ආදරයට කළ හැකි දේ

උත්පලා කාර්යාලයේ ආපන ශාලාවට ඇතුළු වුණේ හිස් මේසයක් තියෙනවා දැයි පරික්ෂා කරමින්.තමන්ගේ දෙපාර්තමේන්තුවේම සේවය කරන රුක්ෂිලා මේසයක තනිවම හිඳගෙන කල්පනා කරනවා උත්පලා දැක්කෙ එතකොට

” මම මෙතනින් වාඩිවෙන්න ද රුක්ෂිලා ? ඉඩ නැහැ අනේ අනිත් මේස වල.හිස් වෙනකන් හිටියොත් කන්න වෙන්නේ දවල්ට තමයි “

” අනේ වාඩිවෙන්න උත්පලා කමක් නැහැ “

රුක්ෂිලා හිස්ව තිබුණ පුටුව එළියට ඇද්දේ උත්පලා ඇගේ අත් බෑගය මේසෙ උඩින් තියෙන අතරෙ

” මම ඈත තියාම දැක්කා ඔයා කල්පනා කර කර ඉන්නවා. ඇයි කන්නේ නැද්ද රුක්ෂිලා ?”

” මම කෑම ගෙනාවා ,ඒත් කන්න පිරියක් නැහැ උත්පලා “

” ඔයා මොකක් හරි අවුලක නේද ඉන්නේ? ඒක ඔයාගේ මූනෙන්ම පේනවා “

” ඇත්තටම එහෙම පේනවද ? “

රුක්ෂිලා ගේ මූණ තිබුනට වඩා අදුරු උනා

” අපේ හිත්වල තියෙන ගොඩක් දේවල් මූණෙන් පේනවා රුක්ෂිලා .ඔයා මොකක් හරි ප්‍රශ්නෙක නම් ඉන්නේ ඔයා කැමතිනම් ඒක මට කියන්න.ඔයාට උදවු කරන්න මට බැරි වෙන එකක් නැහැ “

උත්පලා ඉතාම කාරුණිකව කියන වචන රුක්ෂිලා අහගෙන හිටියේ ආසාවෙන්. සෑහෙන කාලෙකින් ඇයට කවුරුත් ඒ වගේ කාරුණිකව කතා කරලා තිබුණෙ නැහැ

” මේක මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ ප්‍රශ්නයක් උත්පලා “

රුක්ෂිලා එහෙම කියලා නිහඬවුනා.ඊට පස්සේ ලොකු හුස්මක් අරගෙන ආයෙම කතාව පටන් ගත්තා

” එයා හැම දේටම මාත් එක්ක තරහ ගන්නවා.හැම දේකදිම එයා හරි කියලා තමයි එයා හිතන්නේ.අඩු ගානේ මං කියන්න හදන දේකට වත් ඇහුම්කන් දෙන්න එයාට ඕනෙ නැහැ “

රුක්ෂිලාගේ දෑස් තෙත් වුණා .හිතේ තිබුණ පීඩනය ඇය උත්පලා ඉදිරියේ පිටකළා

” එයාලට අපේ අගය තියෙන්නෙ අපිව අයිති කරගන්නකන් විතරයි නේද උත්පලා ?”

රුක්ෂිලා උත්පලාගෙන් ඇහුවේ මීට කාලෙකට කලින් උත්පලා ඇයගෙන්ම අහගත්ත ප්‍රශ්නයක්

” එයා තාම ඔයාව අයිති කරගෙන නැහැ රුක්ෂිලා.ඒ නිසා ඔය ප්‍රශ්නයට විසඳුම ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුලුවන් “

” මුලදි නම් එයා මම කියන ඕන දේකට හා කිව්වා .දැන් අඩුම ගානේ මම කැමති කෑමක් වත් ගන්නෙ නෑ කොහෙට හරි ගියාම “

උත්පලාට රුක්ෂිලා ගැන දැනුණේ අනුකම්පාවක්.ඇය කියපු ගොඩක් දේවල් වලට ඇහුම්කන් දුන්න උත්පලා කෑම කාලා එනකොට , මේ ප්‍රශ්න කොහොමහරි විසඳල දෙනවා කියලා රුක්ෂිලා ට පොරොන්දු වුණා

හවස කාර්යාලයේ වැඩ ඉවර වෙන වෙලාවේ කාර්යාලයට පාරෙන් එහා පැත්තේ රුක්ෂිලා ගේ පෙම්වතා යතුරුපැදියක ඉන්න හැටි ,රුක්ෂිලා අකමැත්තෙන් වගේ ඒකට ගොඩ වෙන හැටිත් උත්පලා දැක්කා

” එයා අදත් මාත් එක්ක රණ්ඩු වුණා උත්පලා “

රෑ නමයට විතර දුරකථන ඇමතුමක් ගත්ත රුක්ෂිලාගේ හඬ තරමක් බොඳවෙලා ගිහින් තිබුණා

” හවස අපිට මීටින් එක තිබුන වෙලාවේ එයා මට කෝල් කලා .එයාගේ කෝල් ආන්සර් කරන්න බැරි උන වුණ එක තමයි රණ්ඩු වෙන්න හේතුව. එයා බනින විදිහ මට අහගෙන ඉන්න අමාරුයි උත්පලා දැන් “

දුරකථනය දිගේ ගලා එන රුක්ෂිලාගේ හැඬුම් හඬ උත්පලාට ගෙන ආවේ දුකක්

” මීටින් එකක් වෙලාවේ කෝල් එකක් ආන්සර් කරන්න බැහැ කියන්නේ බැහැ ම තමයි රුක්ෂිලා. ඒක ඔයාම තමයි ගයාන්ට කියලා දෙන්න ඕනේ “

” අනේ එයා මම කිව්වට අහන කෙනෙක් නෙමෙයි “

සීමාවන් ඇතුලෙ හිර වෙලා කලයුතු දෙයක් නෙමෙයි ආදරය කියන්නේ කියලා රුක්ෂිලා ට කියලා දෙන්න උත්පලාට ඕනෑ වුණා.කාලයකට කලින් තමන් හිටපු තත්ත්වයේම තමන්ගේ මිතුරියක් ඉන්නවා දැක්කහම ඇයව එයින් ගලවා ගන්න එක තමන් කල යුතුමයි කියලා උත්පලාට හිතුනා

” අපි ආදරය කරන්න ඕනේ අපි ආස දේවල් වලටත් සීමා දාන කෙනෙකුට නෙමෙයි , මොන දෙයක් වුණත් ආදරයෙන් තේරුම් කරලා දෙන කෙනෙකුට .මේ ලෝකෙ ආදරෙන් කරන්න බැරි දෙයක් නැහැ රුක්ෂිලා “

ඊළඟ දවසේ රුක්ෂිලාව කාර්යාලයේ දී හමුවුණාම උත්පලා කිව්වේ එහෙම.

” ඉස්සර මම හොබී එකක් විදිහට චිත්‍ර ඇන්දා.ඇත්තම කිව්වොත් උත්පලා මට සමහර චිත්‍ර වලින් සල්ලිත් හම්බ උනා.ඒත් ගයාන් කිව්වෙම ඔය කුරුටුගෑම නවත්තන්න කියලා “

උත්පලාගෙ හිත මොහොතකට නතර වුණා.අතීතයේ සමහර සිදුවීම් ඇයට දෑස් ඉදිරියේ මැවී පෙනුණා

” ජොබ් එකකුත් කරන ගමන් රුපියල් හය හත්සීයකට ගෙවල් ගානේ ගිහින් ටියුෂන් කරන්න ඔයාට පිස්සුද උත්පලා ? “

ඉස්සර දවසක අශේන් ඇහුවේ එහෙම

” ඉතින් මම මේක කරන්නෙ සතුටින්නේ අශේන් ? අනික මම හොඳටම දන්න සබ්ජෙක්ට් එකක් තව ළමයෙකුට කියලා දුන්නහම මොකක්ද වෙන්නේ ?”

” විකාර නැතුව ඉන්න උත්පලා .ඔයාට සල්ලි අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න මම දෙන්නම් “

තමන් ටියුෂන් කරන එක නතර කරනකම්ම අශේන් නෝක්කාඩු කිව්ව හැටි උත්පලාට ඒ වෙලාවෙත් දෙසවන් වලට ඇහෙනවා වගේ දැනුනා.

” උත්පලා ? “

රුක්ෂිලා ගේ හඬින් උත්පලා කල්පනා ලෝකයෙන් මිදුනා

” මම දැන් මොකක්ද කරන්න ඕනේ උත්පලා ? ඇත්තටම වෙලාවකට ගයාන් එක්ක රණ්ඩු කරන එක මට නිකං හිසරදයක් වගේ. ඔෆිස් එකේ වැඩක් වත් හරියට කරගන්න බැහැ “

” අපේ ජීවිත කාටවත් ඕන විදිහට පාලනය කරන්න දෙන්න හොඳ නෑ රුක්ෂිලා.විශේෂයෙන්ම කසාද බඳින්නත් කලින්. ඔයා ඉන්නෙ මොනවගේ relationship එකකද කියලා මැන ගන්න මේක ඔයාට හොඳ අවස්ථාවක් “

” ඔයා කියන්නේ මම ගයාන් එක්ක තියෙන එෆෙයාර් එක නතර කරන්න ඕනේ කියලද ? “

” නෑ රුක්ෂිලා .මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ඔයා ටිකක් තදින් හිටියොත්. මම මේ කියන්නේ ඔයාට හිතුවක්කාර වෙන්න කියලා නෙමෙයි. තවදුරටත් ඔයා යටත් නොවෙනවා කියලා එයාට අඟවන්න කියලා “

” ඊට පස්සෙ ? “

” එක්කෙනෙක් ඇවිලෙනකොට එක්කෙනෙක් නිවෙන්න ඕනේ.එයා බනිනවා නම් ඔයා සද්ද නොකර ඉන්න.එයා නිවුන වෙලාවක , වෙච්ච දේ ගැන එයාට කියලා , තව දුරටත් මේක තියෙන්නෙ ඕන නම් ඔයාටත් ඇහුම්කන් දෙන්න කියන්න.එහෙම නොවුනොතින් ඉතින් ඔයා ගැන තීරණයක් ගන්න ඔයාට අයිතිය තියනවනෙ.නේද ? “

” ඔයා කොහොමද උත්පලා ජීවිතේ ගැන මෙච්චර දේවල් තේරුම් අරන් ඉන්නේ? “

” අත්දැකීම් වලින් “

රුක්ෂිලා අහපු ප්‍රශ්නෙට උත්පලා බොහොම සරල උත්තරයක් දුන්නා. එතනින් එහාට ඇය රුක්ෂිලාට ඇගේ සම්බන්ධය ගැන කිසිවක් නොකියා ඇයටම එය විසඳගන්න ඉඩ හැරියා.දවසින් දවස හිනාව අලුත්වෙන රුක්ෂිලාගේ මුහුණ දකිනකොට උත්පලාට දැනුනේ සැනසීමක්

” උත්පලා .ඔයාට දෙයක් කියන්න තියෙනවා “

දවසක් උදෙන්ම රුක්ෂිලා ඇවිත් උත්පලාට කියනකොට ඇගේ දෑස් වල තියෙන දීප්තිය උත්පලා හොඳින්ම දැක්කා

” ලබන සතියේ ගයාන්ගේ ගෙදරින් එනවා මාව බලන්න .ඔයා නොහිටින්න මේක මේ විදියට විසඳෙන්න නොතිබ්බා. “

රුක්ෂිලා එහෙම කියද්දි උත්පලාගේ මුවින් සැනසුම් සුසුමක් ගිලිහුනේ ඉබේටම

More Stories

Don't Miss


Latest Articles