නිම් නැති නිම්නය 08

එදා කාශ්‍යප ව හමු වී පැමිණීමෙන් පස්සේ කවීශ්වර ගජධීර සමගින් ආරාධනා ගැන යමක් සාකච්ඡා කොට තීරණයකට ආවේ ය. ඒ තව දුරටත් ආරාධනා ව සැනසුම් පායේ රඳවා ගෙන නො සිට ඇය නිදහස් කොට හැරිය යුතු බවටයි. ගජධීර සේ ම රාජිකා මැණිකේ ද කැමති ආරාධනා දරු දෙදෙනා සමගින් හැමදාමත් ඔවුන් සමග සිටිනවාට ය. මිණිපිරීත් බිළිඳු මුණුපුරුත් කියන්නේ ඔවුන් දෙදෙනා ට තවත් දවසක් ජීවත් වෙන්නට ඇති සතුටු පෙති දෙක ය. ඔවුන් නැති සැනසුම් පායක කවර සැනසුමක් දැයි සිතා ගැනීමට හෝ නො හැකි ය. නමුත් එසේ ය කියා ආරාධනා ගේ අනාගතය, සැනසුම් පායේ වියපත් බව කරා ගමන් කරමින් හිඳිනා දෙමහල්ලන් වෙනුවෙන් දිය වෙන්නට හැරිය යුතු නැති බව ඔවුහු අවබෝධ කොට ගෙන සිටියහ. පවතින තත්වයේ හැටියට කාශ්‍යප ගේ බිඳ වැටුණ යුග දිවිය යළි පිරිද්දිය නො හැකි ය. එනයින් ආරාධනා කවර තීරණයක් ගත්ත ද ඊට බලපෑමක් විය නො හැකි ය.

බිඟුනි ගේ පාසල් ගාස්තු ගෙවීම පිළිබඳ කතාවේ දී කාශ්‍යප එවා තිබූ පණිවිඩය නිසාවෙන් සැනසුම් පායේ හදවත් වල තුවාලය යළිත් වරක් පෑරිණි. පසු දා වරුවක් ගත වෙන තුරු ම ගජධීර දස අතේ කල්පනා කළේ ය. ඔහු හිත හදා ගෙන උගුර පාදා කතාව පටන් ගත්තේ හවස තේ බොත්දී ය. කවීශ්වර ද එදා වේලාසන ගෙදර විත් සිටියේ ය. 

“දැන්…දුව මොකද්ද කරන්න හිතන් ඉන්නෙ…අර ඊයෙ ආපු මැසේජ් එකත් එක්ක…ම්..”

ආරාධනා මන්දහාසයක් පෑවා ය. ඒ ඇස් අවිහිංසක විලාශයෙන් බිමට හැරවිණ. ජීවිතයක් මැද්දේ මේ විදිහට අතරමං වූ ගැහැනියක ගේ පපුවක් සැත්කමකට බඳුන් කොට ඒ හදවතේ ක්‍රියාකාරීත්වය කෙබඳු දැයි කවුරුන් හෝ පරීක්ෂා කොට ඇත්ද යන පැනය කවීශ්වර තුළ ඇති විය.

“වෙන මොනා කරන්නද තාත්තෙ…එයාට හොඳ විදිහක් කරපුදෙං. මං ළමයි දෙන්නව කොහොම හරි හදා ගන්නව”

“නෑ එහෙම නෙවෙයි. ඔය ළමය දෙමව්පියො එක්ක ගෙදර යන්න හදපු වෙලාවෙ අපි අසාධාරණ විදිහට නවත්ත ගත්ත. මං දන්නව අපේ එකාගෙන් බලාපොරොත්තු වෙන්න බැරි වුණ දේ අපි දුවගෙන් බලාපොරොත්තු වෙන එක වැරදියි”

“අනේ ඇයි තාත්තෙ ඉතිං එහෙම කියන්නෙ…මං ඔයාලගෙ දුවෙක් වගේනෙ අම්මයි තාත්තයි දෙන්නම කවදත් මට සැලකුවෙ…මං කාශ්‍යපව බැඳල එන්න කලින් ඉඳලම. කාශ්‍යප එක්ක තිබුණ බැඳීම බිඳිල ගියා කියල ඒ බැඳීම් බිඳිල යන්නෑනෙ තාත්තෙ”

“ඒක හරි ළමයො. ඒත් අපේ පාළුව කාංසිය නිසා දුව මෙහෙ නතර වෙන්න ඕන කියල අපි බලාපොරොත්තු වෙන එක වැරදියි”

“ඔව්”

ඒ බරැති වචනයත් එක්ක ආරාධනා කවීශ්වර දෙස නෙතු ඔසවා බැලුවා ය.

“අම්ම වුණත් දැන් මේ තත්වෙ තේරුං ගන්න බලන්න. ආරාධනා ට යන්න එපා කියල අඬන එක එයාට කරන අසාධාරණයක් අම්මෙ. කසාදෙත් කඩාගෙන එයා මේ ගෙදරට සින්න වෙන්න ඕන කියල හිතන එක අසාධාරණයි”

“අනේ ඉතිං…මේ කිරි සප්පයො දෙන්නත් නැතුව අපිට ආයෙ ජීවිතේ ගැන මොන බලාපොරොත්තුවක්ද…මොන සතුටක්ද…ඒකයි මට වාවන්නැත්තෙ..”

රාජිකා මැණිකේ හැඬුම්බර ව ඉවත බලා ගත්තා ය. ආරාධනා ගෙතුළට එබී, “අනේ මැණික මල්ලි නැගිටලද බලන්න පුතේ” යනුවෙන් බිඟුනිට කීවා ය. 

“ආරාධනාගෙ ජීවිතේ මෙතනින් නවතින්නෙ නෑනෙ. එයාට අනාගතයක් තියෙන්න ඕනෙ. මේ ගෙදරට කැඹුරුව කියල අන්තිමට මොනාද එයාට ඉතුරු වුණේ…”

“අනේ කවීශ්වර ඒකනං කියන්නෙපා. මේ ගෙදරත් එක්ක මට තියන බැඳීම කාශ්‍යප නිසා ඇති වෙච්ච එකක් නෙවේනෙ. ඒක ඉස්සරහට නැති වෙලා යන්නෙත් නෑ”

“එහෙම නෙවෙයි දුව. දුවගෙ අනාගතේ ගැන කැමති තීරණයක් ගන්න. අපි නිසා දුව මෙහෙට සින්න වෙන්න ඕන නෑ. දෙමව්පියොත් එක්කත් කතා කරල…ඉස්සරහට ඔයා කරන්නෙ මොනාද ඉන්නෙ කොහෙද වගේ දේවල් ගැන තීරණයක් ගන්න ඕනෙ. කොහේ හිටියත් පවුලක් විදිහට අපෙන් වෙන්න ඕන යුතුකං ඉෂ්ට නොවී තියෙන්නෑ. ඒ වගේම අපේ නෑකං නැති වෙලා යන්නෙත් නෑ. අපි නිසා දුව හිර වෙන්න ඕන නෑ කියල විතරයි මේ කියන්නෙ. කැමති දෙයක් කරන්න ඔයාට සම්පූර්ණ නිදහස තියනව”

ආරාධනා ද සිටිනුයේ ඒ ආසන්න අනාගතය ගැන සිතින් සැලසුම් අඳිමිනි. මේ නිවාඩු මාසය අවසන් වන විට අම්මලා ගේ ගෙවල් ළඟින් කුඩා ඇනෙක්සියක් සොයා ගැනීම ඇගේ අදහසයි. එහි සිට බිඟුනි ට පාසල් යන්න එන්නට පාසල් සේවා රියක් සොයා ගත යුතු ය. මහ ගෙවල් ආසන්නයේ සිටින විට සඳයුරු ගෙදර දමා පාසල් යන්නට ද ටියුශන් එකක් කර ගන්නට ද පහසු ය.

“පිස්සුද බං අරා…කුළී ගෙවල් ගන්න හදන්නෙ…මේක ඔයාගෙ තාත්ත හදපු ගේ. මොන දුකකදි කරදරේකදි වුණත් දුවෙක්ට බය නැතුව ගිහිං වැටෙන්න තියන තැන ඒක. මට වුණත් එහෙමයි. ඉතින් මේ ගෙදරට එන්නැතුව කුළී ගෙවල් හොයන්නෙ…අපි එකට ඉන්න බැරුව කෙහෙ වලු පටලෝගන්න තරං නූගත් එවුන්ද…”

එ් පැත්තෙන් ගෙයක් සොයා ගැනීමේ අදහසින් ආසන්න දිනෙක ආරාධනා මහ ගෙදර ගිය වෙලාවේ තාරා දොස් කීවා ය. 

“එහෙම නෙවේ අක්කෙ. ඕගොල්ලන්ටත් නිදහසක් නැති වෙනව අපිත් ඇවිත් වැටුණම. මට පොඩි එකා විතරක් බලල දෙන්න. ඒ උදව්ව ඇති”

“විකාර නැතුව හිටපං බං. එහෙනං මායි අයියයි ගෙයක් අරං යන්නං. ඔයා පැටව් දෙන්නත් එක්ක මෙහෙ ඉන්න. මෙන්න වැඩක්…ළමයි දෙන්නෙක් එක්ක එයාව කුළී ගේකට පටෝල අපිට මේකෙ සැනසීමෙන් ඉන්න පුළුවන් කියලද හිතන්නෙ…”

ආරාධනා ට වන ලොකු ම හයිය මේ නො බිඳෙන සහෝදර කම් ය. විවාහ ජීවිතයේ පත්ලට ම හරි අසාධාරණ ලෙස ඇද දැමුණු ඇයට වැටෙන්නට නොදී ගොඩ ගන්නට දිගු කරනා ඒ හැම දෑතක් ම ඇය ආදරයෙන් සිප ගත්තා ය. නමුත් අසරණ වූ ගැහැනියක ඕනෑ ම කෙනෙකුට වදයක් සේ දැනිය හැකි වෙලාවක් එළඹෙන්නට පුළුවන් යයි ඇය විශ්වාස කරයි. ඒ නිසා ඒ කරදර වල මායිමෙන් එපිට සිටින එක, සදාකාලික හිතවත්කම් වල පැවැත්ම වෙනුවෙන් කළ යුතු දෙයකි. 

“ටික කාලයක් ඉඳල බලමුකො. එහෙම ගැටළුවක් තියෙනවනං අපි බලමුකො ඊළඟට මොකද්ද කරන්න පුළුවන් කියල”

මධුරි ආරාධනා සැනසුවේ එසේ ය. නීත්‍යානුකූල දික්කසාදය වුව නො ලැබූ, සැමියා ගෙන් වෙන් වී දරු දෙදෙනෙකු සමග තනිව ජීවත් වන ගැහැනියකට සමාජය ඊට පහසුවක් සලසන්නේ නැති බව මධුරි දනී. කොහොමටත් ආරාධනා කියන්නේ වැඩිය තැලී පොඩි වූ ගෑනු ළමයෙකු නොවේ. සේනාසිංහ යුවළ සමග සිටියදී සේ ම සැනසුම් පායේදී ද ඇයට සුමට වූ ජීවිතයක් හිමි ව තිබිණ. නමුත් ඕනෑ ම මොහොතක ඕනෑ ම දෙයක් විය හැකි ය යන්න සනාථ කරමින් උන් හිටි ගමන් ඇය සැමියා විසින් අත් හැරුණු ගැහැනියක බවට පත් ව තිබේ. 

“ඊළඟට අපි ඩිවෝස් කේස් එකක් ෆයිල් කරමු. කොහොමටවත් දැන් ඔය මිනිහනං ඕන නෑ”

ඒ තීරණයත් මධුරි ගේ ය. ආරාධනා යන්තම් හිස සැළුවා ය. අභ්‍යන්තර තුවාල වේදනාවක් තිබුණාට ආයේ ඇවිත් නතර වෙන්නට ඉඩක් දැන් සිය හදවතේ කාශ්‍යප වෙනුවෙන් නොමැති බව ඇය පසක් කරමින් සිටියා ය.

නිවාඩු මාසයේ දෙවන සතිය පමණ වන විට සැනසුම් පාය අතැර අම්මලා වෙත යාමට ඒ අනුව ආරාධනා සූදානම් වූවා ය. ඇය ටික ටික බිඟුනි ගේ ඇඳුම් ද ඇගේ සාරි ද නවා පිළිවෙලට ඇසුරුවා ය. සඳයුරු ගේ ද නිතර භාවිතා නො කරන ඇඳුම් එසේ අසුරා තැබුවා ය. අල්මාරියේ එක පැත්තක් වෙන් ව ඇත්තේ කාශ්‍යප ගේ ඇඳුම් කැඩුම් වෙනුවෙනි. ඔහු යන විට ගෙන ගොස් තිබුණේ අත්‍යවශ්‍ය ඇඳුම් කිහිපයක් පමණකි. අනිත් සියල්ල එසේ ම විය. කාශ්‍යප ඇය හැර ගිහින් යයි දැන ගත්තා ට පස්සේ ආරාධනා අල්මාරියේ ඒ දොර හැරියේ ම නැත. ඒ ඇයට වාවා ගත නො හැකි වනු ඇතැයි බියට ය. නමුත් දැන් ඒ පපුව පැලෙන්නට එන ශෝකය තුනී ව ගොස් තිබේ. ඒ වෙනුවට හෙමි හෙමිහිට ඒ අවකාශය කළකිරීමකින් පිරෙමින් තිබේ. දරුවන් දෙදෙනෙකු අතැර ගියා පමණකුදු නොව ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම ද ප්‍රතික්ශේප කළ පියෙකු කියන්නේ තව දුරටත් ඇගේ හිතේ සමාවක් හිමි විය හැකි කෙනෙකු නොවේ. ආරාධනා අල්මාරි දොර විවර කළා ය. කාශ්‍යප ගේ සුවඳ වහා ඉන් පිටතට ආවේ ය. මේ ඇඳුම් නැතිව ඔහු කෙසේ පිරිමසා ගනු ඇත්දැයි ඇය සිතුවා ය. ඔහු ට සියල්ල අලුතෙන් මිල දී ගන්නට සිදු වන්නට ඇත. මේ සියල්ල කවීශ්වර අතේ හෝ ඔහු වෙත යවන්නට හැකි නම්!

“කවීශ්වර”

ඇය එතැන සිට ම හඬ ගෑවේ මීට ටික වෙලාවකට පෙර ඔහු ගෙදර එනු දුටු නිසාවෙනි. කවීශ්වර කාමරයට එබිකම් පෑවේ ය. ආරාධනා ගේ නෙතු යොමු වී පැවතියේ අයියා ගේ ඇඳුම් කැඩුම් වෙතට බව ඔහු ට පෙනිණ.

“මේ ටික…එයාට ගිහින් දුන්නනං හරි නේද…”

එක මොහොතකට ඔවුන් දෙදෙනා ගේ ඇස් එක මත පතිත විය. ආරාධනා යළි අල්මාරිය දෙස බලා ගත්තා ය. කවීශ්වර තවත් ටික වෙලාවක් ඇදෙස බලා ගත් වන සිටියේ ය. වසර ගණනාවක් ජීවිතය බෙදා ගත් මිනිසා පාවිච්චි කළ ඇඳුම් ආයිත්තම් දැකීම වුව ඇය ට මොන තරම් වේදනාවක් දැනවිය හැකි දැයි ඔහු ට සිහිපත් විය. වහා එතැනින් නික්ම සිය කාමරයට ගිය කාශ්‍යප, ලොකු ගමන් මල්ලක් ගෙනැවිත් කාශ්‍යප ගේ අඩුම කුඩුම සියල්ල ඊට එබුවේ ය.

“ඔහොම ඔබන්න එපා අනේ. පොඩි වෙනවනෙ”

ආරාධනා නො රිස්සුම් වූවා ය.

“අන්තිමට හිතයි අපි තරහට ඔබල කියල”

බෑග් එකට බඩු දැමීම නතර කළ කවීශ්වර ඍජු වී දැඩි බැල්මකින් ආරාධනා දෙස බැලුවේ ය.

“හිතුවද මං මේව අයිය කියන එකාගෙ කකුල් දෙක ළඟට ගිහින් දෙයි කියල”

“අ…නේ…”

ඒ හඬ පිට නොවූ තරම ය. කවීශ්වර ඇගේ තොල් චලනය වූ රිද්මය අනුව ඒ වචනය සිතා ගත්තේ ය.

“මේ ටික ගෙනිහිං බෙදන්නෙ පාරෙ ඉන්න හිඟන්නන්ට…හිඟන්නන්ට”

ඒ බැල්ම දැඩි විය. ආරාධනා බිම බලා ගත්තා ය. කවීශ්වර බෑග් එකත් ගෙන කාමරයෙන් පිට විය. සඳයුරු නින්දෙන් අවදි වී, ඔහු අවදි වූ බව සංඥා කරන්නට සේ ලාලන ඇරඹුවේ ය. බිඟුනි යහනට පැන මල්ලී ගේ මුහුණ ට උඩින් එබුණා ය. 

“මල්ලි දෝගෙන ඉවරද…අපි සෙල්ලං කරමුද…ආ…මල්ලි ඉක්මනට ලොකු වෙන්න අපි මිදුලෙ සෙල්ලම් කරමු හොඳේ”

ආරාධනා ගේ පපුව දෑවේ ය. දැන් ඒ දැවිල්ල පපුවට අරක් ගෙන ඇත්තා සේ ය. ඇය යහනේ වැතිරී සඳරුව මව් කිරෙන් පෝෂණය කරන්නට වූවා ය. පපුවේ ගිනිදරක් ඇති ගැහැනියක ගේ කිරිත් රත් වී ඇත්ද යන පැනය හදිසියේ ම ඈ තුළ ඇති විය.

“අපි මෙහෙන් යන්නයි බිඟු හදන්නෙ. අම්මම්මලගෙ ගෙදර නවතින්න”

සඳයුරු ගේ හිස කේ ඇඟිල්ලකින් පිරිමදිනා ගමන් ඕ දියණිය අමතා කීවා ය. දැරිය මඳ වෙලාවක් එක එල්ලේ අම්මා දෙස බලා සිටියා ය.

“හැමදාටම…”

ලොකුවට රවුම් වූ ඒ ඇස් බෝල ඇතුළේ සැකයක සේයා විය.

“හ්ම්”

“ඇයි…”

“මේක තාත්තලගෙ ගෙදරනෙ පුතේ. තාත්ත දැන් නෑනෙ. ඉතින් අපිට මෙහෙ ඉන්න අයිතියක් නෑනෙ. ඒක දැන් නැතත් කරදරයක් වෙන්න පුළුවන් කවදක හරි. ඒක නිසා අපි අම්මම්මලගෙ ගෙදර නතර වෙමු. එහෙ ඉඳල ඉස්කෝලෙ යන්න අපි දෙන්නටම වෑන් එකක් හොයාගමු. දැන් උදේට ඉස්කෝලෙ ගාවින් ඩ්‍රොප් කරන්න තාත්ති නෑනෙ”

“ඉතිං අපි මෙහේ ඉඳල එහෙම කරමුකො”

“අනේ පුතේ ඉතිං ඔයත් අම්මට කරදර කරන්න හදන්නෙපා. අපිට මේ විදිහට කරන්න වෙලා තියෙනව. ඒකයි අම්මි මේ ඇඳුං ලෑස්ති කරන්නෙ”

“මං ආස මෙහෙ ඉන්න”

“අපිට අපි ආස දේම කරන්න වෙන්නෙ නෑ පුතේ. දැන් ඉඳලම ඒක තේරුං ගන්න බලන්න. අපිට දැන් අලුත් ජීවිතේකට පුරුදු වෙන්න වෙනව. ටිකක් අමාරු වෙයි. ඒකයි අපි ඉස්කෝල පටන් ගන්න සති දෙකකට කලින් වගේ යන්නෙ”

“තාත්ති හරි නරකයි”

“අපි කාටවත් වැරදි නොකියා ඉමු පුතේ. දේවල් සිද්ද වෙන්නෙ වෙන්න තියන විදිහට. අපිට ඒව බාර ගන්න වෙනව. දුක් වුණාට…ඒ ගැන තරහ ගන්න අයිතියක් අපිට නෑ. අපි කොහොම හරි අපිට අයිති ජීවිතේ හොයා ගමු”

ආරාධනා ඒ තරම් දේවල් කීවේ ඒ සියල්ල බිඟුනි විසින් තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තුවකින් නොවේ.  සිතට ආ සියල්ල ඇය මිමිණුවා ය. ඇතැම් විට ඒ බිඟුනි ට නොව ඇයට ම ඒත්තු ගැන්විය යුතු දේවල් ය.

“අනේ…හ්….දුව…දුව…”

ඒ හඬ රාජිකා මැණිකේ ගේ බව වටහා ගත් ආරාධනා, “මල්ලිව බලන්න” කියා බිඟුනි ට පවරමින් වහා යහනෙන් පැන්නා ය. කෙඳිරිලි හඬ ආවේ නාන කාමරය දෙසිනි. ආරාධනා ඒ දෙසට දිව ගියා ය. රාජිකා මැණිකේ නාන කාමරයේ බිම වැටී නැගිට ගත නො හැකි ව කෙඳිරි ගාමින් සිටියා ය.

“අනේ අම්මෙ…නැගිටිමු…ඉන්න”

ආරාධනා නැන්දණිය ව වත්තන් කර ගෙන ඔසවන්නට ගිය ද එය පහසු නොවූයේ රාජිකා මැණිකේ ගේ දකුණු අත සොලවා ගත නො හැකි ව වේදනාවෙන් කෑ ගැසූ නිසා ය.

“කවීශ්වර…අනේ ඉක්මන්ට එන්න කවීශ්වර අම්ම වැටිල”

ආරාධනා හඬ උස් කොට කතා කළා ය. කවීශ්වර දිව විත් ඔසවා ගෙන, ඉන්පසු රාජිකා මැණිකේ ව පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගියේ ය. ඇගේ දකුණු අත උරහිස ළඟින් බිඳී තිබිණ.

💜️ඔබ ඇවිත් ආරාධනා ගේ දුක කියවා ගිය බවට මතකය, සලකුණක් ලෙස ඉතිරි කොට යන්න!

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles