රසික ආන්දෝලනය මැද මවක් වීමට සැරසෙන ප්‍රියංකා

ප්‍රියංකා චොප්රා බොලිවුඩයට කවදත් නැතිවම බැරි නිළියක්.කාලෙන් කාලෙට විවිධ පුවත් මවන ප්‍රියංකා ඇයට වඩා වසර කිහිපයක් බාල නික් ජෝනාස් සමග විවාහ වීමත් බොහෝ අයගේ දැඩි කතාබහට ලක් වූවා.නික් සහ ප්‍රියංකා ඉතා ආදරයෙන් ජීවත්වන යුවලක් වුණත් ඔවුන් දෙදෙනා අතර ඇති වයස් පරතරය ගැන හිත රිදවා ගත්තේ සමහර රසිකයන්.

ආදරය යනු ආදරය පමණක් බව තහවුරු කරමින් ප්‍රියංකා සහ නිකිතා ආදරණීය ජීවිතයක් ගත කරනවා.ප්‍රියංකා මවක් වන්නේ කවදාද කියලා රසිකයින් බලා සිටි නොඉවසිල්ලෙන්.

“අපි කුඩා බිලිඳකු පිළිගන්න ඉතාම සතුටින් බලා සිටිනවා.surrogate ක්‍රමයට තමයි අපේ දරුවා අපිට ලැබෙන්නේ.ඒ කාලේ අපි අපේ පවුලට අවධානය යොමු කරල තියෙන කාලයක්.මේ අතිශය විශේෂ කාලය තුළ අපේ පෞද්ගලිකත්වය අපි ගෞරවයෙන් අපේක්ෂා කරනවා.

ජනවාරි විසි එක් වෙනිදා තමන්ගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රියංකා එවැනි සටහනක් තබනවා.මවක් වීමට ගත් තීරණය ගැන ඇගේ සමකාලීන වෘත්තිය සගයන් උණුසුම් සුබ පැතුම් එක් කර තිබුණා.නමුත් රසික ප්‍රජාව සුපුරුදු පරිදි කැළඹිලා.

“මේ ජනප්‍රිය මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ? තමන්ගෙ කුසේ දරුවෙක් හදන්නවත්  ඒ අයට බැරිද?”

“අපෝ ලැජ්ජයි.තමන්ගේ ඇඟ කැත වෙනවාට වෙන ගෑණියෙක්ගේ බඩේ ළමයෙක් හදනවා නේද?”

“අපි සුබපතන්නේ දරුවා කුස දරන අම්මට.ඔයාට නෙමෙයි”

“අනාථ නිවාසයකින් දරුවෙක් හදා ගන්නවකො..”

“දරුවෙක් වෙනුවෙන් අවුරුද්දකට තමන්ගේ වැඩ පස්සට දාගන්න බැරිද ප්‍රියංකා?”

“සල්ලි වලට ළමයි නොගෙන දුප්පත් ළමයෙක් අරන් හදා ගන්න..”

“ළමයි හදන්න බැරි තරම් නාකි නේද?”

ඒ පෝස්ටුවට පළවී තිබූ ප්‍රතිචාර හතලිස් දෙදාහකට අධික ප්‍රමාණයකින් හරි අඩක්ම ඔය වගේ කතන්දර.සමහරවිට ප්‍රියංකා ඒවා නොකියවා ම බැහැර කරාවි.ඇය ලෝකයේ සිටින හොඳම අම්මා වන බවත් ,ඇයගේ දරුවා වන්නට දෙවියන් විසින් තීරණය කර දරුවා ඉතා වාසනාවන්ත බවත්,ජීවිතයේ එළඹෙන අමුතුම සහ  සුන්දරම අභියෝගයට  ප්‍රියංකා හොඳින් මුහුණ දෙන බවටත් ඇයගේ රසිකයින් සහ මිතුරන් තැබූ සුබපැතුම් පමණක් ඇය සිතට ගන්නට ඇති.

කොලිවුඩයේ නිළියක වීම පහසු නෑ.ප්‍රියංකා ඇගේ ගමන ආරම්භ කරන්නේ දෙදහස වසරේ ලෝක රූ රැජින රැජින වීමෙන් පසුවයි.බොලිවුඩයට කිසිම සම්බන්ධයක් නොමැතිව තමන්ගේ ගමන ගොඩනගා ගත් ප්‍රියංකා තමන්ට ඇති තැන රඳවා ගත්තේ දක්ෂතාවය සහ මගේ කැපවීම නිසා.බොලිවුඩය අතිශය තරගකාරී තැනක්.එවැනි වෘත්තියක නිරත ඇයට වසරක් දෙකක් දරුවෙක් වෙනුවෙන් සිරුර කැප කරන්නට සිදුවීම වෘත්තීය ජීවිතය අඩාල කරන්නට හේතුවක් විය හැකියි.තමන් කැපවීමෙන් ගොඩ නැගුණු තැනකින් එක්වරම ඉවත් වීම ඇගේ කැමැත්ත නොවන්නට පුලුවන්.එනිසා ඇය සහ අනුෂ්කා ෂර්මා සංසන්දනය කරමින් රසිකයන් කරන චෝදනා ඉතාමත් අප්‍රසන්න ගණයේ බව නොකියාම බැහැ.ඇය දැන් තිස් නව හැවිරිදි වියේ පසුවන්නියක්.ජීවිතයේ සියළු අරමුණු සපුරාගෙන සුන්දරම අරමුණ වෙත ළං වෙද්දී සෞඛ්‍ය තත්ත්වය බිඳුවකින්වත් එයට හරස් වනවාට ඇය නොකැමති වනවා ද විය හැකියි.

කෙසේ නමුත් ඒවා ඇගේ අතිශය පෞද්ගලික තීරණ අතරට වැටෙන්නක්.ඇය මාතෘත්වයට සැරසී දරුවෙකුට මව වීම පමණක් සුන්දරව දැකීම ප්‍රමාණවත්.සරොගසි ක්‍රමය කියන්නේ ඇගේ සහ සැමියාගේ බීජ ලබාගෙන කළලයක් රෝපණය කරවා එය වෙනත් කාන්තාවකගේ කුස තුළ තැන්පත් කිරීම.ඒ ලැබෙන දරුවා ජීව විද්‍යාත්මකව අයත් වන්නේ ජෝනාස් යුවලට.ඉතින් එහි විද්‍යාත්මකව කිසිම වරදක් නැහැ.

දරුවෙකුට දෙමාපියන් වීම යුවලකගේ අතිශය පෞද්ගලික තීරණයක්.ඒ surrogacy ක්‍රමයෙන් ද , කුලවද්දා ගැනීමකින්ද යන්න ඔවුන්ගේ තීරණයක්.දරුවෙක් හදන්නේ අවුරුදු විස්සෙන්ද හතලිහෙන්දැයි තීරණය කළ යුතු වන්නේ ද ඔවුන්.

“දරුවෙක් කියන්නේ අවුරුදු විස්සක ව්‍යාපෘතියකට” ඒ සාමාන්‍ය සමාජයේ පවතින ජනප්‍රිය වාක්‍යයක්.ඒ ව්‍යාපෘතියට තමන්ගේ ආදායම් මාර්ගයට අවහිරයක් නොකර ගෙන පිවිසීම තුළින් පැහැදිලි වන්නේ ඇගේ බුද්ධිමත් භාවය මිස කිසිවක් නෙවෙයි.

කසාදය සහ දරුවන් තමන්ගේ සිහින සහ අරමුණු වෙනුවෙන් බාධාවක් කරගත යුතු දෙයක් නොවේ.එය ඒ අරමුණු අතර ඉසිඹු ලද්දී තමන් ජීවත් වන බව අඟවන අතිශය සුන්දර කාරණා පමණක් විය යුතුයි.වෘත්තීය ජීවිතය සහ ආදායම් මාර්ගය ඒවා නිසා අහිමි කරගෙන ඉන්පසු සදා වේදනාවෙන් සිටීම කිසිම ගැහැනියකට අයත් විය යුතු ඉරණමක් නෙවෙයි.

ඕනෑම කෙනෙකු ගමන් කළ යුතු වෙන්නේ තමන්ගේ සැලසුම් ඇති පාරක.දෙපසට වී හූ හඬ නගන්නන් ඒ මාවතේ ඕනෑතරම් හමු විය හැකියි.නමුත් ඔබ ගමන් කරන්නේ පාරාදීසයක් වෙත බව සහතික නම් හූ හඬ නොසලකා හරිමින් ඔබේ මාවතේ ගමන් කරන්න.ඔල්වරසන් නැගෙන දවස ඉක්මනින්ම උදා වේවි.

Related Articles

Don't Miss


Latest Articles