕන ළමයෙක් තමන්ගෙ තාත්ත එක්ක තමන්ගෙම අම්මව මිසක් වෙන ලේඩි
කෙනෙක් දකින්න සූදානම් නෑ ශිකී. ඔයා ඒක දන්නවනෙ. ඔයා සුජානිටයි නංගිටයි
අනුකම්පා කළේ ඒ ඔයාට යමක් කමක් තේරෙන වයස නිසා. ඒ දේ අසෙලියාගෙන්
බලාපොරොත්තු වෙන්න එපා. ඔයා ඒ ගැන හර්ට් වෙන්නත් එපා. කාලෙ හුඟක්
දේවල් වෙනස් කරනවනෙ. අනිත් එක අසෙලියා විහාර ළඟට එන්නෙ වැකේශන්
එකේදි විතරනෙ. පරිස්සමට හැම දේම හැන්ඩ්ල් කරන්න. ඔයාට ඒක පුළුවන්”
මට රිදී ඇති බව දැනී නූරි මා අස්වැසීමේ උත්සාහයක් ගත්තා ය. නමුත් ඇය
කියන සීමාවට එපිටින් වන යම් දෙයක අවශ්‍යතාවය මට දැනෙමින් තිබිණ.
විවිධාකාරයේ පවුල් ලෝකයේ වන බව මම දනිමි. මතක කාලයක පටන් මට
තිබුණේ අම්මා කෙනෙකු පමණක් සිටිනා පවුලකි. නමුත් එහි නිතර ම
අසම්පූර්ණත්වයක් විය. මා අලුතෙන් ගොඩ නගන්නට යන පවුල තුලත් ඒ
අසම්පූර්ණ බව ම ස්පර්ශ කළ යුතු ද? එය කෙතරම හද දවන්නේ ද කියා දන්නේ
එහෙම අත්දැකීමක් ලද අසම්පූර්ණ ජීවීන් පමණකි. මුළු ජීවිතය ම අසම්පූර්ණ ව
ගෙවා දමා මිය යන්නට මට සිදු වනු ඇත්ද? මහත් අපේක්ෂා භංගත්වයකින් මම හිරි
වැටී ගියෙමි.
ඉදිරි දින කිහිපය තුළ අපේ විවාහය සිදු වන්නට නියමිත වූයේ ය. එය ඉතා ම
සීමිත සමීපතම කිහිප දෙනෙකු ගෙන් පමණක් සමන්විත ව සරල හමුවක් ලෙස සිදු
කරන්නට අපි එකඟතාවයකට පැමිණ සිටියෙමු. කෙසේ වෙතත් මා අභියස සංකීර්ණ
ගැටළු ද්විත්වයක් තිබිණ. එකක් අම්මා අතැර යන්නට වීම ය. අනෙක අසෙලියා මා
පිළි නො ගනීවිද යන ප්‍රශ්නය ය.
“අම්මල ඇවිත් අපේ ගෙදර නතර වෙන්න. ඒක පවුල් කීපෙකට වුණත් ඉන්න
ඉඩ තියන තරං ලොකු ගෙයක්නෙ. ශික්ෂා සතුටෙන් ඉඳී අම්මල එහෙ එනවනං”
පසු ගිය දිනෙක විහාර අම්මා ට එවැනි යෝජනාවක් කළේ ය. නමුත් අම්මා
එක හෙලා එය ප්‍රතික්ෂේප කළා ය.
“ඒ මොකටද…අලුත බැඳපු දෙන්නෙක් මුල් කාලෙ හරි තනියම දෙන්නගෙ
දේවල් බලා කියාගෙන ඉන්න එක තමයි හොඳම. එතකොට තමයි දෙන්න දෙන්නට
හුරු වෙන්නෙ. පරණ පුරුදු පවුලෙ කොටසක් ඒ ජීවිතේ පැත්තක තියා ගත්තම ඒ
පැත්තෙ බර වැඩි වෙලා අනිත් පැත්තට අසාධාරණයක් වෙන්න පුළුවන්. එහෙම ඕනෙ
නෑ. ඔය දෙන්න තනියම ඕගොල්ලන්ගෙ ජීවිතේ පටන් ගන්න”
අම්මා නැති ජීවිතයක් ගැන හිතා ගන්නට හෝ බැරි වී ද ඇගේ ප්‍රතිචාරය ගැන
මට සතුටක් ද ආඩම්බරයක් ද දැනිණ. මගේ අම්මා වූ කලී ශ්‍රේෂ්ඨ මව්වත්
ගැහැනියකි.
“අක්ක අම්ම ගැන බය වෙන්න එපා. මං ඉන්නවනෙ තනියට. අනිත් එක අපි
ශොප් එක පටන් ගත්තහම දවසෙම එක ළඟ ඉන්නවනෙ”
නංගී ද අම්මා ව අනුමත කළා ය.
“ඔහොම ටික කාලයක් ගියාවෙකො. නංගිත් පිළිවෙලක් වෙලා…මට තනියම
ඉන්න බැරි කාලයක් ආවහම මං ඔයාල ළඟට එන්නං”
අම්මා ගේ පැත්ත ඒ විදිහට විසඳී තිබිණි ද අසෙලියා කවදාවත් මාව සිය
පවුලේ කෙනෙකු ලෙස නො පිළිගනීවි ද කියනා පැනය දත් විලිස්සා ගෙන මා අභියස
පෙනී සිටින්නට විය.