නිම් නැති නිම්නය 12

සැනසුම් පායේ හදවත් හතර ම තිබුණේ කඩා වැටෙන්නට ආසන්න අහසක් වාගේ බර වී ගෙන ය. රෝහලේ දී කාශ්‍යප හමු නොවුණා නම් කියන හැඟීම ඒ හැම හදක ම හුස්ම ගන්නට ඇත. නමුත් නො විය යුතු ව තිබූ බොහෝ දේවල් සිදු වී තිබේ. සිදු වෙමින් ද තිබේ. 

කවීශ්වර සිතා ගෙන සිටියේ එන ගමන් ම සාප්පුව ළඟින් බහින්නට ය. නමුත් ඔහු ට එහෙම කරන්නට හිත් දුන්නේ නැත. ගෙදර ඇවිත් ආපසු යනවා යි හිතා ගෙන ආවාට ඒ යන්නට ද හිතක් වූයේ නැත. ඔහු යහන මත වැතිර ගෙන අරමුණකින් තොර ව සිවිලිම දෙස බලා ගෙන සිටියේ ය. 

රාජිකා මැණිකේ වියන් ඇඳෙහි විට්ටමට හේත්තු වී ගෙන කම්මුලේ අතක් ගසා ගෙන සිටියා ය. දැන් දැන් ඇය වෙත වන්නේ ශෝකයකට වඩා කෝපයකි. ආරාධනා ට සිදු වූ වරදට ස්ත්‍රීත්වයේ නාමයෙන් කිසි දා වන්දි ගෙවිය නො හැකි බව ඇගේ හෘද සාක්ෂිය දනී. ඒ වගේ වරදක් සිය කුසයෙන් බිහි කළ පුත්‍රයෙකු අතින් සිදු වීම වාවා ගත නො හැකි ය. මේ වරද කෙසේ නිවැරදි කරන්න ද? 

ගජධීර දැඩි මුණිවතකට එළඹ සක්මන් කල්පනාවේ නිමග්න වූයේ ය. ඔහු ගේ කල්පනාව ඉතා ඈතට විහිද ගොස් තිබිණ. පුරුෂ හැඟීම් ඉස්සර වීම හේතු කොට ගෙන ඇති විය හැකි වැරදි ගැන හෙතෙම නො දැන සිටියා නොවේ. ගජධීර මුලින් බලාපොරොත්තු වූයේ කවරක් සිදු වී ද දවසෙන් දෙකෙන් කාශ්‍යප ගෙදර එනු ඇත කියා ය. ඒ ආවොත් හඬා දොඩා රණ්ඩු සරුවල් වී හෝ සමාව නොදී සිටින්නට තරම් දැඩි හිතක් ආරාධනා ට නොවනු ඇති බවට අහිංසක බලාපොරොත්තුවක් ඔහු තුළ වූයේ ය. දරු පවුලක් විසිරී විනාශ වී යනවාට වඩා, ඔහු ට අනුව යළි එක්තැන් වෙන එක යහපත් ය. එක දරුවෙකු නොව දෙදෙනෙකු ට ම තාත්තා නැතිව යනවාට වඩා වැරදි අමතක කොට යළි ඒ වැරදි නො සිදු වන අරමුණක් ඇතිව පවුල එක්තැන් වෙන එක හොඳ ය. නමුත් එසේ සිදු වෙනවා නම් දැනටමත් එය සිදු වී අවසන් විය යුතු ය. එසේ වන්නට ඕනෑ තරම් කාලය තිබිණ. ආරාධනා ද ඇතැම් විට සිය දෙමාපියන් වෙත යාම ප්‍රමාද කළේ කාශ්‍යප ගේ පුනරාගමනයක් බලාපොරොත්තුවෙන් විය හැකි යයි ගජධීර ට සිතේ. නමුත් දැන් ඉතින් එවැන්නක් සිදු වෙතැයි තව දුරටත් බලාපොරොත්තුවෙන් සිටිත යුතු නැත. මේ වෙන දේවල් අනුව කාශ්‍යප ට යළි හැරී එන්නට හැකි යයි නො සිතිය හැකි තරමි.

“බඩ දරු අම්මල පෙන්නන දොස්තර ළඟටයි ඇවිත් හිටියෙ”

රාජිකා මැණිකේ ගේ ඒ වදන් ගජධීර ගේ හදවත පුපුරා ඉරි තැලූ බමක් බවට පත් කරවී ය. කිරි දරුවෙකු අතැර ගොස් තව දරුවෙකු හැදූ එකා තාත්තෙකු දැයි ඔහු සිතුවේ දත් මිටි කමිනි. නමුත් දැන් ඒ කිසිවකින් පලක් නැත. නො නැවතී ඉදිරියට යාම පමණක් විකල්පය වේ.

ආරාධනා කාමරයේ සිට සඳයුරු නිදි කරවන හඬ ඇසිණ. ඔහු නිදියන්නේ සින්දු කියන විට ය. මව් කිරි බොමින් නින්දට නො වැටුණොත් උකුලෙහි දමා ගෙන නින්ද යන තුරු ම සින්දු කිව යුතු ය.

“පුතුණේ මේ අහගන්න පුතුණේ පුතුණේ මේ අහගන්න…මං පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුණේ…පුතුණේ මේ අහගන්න….චූටි කූඩුවක කැලයේ සැලලිහිනි ජෝඩුවක් උන්නා…ලස්සන සින්දු කියාලා…පොඩි පුතා නැලෙව්වා දෙන්නා…හිටි හැටියෙම දවසක් දා…මොර සූරන වැස්සක් වැස්සා…ඇල…දොල…ගං…ගා…”

ආරාධනා ගේ හඬ බිඳී ගියේ ය. පපුව පත්ලේ සිට නැගී ආ වේදනා ප්‍රවාහයක් ඇය මුළුමනින් යට කර ගෙන හමා ගියේ වැව් බැම්මක් බිඳී ගියා මෙනි. ඕ සිව් මස් බිළිඳා ව තදින් පපුවට තුරුළු කොට ගත්තා ය. ආරාධනා දෑස් තද කොට වසා ගනිමින් දත් දෙපෙළ තද කර ගත්තා ය.

ඇත්ත ය. යම් බලා සිටීමක් හදවතේ ඈත කෙළවරක වූ බව පිළි ගත යුතුව තියේ. කවර තත්වයක් යටතේ ඔහු යළි පැමිණියත්, විශ්වාසය බිඳී ඇති මුත් දරුවන් දෙදෙනා ගේ නාමයෙන් කාශ්‍යප ට දෙවන අවස්ථාවක් දෙන්නට ඇය හිත හදා ගනිමින් සිටියා ය. නමුත් අද දවස අතීතයට එක් වනුයේ ඒ ආරාධනා මුළුමනින් මරා දමමිනි. කවදා කොයි ලෙසවත්, සසරේ කිසිදු භවයකවත් සිය ආත්මය වෙත යළි ඔහු වද්දා ගන්නට දැන් ඉතින් ඇයට නුපුළුවන.

ආරාධනා ගේ හැඬුම්බර ගී සර ශ්‍රවණය වත්දී තව දුරටත් යහන් ගත ව සිටිනට කවීශ්වර ට සේ ම රාජිකා මැණිකේ ට ද නුපුළුවන් විය. ඔවුහු දෙදෙන එක ම මොහොතක කාමර වලින් පිටතට විත් උනුන් ගේ මුහුණු බලා ගත්හ. ඒ මුහුණු වල වූයේ කම්පනයකි. වේදනාවකි. ලැජ්ජාවකි!

ගමන් වෙහෙස නිසා සඳයුරු ඉක්මනින් නින්දට වැටුණේ ය. ආරාධනා ඔහු සුරැකි ව කොට්ට වලින් වට කොට තබා, මදුරු දැල දමා කාමරයෙන් පිටතට ආවේ බිඟුනි සෝදවන්නට හිතා ගෙන ය. ආලින්දය මැද්දේ, තැති ගත් මුහුණු වලින් ගජධීර යුවළ ද කවිශ්වර ද හිට ගෙන සිටියහ. 

“නින්ද ගියාද කොල්ලට…”

වෙනසක් නො හැඟෙන සේ රාජිකා මැණිකේ ඉක්මන් කොට අසා ගත්තා ය.

“ඔව් නින්ද ගියා. බිඟූ…එන්න දැන් වොශ් දාන්න. සෙල්ලං කළා ඇති”

ආරාධනා ද වෙනසක් නො හැඟවෙන සෙයින් මිදුලට එබී බිඟුනිට කතා කළා ය.

“රෑට උයන්න ඕන්නෑ. මං මොනාහරි ගේන්නං”

කවීශ්වර කීවේ ය.

“මොනාද ගේන්න ඕනෙ…”

ඒ ප්‍රශ්නය යොමු වූයේ කෙළින් ම ආරාධනා වෙතට ය. 

“අනේ මන්දා. ඔයා මොනා හරි බලල ගේන්න කවීශ්වර. හැබැයි තාත්තනං කඩ කෑම කන්න කැමතිත් නෑ නේද අම්මෙ…ඔන්න ඔහේ මං මොනා හරි හදල ගන්නං”

“නෑ නෑ තාත්ත කයි. ඒකට කමක් නෑ”

“අනේ ඔව් ළමයො ඔය මොනා හරි බඩට දාගන්න එකනෙ”

“මොනාද ගේන්නෙ ඉතිං…නාසි…සී ෆුඩ් රයිස්…චොප්සි රසිස්…”

“චිකන් චොප්සි රයිස් ඕනෙ බාප්පි මට”

කියා ගෙන විත් බිඟුනි කවීශ්වර ගේ ඇඟේ දැවටුණා ය. ඔහු ඇගේ හිස පිරිමැද්දේ ය. මොනවා වුණත් බිඟුනි ට තාත්තා නැති පාළුව නො දැනෙනවා විය නො හැකි ය.

“බිඟු එනවද එහෙනං මාත් එක්ක ගිහිං කෑම අරං එන්න…අපි ශොප් එකටත් ගිහිං එමු”

“හා”

දැරිය දැඩි උනන්දුවක් පෙන්වූවා ය. 

“මං වොශ් දාං එන්නං. යන්නද අම්මි…”

“හා කියල ඉවර වෙලා මගෙන් යන්නද අම්මි අහනව”

වෙලාවේ හැටියට මූණු වල සිනහවක් ඇඳ ගන්නට ඒ වගේ පුංචි දෙයක් ද හේතු වන්නේ ය. බිඟුනි නාන කාමරය වෙතට දිව්වා ය. 

“ස්කූල් වෑන් එකට උදේ පාන්දරම දෙන්න ඕනනෙ. පව් කෙල්ල ටිකක් නිදා ගත්තාවෙ. මං බිඟුනිව උදේට ඉස්කෝලෙට දාන්නං. ඒක කරන්න මට පුළුවන්”

ආරාධනා ගේ හිතේ බිඟුනි පාසල් යැවීම ගැන ගැටළුව වැඩ කරනා බව දන්නා නිසා ම කවීශ්වර මේ වෙලාවේ ඒ ගැටළුවත් විසඳා දමන්නට හිතා කීවේ ය.

“අම්මගෙ අත ටිකක් සනීප වුණාම මං ගෙදර යන නිසා ඔය මොකක් හරි කාවකාලික විසඳුමක් හොයා ගන්නව කවීශ්වර. මොනා වුණත් මට බයයි කෙල්ලව බයික් එකේ යවන්න. එයාට එච්චර පුරුදුත් නෑනෙ. අනිත් එක අයියලගෙ ළමයි අරං ඉස්කෝලෙ යන්න ගියාම ගෑනු ළමේක්වත් බලන එකක් නෑ”

ඒ අහිංසක විහිළුව ආරාධනා විසින් අගට එක් කර ගනු ලැබුවේ බැරෑරුම් හේතුවක් ඇතිව නොවේ. රාජිකා මැණිකේ, කවීශ්වර යමක් කියන්නට පෙර ඉස්සර වූවා ය.

“අනේ. බලන කෙල්ලෙක් දැං බලල ඉවර ඇතිනෙ. අනිත් එක මෙයා ඇටෙන් පොත්තෙන් එළියට ආපු දවසෙ ඉඳන්ම කළේ කෙල්ලො දිහා බලන එකනෙ. අහන කෙල්ලෙක්ට කියන එකයි ඒ අයියගෙ දුව කියල”

“ඒ වුණාට…අනුංගෙ ළමයි නිසා පවුල් ප්‍රශ්න ඇති කර ගන්නෙ මොකටද…නේ කවීශ්වර…”

එසේ කියා ගෙන ආරාධනා සිනහ වතකින් නාන කාමරය දෙසට ගියේ බිඟුනි එහි ගිය බව සිහි වී ය. කවිශ්වර ගේ සිත ඉපිද තිබුණේ නො සන්සුන් බවකි. අම්මා සේ ම ආරාධනා ද ඒ නොසන්සුන් දැලෙහි පැටලී සිටියහ. ගැහැනු යමක් තේරුම් ගන්නේ ම, අල්ලා ගන්නේ ම වැරදි කොනෙන් යයි කියා ගන්නට බැරිව ඔහු ඒ නො සන්සුන් බවත් එක්ක ම කොහෙදෝ මුල්ලකට ගසා යමින් සිටියේ ය.

කාශ්‍යප සිය අලුත් බිරිඳ සමගින් රෝහලේ දී හමු වූ බව ආරාධනා තාරා ට කීවා ය. නමුත් ඒ අම්මා ට නො කියන ලෙස පොරොන්දුවක් අරගෙන ය. මධුරි දිගට ම කීවේ දික්කසාද නඩු දමනා ලෙස ය. පස්ස ගසමින් සිටියේ ආරාධනා ය. දැන් ඇගේ මනස ඊට සූදානම් වෙමින් පැවතිය ද මේ හමු වීම ගැන දැන ගත හොත් අම්මා අනවශ්‍ය ලෙස කලබල වනු ඇතැයි ඇය සිතුවා ය. 

“එහෙනං ඉතිං ඕක ටිකක් පරණ වෙච්ච සම්බන්ධයක් වෙන්න ඕනෙ. වීඕජී ළඟට ඇවිත් හිටියනං…”

“මට ඇත්තටම හිතා ගන්න බෑ අක්කෙ. ඔයා හිතන්නෙපා මට තාම කාශ්‍යප අමතක කර ගන්න බැරුව පිස්සු නටනව කියල..ඇත්තටම දැන්නං මට ලෝකෙ අන්තිමම පිරිමියා නැති වුණාට පස්සෙවත් කාශ්‍යපව එපා. මේ ආත්මෙ නෙවෙයි ඉපදෙන කිසි ආත්මෙක එපා. වැරදිලා මග තොටක හම්බ වෙන්නවත් එපා. මං කියන්නෙ…මට හිතා ගන්න බෑ කොහොමද එයා එහෙම කළේ කියල. එහෙම රඟපෑවෙ කොහොමද කියල. දෙයියනේ මේ පොඩි එකාව වුණත්…හැදුවෙ මොන එකටද එහෙම සම්බන්දයක් තිබුණනං…දැන් මට තියෙන්නෙ මාර අප්පිරියාවක් අක්කෙ. මනුස්සයෙක් කොහොමද එහෙම කරන්නෙ…”

“මම වුණත් ඔයාට කිව්ව තමයි එයා මොන වැරැද්ද කළත් ඔයා ඇත්තටම ආදරේ කළානං ඔයා ළඟදි ඒ වැරදි අහෝසි වෙලා යනව කියල. ඒත් දැන් කාශ්‍යප ඉන්නෙ හැරෙන්න බැරි තැනකනං…අපි හිත් හදාගමු අරා”

“ඔව්. මං නඩු දාල එයාගෙං අයින් වෙනව. මේ බැඳීම තියා ගෙන ඉන්න ඉන්න දැනෙන්නෙ වදකාර හැඟීමක්. මට මේකෙන් නිදහස් වෙන්න ඕනෙ අක්කෙ”

“අන්තිමට ඉතිං කාශ්‍යප දිනුව”

“ඒක දිනුමක් ද කියන්න මං දන්නෑ. අම්මගෙ අත ටිකක් සනීප වෙනකල් මං එහෙ ඉන්නව. මට දමල ගහල එන්න බෑ. ඒ මිනිස්සු තාම මට වෙනසක් නැතුව ආදරෙයි. මං ඒ ආදරේට ලෝබයි. බිඟුට වුණත් එක පාරටම ඒ ගෙදරින් මිදෙන්න බෑ. එයා ඉපදුන දවසෙ ඉඳන් හිටපු ගෙදර. කෙල්ලගෙ මනසට මේ දේවල් බලපාන්නෙ නැති විදිහට හෙමිහිටයි කරන දෙයක් කරන්න වෙන්නෙ අක්කෙ”

“උඹ ගැන ආඩම්බරයි අරා. මොනා වුණත් අපි ඔයත් එක්ක ඉන්නව. ඔයා කැමති විදිහට කැමති දෙයක් කරන්න”

ආරාධනා ට සැනසීමකට කියා තිබුණේ ඒ වටහා ගැනීම හා නිදහස පමණකි. 

එදා රෝහලේ සිට ගිය පසු කාශ්‍යප ගේ හිත යකා ගේ කම්මල සේ විය. ඔහු හැම අතින් ම පීඩාවට පත් වී සිටියේ ය. ඒ විදිහට ආරාධනා ඇතුළු පවුලේ අය ට සම්මුඛ වීමේ බලාපොරොත්තුවක් ඔහු ගේ තුන් හිතකවත් වූයේ නැත. නාරි හා ප්‍රසව වෛද්‍ය හමුව වෙත යොමු වන්නට සෞභාග්‍යා ට සිදු වූයේ ඇගේ උදරයෙහි ඇති ව තිබූ ආබාධයක් නිසාවෙනි. ස්කෑන් පරීක්ෂණ වලින් ඒ ගර්භාෂයික ගෙඩියක් යයි නිගමනය වූයෙන්, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා වෙතට යොමු කෙරිණ. නමුත් ආරාධනා සේ ම අම්මා ද ඇය ගර්භණී වී ඇතැයි අනුමාන කරන බව කාශ්‍යප ට සැක නැත. සඳයුරු වෙනදාට ඔහු ගේ දෑතේ නැලවුණ දරුවා ය. ඒ වෙලාවේ ඒ තරම් ඇඬුවේ ඇයි දැයි සිතා ගත නො හැකි ය. අම්මාත් කවීශ්වරත් ඔහු ව සත පහකට ගණන් ගත්තේ නැත. ඒ සියල්ල කාශ්‍යප නො සන්සුන් කොට තිබිණ. ඒ අතරේ සෞභාග්‍යා  ඉක්මන් සැත්කමකට යොමු විය යුතු ව ඇති බව වෛද්‍යවරයා දැනුම් දුන්නේ ය. 

“ඔයාව ගණං ගත්තෙවත් නෑ කවුරුවත්. මොන එහෙකට ළමයි වඩා ගන්න ගියාද…සෙනග ඉස්සරහ ඔයා බාල්දු වුණ එකයි වුණේ”

සෞභාග්‍යා ඔහු ගේ නො සන්සුන් බව තවත් වැඩි වන කතාවක් කීවේ ය. අතට අහු වුණ යමක් පොළොවේ ගසා කෑ ගහන්නට ඇති වූ උවමනාව, කාශ්‍යප විසින් පාලනය කර ගත්තේ සෞභාග්‍යා ඉන්න තත්වය ගැන සිතා ය. එදා ආරාධනා ගේ වට්සැප් අංකයට, දික්කසාද නඩු දමනා ලෙස ඇය යැවූ පණිවිඩය දුටු වෙලාවේත් ඔහු ඉවසා ගත්තේ අසීරුවෙනි. සිය හිස කේ දෑතින් ඇද ගෙන යහන මත හිඳ ගත්දී පසු තැවීමකටත් වඩා ආත්මීය ලැජ්ජාවක් ඒ වෙලාවේ ඔහු ට දැනිණ.

“ඔයාට අදාල නැති වැඩක් ඔයා ඒ කළේ සෞභාග්‍යා”

කාශ්‍යප තදින් කීවේ ය. 

“ඉතින් වෙන්න ඕන දේනෙ මං කිව්වෙ. එයා නඩු දාන එක තමයි ලේසිම. දැන් ඉතින් ඒක වෙයිනෙ”

ඉන් අනතුරුව ආරාධනා ට කතා කොට කිසිත් නිවැරදි කරන්නට නොව ආයේ කිසි දාක දරුවෙකු පෙන්වන ලෙස ඉල්ලා සිටින්නටවත් බැරි බව කාශ්‍යප ට දැනිණ. ආරාධනා ඉදිරියේ, දරුවන් ඉදිරියේ සිය ආත්මය මරා දැමුණු බවක් ඔහු ට දැනිණ. පපුව පැලෙන්නට වගේ ආවාට හඬන්නටවත් අයිතියක් නැති බව ද කාශ්‍යප ට දැනී නො දැනී යමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles