මම වෙනම මලක් – 32

0
4832

නිලුපුලීට ඔහු දුටුවනම සිනා නැඟිණ. මේ ඇය ෆේස්බුක් චැට් කරන්නට පටන් ගත් පසු ඔහු දුටු පළමු දැක්ම ය. ඒ සිනාව රදීෂ් දුටුවේ ය. ඔහු එය කියවා ගත්තේ වැරදියට ය.

“මේ ගොනාගේ ගොන් හැසිරීම නිසා ඔෆිස් එකේ ඉන්න අහිංසකම ළමයත් ඌට හිනා වෙනවා.”

ඔහු සිතුවේ තරහිනි. ඒ තරහ නිලුපුලී වෙත නොවේ. විකුම් වෙනුවෙනි. විකුම් ඕනෑවටත් වඩා හොට පටලාගෙන ඇතැයි රදීෂ් තරහින් සිතුවේ ය.නිලුපුලී රාජකාරි කටයුතු කළේ බොහෝ පරිස්සමිනි. ඔහු අසල සිටියදී ඇයට සියල්ලම වරදින වගක් දැනේ. එහෙම කර ගැනීමටත් අසීරු ය. රස්සාව සේරටෝම වඩා වැදගත් ය.

“නිලුපුලී, අද කේක් ගෙනල්ලා නෑ ඔයාලගෙ යාලුවා”

තත්ත්වය සාමාන්‍ය වෙන්නට නිලුපුලීට එසේ කියන්නට රදීෂ්ට සිතිණ.නිලුපුලී මන්දස්මිතයක් මවා ගත්තා ය.

“නිලුපුලී බූට් වලට හිනා වෙන් නෑ. එයාටත් මට වගේ දඩාර බූට් එකක් වැදිලා මං හිතන්නේ”

විකුම් එසේ කියද්දී නිලුපුලී හිනැහුණා ය. ඇයට දෙන්නට පැහැදිලි උත්තරයක් තිබේ.

“මගේ අම්මා ආදරෙන් පරාද වුණු කෙනෙක්. මම එයා නිසා මං දන්නවා ආදරේ තියන වේදනාව.අම්මාගේ ඒ වේදනාව නිසා මං පුදුමාකාර තරමට දුකක් වින්දා.”

ඇය එසේ පැවසුවා ය. තරුණයන් දෙදෙනා මුහුණට මුහුණ බලා ගත්තේ වේදනාවෙනි. යොවුන් ප්‍රේමය නිසා විඳින වේදනාව එකකි. නමුත් විෂ සහිත මවක්! ඒ වේදනාව වෙනමම වර්ගයේ එකකි.

අප සමාන්තර ලෝක දෙකක එකම ඉරණමට ලක් වූ ජීවින් වීම දෛවයේ සරදමක් ද එසේත් නැත්නම් දෛවයේ නිර්මාණයක් ද සැක සහිත ය. ඔබ ඔබේ ලෝකයේ තනිව හිඳියි. එහෙත් ඔබට ඔබ අසලින් අම්මා හෝ හිඳියි. ඇය කිනම් මොහොතක හෝ ඔබට අහිමි වේදැයි බිය මිස මට මෙන් තනිකමක් නොදැනීම ම ජීවිතය ඔබට දුන් ත්‍යාගයකි.

නුඹට නුඹ අහිමි වී යන මොහොතක පවා නුඹ ළඟ රැඳෙන්නට කැමැත්තෙනි. “

විකුම් කඩදාසියක් ගෙන එසේ කුරුටු ගෑවේ ය. ඇය එසේ දුකක් විඳින්නියකි. බලාගෙන යද්දී වේදනා විඳීම් වලට සීමාවක් නොවේ.

ආදරේ කරනව කසාද බඳිනවා වගේම නොගැළපෙනවානම් ඈත් වෙන එකත් මිනිස්සු කරන දෙයක්නෙ  ප්‍රශ්නයක් තියනවනම් ඔයාට පුලුවන් තීරණයක් ගන්න. සදාකාලෙටම රිද්දා ගන්න උවමනාවක් නෑනෙ.”

නිලුපුලී එසේ ලියා එවූයේ පෙර දවසක ය. ඔහුගේ හදවතේ තිබූ සුවිශාලම වේදනාව බිම තබන්නට උදව් දෙමිනි.

“ෆීනික්ස් කෙනෙක් වෙලා නැගිටින්න ගියාට සමහර වෙලාවට අපි ගින්නට පිච්චෙනවා.. රිදෙනවත් වැඩී. ඒත් හැමදාම රිද්දා ගන්න බෑ කියලා මතක තියාගන්නකො සර්”

ඇය එසේ කියා නැගිට ගියා ය. ‍රදීෂ් සහෝදරයා දෙස බැලුවේ අවලාද බැල්මකිනි.

“මේ ලෝකේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න එක්ක උඹට තියන ප්‍රශ්නෙත් ප්‍රශ්නයක්ද කියලා මම අහන් නෑ. ඒ වුණාට මට අහන්න තියෙන්නේ මේ වගේ පොඩි ළමයින්ට පවා උපදෙස් දෙන්න හිත තරමට බිම වැටුණේ ඇයි කියලා.  මට ආයේ ආයේ කියන්න තියෙන්නේ කවුරු නැතත් ආන්ටියි උමාලියි ගැනවත් හිතපං”

රදීෂ් එසේ උපදෙස් දුන්නේ කෝපයෙන් නොවේ. එහෙත් ඔහුට කලකිරීමක් විය. අම්මා කෙනෙකුගේ ආදරය ඔහුට නිසි පරිදි ලැබී නැත. ඔහු ඒ ආදරයේ සීමා ද දැන ගත්තේ අහස්‍යාගෙනි. ඇය අම්මා කෙනෙකු පරිද්දෙන් ඔහු රැක ගන්නා අවස්ථා ඕනෑ තරම් ය.

“මොන දේ වුණත් උඹට වැටිලා අඬන්න අම්මෙක්ගේ උකුලක් තියනවා මල්ලි.”

රදීෂ් එසේ පැවසුවේ කල්පනාකාරී හඬකිනි. ඒ හඬ විකුම්ව පෙර දිනයක මතකයක් වෙත විසි කර දැමී ය.

“ඔයා ජීවිතේ ගැන තීරණයක් ගන්න එක මංවත් තාත්තවත් පපුවෙ අමාරු හදාගන්න කාරණාවක් නෙවෙයි. එහෙම පටු විදියට අපි ගැන බලන්න ඕන නෑ. ඕනනම් රටකට හරි යන්න.”

අම්මා පෙර දා කීවා ය.  නම්බුව හෝ කිසිම හේතුවක් වෙනුවෙන් විකුම් රිදවා ගන්නට නුවුමනා බව වැඩියෙන්ම විශ්වාස කරන්නට කැමැත්තී ඇය ය.

“අපිට මූණ පාන්න වෙන හැම දෙයක්ම වෙන්න තිබුනු දේවල් කියල හිතෙන එකයි පහසු. ඒවට මූණ දෙන්න කලින් අපි ඒ දේවල් කරාට පස්සේ වෙන දේවල් ගැන බය වී කම්පා වෙන්න උවමනා නෑ. හැම දෙයක්ම වෙන්න තියෙන හැටියට සිද්ධ වේවි. හිත රිද්දන්න පටන් ගත්තොත්  අඬ අඬා ඉන්නවා ඇරෙන්න අපිට කිසිම දෙයක් කරන්න බැහැ පුතේ.”

කිසිම නෝක්කාඩුවක් හෝ බැන වැදීමකින් තොරව තමන්ගේ අය මේ තරමට තමන් වෙනුවෙන් පෙනී හිඳීම  විකුම්ට මහත් සහනයකි. ඔහු හිත හදා ගන්නට පටන් ගත්තේ ය.

කොහොමටත් ඉදිරියට එන්නේ එතරමට පහසු නැති ගමනකි.ඒ මාවතේ ගමන් කරන්නට හිත හදාගනිද්දී විකුම් ඔහුගේ තීරණ ක්‍රියාත්මක කරමින් සිටියේ ය. ඔහු මුලින්ම මේ සම්බන්ධයෙන් කතා කළ යුතු වැදගත්ම චරිතය සමඟ සංවාදයක් ඇරඹීමට සිතා ගත්තේ ය. අවසාන කතාබහ කියන්නේ තීරණාත්මක එකකි.

එය අතපසු නොකර ඉක්මනින් කළ යුතු කටයුත්තකි.

නිලූ, ඔයාගේ ගෙදර ප්‍රශ්න නිසා ඔයා ඉන්නේ වේදනාවෙ ගිලිල නේද? ඒ වේදනාවට තව තව වේදනා එකතු කරගන්න එක කොච්චර වැරදිද?”

නිලුපුලීගේ හැසිරීම් නිරීක්ෂණය කළ උපේකා එසේ ඇසුවේ වේදනාවෙනි.කෙනෙකුට තමන්ගේම කියා තීරණ තිබිය යුතු බවත් පෞද්ගලිකත්වය ඉතා වැදගත් බවත් නිරන්තරයෙන් කියන්නිය තමන්ගේ ජීවිතය වෙත බලහත්කාරයෙන් මැදිහත් වන බවක් නිලුපුලීට සිතිණ. මේ ආයතනයේ ඇයට ඉන්නා හොඳම යෙහෙළිය උපේකා ය.

“උපේකා අක්කේ, මං ඔයාට දෙයක් කියන්නද?”

නිලුපුලී අසන්නේ ප්‍රසන්න හඬකින් නොවේ. ප්‍රේමය නිසා ගැහැනු අන්ධ වී යන බව උපේකා තරම් දන්නා කෙනෙකු නොවේ.ඇගේ භාෂාවෙන් කියනවානම් ඇය ප්‍රේමය නිසා අන්ධ වූ අවස්ථා ඉහේ කෙස් ගාණට ය. නමුත් නිලුපුලීට එසේ වන්නට ඉඩ දෙන්නට උපේකාට දුකක් දැනේ.

“මං ඇත්තටම කියන්නේ, නයනිලා වගේ කෙස් පැහුණු ගෑනි ඉන්නෙ අනුන්ගෙ ජීවිතේ ගැන ඕනවට වඩා ජජ් කරන. මං ඔයා ගැන ජීවිතේටවත් එහෙම හිතුවේ නෑ.”

මේ වචන කියන්නේ වෙනත් කෙනෙකු නම් උපේකාට මෙතනින් ගසා බසා දමා යන්නට ලොකු වෙලාවක් යන්නේ නැත. නමුත් මේ ඉතා අහිංසක කෙල්ලකි.මහා බරපතල තීරණ ගන්නට නොදන්නා නිලුපුලී විශාල ලෙස වැරදෙන්නට යන බව සිතෙද්දී උපේකාට සැබෑ දුකක් දැනේ. උපේකා කියන්නේ විකුම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී අවසන් බව ය. එහෙම කොල්ලන්ට ළං වීම බොහෝ ප්‍රවේසම් සහගතව කළ යුතු දෙයකි.

“අපි කොහොමද උපේකා එහෙම කියන්නේ, විකුම් දිහා පිටින් බලලා අපිට එයා ඩ්‍රග් ඇඩික්ටඩ් කියල තීරණය කරන්න බෑනෙ.එහෙම තීරණ මිනිස්සු ගැන ගන්න එක කොච්චර නම් නරකද?”

පුද්ගල විනිශ්චය ඉතා අප්‍රසන්න දෙයක් බව උපේකා හොඳින් දනියි. සම්බන්ධයක් බිඳී ගිය යුවතියක් ලෙස ඇය ඕනෑතරම් විනිශ්චයට ලක් වේ. ඒ සෑම අවස්ථාවකම එය ඇයට දරා ගැනීම එතරම් පහසු වූයේ ද නැත. ඇය ඉවසමින් රිදවා ගනිමින් ඒවා දරා ගන්නී ය.

“මිනිස්සු ජජ් කරන එක නරකයි තමා. ඒත් අපි මොකක්ම හරි අමාරුවක වැටෙන්න යනවා නම් ඒක කරන එකේ වරදක් නෑ.”

උපේකා කියන්නේ කල්පනාකාරීව ය.

“නිලූ නංගි, අපි පොඩි කාලේ සුරංගනා කතා කියෝලා එක එක ඒවා හිතා ගන්නව තමයි. ඒත් ඒවා ඇත්ත ලෝකෙට ඇප්ලයි කරන්න ඕන නෑ මං නම් හිතන්නේ. අපිට රාස්සයො කුමාරයො කරන්න බෑ. කිස් කරාට ගෙම්බො කුමාරයො වෙන්නෙත් නෑ.”

ආදරය පිරිනමා මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරකයෙක් පුනුරුත්ථාපනය කරගන්නවාට වඩා නිලුපුලී ඇගේ ප්‍රශ්න විසඳා ගත යුතු බව උපේකා සිතුවා ය.

“ඔයා යාලුවෙක් විදියට මොනතරම් විකුම්ට ළං වුණත් කමක් නෑ. ඒත් නංගි, ඔයාගේ අදහස සම්බන්ධයක් ඇති කරගන්න නම් ආයේ ආයේ හිතන්න.”

උපේකා එසේ පවසා තමන්ගේ වැඩ කරගන්නට සිතුවා ය. නිලුපුලී කතාබහ නවතා දමා වැඩෙහි යෙදෙන්නට වූවා ය. එහෙත් ඇගේ මුහුණට කළු වළාකුළු වැටී තිබේ. කාර්යාල කටයුත්තක් වෙනුවෙන් එතැනට ආ රදීෂ් ඒ මුහුණ දුටුවේ අහම්බයකිනි.

“මගේ අම්මා ආදරෙන් පරාද වුණු කෙනෙක්. මම එයා නිසා මං දන්නවා ආදරේ තියන වේදනාව.අම්මාගේ ඒ වේදනාව නිසා මං පුදුමාකාර තරමට දුකක් වින්දා”

රදීෂ් නැවත නැවතත් ඒ වචන සිහි කළේ ය.

ඔහු නිලුපුලී සේවයට ගත්තේ එක්තරා හේතුවකට ය. අහිංසක දැරියකට පිහිට වීම අහස්‍යාගේ ආසාව වුවත් ඔහුගේ හදවතෙහි වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක වෙන්නට ගත්තේ ඇගේ අයදුම් පත්‍රය දුටු මොහොතේ ය. නිශ්ශබ්දතාව රැක්කා හොඳටෝම ඇතැයි සිතමින් සිටි කාලයක වේල්ල වත්තේ දැරියක ඔහු ළඟට රැකියාවට ද පැමිණ තිබේ.

විකුම්ගේ විකාර ගැන අමතක කර මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට රදීෂ් සිතී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here