ඝණඳුර විසින් තමන් ගිල ගනු ලබමින් සිටින්නා සේ ආරාධනා ට දැනිණ. ඉමක් කොනක් නැති කළු කුහරයක ඇය ගිලී යමින් සිටින්නා වන් බිහිසුණු හැඟීමකි එය. ජනේල වීදුරු වලින් පිටත සුදු එළියක් නො පෙනෙන්නේ සඳ බිඳක් හෝ නැති දින වල බව ආරාධනා දනී. නමුත් මන්දාලෝක රාත්‍රී විදුලි බුබුලෙන් කාමරය සැලකිය යුතු තරම් ආලෝකවත් ය. පෙර කී කළු කුහරය ඇගේ ආත්මය තුළින් ජනිත වන්නක් බව දැනී ඕ වහා යහනෙන් නැගී සිටියා ය. දහදිය බිඳු කිහිපයක් ඇගේ උඩු තොලට මත්තෙන් නැගී තිබිණ.
ඇය යහනට විත් දැන් ටික වෙලාවකි. නමුත් නිදි මතක් කියා දෙයක් දැනෙන්නේ හෝ නැත. ඒ මදිවාට එක එක විකාර ඈ නො සන්සුන් කරයි. ආරාධනා යහනෙන් නැගිට ගත්තා ය. කාමරයේ ඒ මේ අත සක්මන් කළා ය. මේසය මත වන මැටි බෝතලය හැර උගුරට වතුර උගුරු කිහිපයක් හලා ගත්තා ය. සියොළඟ දැවෙනවා බඳු දාහයක් ඇයට දැනේ.
දුරකතනය හදිසියේ ම හැඬවුණේ ඈ සසලවා ගෙන ය. එහි හඬට දරුවන් අවදි වෙතැයි බියෙන් ඕ ඉක්මනට එය සවනට ගත්තා ය. තිරය මත වූයේ කාශ්‍යප ගේ නම බව සිහිපත් වූයේ ද ‘හෙලෝ’ කීවාට පස්සේ ය.
දවස පුරා ම මේ ඇමතුම ගන්නා ඕනෑ කම කාශ්‍යප ට විය. නමුත් ඔහු කල් මරමින් සිටියේ ආරාධනා නිදන්නට කාමරයට යන වෙලාව පසු වන තුරු ය. ගෙදර කෙනෙකු දුටුවා නම් ඇයට මේ ඇමතුමට පිළිතුරු දෙන්නට ඉඩ නො දෙන බව ඔහු ට විශ්වාස ය.
“ආරාධනා…ඔයාගෙ අකමැත්තක් නැත්තං වීඩියෝ ඔන් කරල මට ළමයි දෙන්නව පෙන්නන්න පුළුවන්ද…”
පපුව පත්ලේ සිට උගුර දිගේ ඉහළට නැගී ආ කෝපාග්නියක් “දාල ගිය ළමයිව බලන්නෙ මොකටද මනුස්සයෝ” කියා කෑ ගහන්නට හැදුවේ ය. නමුත් ආරාධනා ඒ යක්ෂාත්මය මිටින් තද කොට ගත්තා ය. එතකොට ඇගේ පපුව රිදුණේ ය. දත් ඇඳි දෙක ‘ටක ටකස්’ ගා එකට හැපිණි. වචනයක් නම් පිට කර ගන්නට ඇය අපොහොසත් වූවා ය.
“හ්ම්”
පිට වූයේ එබඳු කෙඳිරියකි. වීඩියෝ සක්‍රිය කළ ඕ ඇගේ රුව කාශ්‍යප ට නො පෙනෙන සේ ද ඔහු ගේ රුව ඇගේ නෙත නො ගැටෙන සේ ද දුරකතනය ඇගෙන් ඈත් කරමින් දරුවන් දෙදෙනා ඉලක්ක කොට එය අල්ලා ගත්තා ය.
“කරුවල නිසා හරියට පේන්නෑ”
එහෙම කියවෙන හඬ ඇසිණ. ඇය රොබෝවරියක මෙන් ගොස් කාමරයේ විදුලි පහන දල්වා ආලෝකවත් කළා ය. පැටවුන් දෙදෙනා ම සුව නින්දේ ය. ඔවුන් දෙස බලා සිටි ආරාධනා ට ඉකි ගැසෙන්නට ආවේ ය.
“හරි ආරාධනා තෑන්ක් යූ”
ඇය දුරකතන සම්බන්ධය වහා බිඳ දැමුවා ය. බඩ පපුව කලතා ගෙන ආ ඉකිය තව දුරටත් නවතා ගැනීමක් ඇගෙන් බලාපොරොත්තු විය නො හැකි විය. ආරාධනා හැඬෙන්නට හැරියා ය. හයියෙන් හඬ පිට වෙතැයි සිතූ අවස්ථා වල අත් දෙකෙන් මුව වසා ගෙන හැඬුවා ය.
දුරකතනය දෙස බලා ගත් වන කාශ්‍යප ට ද හැඬුම් ආවේ ය. ඔහු අතැඟිලි වලින් මුව වසා ගත්තේ ය. නමුත් කඳුළු ගෙඩි දෙක සෞභාග්‍යා දුටුවා ය. කාශ්‍යප ගේ ගෙල වටා අතක් දමා ගෙන ඔහු ට සමීප වූ ඕ ඔහු ගේ ගෙලත් උරහිසත් අතරේ හිස තියා ගත්තා ය.
“මං දන්නව ඔයාට දුකයි කියල. ඒත් දැන් ඉතින් හිත හදා ගන්න ඕන නේද කාශ්‍යප…”
ඔහු සෞභාග්‍යා ගේ හිස පිරිමැද ගෙන කාමරයට සම්බන්ධිත නාන කාමරයට වැදුණේ ය.
එය සිදු වුණේ මෙසේ ය. සෞභාග්‍යා ගේ විවාහය දෙදරා ගියේ එකක් යයි කිව නො හැකි හේතු බොහොමයක් නිසාවෙනි. එක අතකට එය බලහත්කාර විවාහයකි. සෞභාග්‍යා තදින් කාශ්‍යප ට පෙම් කරමින් සිටි යුගයක ප්‍රේමයට අල්ප මාත්‍රික වටිනාකමක් නොදී ඒ විවාහය සිදු කරන ලද්දේ ව්‍යාපාරික අරමුණකිනි. ව්‍යාපාර දෙකක් එකට සම්බන්ධ කළ හැකිවාට හදවත් දෙකක් ඒ තරම් පහසුවෙන් පෑහිය නො හැකි ය. විවාහ බැඳීම ටික ටික පළුදු වී බිඳී යන්නට වූයේ වසර පහක දරා සිටීමේ කාලයකට පස්සේ ය. ගබ් සා වීම් කිහිපයකට පසු දරුවෙකු බිහි නො කර ම සෞභාග්‍යා පති කුළයෙන් නෙරපෙනු ලැබුවේ, දරුවෙකු ගැන ලොකු අවශ්‍යතාවයක් ද ඇයට නැතිව ය. සැබවින් දෙපස දෙමාපියන් ගේ උවමනාවට වෛද්‍යවරුන් වෙත යොමු වූවාට, සරු භාවය වෙනුවෙන් කරනා ලද ප්‍රතිකාර ඇය නිසි ලෙස ලැබූයේ නැත. පරණ ප්‍රේමයෙන් මුළුමනින් මිදෙන්නට ඇයට හැකි වූයේ ද නැත.
විවාහයෙන් නෛතික ලෙස වෙන් වූවාට පස්සේ සෞභාග්‍යා යුරෝපයේ රටවල් කිහිපයක සංචාරය කරමින් ද රැකියා මාරු කරමින් ද සිටියා ය. එය වූ කලී එක්තරා ආකාරයක නිදහස භුක්ති විඳීමකි. අනිත් අතට හිතුවක්කාර වීමකි. සිය දෙමාපියන් විසින් විනාශ කොට දමන ලද ප්‍රේමය පිළිබඳව ඇයට තිබුණේ පළිගැනීමේ චේතනාවකි. නමුත් ඇය පළිගනිමින් සිටියේ ඇයගෙන් ම ය.
ඒ වියෝවෙන් ටික කාලයකට පස්සේ කාශ්‍යප විවාපත් වූ බව මිතුරියක වෙතින් දැන ගන්නට ලැබිණ. ඇය ඉඳ හිටක ඔහු ගේ ෆේස් බුක් ගිනුමට මූණ ඔබා බැලුවා ය. බිඟුනි ගේ සුරතල් සිනහව ඇගේ දෙතොල් නිරායාසයෙන් සිනහවකට ඇද කළේ ය. කාශ්‍යප ගේ කියවා ගන්නට බැරි තරම් ගැඹුරක් සහිත ඇස් ඇය සදාතනික වේදනාවක ගිල්වී ය. එසේ එබී බලා අහවර ඇය ඈතකට වී සිටියා ය.
සියල්ල පුපුරා ගියේ මාස කිහිපයකට පෙර ය. එතකොට ඇය මව් රට විත් අපාට්මන්ට් එකක හුදෙකලා දිවියක් ගෙවමින් සිටියා ය. දීර්ඝ විවේකයකින් පසු යළිත් යුරෝපය බලා යාම ඇගේ අපේක්ෂාව විය. එදා යහනේ සිට ම දිනය කවදා දැයි විමසා බලත්දී හදවත මැද ගිනි බෝලයක් මවමින් සිහිපත් වූයේ ඒ කාශ්‍යප ගේ උපන් දිනය බවයි. ඒ වන විටත් ඇය කාශ්‍යප ට මිතුරු ඇරයුමක් යවා මිතුරු ලැයිස්තුවට එක් වී සිටියා ය. වසරක කාලයක් එසේ සිටිය ද කිසි දා ඔහු ට කෙටි පණිවිඩයක් හෝ තබා නැති ඇයට මේ මොහොතේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුමක් මැසේන්ජරය වෙත යොමු නො කොට ඉන්නට හැකි වූයේ නැත. ඒ වෙලාවේ දුරකතනය අතැතිව සිටි කාශ්‍යප තිගැස්සී ගියේ ය.
“එහෙනං ඔයාට තාම මතකයි”
යනුවෙන් ඔහු ප්‍රතිචාර දැක්වූයේ ක්ෂණික ව හදවත ඇති වූ උණුහුම නිසා ය. ඒ කෙටි පණිවිඩ හුවමාරුව මේ තරම් දිග දුර යාවියි එදා ඔවුන් දෙදෙනා ම සිතුවේ නැත.
නාන කාමරයට වැදී ගෙන කාශ්‍යප පොඩි දරුවෙකු සේ හැඬුවේ ය. ඒ කඳුළු වලට හේතුව කුමක් දැයි ඔහු ද නිශ්චිත ව දැන සිටියේ නැත.
ආරාධනා කාමරයේ ඒ මේ අත සක්මන් කළා ය. යහන මත හිඳ ගත්තා ය. වැතිරුණා ය. යළි හිඳගෙන දෙදණ මඬල මත හිස ඔබා ගෙන සිටියා ය. යළිදු නැගිට සක්මන් කළා ය. හෙට ශනිදාවක් වූ එක ගැන ඕ දෙවියන්ට ස්තූති කළා ය. බිඟුනි ව දවල්ට ගෙදර ගෙන ඒමට පවරා ඇති වෑන් රිය උදේටත් ගෙන්වා ගන්නට පුළුවන. නමුත් මින් ඉදිරියට සැනසුම් පාය ඇගේ නිත්‍ය නිවහන නොවන බව සිහි වී ඒ සිතිවිල්ල හකුලා ගන්නට සිදු විය.
“මං අම්මට කියනව. එතකොට ඒගොල්ලො ඇවිත් හෙට මාව එක්කං යයි. මගෙ ඔළුව වැඩ කරන්නෑ. මොනාද කරන්න ඕන කියල මට හිතාගන්න බෑ. ඔළුව හිර වෙලා වගෙයි”
අත් දෙකෙන් ම හිස අල්වා ගෙන ඕ තනිව කියවූවා ය. හැඬුවා ය. තවත් ටික වෙලාවක් එසේ හිඳ මධුරි සේනාසිංහ ගේ දුරකතනය අංකනය කළා ය. අම්මා ලෙස එහි ඉංග්‍රීසි අකුරෙන් සනිටුහන් ව තිබෙනු දකිත්දී වක්කඩ කැඩුවා සේ කඳුළු අලුත් වූයේ ය.
මධුරි ට දුරකතනය නාද වෙනු ඇසුණේ සිහිනයෙන් සේ ය. ඇය මොහොතක් ඒ හඬට හොඳින් කන් දුන්නා ය. ඒ දුරකතන ඇමතුමක් බව මොළය විසින් හඳුනා ගනු ලැබුවේ තවත් කිහිප වරක් නාද වත්දී ය. මධුරි වහා නැගිට බෙඩ් සයිඩ් කබඩ් එක මත වූ දුරකතනය අතට ගත්තා ය. ආරාධනා ලෙස තිරය ආලෝකවත් ව තිබියදී ය ඇය හරියට නින්දෙන් පිබිදුණේ.
“හෙලෝ…”
මධුරි කලබලයෙන් වාගේ කතා කළා ය.
“අම්ම. මං…”
“ඔව් දුව. කියන්න…”
“අම්ම…කාශ්‍යපට මගෙන් වෙන් වෙන්න ඕන කියනව අම්ම”
“මොකද්ද…ළමයො…මේ මහ රෑ නේද…ඔව්. පාන්දර තුනහමාරයි. ඔයා හීනයක් දැකල බය වෙලා නැගිටල පුතේ. වතුර ටිකක් බොන්නකො. බලන්න ඔතන කාශ්‍යප නිදි ඇති. වතුර ටිකක් බීල ඔයත් තව ටිකක් නිදියන්න. එලාම් එක තියල තියෙන්නෙ කීයටද…”
“මං නිදාගෙන හිටියෙ නෑ අම්මෙ. තාම ඇහැ පියවුණෙ නෑ. දවස් තුනකින් මට නින්ද ගියෙ නෑ. නින්ද යන්නෑ අම්මෙ. එයා මාව අත් ඇරල ගියාට පස්සෙ…මට කොහොමද අම්මෙ නින්ද යන්නෙ…”
“මොනාද ඔයා මේ කියවන්නෙ…හීනයක් දැකල තමයි ඔය. කාශ්‍යප කොහොමද ළමයො ඔයාව අත්ඇරල යන්නෙ…”
“ඒත් එහෙම වුණා අම්මෙ. මට මේක දරා ගන්න හරි අමාරුයි. ඒත් එයාට මාව එපා කියනවනං මං මොනා කරන්නද අම්මෙ…බලෙං කෙනෙක් ළඟ තියාගෙන මොකටද…එයාගෙ හිතයි ආදරෙයි තියෙන්නෙ වෙන කෙනෙක් ළඟනං…මට ඒක තේරෙනව. ඒත් තාම මට හිතා ගන්න බෑ හිත හදා ගන්නෙ කොහොමද කියල. හැබැයි…ගෙදර ආවට පස්සෙ හෙමීට ඒක කරන්න පුළුවන් වෙයි නේද අම්මෙ…”
“ආරාධනා..මට මේ මුකුත් හිතා ගන්න බෑ දරුවො. අපි දැං එන්නද ඔහෙට…”
“හා එහෙනං…අපිව එක්කං යන්න එන්න”
ආරාධනා කාමරයේ දොර හැර ගෙන පිටතට ආවා ය. අම්මලාට මෙතැනට එන්න පැය බාගයක්වත් ගත නො වෙනු ඇත. මේ වෙලාවට රථ වාහන තදබදයක් නොමැති නිසා ඊටත් වඩා කලින් වුව පැමිණිය හැක.
කාමරයේ දොරගුලු විවර වන හඬට කවීශ්වර වහා පිබිදියේ ය. මේ දින වල ඔහු නින්දට යන්නේ හදිසියේ අවදි විය යුතු වනු ඇතැයි සිහියෙනි. තාත්තා අසනීප වූ එක රැයක ඔහු ව රෝහල් ගත කළ බවවත් උදේ අවදි වන තුරු ඔහු නො දැන සිටියේ ය. දැන් ගෙදර ගැන බලන්නට කාශ්‍යප නැත. යහන මත හිඳ ම ඇස් විවර කොට ගෙන කන් දී ගෙන සිටි කවීශ්වර ට යළිත් දොරගුලු විවර වන හඬක් ඇසුණේ ය. ඔහු යහනෙන් පැන්නේ එතකොට ය. දොර හැර ගෙන ඔහු පිටතට එත්දී ආරාධනා සිටියේ ගෙදර ප්‍රධාන දොර හරිමිනි.
“ඔය මොකද…”
“අම්මල එනව කවීශ්වර”
පිටුපස හැරී බලා මඳහසකින් ඕ දොර පියන් දෙකෙන් එකක් විවර කළා ය. හිතේ හිර වී ඇති පීඩනය තුනී කර ගන්නට මාධ්‍යයක් තිබිය යුතුම ය. වෙලාවේ හැටියට සහනයක් සේ ආරාධනා ට දැනිණ.
“මේ වෙලාවෙ…”
කවීශ්වර ආලින්ද බිත්තියේ ගසා ඇති ඔරලෝසුවේ වෙලාව බැලුවේ ය.
“මං දැං තමයි අම්ම එක්ක කිව්වෙ කාශ්‍යපට මගෙන් වෙන් වෙන්න ඕන කියනව කියල. ඇත්තටම මට ඒක එයාලට කියන්න අමතක වුණා. අම්මල එන්නෙ අපිව එක්කං යන්න. මං ලෑස්ති වෙන්න ඕන කවීශ්වර”
ඇය ඉක්මන් ගමනින් කාමරය වෙත ගියා ය. ආරාධනා ගේ සිහි කල්පනාවෙහි වෙනසක් වී ද යන පැනය කවීශ්වර ගේ පපුව පිහි තුඩකින් හාරා පාරන්නට සමත් විය. ඔහු වහා ගජධීර යුවල නිදන ප්‍රධාන කාමරයේ දොරට තට්ටු කළේ ය. විවර වූ දොර පිටුපස රාජිකා මැණිකේත් ගජධීරත් දෙදෙන ම වූහ.
“ඇයි පොඩි පුතා…”
“දොරවල් අරින සද්දෙ ඇහිල මං නැගිටල ආවෙ. ආරාධනා ඉස්සරහ දොරත් ඇරල. ගෙදරින් එනවලු දැන්”
“මේ ළමයගෙ කල්පනාවත් වෙනස් වෙලාද දෙයියනේ”
කියාගෙන රාජිකා මැණිකේ වහ වහා කාමරය දෙසට ගියා ය. මේසය මත වූ වතුර වීදුරුවෙන් උගුරක් මුවට ගනිමින් ගජධීර විවර වූ ඉදිරි දොර වෙත ගියේ ය. අම්මාටත් ඔහු ට සිතුණ දේ ම සිතුණ එක ගැන කවීශ්වර ට දැනුණේ දෙගිඩියාවකි. අම්මා ගේ අනාවැකි හරියන බව ඔහු අත්දැකීමෙන් දැන සිටි නිසා ය.