Vintage Eyes – 37

අපේ විවාහය සිදු වූයේ පානදුර ප්‍රදේශයෙහි වෙරළාසන්න හෝටලයක ය. එහි සාක්ෂිකාරයන් වන්නට නියමිත ව සිටියේ කුඩා පිරිසක් නිසා විහාර කුඩා පිළිගැනීමේ ශාලාවක් තෝරා ගත්තේ ය.

විවාහය වෙනුවෙන් උත්සවයක් මට අවශ්‍ය වූයේ ම නැත. එවැන්නක් නිසා අසෙලියා තව දුරටත් මගෙන් දුරස් වේවිද යන බිය මට විය. නමුත් විහාර මගේ අදහසට ඉඩ දුන්නේ නැත. 

“මනමාලියක් වෙන දවස කියන්නෙ ඕනම ගෑනු ළමයෙක් පොඩි කාලෙ ඉඳලම දකින හීනයක්. ඒ හීනෙ එක කොටසක්වත් ඔයාට මිස් කරන්න  මං කැමති නෑ ශික්ෂා. එහෙම එක දවසයි ඔයාගෙ ජීවිතේට එන්නෙ…මට සෙකන්ඩ් චාන්ස් එකක් ආවට. ඒ හැම මොහොතක් ම ලස්සන මතකයක් වෙලා ඔයාගෙ හිතේ ඉතුරු වෙන්න ඕනෙ. අනිත් එක ඔයාගෙ අම්මගෙ හිතේ වුණත් තියෙන්න ඇති ඔයා මනමාලියක් වෙන දවසක් ගැන හරි ලස්සන බලාපොරොත්තුවක්. ඔයාගෙ දවස මං ඔයාට දෙන්න ඕන ශික්ෂා”

ඒ අනුව ඒ සියල්ල සිදු වූයේ විහාර ගේ හද සිතුවමකට අනුව ය. මට තිබුණේ ඔහු ට අවනත වී බලා හිඳින්නට පමණකි. පෝරුවේ චාරිත්‍ර වෙරළෙහි සිදු කිරීම සඳහා ඉතා සරල වූ පෝරුවක් හෝටලයේ මිදුලෙහි ඉදි කොට තිබිණ. එය ඒරම් ලිලී හා සුදු ඩේසි වලින් ද දුහුල් සුදු රෙදි වලින් ද සැරසී තිබුණේ සැබවින් සිහිනයක් සේ ය. අෂ්ටක කියවිණ. ජය මංගල ගාථා ගැයිණ. දෑඟිලි බැඳ අත පැන් වත්කෙරිණ. තැලි පිලි ඇන්දිණි. පෝරුවේ දී අම්මා ගේ හිස මත විහාර විසින් රෙදි කච්චි හතක් තබනු ලැබූ වෙලේ චාරිත්‍ර සිදු කළ තැනැත්තා කී කවි අසා නො හැඬූ කෙනෙකු ඒ මංගල සභාවේ හිටියා යි නො සිතමි. අම්මා අසීරුවෙන් කඳුළු දරා සිට අන්තිම මොහොතේ පැරදුණා ය. මට නම් ඇරඹුමේ සිට ම දරා ගත හැකි වූයේ නැත. නොනැවතී මා දෑසින් කඳුළු වරුසා ඇද හැළිණ. විහාර වරින් වර මගේ කඳුළු පිසලෑවේ ය. 

එදා විහාර ගේ ගෙදර දී හමු වූ ඔහු ගේ මිතුරෝ වදේ ගැසූහ. පැමිණ සිටි සුළු පිරිස අපට හදවතින් ම ආශීර්වාද කළ අය වූහ. සිනහවත් කඳුළත් අතරේ හිරු අවරට හැරුණේ මගේ හිත කඳුළු වලාවක් බවට පත් කරමිනි. මම අම්මා ගේ දෙපා මුල වැටී ඉකි බිඳ බිඳ හැඬුවෙමි. ඇය වැළඳ ගෙන අතැර දමා යා නො හැකි වේදනාවෙන් හදවත පුපුරා යන්නට ආසන්න වන තෙක් හැඬුවෙමි.

“මං ඔයාව හොඳ දරුවෙක් වගේ හැදුවනෙ බබා. ඔයාට හොඳම හොඳ මහත්තයෙක් ලැබිල තියෙනව. ඉතිං මේ ගමන අඬාගෙන යන්න ඕන නෑ. ඔයා හිනා වෙලා යන්නයි ඕනෙ. ඒ ගෙදරට දොළොස්මහේ පහනක් වගේ එළිය දෙන්නයි ඕනෙ. අම්ම ඔයාගෙන් ඈත් වෙන්නෙ නෑ පුතේ. අපි තවත් ලං වෙයි. මට ඔයා නැති වුණා නෙවෙයිනෙ. මට පුතෙකුත් ලැබුණ එකනෙ වුණේ…ඉතිං අපි අඬන්නෙ ඇයි…මේ පොඩි දරුවත් බය වෙනවනෙ ඔයා ඔහොම ඇඬුවහම. දැං අඬන එක නවත්තන්න…ම්…”

අම්මා ට එහෙව් ආත්ම ශක්තියක් ලැබුණේ කොහෙන් දැයි නො දනිමි. ඇය හැකි තාක් කඳුළක් නො සලා හිටියා ය. ඇගේ කඳුළුත් එක්ක ම මගේ නෙතින් ගලා ගියේ ය. ඇතැම් විට ඒ අවුරුදු විසි ගණනක් තිස්සේ අම්මා වෙනුවෙන් මා දරා උන් කඳුළු සාගරය වන්නට ඇත.

උත්සවයෙන් පසු  විහාර ගේ වින්ටේජ් මන්දිරයට මිස වෙන කොහේවත් යා නො හැකි යයි තරයේ ම කියා සිටියේ මා ය. මගේ ඒ බලවත් ඉල්ලීම නො සලකා හරින්නට විහාර ට නො හැකි විය. මා එවැනි තීරණයක් ගත්තේ අසෙලියා නිසාවෙන් බව ඇතැම් විට ඔහු වටහා ගන්නට ඇත.

මේ වන විටත් අසෙලියා මා කෙරේ මෘදු වී සිටියේ නැත. ඇය මාව ප්‍රතික්ශේප කළේ දබර කිරීමෙන් නොව මා නො සලකා හැරීමෙනි. මා සිනහ වුණාට ඇය සිනහ නොවී බුම්මා ගෙන සිටියා ය. මා කතා කළාට හැකි තාක් කතා නො කොට සිටියා ය. අවශ්‍ය ම දෙයකදී නම් පිළිතුරක් දුන්නා ය. ඇය සතුටෙන් නො සිටියදී අප කොහේ ගියත් පලක් නැතැයි යන්න මගේ අදහස විය. එය ඇයට අනවශ්‍ය වදයක් වේවී කියා ද මම සිතුවෙමි. ඒ නිසා හොඳ ම දෙය ඇයට පුරුදු ගෙදර නතර වීම ය. අසෙලියා මට සමීප වීමෙන් පස්සේ ලොකු සවාරියක් යන්නට ද මගේ හිතේ ආශාවක් විය.

වින්ටේජ් මැදුරේ පදිංචියට ම මා පැමිණි බව වටහා ගෙන දෝ දූ කාමරයේ දොර වසා ගත්තා ය. මට දැනුණේ මුළුමනින් මා හිස් වී ගියා වාගේ හැඟීමකි. මා හෙළු සුසුමින් මා ම සසල වූයේ ය. විහාර මගේ උරහිස වටා අතක් දමා ඔහු වෙතට මා ලං කොට ගත්තේ ය.

“ඔයා අවුල් යන්න එපා. අපි දුවගෙ හිත හදන්න බලමු. අමේලිත් දැන් ඉන්නෙ වෙන කෙනෙක් එක්ක කියල එයා දන්නව. මොනා වුණත් ඒ ගැනත් දුව හිත රිදෝගෙන ඉන්න ඇත්තෙ. මාත් ආයෙ මැරි කළා කියල හිතන එක එයාට කොයි විදිහට බලපානවද දන්නෑනෙ ශික්ෂා. ම්…ඒක නිසා අපි එයාට ටික දවසක් දෙමු. ඩෙෆිනීට්ලි එයා ඔයාට ආදරේ වෙනව”

මා විහාර ගේ ඇස් දෙකේ එල්ලී සිටියේ අසරණව ය. නමුත් ඒ අන්තිම වචන කිහිපය මගේ හදට අමුතු පණක් ගෙන ආ බව කිව යුතු ය. මියෙන්නට වැටී උන් ගහක් මත්තට අනෝරා වැස්සක් පතිත වූවා මෙන් මම පණ ගසා නැගී සිටියෙමි. 

“ඔයා දුව එක්කං එන්නකො කෑම කන්න”

“එයා එයිද…ඔහොම නිදාගන්න අරින එක හොඳ නැද්ද…”

විහාර විමසුවේ කිසියම් අසරණ හැඟීමක්  හිත අස්සේ හිර කර ගෙන ය. මම මඳහසකින් ඔහු ගේ අතක් අල්වා ගතිමි.

“එයා දවල් කෑවෙත් නෑ. යන්තං බත් ටික අත ගගා ඉඳල නැගිට්ට. දැං බත් ටිකක් කවල ඕන නිදාගන්න අරින්න”

විහාර දොරට තට්ටුවක් දමා එය විවර කළේ දෙගිඩියාවෙනි. අසෙලියා ඇඳේ ගුලි ගැසී සිටියා ය. නෙතු විවර කොට බලා ඇය යළිත් ඇස් පියා ගත්තා ය.

“අසෙලි…ඩිනර් අරං නිදියමු නේ දූ…”

වරදකාර හැඟීමක් විහාර ගේ හඬේ විණි ද? ඔහු කොයි තරම් සිය දියණියට ආදරය කළේ ද කියා මා තරම් හොඳින් අමේලි වුව නො දැන ඉන්නට ඇත. අසෙලියා වෙනුවෙන් මුළු ජීවිතය ම හුදෙකලාවේ ගෙවන්නට පවා වරෙක ඔහු තීරණය කොට ගෙන සිටියේ ය. නමුත් මා හා විවාහ වෙන්නට අවසානයේ දී ගත් තීරණය නිසා ඔහු ට දියණිය අහිමි වී ගියේ යයි පසුතැවීමක් දැන් විහාර ට වන්නේ ද?

“නෝ. අයිම් නොට් හංග්‍රි”

අසෙලියා නෙතු පියා ගෙන ප්‍රතික්ෂේප කළා ය.

“ඒත් ඔයා දවල්ටත් හරියට කාල නෙවේනෙ පුතේ ඉන්නෙ”

පියවරක් කාමරය තුළට තබමින් මම කීවෙමි. අසෙලියා කොට්ටයෙහි මූණ ඔබා ගෙන යටිකුරු වූවා ය. විහාර මගේ අතකින් ඇල්ලුවේ ඇයට පෙරැත්ත කරන්නට එපා කියන්නට වාගේ ය. ඇය නිසා මගේ හිත රිදේ යයි බියක් ඔහු ට වූවා ට සැක නැත.

“ඔයා බඩගින්නෙ ඉන්නකොට තාත්ති කන්නෙ කොහොමද…එයා ඔයාට කොච්චර ආදරේද කියල ඔයා දන්නවනෙ පැටියො. ඔයා කන්නැතුව නිදා ගත්තොත් තාත්තිත් බඩගින්නෙ ඉඳී. ඒක නිසා අපි චුට්ටක් කමුද…ම්..ඔයා ආස නැද්ද මිදුලට ගිහින් ලයිට් හප්පො අල්ල අල්ල කන්න…ම්…මං චූටි කාලෙනං අපේ අම්ම මට බත් කවල තියෙන්නෙ එහෙම…අපි යංද ලයිට් හප්පො අල්ලන්න…”

“හූ ඉස් ලයිට් හප්ප…”

යන්තම් කොට්ටයෙන් ඉවතට ඇස් දෙක හරවා අසෙලියා විමසුවා ය. ඒ ප්‍රතිචාරයෙන් දිරි ලැබ මම ඇය අසලින් යහනේ හිඳ ගතිමි. 

“ලයිට් හප්ප මීන්ස් ෆයර් ෆ්ලයි.  ද බැක් සයිඩ් ඔෆ් දැට් ඉන්සෙක්ට් ගිව්ස් ඕෆ් අ ෆේන්ට් යෙලෝයිෂ් ග්ලෝ ඉන් ද ඩෙඩ් ඔෆ් ද නයිට්”

“අයි හැවන්ට් සීන් සච් ඇන් ඉන්සෙක්ට්”

“ඉතින් ඒකනෙ…අපි යං ගාඩ්න් එකට එයාලව බලන්න. මං ඔයාට ඒගොල්ලො අල්ලල දෙන්නංකො”

“අයි කාන්ට් ටච් දෙම්. දේ මයිට් බයිට් මී”

“හරි අපි යංකො බලන්න. රෑට මිදුල කොච්චර ලස්සනද…අහසෙ තරු පිරිල…මිදුලෙ ලයිට් හප්පො ඉගිල්ලෙනව. යූඑස්ඒ වල වගේ නෙවෙයි මෙහෙ. එහෙට වඩා ගොඩක් ලස්සනයි. කම් මැණික…ලෙට්ස් ගො ඇන්ඩ් සී”

ඒ තරම් පෙරැත්ත කිරීමකින් තොර ව අසෙලියාව යහනෙන් බස්වා ගන්නට මට හැකි විය. එය ජයග්‍රහණයක් සේ සිතන්නට මම කැමති වීමි. අසෙලියා යනු අවුරුදු අටක දැරියකි. ඇය නො දැරියක නොවේ. දැනටමත් ඇගේ මනසෙහි කාවැදුණු යම් යම් දෑ තිබිය හැකි ය. හැම මොහොතක ම ඇය අලුතෙන් යමක් උගනිමින් ද සිටින්නී ය. විශේෂයෙන් ම යමක් සිතා තේරුම් ගත හැකි වයසක ඇය පසු වෙයි. ඒ නිසා ම ඒ හිතට අත තැබිය යුත්තේ පරිස්සමෙනි. නො එසේ වී නම් ඇය සදහට ම මගෙන් දුරස් වන්නට පිළිවන. ඇගේ පියා ගේ ආදරය සැක කරන්නට ද පිළිවන.

“මං ඔයාව වඩා ගන්නද…”

ඇත්තට ම එහෙම ආදරයක් දෙන්නට මට ඕනෑ වී තිබිණ. අසෙලියා යනු මගේ ම දියණියක ලෙස ඇට මස් ලේ විනිවිද යන හැඟීමක් මා තුළ ඇති වන්නට පටන් ගෙන ඇත. විහාර වෙනුවෙන් සම්පූර්ණ ආදරයක් ලබා දිය හැක්කේ අසෙලියා මා පිළිගැනීමෙන් පස්සේ වැනි අදහසක් ද කොහේ සිට ද මන්දා මා තුළට ඇතුළු වී තිබිණ.

“නෝ… යූ ඩෝන්ට් නීඩ් ටු. අයි කැන් වෝක් බයි මයිසෙල්ෆ්”

බටහිර රටවල මව්වරුන් ගේ ආදරය ලංකාවේ මවුවරුන් ගේ ආදරයට වඩා වෙනස් ය. අප වාගේ ඔවුන් දරුවන්ට ඇති ආදරය වෙනුවෙන් වඩා සිප ගෙන සියල්ල අතට පයට සිදු කොට දෙන්නේ නැත. අසෙලියා හැදී තිබෙන්නේත් එවැනි ආදර සීමාවක් තුළ බව ඇය තනිව ඇගේ කටයුතු කර ගන්නට දරනා උත්සාහය තුළින් ගම්‍ය වේ. නමුත් මට ඕනේ සියපත් ව වාගේ ම ඇය වඩා සිප ගෙන ආදරය පෙන්වන්නට ය.

අසෙලියා නැගිට කාමරයෙන් පිටතට එත්දී මම විහාර ට ඇසෙන් ඉඟි කොට ඇය මිදුලට ගෙන යන්නයි කියා අසෙලියා වෙනුවෙන් බත් ටිකක් බෙදා ගතිමි. අප්පු ඇය වෙනුවෙන් මිරිස් අඩුවට ව්‍යාංජන කිහිපයක් පිළියෙල කොට තිබිණ.

මට සිහි වූයේ එදා මගේ උපන් දිනය දා පොල් වත්තේ ගෙවුණු රාත්‍රී හෝරා කිහිපය ය. එළි පෙහෙළි කළ උද්‍යානයක් වීම හා විදුලි එළි දැල්වීම හැරුණු විට මුළු වටාපිටාව ම එදා සිහි ගන්වන සුළු විය. ඒ නිසා ම මා තුළ අලුත් සතුටක් හා ප්‍රබෝධයක් ඇති වූවා යි සිතිය හැක. අසෙලියා ට කෑම කවන්නට ගෙනා පිඟාන විහාර අතට දී, පොඩි එකෙකු වාගේ කණාමැදිරියෙකු පසු පස ගොස් මම දෝතට ඔහු මැදි කොට ගතිමි. 

“යේ…”

අසෙලියා අත්පුඩි ගසා සිනහ වූවා ය. 

“මේ බලන්න. එයාව ඔයාගෙ අතට දෙන්නද…හැබැයි එයාට රිද්දන්න එපා හොඳේ…”

අසෙලියා කැමැත්තෙන් කණාමැදිරියා ව අතට ගත්තා ය. ඒ අතරේ මම ඇයට බත් කටක් කවා ගතිමි. අත වූ කණාමැදිරියා ඉගිල ගිය පසු ඇය ඔවුන් පසු පස එලවා ගියා ය. තාත්තා ත් දුවත් එක්ව කණාමැදිරියන් ලුහුබඳිත්දී වදයක් නැතිව මට ඇයට බත් ටික කවා ගත හැකි විය. ඉන් පසුත් ඇයට මිදුලට වී ඉන්නට ඕනා වූයෙන්, 

“එහෙනං මටත් එක්කම මෙහෙට බෙදං එන්නකො. දුවට වගේ මටත් කවනවද…” 

කියා විහාර මා විමසී ය. ඒ වෙලාවේ ඔහු ගේ ඇස් වල අලුත් ආලෝක කදම්බයක් මට දැක ගත හැකි විය.

ඒ රාත්‍රිය මට සැනසුම ගෙන දුන් එකකි. ඇගේ පියාට මා බත් කවනවාට ඇතැම් විට අසෙලියා කැමති නො වන්නට ඇත. නමුත් විහාර බත් කමින් ම තව දුරටත් ඇයත් එක්ක සෙල්ලම් කළ නිසා දුව ඒ ගැන ප්‍රතිචාර දැක්වූයේ නැත. කෑම ගෙන ටික වෙලාවකට පස්සේ ඇය තනිව නිදන්නට කාමරයට ගියා ය.

“මං ඔයාට ස්ටෝරි එකක් කියන්නද නින්ද යනකල්…”

අසෙලියා එක හෙළා විරුද්ධ වූයේ නැත.

“ෆෙයරි ටේල්ස් ඔක්කොම මං කියෝල තියෙනව. සිංහල ස්ටෝරි එකක් කියනවද..”

“හා..”

යහනේ ඈ පසෙක හිඳ ඇගේ හිස පිදිමින්, කුඩා කල තාත්තා ගෙන දුන් කතා පොතක තිබූ සමන්මලී ගේ කතාව මම මතකයෙන් කීවෙමි. ඒ කතාව කියන කාලය පුරාවට මගේ හිතේ හිටියේ තාත්තා ය. ළමා වියේ දී කිහිප වතාවක් ම කියවා තිබිණි ද සමන්මලී ගේ කතාව තාත්තා සේ ම මට අමතක නොවී තිබුණයුරු පුදුම ය. අසෙලියා ට නින්ද යන තුරු විහාර යහනේ ඇයට අනිත් පසින් වැතිර සිටියේ ය. අසෙලියා නින්දට වැටුණ පසු මම ඔහු ගේ හිස කේ අතරින් අතැඟිලි යවා මුදු ලෙස ඒ හිස පිරිමැද්දෙමි. විහාර මදෙස මඳ වෙලාවක් දෙනෙත් දල්වා බලා හිඳ යහනෙන් බැස මවෙත ආවේ ය. පහත් වී මහිස සිඹ දෑතින් අල්ලා මා නැගිටුවා ලූයේ ය. අසෙලියා ගේ පොරෝනා සකසා, දොර වසා ගෙන යාබද අපේ කාමරයට ගිය ගමන් ඔහු මා දැඩි ව වැළඳ ගත්තේ ය.  විනාඩි ගණනාවක් නො වෙනස් ව පැවති ඒ ග්‍රහණය තුළදී මා පුළුන් රොදක සැහැල්ලුවට පත් වෙන බවක් මට දැනිණ.

“තෑන්ක් යූ ශික්ෂා. අසෙලියාගෙන් ඔයාගෙ හිත රිදෙන දෙයක් වෙයිද කියන බය නැත්තං…අද තරං මං සතුටෙන් ඉන්න දවසක් මගෙ අතීතෙ තිබිල නෑ”

“එයාගෙං මගෙ හිත රිදිල හරි එයා මට ආදරේ කරන දවසක් එයි නේද…”

“ඔයා කොච්චර අවංකද…ආදරේ කියන්නෙ ඔයාට කියන තවත් නමක් වෙන්නැති ශිකී”

ඒ වූ කලී සදානුස්මරණීය රාත්‍රියකි. ප්‍රේමයේ සීමා මායිම් පුළුල් කළ, ප්‍රේමය නම් මේ යයි පසක් කළ නො නිමි රාත්‍රියකි. ආදරයේ පාර දිගේ අනන්ත නිම්න, තැනිතලා හා මිටියාවත් පසු කොට ප්‍රේමයේ නිම් හිම් නැති හිම ගිර කරා සේන්දු වූ රාත්‍රියකි. මුළු රැයක් අප වෙනුවෙන් අවදි වී සිටිය ද අළුයම කුරුලු කූජනයක නදින් අවදි වී මම වහ වහා යහනෙන් බිමට පැන්නෙමි. මසිතේ මුල් ම සිතිවිල්ල වූයේ අසෙලියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles